ග්‍රීන්ලන්තයට දැල්වුණු රතු එළිය
එක් රටක් තවත් රටක් මිල දී ගන්නට යාම සාමාන්‍යයෙන් අසන්නට නොලැබෙන ආකාරයේ දුලබ සිදුවීමක්. එහෙත් ඉතිහාසයේ කිහිපවරක් ම ඇමරිකාව ආක්ටික් කලාපයේ පිහිටි රටක් වන ග්‍රීන්ලන්තය මිල දී ගන්නට සූදානම් වූණා. ග්‍රීන්ලන්තය මේ වන විට අයත් වන්නේ ඩෙන්මාර්කයට. එය ඩෙන්මාර්කයට අයත් අර්ධ ස්වයංපාලිත කලාපයක්.
ග්‍රීන්ලන්තය මිල දී ගැනීම පිළිබඳ අදහසක් මෑතකදී ම ඉදිරිපත් වුණේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළ 2019 වසරේ. එහෙත් ඩෙන්මාර්ක නායකයන්ගේත් ග්‍රීන්ලන්ත නායකයන්ගේත් දැඩි විරුද්ධත්වය නිසා එය යටපත් වුණා. ඩෙන්මාර්ක අගමැතිනි මේට ෆ්‍රෙඩෙරික්සන් එම අවස්ථාවේ පැවසුවේ ග්‍රීන්ලන්තය යනු කිසිසේත් අලෙවිය සඳහා ඇති භූමියක් නොවන බව.
ග්‍රීන්ලන්තය ඇමරිකාවට ඈඳා ගැනීමේ අදහස අත්හැරීමට ට්‍රම්ප් සුදානම් බවක් පෙනෙන්නේ නැහැ. මෙවර ඔහු ග්‍රීන්ලන්තය මිල දී ගැනීමක් පිළිබඳ අදහසක් ඉදිරිපත් කර නැතත් එරට ඇමරිකාවට ඈඳා ගැනීම සඳහා ගත හැකි වෙනත් ක්‍රියාමාර්ග ගැන කල්පනා කරමින් සිටින ආකාරයක් දැකගන්නට ලැබෙනවා.
මෙයට අදාළ විශේෂ සිදුවීමක් 2024 දෙසැම්බර් මාසයේත් සිදු වුණා. එනම් ට්‍රම්ප් ග්‍රීන්ලන්තය සඳහා විශේෂ නියෝජිතයකු පත් කිරීම. බොහෝ පාර්ශ්ව මෙය සලකන්නේ ග්‍රීන්ලන්තය ඇමරිකාවට ඈඳා ගැනීමේ සැලැස්ම හා බැඳුණු කැපී පෙනෙන සිදුවීමක් හැටියට.
ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් ට්‍රම්ප් මෙතරම් උනන්දුවක් දක්වන්නේ මන්ද යන්න තේරුම් ගැනීම වැදගත්.
ග්‍රීන්ලන්තය පිහිටා ඇති ආක්ටික් කලාපය පිළිබඳ ව මේ කාලයේ බොහෝ බලවතුන්ගේ අවධානය යොමුවෙමින් ඇති ආකාරයක් පෙනෙන්නට තිබෙනවා.
ගෝලීය උණුසුම ඉහළ යාම වැනි තත්ත්ව නිසා ධ්‍රැව ආසන්නයේ ඇති අයිස් තට්ටු දියවීම වේගවත් වී ඇති බව ප්‍රසිද්ධ කාරණයක්. එබැවින් මේ කලාපය ඔස්සේ අලුත් නැව් මාර්ග විවෘත වීමට පටන්ගෙන තිබෙනවා. මේ කලාපයේ සැඟවී ඇති ස්වාභාවික සම්පත් ද පෙරට වඩා පහසුවෙන් උකහා ගැනීමේ ඉඩකඩත් විවර වෙමින් තිබෙනවා.
ආක්ටික් කලාපය යනු ස්වාභාවික සම්පත් ඉතා බහුල ව පවතින්නේ යැයි විශ්වාස කෙරෙන කලාපයක්. ලෝකයේ තව ම මතු කර නොගත් ඛණිජ තෙල්වලින් සියයට 13ක් පමණ ද ස්වාභාවික ගෑස්වලින් සියයට 30ක් පමණ ද ආක්ටික් කලාපයේ සැඟවී ඇතැයි විශ්වාස කෙරෙනවා. රන්, තඹ, නිකල්, සින්ක් වැනි ලෝහ වර්ග ද විශාල වශයෙන් මේ කලාපයේ පවතින බවයි සඳහන් වන්නේ
මෙවැනි පසුබිමක චීනය, රුසියාව වැනි ඇමරිකාවේ තරගකාර පාර්ශ්වවල අවධානය ද ආක්ටික් කලාපය වෙත වැඩි වැඩියෙන් යොමුවෙමින් ඇති ආකාරය දැකගත හැකියි. මේ කලාපයේ සිය බලය වැඩි කර ගැනීමට ඔවුනුත් පියවර ගනිමින් සිටිනවා. සෝවියට් යුගයේ මේ ආසන්නයේ තිබූ ඇතැම් හමුදා කඳවුරු ආදිය නවීකරණය කර නැවත විවෘත කිරීමට පවා රුසියාව ක්‍රියා කරමින් සිටින බව සඳහන්. මේ නිසා බටහිර බලවතුන්ට අලුත් ආරක්ෂක තර්ජනයක් ද මතුවෙමින් තිබෙනවා. චීනය ද මේ කලාපයේ කරන ආයෝජන මෑතකාලයේ විශාල වශයෙන් ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ. මේ සියල්ලෙන් පෙනෙන්නේ ආක්ටික් කලාපය ආර්ථික, වෙළෙඳ, ආරක්ෂක ආදී බොහෝ පැතිවලින් පෙරට වඩා වැදගත් භූගෝලීය කලාපයක් බවට පත් වෙමින් ඇති බව. ආක්ටික් කලාපයේ පිහිටා ඇති ග්‍රීන්ලන්තය ඇමරිකාවේ කොටසක් බවට පත්කර ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වන්නේ මෙවැනි පසුබිමක. ග්‍රීන්ලන්තය ඈඳා ගතහොත් මේ කලාපයේ විශාල බලයක් අත්කර ගැනීමට ඇමරිකාවට හැකි වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැහැ.
