හොයියා හෝයියා
මාදැල් ධීවර කර්මාන්තය සඳහා ට්‍රැක්ටර් රථ සහ වින්ච් යන්ත්‍ර භාවිත කිරීමේ ගැටලු සම්බන්ධයෙන් ගෙවුණු සමයේ සංවාද විසංවාද මතු වුණා. ඒ, මාදැල් ධීවර කර්මාන්තයේ නිරත එවැනි පිරිස් සහ රාජ්‍ය ආයතන හා පරිසරය සුරකින කණ්ඩායම් අතර එකිනෙකට ප්‍රතිවිරෝධී ව අදහස් හා මත පළ වීමෙන්. එහිදී ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ආයතනික හා විද්වත් අදහස් විමසා එම ගැටලු සඳහා සාධාරණ හා තිරසර විසඳුම් ලබා දීමට රජය එකඟ වීමත් සමඟ එම සංවාද මඳකට නතර වී තිබෙනවා.
විවිධ රටවල ධීවර කර්මාන්තය ක්‍රියාත්මක කරන්නේ ඒ ඒ රටවලට අවේණික ආකාරයට. මුහුදු පතුලේ ඇඳගෙන යන දැල් (Bottom Trawling) භාවිත කරමින් සිදු කරන ධීවර කර්මාන්තය මෙරට තහනම් කර තිබෙනවා. එවැනි ක්‍රම නෝර්වේ, ස්වීඩනය, ෆින්ලන්තය වැනි ජනගහනය අඩු රටවල ක්‍රියාත්මකයි. එම රටවල විශාල මුහුදු තීරයක් පැවතීමත් ජනගහනය අවම වීමත් යාත්‍රා සංඛ්‍යාව සීමිත වීමත් ඊට හේතුවක්. එක් එක් රටවල පන්න ක්‍රම වෙනස්. එහෙත් මෙරට භූගෝලීය සීමාව වෙරළ ආසන්නයේ සිට ඉතා පහසුවෙන් ම ගැඹුරු මුහුද වෙත ගමන් කිරීමේ ස්වභාවයක් තිබෙන නිසා මත්ස්‍ය සම්පත බෝවන ස්ථාන සීමා සහිත වෙනවා. ඒ නිසා මෙරට ධීවර කළමනාකරණ ක්‍රම, ධීවර පන්න ක්‍රම සැකසී ඇත්තේ ශ්‍රී ලංකාවට ආවේණික ආකාරයට.
සාම්ප්‍රදායික මා දැල් කර්මාන්තය යාන්ත්‍රීකරණය වීමෙන් විවිධ අර්බුද පැන නැගී තිබෙනවා. සාම්ප්‍රදායික ක්‍රමයේදී වෙරළ කලාපයේ සිට මා දැලක් ඇදීමේදී සිදුවන්නේ මිනිස් ශ්‍රමයෙන් (මිනිසුන් 30ක් පමණ) වෙරළ කලාපයේ ස්ථාන දෙකක සිට මා දැල ගොඩට ගෙන ඒම. එහෙත් යන්ත්‍ර භාවිත කිරීම නිසා වෙරළ කලාපයේ වැලිවල සැකැස්ම සම්පූර්ණයෙන් වෙනස් වීමට ලක්වන බව ඒ පිළිබඳ සිදු කර ඇති නිරීක්ෂණ හා අධ්‍යයන අනුව පෙනී යන බව වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර අවධාරණය කරන්නක්. මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිල මහේෂ් රාජපක්ෂ සඳහන් කරන්නේ සාගර පරිසර පද්ධති සහ වෙරළාරක්ෂිත පරිසර පද්ධතිවල විද්‍යාත්මක පැවැත්ම මේ හේතුවෙන් තර්ජනයට ලක් ව ඇති බව. බොටම් ට්‍රෝලිං වැනි තහනම් පන්න ක්‍රමය වයඹ දිග වෙරළ කලාපයේ ක්‍රියාත්මක වන නිසා එයින් වෙරළාශ්‍රිත පරිසර පද්ධතියේ වඩාත් සක්‍රිය කලාපය විනාශ වී ඇති බව ඔහු එහිදී පෙන්වා දෙනවා.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති සමන්ත ගුණසේකර පවසන්නේ යාන්ත්‍රික මාදැල් කර්මාන්තය හේතුවෙන් සමුද්‍ර පරිසර පද්ධතියට ප්ලාස්ටික් ද්‍රව්‍ය ඇතුළු ව අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා අතිශයින් දූෂණය වී ඇති බව. අදහස් දක්වන ඔහු; “විශේෂයෙන් නයිලෝන් දැල්, කඹ හා ඒවායේ කොටස් විශාල වශයෙන් වෙරළේ දැක ගැනීමට පුළුවන්. ඇතැම් ප්‍රදේශවල