පොස්පේට් පුනරුදය

- මාලා මල්කාන්ති පරණගමගේ
‘එප්පාවල පොස්පේට් නිධිය ප්රශස්ත ලෙස භාවිත කර ගනිමින් පෝෂ්‍යදායී පොස්පරස්වලින් මාතෘභූමිය සාරවත් පසකින් සාරවත් කිරීම’ යන දැක්ම ඔස්සේ ‘පරිසර හිතකාමී සහ නව ක්‍රමවේද ඔස්සේ පොස්පරස්වලින් ස්වයංපෝෂිත වෙමින් ජාතික පොස්පේට් අවශ්‍යතාව සැපිරීම’ මෙහෙවර කර ගත් වර්තමානයේ පූර්ණ රාජ්‍ය සමාගමක් ලෙස ක්‍රියාත්මක වන සීමාසහිත ලංකා පොස්පේට් සමාගම (Lanka Phosphate Limited) සිංගල් සුපර් පොස්පේට් නිෂ්පාදනයට සැලසුම් කර තිබෙනවා. ඒ, 2025 අගෝස්තු මාසයේ සිට. දැනට පොස්පේට් නිධිය මෙරට පොහොර නිෂ්පාදකයන්ට ලබා දෙන්නේ අමුද්‍රව්‍යයක් ලෙස. එහෙත් අගය එකතු කරමින් සිදු වන මේ නිෂ්පාදන ක්‍රියාවලියෙන් වාර්ෂික ව සුපර් පොස්පේට් ආනයනය සඳහා රජය වැය කරන ඩොලර් ඉතුරු කර ගත හැකි වීම ඉතා වාසිදායක තත්ත්වයක්.
පළමු වරට එප්පාවල පොස්පේට් නිධිය පිළිබඳ තොරතුරු සොයාගන්නා ලද්දේ 1971 වසරේදී භූ විද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. 1978 වසර වන විට රාජ්‍ය මිනිරන් සංස්ථාව සහ International Ғertilizer Development සමග නිෂ්පාදන පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. 1982 වසර වන තෙක් රාජ්‍ය පතල් කැණීම් සහ ඛනිජ සංවර්ධන සංස්ථාව ලෙස වැඩ පවත්වාගෙන යන ලද මෙය 1982 වසරේ ඇති කරගත් එකඟතාවක් අනුව කාර්ය ආරම්භ කර තිබෙන්නේ එප්පාවල පොස්පේට් ලිමිටඩ් ලෙස. එම ක්‍රියාවලිය 1984 වන විට අවසන් වී තිබෙනවා.

1982 අංක 17 දරන සමාගම් පනත යටතේ 1992 ජූලි මස 10 දින පූර්ණ රාජ්‍ය සමාගමක් ලෙස ලියාපදිංචි කරන ලංකා පොස්පේට්ස් සමාගම 1992 වසරේදී රජය විසින් කැණීම් සඳහා ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවන ලද අතර 1993 වසරේදී Freeport McMoran සමාගම එහිදී තෝරා ගැනෙනවා. මේ අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ‘සාර භූමි’ නමින් ලංකා පොස්පේට් ආයතනය සහ ජාත්‍යන්තර ආයතන සමග ඒකාබද්ධ ප්‍රවේශයක් ආරම්භ කරන ලද බවත් 2000 වසරේදී FR Case No 884/99 මගින් ලබා දුන් නියෝගය අනුව එම ක්‍රියාවලිය නතර වූ බවත් ආයතනගත තොරතුරුවල සඳහන්.
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සිදු කරන ලද නවතම සමීක්ෂණ අනුව මේ පොස්පේට් නිධිය ආසන්න වශයෙන් වර්ග කිලෝමීටර් 04ක භූමි ප්‍රදේශයක පැතිරී තිබෙනවා. මෙට්ට්‍රික් ටොන් මිලියන 30ක් පමණ වන මේ සංචිතයෙන් කැණීම් සිදු කර තිබෙන්නේ 3%-5%ත් අතර ප්‍රමාණයක්.