දෙසැම්බර් 22 දින ග්‍රීන්ලන්තය වෙනුවෙන් විශේෂ නියෝජිතයෙකු ලෙස ලුයීසියානා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා වශයෙන් ද ක්‍රියා කරන ජෙෆ් ලැන්ඩි්‍ර පත් කිරීමට ට්‍රම්ප් පියවර ගන්නේ මෙවැනි තත්ත්වයක. ඇමරිකාවේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා ග්‍රීන්ලන්තය ඇමරිකාවට අවශ්‍ය වන බවත් ඒ නිසා එය ලබා ගත යුතු ව ඇති බවත් පවසන ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ ජෙෆ් ලැන්ඩි්‍ර මේ කාර්යයේදී පෙරමුණ ගෙන ක්‍රියා කරනු ඇති බව. ග්‍රීන්ලන්තය ඇමරිකාවේ කොටසක් බවට පත් කර ගැනීමේ කාර්යයේදී මෙවැනි තනතුරක ක්‍රියා කරන්නට ලැබීම ගෞරවයක් ලෙස සලකන බව ලැන්ඩි්‍ර ද සමාජ මාධ්‍ය පෝස්ටුවක සඳහන් කර තිබුණා.
ඇමරිකානු ජනාධිපතිවරයා ගත් මේ පියවර හේතු වුණේ ඇමරිකාව සහ ඩෙන්මාර්කය අතර අලුත් ආතතියක් ඇති කිරීමට. ඩෙන්මාර්කයේ සිටින ඇමරිකානු තානාපතිවරයා වන කෙන් හොවරි විදේශ අමාත්‍යාංශය වෙත කැඳවා මේ ගැන විමසීමටත් ඩෙන්මාර්කය පියවර ගත්තා. ග්‍රීන්ලන්ත අගමැති ජෙන්ස් ෆ්‍රෙඩෙරික් නීල්සන් ද ට්‍රම්ප් ගත් පියවරට අදාළ ව ප්‍රකාශයක් කර තිබුණා. ග්‍රීන්ලන්තයේ භෞමික අඛණ්ඩතාවට ගරු කළ යුතු බවත් එහි අනාගතය ගැන තීරණය කළ යුත්තේ එහි ජනතාව බවත් ඔහු කියා සිටියා.
වර්ග කි. මී. මිලියන 2ක පමණ භූමි ප්‍රමාණයකින් යුතු ග්‍රීන්ලන්තය සැලකෙන්නේ ලෝකයේ විශාලතම දූපත හැටියට. එහෙත් එහි වැඩි ප්‍රදේශයක් හිමෙන් වැසී ඇති අතර එම ප්‍රදේශ ජනශුන්‍ය තත්ත්වයකයි පවතින්නේ. ජනගහනය 57,000ක් පමණ සිටින ග්‍රීන්ලන්තයේ රට මැද ප්‍රදේශ හිමෙන් වැසී ඇති නිසා මේ අයගෙන් විශාල ප්‍රතිශතයක් වෙරළාසන්න ප්‍රදේශවල ජීවත් වනවා.
ග්‍රීන්ලන්තය ඇමරිකාවේ කොටසක් බවට පත් වෙනවාට ග්‍රීන්ලන්ත ජනතාවගෙන් බහුතරයක් ද කැමැත්තක් දක්වන්නේ නැහැ. 2024 ජනවාරි මාසයේ කරන ලද ජනමත සමීක්ෂණයකින් හෙළිදරව් වී තිබුණේ ග්‍රීන්ලන්ත වැසියන්ගෙන් සියයට 85ක් පමණ එරට ඇමරිකාවේ කොටසක් වෙනවාට අකැමැති බව. ඊට කැමැත්තක් දක්වා තිබුණේ සියයට 6ක් වැනි ඉතා සුළු පිරිසක්. සියයට 9කට ඒ ගැන නිශ්චිත අදහසක් නැහැ.