මහා පරිමාණ යාන්ත්‍රික මා දැල් කර්මාන්තය සිදු කරන්නේ පිට පළාත්වලින් පැමිණි පිරිස්. මේ නිසා පාරම්පරික මා දැල් ධීවරයන් මේ ක්‍රියාවලියට විරුද්ධයි. ඇතැම් වෙරළ කලාපවල කිලෝමීටර් ගණනක් වෙරළට සමාන්තර ව ගැඹුරු කානු සෑදී තිබීම සමුද්‍රීය වෙරළේ පැවැත්මට විශාල හානියක්. විශේෂයෙන් නොගැඹුරු මුහුද කාබන් තිර කිරීමට, ආහාර දාමවලට, ආහාර චක්‍රවලට මූලස්ථානය වෙනවා”.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (සමුද්‍ර) රේඛා රාජසිංහ; “මා දැල් කර්මාන්තය සඳහා වින්ච් යන්ත්‍ර භාවිත කිරීම නිසා සමුද්‍රීය ජීවී විශේෂවලට, විශේෂයෙන් මුහුදු උරග විශේෂයක් වන කැස්බෑවන්ට ඔවුන්ගේ නිජබිම්වලට හා ජීවී ක්‍රියාකාරකම්වලට බාධා සිදුවෙනවා. පරිසර පද්ධතිවලටත් සිදු වන්නේ විනාශයක්. විශේෂයෙන් වෘක්ෂලතා ආඥා පනතින් ආරක්ෂිත විශේෂ ලෙස ප්‍රකාශයට පත්කර ඇති දෘඩ කොරල්, මෘදු කොරල් ඇතුළු මුහුදු තෘණ විනාශ වෙනවා. ට්‍රැක්ටර් හා වින්ච් භාවිතයෙන් මා දැල් අදින විට විශාල භූමි ප්‍රමාණයකට දැල එළන නිසා එම අවස්ථාවලදී දැල සකසා ගැනීමට බර ද්‍රව්‍ය භාවිත කරනවා. මෙවැනි ක්‍රියා සඳහා ධීවරයන් පෙලඹීමෙන් ධීවර ආම්පන්න ක්‍රමය සාම්ප්‍රදායික තත්ත්වයෙන් බැහැරට ගමන් කර තිබෙනවා”.
මේ නිසා විශේෂයෙන් ඒ ආශ්‍රිත නීති රාමුවට අදාළ ව මත්ස්‍ය සම්පත නිවැරදි ව කළමනාකරණයට හා ඒ ආශ්‍රිත පරිසර පද්ධතිය පිළිබඳ සැලකිලිමත් වීම මෙහිදී වඩා වැදගත්. මෙරට ධීවර කර්මාන්තය කළමනාකරණය සඳහා නීති රීති, රෙගුලාසි සහ නියෝග මාලාවක් ක්‍රියාත්මක කරන්නේ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව. නෛතික පසුබිම විමසීමේදී ධීවර කර්මාන්තය කළමනාකරණය සඳහා 1996 අංක 02 දරන ධීවර හා ජලජ සම්පත් පනතත් ඒ යටතේ රෙගුලාසි 100කට අධික සංඛ්‍යාවකුත් සකස් කර තිබෙනවා. ඊට අදාළ නියෝග මාලාවක් ද තිබෙන්නේ 1984 නොවැම්බර් 06 දින සිට ක්‍රියාත්මක. ධීවර සම්පත කළමනාකරණයට ඇතැම් ජාත්‍යන්තර නීති රීති ක්‍රියාත්මක කිරීමට ද ශ්‍රී ලංකාව බැඳී සිටිනවා.
1980 අංක 47 දරන ජාතික පරිසර පනත ස්ථාපිත කිරීමේදී එහි 4 වැනි පරිච්ඡේදයේ 17 හා 18 කාණ්ඩය යටතේ සාගර සම්පත්, වෙරළ ආශ්‍රිත සම්පත් ආරක්ෂා කිරීම වෙනුවෙන් ප්‍රතිපාදන තිබෙනවා. 1981 අංක 59 දරන සමුද්‍රීය දූෂණ වැළැක්වීමේ පනතේ 27 වැනි වගන්තියට අනුව සමුද්‍රීය පරිසරයට යම් ද්‍රව්‍යයක් බැහැර කිරීම, පරිසරය විනාශ කිරීම, සමුද්‍රීය පරිසර පද්ධතිය අවුල් කිරීම සහ ඒවාට හානි කිරීම දඬුවම් ලැබිය හැකි වරද ලෙස දක්වා තිබෙනවා. 1937 අංක 02 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ වන ජීවී රක්ෂිත 111කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒවායින් 28ක් වෙරළ කලාප සහ සමුද්‍රීය රක්ෂිත ප්‍රදේශ ලෙසයි හඳුනාගෙන තිබෙන්නේ.