සේවකයන් 299ක් පමණ සිටින මෙහි වර්ෂයකදී එප්පාවල රොක් පොස්පේට් මෙටි්රක් ටොන් 50,000කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. ලංකා පොස්පේට් සමාගමේ වත්මන් සභාපති එන්. පී. එස්. ආනන්ද ප්‍රේමකුමාර සඳහන් කරන්නේ රාජ්‍ය භාගය ලෙස රුපියල් මිලියන 150කට වැඩි බදු, රුපියල් මිලියන 300ක පමණ සේවක වැටුප් ගෙවූ පසු 2024 වර්ෂයෙදී රුපියල් මිලියන 350කට වැඩි ශුද්ධ ලාභයක් ලබා ගැනීමට සමාගම සමත් වී ඇති බව.
සහකාර ක්ෂේත්‍ර නිලධාරි නවරත්න පවසන ආකාරයට ලංකා පොස්පේට් සමාගම කැණීම් කරන රොක් පොස්පේට්, උතුරු නිධිය සහ දකුණු විධිය ලෙස දෙයාකාර වනවා. මෙහි නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ අදහස් දක්වන ඔහු; “උතුරු නිධියේ වපසරිය හෙක්ටයාර 5.5ක්. මෙහි පාෂාණවල Phosphorus Pentoxide (P2O5) විවිධ අගයන් ගන්නවා. ඒ, 8%-18 දක්වා මෙන් ම 30%-32% අතර ප්‍රමාණ වශයෙන්. හෙක්ටයාර 09කින් පමණ සමන්විත දකුණු නිධියේ පාෂාණවල Phosphorus Pentoxide (P2O5) 28%-40% දක්වා ප්‍රමාණ තිබෙනවා. උතුරු සහ දකුණු නිධියේ පොස්පේට් ප්‍රතිශතය අනුව 28% සහිත එප්පාවෙල රොක් පොස්පේට් (ERP) සහ 38% සහිත අධි ශ්‍රේණියේ එප්පාවෙල රොක් පොස්පේට් (HERP) කාණ්ඩ දෙක යටතේ ප්‍රධාන පොහොර වර්ග දෙකක් නිෂ්පාදනය කරනවා. ඒ, 28% සහ 38% ලෙස සකස් කර ගන්නා පාෂාණ මිලිමීටර් 30ට පරිවර්තනය කර ඇඹරුම් අංශයේ මයික්‍රෝන 150කට අඹරා වෙන වෙන ම කිලෝග්‍රෑම් 50 බෑග්වලට ඇසිරීමෙන්. ආයතනය හඳුනාගත් ගැනුම්කරුවන් විසින් මේ පොහොර වර්ග දෙක මිශ්‍ර පොහොර බවට පත් කරනවා.”
ලංකා පොස්පේට් සමාගම වර්තමානයේදී මුහුණදෙන ගැටලු රාශියක් හඳුනාගෙන තිබෙනවා. රොක් පොස්පේට්වල ජලයේ ද්‍රාව්‍යතාව අඩු නිසා කෙටිකාලීන බෝගවලට භාවිත කළ නොහැකි වීම, සමීක්ෂණ වාර්තා පිළිබඳ පවතින ව්‍යාකූලතා, නිධිය සතු භූමිය සිතියම්ගත කර නොතිබීම සහ බාහිර පුද්ගලයන් විසින් එය අක්‍රමණය කිරීම මෙහිදී කැපී පෙනෙනවා. නිෂ්පාදන ක්‍රියාවලියේදී ශ්‍රම සූක්ෂ්මතාව අඩු නිසා අධික නිෂ්පාදන වියදමක් දැරීමට සිදු වීම ප්‍රධාන ගැටලුවක්. කැණීම් බලපත්‍ර, ප්‍රවාහන බලපත්‍ර සහ ඉඩම්වල අයිතිය පිළිබඳ ගැටලු ද පවතිනවා. සමාගමක් ලෙස ක්‍රියා කිරීමේදී ඉක්මන් තීරණ ගැනීමට රාජ්‍ය ආයතනවලින් ඇති වන බාධා සහ ප්‍රමාදවීම් මූලික ගැටලුවක් ලෙස ඔවුන් හඳුනාගෙන තිබෙනවා. යන්ත්‍ර සහ නවීන තාක්ෂණික මෙවලම්වල කාර්යක්ෂමතාව අඩු අතර නිෂ්පාදන ක්‍රියාවලියට නව තාක්ෂණය භාවිත කර නොගැනීමත් ගැටලුවක්.
