සෑම අර්බුදයක් ම හොඳ අවස්ථා නිර්මාණය කරනවා

- චන්දන මාරසිංහ

මහාචාර්ය සුරංග සිල්වා
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය
කොළඹ විශ්වවිද්‍යාලය
2025 වසර උදාවත් සමග ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුවන ආර්ථික අභියෝග මොනවාද? ඒ ඔස්සේ රටේ ඉදිරි ආර්ථිකය කෙබඳු විය හැකි ද? කෙබඳු විය යුතු ද? මෙවර ඒ පිළිබඳ ආර්ථික විග්‍රහය සඳහා සංවාදයට එක් වන්නේ මහාචාර්ය සුරංග සිල්වා.
කාලයක සිට රටේ නිර්මාණය වී ඇති ආර්ථික අර්බුදයට බොහෝ හේතු බලපා තිබෙනවා. ඒ අතරින් විදේශ ණය ගැනීම් ඉහළ යාම කැපී පෙනෙන තත්ත්වයක්. 1977න් පසුව විදේශ ණය ගැනීම් වැඩි වුණා. ණය ගන්නා ක්‍රමයත් වෙනස් වුණා. පෙර ගත්තේ ව්‍යාපෘති සමග බැඳුණු ණය වුවත් පසුව අයවැය හිඟය පියවීම සහ විදේශ විනිමය හිඟය පියවීම සඳහා ණය ගැනීමට සිදු වුණා. රාජ්‍යවලින් හා ජාත්‍යන්තර ආයතනවලින් ගත්තත් එම ණය ප්‍රමාණවත් නොවන නිසා ශ්‍රී ලංකා මහ බැංකුවේ සුරැකුම්පත් හා භාණ්ඩාගාර බිල්පත් විකුණා වෙළෙඳපොළෙන් ණය ගැනීමට සිදුවුණා. එහිදී ගෙවීමට සිදු වුණේ වැඩි පොලියක්. එසේ ම ණය සඳහා ව්‍යාපෘතිවලට අනුමැතිය දුන්නා ඊට ටෙන්ඩර් කැඳවීමකින් තොර ව. වෙනත් තරගකාරී වැඩපිළිවෙළකින් ද තොර ව තමන්ට වාසි වන ව්‍යාපෘති සඳහා ණය ලබා ගැනීමයි එහිදී සිදු වුණේ. ඇතැම් ව්‍යාපෘතිවලින් මෙන් ම ව්‍යාපෘති සඳහා ගත් ණයවලිනුත් අල්ලස් ලබා ගත් බවට පසුගිය කාලයේ විවිධ ආරංචි ලැබුණා.
මෙවැනි තත්ත්වයක් හේතුවෙන් නිර්මාණය වුණේ ණය කන්දක්. මේ නිසා 2022 වසරේදී ණය ගෙවීමට නොහැකි බවට ප්‍රකාශ වුණා. එය ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත්වීමට හේතුවක්. ණය ගෙවීම නැවැත්වීම හේතුවෙන් ණය ලබා දුන් කණ්ඩායම් ද ප්‍රතිචාර දක්වන්නට වුණේ නැවත ණය ලබා නොදීමට තීරණය කිරීමෙන්. 2023 වසරේදී ණය වාරික හා පොලිය ඩොලර් බිලියන 04ක් ගෙවීමට තිබුණත් එය ගෙව්වේ නැහැ.
මෙවැනි අර්බුදයක් ඇතිවූ විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන ඉදිරිපත් වී සහය ලබා දෙනවා. ඒ සඳහා රජයට සල්ලි අච්චු ගැසීමට නොහැකි වීම වැනි කොන්දේසි ද ඉදිරිපත් කරනවා. මීට පෙර අයවැය හිඟයකදී භාණ්ඩාගර බිල්පත් ශ්‍රී ලංකා මහ බැංකුවට විකිණීමත් ඔවුන් එම බිල්පත් තම වත්කම් ලෙස තබාගෙන මුදල් අච්චු ගැසීමත් සිදු කළා. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ ක්‍රියාවලිය නතර කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාදීම සිදුවන්නේ කොන්දේසි අනුව. මීට වඩා නරක තත්ත්වයට රට පත්විය හැකි නිසයි එවැනි කොන්දේසි ඉදිරිපත් කරන්නේ.