මෙරට ධීවර කර්මාන්තය කළමනාකරණයට ප්‍රදේශ ගැසට් කර තිබෙනවා. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත පවසන්නේ 1ග5නපක වෙරළ සීමාවේ පමණක් දැල එළීම සඳහා ධීවරයන්ට අවසර ලබා දී තිබෙන බවත් ඉන් ඔබ්බට නොගැඹුරු මුහුද වෙන්කර තිබෙන්නේ සුළු පන්න ධීවරයන්ට රැකියාව සඳහා බවත්. ට්‍රැක්ටර් රථ සහ වින්ච් යන්ත්‍ර භාවිතයෙන් 1ග5නපට වඩා වෙරළ සීමාවක් මා දැල් වට කිරීමත් දෛනික ව 3-5 අතර වාර ගණනක් දැල් වට කිරීමත් උදේ සිට රාත්‍රිය තෙක් ඇතැම් දැල් වට කර තැබීමත් හේතුවෙන් පරිසර පද්ධතිය යථා තත්ත්වයට පත්වීමට අවශ්‍ය ඉඩකඩ අවම වන බව.
වර්තමානයේ ක්‍රියාත්මක තත්ත්වයේ ඇති සමස්ත මාදැල් සංඛ්‍යාව 827ක්. මේ අතරින් ට්‍රැක්ටර් රථ සහ වින්ච් ආධාරයෙන් ක්‍රියාත්මක වන මා දැල් ගණන 300කට වඩා අඩු බවයි අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත සඳහන් කළේ. අදහස් දක්වන ඔහු; “මා දැල් ඇදීම සඳහා වින්ච් යන්ත්‍ර භාවිත කිරීමට තනි තනි වශයෙන් කිසිදු මා දැල් හිමියෙකුට නීත්‍යනුකූල අවසරයක් ලබා දී නැහැ. එහෙත් එක්තරා අවස්ථාවක ධීවරයන් 183 දෙනෙකුගේ නාම ලේඛනයකට පර්යේෂණ මට්ටමේ මාදැල් සඳහා ට්‍රැක්ටර් රථ සහ වින්චි භාවිත කිරීමට අවසර ලබා දී තිබෙනවා. ඒ අවසරයයි දිගින් දිගට ම ක්‍රියාත්මක වන්නේ. වසර ගණනාවක සිට මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී දැනුවත් කර තිබෙනවා මෙවැනි යන්ත්‍ර භාවිත නොකරන ලෙස. මේ ගැටලු සැලකිල්ලට ගෙන 2025 ජුනි මස ධීවර අමාත්‍යාංශය විසින් මා දැල් හිමියන්ගේ සංගමය ඇතුළු පාර්ශ්වකරුවන් රැසකගෙන් යුතු සාකච්ඡාවක් කළා. ඒ අනුව 2026 ජනවාරි 01 දින සිට මා දැල් ඇදීම සඳහා වින්ච් යන්ත්‍ර භාවිත නොකරන ලෙස මා දැල් හිමියන්ට දැනුම් දුන්නා”.
ඇතැම් අවස්ථාවල විද්‍යාත්මක පදනමක් රහිත ව හදිසි තීරණවලට එළඹීම හේතුවෙන් මේ කර්මාන්තය යාන්ත්‍රීකරණය කරගෙන ඇත්තේ සුළු පිරිසක්. එහෙත් අවශ්‍ය වන්නේ සාම්ප්‍රදායික මාදැල් කර්මාන්තයෙන් රැකුණු ධීවර ප්‍රජාවට ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට අවශ්‍ය පසුබිම සැකසීම සහ පරිසරය ආරක්ෂා කිරීමට අදාළ නෛතික පසුබිම ක්‍රියාත්මක කිරීම බවයි ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධිත නියෝජිත ආයතනයේ සභාපති ආචාර්ය සනත් හෙට්ටිආරච්චි සඳහන් කරන්නේ. ඒ, සිදුකර ඇති අධ්‍යයන මත පදනම් ව ට්‍රැක්ටර් රථ සහ වින්ච් යන්ත්‍ර භාවිතය මා දැල් ධීවර කර්මාන්තය සඳහා සුදුසු බවට නිරීක්ෂණය නොවන පසුබිමක.
මේ අනුව වෙරළ කලාපය කළමනාකරණය සහ එහි සම්පත් ආරක්ෂා කරමින් වෙරළ කලාපයට ආසන්න ව ඇති සංචාරක ධීවර කර්මාන්තය ආශ්‍රිත කර්මාන්ත සඳහා අවශ්‍ය වටපිටාව සැකසීම රජයේ අරමුණක්. එම අරමුණ ඉටු වීමටනම් ස්වාභාවික සම්පත්වල අනාගතය සම්බන්ධයෙන් ගන්නා තීරණාත්මක තීන්දුවලදී කෙටිකාලීන විසඳුම් සහ ක්ෂණික ලාභ නොතකා ක්‍රියා කිරීමයි වැදගත් වන්නේ. දීර්ඝකාලීන සහ තිරසර පැවැත්මක් සහිත තීන්දු කෙරෙහි එහිදී අවධානය යොමු කිරීම ඵලදායී වෙනවා.