ලංකා පොස්පේට්ස් සමාගම ආයතනික ඉලක්ක සපුරා ගැනීමට ඉදිරි සැලසුම් සකස් කර තිබෙනවා. එහිදී සේවක පුරප්පාඩු සම්පූර්ණ කර ගැනීම සහ සේවකයන්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, නව නිෂ්පාදන අවශ්‍යතාවට සරිලන ලෙස කර්මාන්ත පරිශ්‍රය සංවර්ධනය සහ පුළුල් කිරීම සමාගමේ ප්රමුඛ අවශ්‍යතාවක්. නිෂ්පාදනය විවිධාංගිකරණයෙන් නව නිෂ්පාදන පෙළක් හඳුන්වාදීමත් ඉදිරි සැලසුමක්. ඒ යටතේ SSP නිෂ්පාදනය, බහු වාර්ෂික භෝග සඳහා පොහොර මිශ්‍රණ සකස් කිරීම, සත්ත්ව ආහාර සඳහා භාවිත කළ හැකි ඩයිකැල්සියම් පොස්පේට් නිෂ්පාදනය, කාබනික කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය සිදු වනු ඇති. එකඟතාව අනුව අගය එකතු කරන ලද පොහොර අපනයනයත් මෙහි ඉදිරි සැලසුමක්.

එප්පාවල පොස්පේට් නිධිය සම්බන්ධයෙන් පර්යේෂණ ද සිදු කෙරෙනවා. විශේෂයෙන් විශ්වවිද්‍යාල මට්ටමෙන් ඒ සඳහා ලැබෙන සහය අගය කළ යුත්තක්. ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ජේ. ඩී. ටී. මධුශංඛ පවසන්නේ කර්මාන්තය ආශ්රිත ව තිබෙන නව විභවතා, ආර්ථික වටිනාකම් සහ භාවිත හඳුනා ගැනීම, සැපයුම් දාම හා මෙහෙයුම් කළමනාකරණය, නව නිෂ්පාදන කරා යාමට තිබෙන හැකියාව මෙන් ම වටිනාකම් එකතු කිරීමේ ක්‍රියාවලිය ඔස්සේ නව නිෂ්පාදන වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම පිළිබඳවත් පර්යේෂණ සිදු කරමින් සිටින බව. අදහස් දක්වන ඔහු; “ලංකා පොස්පේට්ස් සමාගම සමග එක් ව නිෂ්පාදන ක්‍රියාවලියට ලබා දිය හැකි ප්‍රතිදාන, හඳුනාගත හැකි නව වෙළෙඳපොළ අවස්ථා, මේ ඛණිජය භාවිත කළ හැකි විකල්ප ප්‍රයෝජන, කෘෂිකාර්මික ක්ෂේත්රයේ විවිධ අදියරවලට ඛණිජය භාවිත කළ හැකි තත්ත්ව මොනවාද?, මේ ඛණිජයට නිෂ්පාදන විවිධාංගීකරණය හැකියාවක් තිබේද?, වටිනාකම් දාමය තාක්ෂණයෙන් ශක්තිමත් කළ හැකිද?, තාක්ෂණ පීඨයේ සහයෝගය ඇති ව නව්‍ය තාක්ෂණය මේ ක්‍රියාවලියට එක් කරන්නේ කෙසේද යන්න පර්යේෂණවල විද්‍යාර්ථීන් නියැළෙනවා. එයින් අවස්ථා බොහෝ නිර්මාණය වනු ඇතැයි මා විශ්වාස කරනවා.”

සභාපති එන්. පී. එස්. ආනන්ද ප්‍රේමකුමාර පවසන්නේ රාජ්‍ය ව්‍යවසායක් ලෙස මේ ආයතනය ගැන තිබුණු නරක මතවාදය ඉවත් කර කාර්යක්ෂම රාජ්‍ය ව්‍යවසායක් බවට පත්කිරීම තමන් මුහුණ දුන් ප්‍රමුඛතම අභියෝගය බව. ඒ පිළිබඳ අදහස් දක්වන සභාපතිවරයා; “මේ ජාතික සම්පත කළමනාකරණය ජාතික වගකීමක්. පැවති දේශපාලන බලවේග හමුවේ එය ඉටු වී නැහැ. දැනුම, තාක්ෂණය, මූල්‍ය ශක්තිය සැපිරී නැති නිසා ආයතනය තිබෙන්නේ පසුගාමී මට්ටමක. ආයතනයේ ඉලක්ක කරා යන කාර්ය මණ්ඩලයක් සිටියේ නැහැ. ඒ නිසා එම අවශ්‍යතා සපුරා ගත යුතු වුණා. තීන්දු ගත හැකි අධ්යක්ෂ මණ්ඩලයක් පත්කිරීම මෙන් ම ආයතනයේ සහයෝගිතාව ඇති කරමින් ආකල්ප වෙනසක් ද ඇති කළෘ.
2024 වසරේ සාමාන්‍ය නිෂ්පාදන ඉලක්කය වුණේ මෙටි්රක් ටොන් 50,000කට අඩු ප්‍රමාණයක්. එය දෙගුණයකින් වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා.”
නිෂ්පාදන විවිධාංගීකරණයක් ඇති කිරීම ලංකා පොස්පේට්ස් සමාගමේ ප්රමුඛ ඉලක්කයක්. වර්ෂයකට ශ්‍රී ලංකාවට පොස්පරස් පොහොර ආනයනය සඳහා වැය වෙනවා ඩොලර් මිලියන 100ක පමණ මුදලක්. මේ මුදල ඉතුරු කළ හැකියි පොස්පේට් සඳහා අගය එකතු කර සිංගල් සුපර් පොස්පේට් නිෂ්පාදනය කළහොත්. සභාපති එන්. පී. එස්. ආනන්ද ප්‍රේමකුමාර; “සිංගල් සුපර් පොස්පේට් නිෂ්පාදනය සඳහා තාක්ෂණය, දැනුම, මූල්‍ය ශක්තිය අවශ්‍යයි. ඊට ව්‍යවසායකයකු අවශ්‍ය නිසා ආයෝජකයන් සොයා ගැනීමට අදාළ අභිලාෂ පත්‍ර නිකුත් කර තිබෙනවා. එය ප්‍රමාද වන නිසා ලන්කෙම් ආයතනය සමඟ එක් ව මෙටි්රක් ටොන් 50,000ක අමුද්‍රව්‍ය ලබා දී සිංගල් පොස්පේට් නිෂ්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. 2026 වසරේ ජනවාරි-පෙබරවාරි වන විට ගොවියන්ගේ එම පොහොර ඉල්ලුම සපුරාලීමට හැකියි. රජයේ අවසරය ඇති ව අපනයනය සඳහා යොමු වීමටත් අපෙක්ෂා කරනවා. තේ, පොල්, රබර් ඇතුළු බහු වාර්ෂික බෝග සඳහා අවශ්‍ය පොහොර නිෂ්පාදනය කර අගෝස්තු මාසය වන විට වෙළෙ`ඳපාළට නිකුත් කිරීමත් අපේක්ෂාවක්. කුකුළු ආහාර නිෂ්පාදනයට අවශ්‍ය කරන සත්ත්ව ආහාර සැපයුමක් වන ඩයිකැල්සියම් පොස්පේට් සංයෝගය නිෂ්පාදනය සඳහා පර්යේෂණයක් ආරම්භ කළා වයඹ විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක්. එය සාර්ථක වුණා. අගෝස්තු වන විට එයත් නිෂ්පාදනය කර වෙළෙපොළට නිකුත් කරනවා. ඒ අනුව ආනයනය කරන ඩයිකැල්සියම් පොස්පේට් මෙටි්රක් ටොන් 16000 වෙනුවට නිෂ්පාදනය කර ඩොලර් ඉපයීමට අපේක්ෂා කරනවා.”
මේ අනුව ලංකා පොස්පේට්ස් සමාගමේ නව කළමනාකාරිත්වයේ නව ප්‍රවේශය ශ්‍රී ලංකාවේ පොස්පේට් පුනරුදය නුදුරේ ම ඇති වන බවට මෙලෙස සාක්ෂි සපයන බවයි පෙනී යන්නේ.