තව ම ණය ගෙවීම ආරම්භ කර නැති නිසා අප සතු විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5 ඉක්මවා තිබෙනවා. ණය ගෙවනවානම් 2025 වසරේදී ගෙවීමට සිදුවන්නේ ඩොලර් බිලියන 4.3ක්. එහෙත් පසුගිය කාලයේ සිට බැලුවහොත් ගෙවුණු වසර දෙකටත් ගෙවීමට සිදුවනවා. ඒ නිසා අපට සිදුවුණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමට. මතක තබා ගත යුතු වන්නේ අපට ගෙවීමට ඇති ණය මුදල ඩොලර් බිලියන 8.6ක් පමණ වන අතර ලැබී ඇත්තේ ඩොලර් බිලියන 3ක් පමණ බව.
අප ණය ලබාගෙන තිබෙන්නේ පෞද්ගලික අංශයෙන්, විවෘත වෙළෙඳපොළෙන්. ඊට අදාළ කණ්ඩායම් සමග සාකච්ඡා කර ඒ සඳහා සහනයක් ලබා නොගතහොත් එම ණය ගෙවීමත් ගැටලුවක් වනවා. සාමාන්‍යයෙන් රටේ ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙස ගෙවන්නට ඇති ණය ප්‍රමාණය බොහෝ රටවල ඇත්තේ 60%-70%ක් වැනි ප්‍රමාණයක්. එහෙත් අපේ රටේ එය 125% ඉක්මවා තිබෙනවා. ශ්‍රී ලංකාව උපයන ආදායමට වඩා ණය ගෙන ඇති රටක්. රටේ සමස්ත ආර්ථික පරිපාලනය නිවැරදි ලෙස ඉටු කළ යුතුයි. ජාතික ආදායමෙන් 38%ක් පමණ අප ගත් ණය වාරික ගෙවන්න තිබෙනවා. මේ ප්‍රමාණය 22% දක්වා අඩුකර ගැනීම මූලික ඉලක්කයක්. එය 2026 වසර වන විට ඇති සැලසුමක්.
ශ්‍රී ලංකාව මේ වන විට විදේශ ණය ඩොලර් බිලියන 55ක් පමණ ගෙන තිබෙනවා. එය මුළු ජාතික අදායමෙන් 128%ක්. ඉන්දියාව ඩොලර් බිලියන 620ක් ණය ලබාගෙන ඇත්තේ මුළු ජාතික ආදායමෙන් 20%ක් ලෙස. පාකිස්තානය ජාතික ආදායමෙන් 85%ක් ලෙස ඩොලර් බිලියන 126ක ණය ලබාගෙන තිබෙනවා. බංග්ලාදේශය ණය ලබාගෙන තිබෙන්නේ ජාතික ආදායමෙන් 40%ක ප්‍රමාණයකින්. චීනය ලබාගෙන ඇත්තේ ඩොලර් බිලියන 2545ක ණය ප්‍රමාණයක්. එය ජාතික ආදායමෙන් 16%ක්. ශ්‍රී ලංකාව තරම් අනෙකුත් රටවල් ජාතික ආදායමෙන් ඉහළ මට්ටමක ණය ගෙන නැහැ. ඒ අනුව මේ යථාර්ථයට අප මුහුණ දිය යුතු වනවා.
පසුගිය රජය විසින් කෘෂිකර්මාන්තය සඳහා කාබනික වැඩසටහන් ඉදිරිපත් කළේ අනවශ්‍ය මොහොතක. නිෂ්පාදනය වැඩි විය යුතු අවධියක එයින් සිදු වුණේ නිෂ්පාදනය අඩුවීම. රටේ අපනයන ආදායම 2023 වසරේදී ඩොලර් බිලියන 15ක්. එහෙත් අප ආනයනය කරනවා ඩොලර් බිලියන 20ක පමණ ප්‍රමාණයක්. එවිට බිලියන 05ක පමණ පරතරයක් තිබෙනවා. එම බිලියන 05ත් සමග මීට පෙර බිලියන 08 එකතු වූ විට බිලියන 13ක පරතරයක් නිර්මාණය වනවා. අපේ භාණ්ඩ වැඩිපුර ම ගන්නේ ඇමරිකාව. එම ප්‍රමාණය 23%ක්. එංගලන්තය 07%ක්, ඉතාලිය 07%ක්, ජර්මනිය 05%ක් පමණ අපේ අපනයන ලබා ගන්නවා. ඒ අනුව ඇමරිකාවේ තීරණය අපේ රටේ අපනයන සඳහා අතිශයින් වැදගත්.
අප වැඩිපුර ම ආනයනය කරන්නේ චීනයෙන්. එම ප්‍රමාණය 20%ක්. එක්සත් අරාබි රාජ්‍යයෙන් 06%ක් පමණ ආනයනය කරනවා. අප ආර්ථික වර්ධන වේගය අතින් ඉදිරියෙන් සිටින්නේ පාකිස්තානය වැනි රටකට පමණයි. කලාපයේ අනෙක් රටවල් ආර්ථික වර්ධන වේගය අතින් සිටින්නේ අපට වඩා ඉදිරියෙන්.
මේ තත්ත්වයට රට පත් වන්නේ අතීතයේ සිට ම. මෙය මගහැරවීම සඳහා පවතින තීරණාත්මක සාධකය වන්නේ රටේ ජනතාවට විශ්වාස කළ හැකි නායකයකු පත්වීම. විශාල ජනවරමක් හිමිවුණේ ඒ විශ්වාසය නිසා. මෙවැනි පසුබිමක ආයෝජකයන් දිරිමත් කරන, සමස්ත ආර්ථිකය ගැන විශ්වාසය ඇති වන ක්‍රමවේදයක් ද නිර්මාණය කළ යුතුයි. මේ වන විට කොටස් වෙළෙඳපොළ ද විශාල වශයෙන් ඉහළ යමින් පවතිනවා. ඉන් පැහැදිලි වන්නේ රජය ගැන විශ්වාසයක් ඇතිවීම නිසා ආයෝජකයන් පැමිණෙන බව. අල්ලස් නොගන්නා රාජ්‍යයක් බවට විශ්වාසයක් ඇති වන්නේනම් ආයෝජකයන් දිරිමත් වනවා. අඩු කාලයකින් ව්‍යාපාරයක් ඇරඹීමේ හැකියාව පවතින චීනය, සිංගප්පූරුව වැනි රටවල මෙන් පරිසරයක් ශ්‍රී ලංකාවෙත් ඇති විය යුතුයි.
රටේ පවතින මේ අසීරු තත්ත්වයෙන් මිදීමටනම් ගත යුත්තේ ක්‍රියාමාර්ග ගණනාවක්. ජනතා අපේක්ෂා මුදුන්පත් කිරීමට හැකියාව ඇති බවට විශ්වාස කරන රජයක් තිබීම මූලික කරුණක්. එම ජනතා මතය ඉටු වී අවසන්. රජය යටතේ අල්ලස, දූෂණය, අකාර්යක්ෂමතාව පාලනය කිරීම සහ ව්‍යාපාරිකයන්ට රටට පැමිණ ආයෝජන කිරීම සඳහා පහසුකම් සැලසීම ඉතා වැදගත්. අලුතෙන් ව්‍යාපාර ගෙන්වා ගැනීම මෙන් ම රටේ ව්‍යාපාරිකයන් බිහිකිරීමත් වැදගත්. ජනතාවගේ සහයත් රජයට අවශ්‍යයි.
අප ඩොලර් බිලියන 13කට වැඩි ප්‍රමාණයක් විදේශ විනිමය උපයාගත යුතුයි ආර්ථිකය යහපත් ලෙස පවත්වාගෙන යාමට. මෙය කළ හැකි ක්‍රමයක් වන්නේ රටේ ම සාර්ව ආර්ථික ඒකාබද්ධතාවක් ඇතිවන අයුරින් ව්‍යාපාර වර්ධනය වන ලෙස ආයෝජන ප්‍රවර්ධනය කිරීම. එසේ ම නව ව්‍යාපාර බිහිකිරීමට පහසුකම් සැලසීම, රජයේ මැදිහත්වීම හෙවත් සම්බන්ධීකරණය නිසි ලෙස තිබීම, විදේශ විනිමය ඉපයීම සඳහා අපනයන ප්‍රවර්ධනය ඉතා වැදගත්. එකතු කළ ආදායම වැඩි කර ගැනීමටත් මූලිකත්වය දීම අවශ්‍යතාවක්.
සංචාරක කර්මාන්තය ගැන අවධානය යොමු කිරීමේදී විශේෂයෙන් විදේශීය සංචාරකයන් පැමිණ සංචාරක කටයුතුවලට අදාළ ව්‍යාපාර කිරීමෙන් සිදුවන ආදායම් කාන්දුවීම පිළිබඳවත් අවධානය යොමු කළ යුතු වනවා. ශ්‍රී ලංකාවේ ලක්ෂ 4 1/4ක් පමණ වන තරුණ ජනගහනයෙන් අවම වශයෙන් ලක්ෂයක් හෝ පුහුණු ශ්‍රමිකයන් ලෙස විදෙස් ගත කළ හැකිනම් ඉන් විශාල විදේශ විනිමයක් උපයා ගන්නට පුළුවන්. සෑම අර්බුදයක් ම නිර්මාණය කරන්නේ හොඳ අවස්ථා. රටට යහපත් අවස්ථාවක් ලැබී තිබෙනවා ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට.