#සිනමා

කොඩි ගහ යට

  • තුසිත ජයසුන්දර

ජගත් මනුවර්ණ නිර්මාණය කළ ස්වාධීන රූපවාහිනි සේවය ඔස්සේ විකාශය වූ ‘කොඩි ගහ යට’ ටෙලි නාටකය නිසැක වශයෙන් ම විවාදාත්මක වූවක්. හේතු කිහිපයකින් ම මෙකරුණ නිශ්චය කර ගන්නට පුළුවන්.

පළමුකොට ම උපයුක්ත තේමාව සතු තැති ගන්නා සුළු බව හා සිත් ඇද ගන්නා සුළු බව. දෙවැනි ව දුලබ ලකුණු සහිත සුලබ චරිත ප්‍රතිනිර්මාණය කෙරෙහි උනන්දු වීම. තෙවැනි ව රූප රචනයේ අපූර්වත්වය. සිව්වැනි ව නිර්භය හා විකල්ප සිදුවීම් අවධාරණයට දැක්වූ මනාපය. පස්වැනි ව ටෙලිනාටක අනන්‍යතාව සම්බන්ධයෙන් සැලකිලිමත් වීම. සයවැනි ව නව රසික කණ්ඩායම් ආසක්ත කර ගැනීමට උත්සුක වීම.

ටෙලිනාටක රසිකාගාරය වඩාත් ම ඇලු‍ම් කරන මොහොතක විකාශය වීමේ අවස්ථාව ලැබීම ද මෙතැනදී අත්හල නොහැකි තවත් හේතුවක් වනවා. බොහෝ විට පවුලේ සැමට ‘විනීත’ ආස්වාදයක් සපයන ටෙලි නාටක විකාශය වන මොහොතක එබඳු ආකාරයක් ම නොපෙන්වන ‘කොඩි ගහ යට’ වැනි ටෙලි නාටකයක් විකාශය වීම ඇතැම් පාර්ශ්වයන්ගේ නොකැමැත්තට ලක්වන කාරණයක්. එනමුදු බලධාරීන් මෙතැනදී පිහිටි පිළිවෙත අතිශයින් ම සාධනීය බව පැහැදිලි වන්නක්. ඔවුන් මේ මොහොත නොව මීළඟ මොහොත අරභයායි වැඩිපුර ම සැලකිලිමත් වූයේ. එනම් ලාංකේය ටෙලි නාටකයේ අභිවර්ධනය උදෙසා පෙනී සිටින විදග්ධ රසික ප්‍රජාවගේ සංඛ්‍යාත්මක වර්ධනයක් අපේක්ෂා කිරීම.

‘කොඩි ගහ යට’හි සමස්තය ඒකාකාර රිද්මයකින් සමන්විත කිරීමට ජගත් පියවර ගන්නේ නැහැ. මෙය ‘කොඩි ගහ යට’ වෙත සුවිශේෂත්වයක් ගෙන එන බවයි දත හැක්කේ. කිසිදු පූර්ව හඳුන්වා දීමකින් තොර ව මෙය සනිටුහන් කිරීමෙන් යම් නොපෑහීමක් ජනිත නොවනු පිණිස ජගත් කල්පනාකාරී වනවා. කෙමෙන් ගලා යන පුවතක් නිස්කලංක ව නිරූපණය ජගත්ගේ වුවමනාව සේ හඳුන්වා දෙන්නට බැහැ. ඛණ්ඩනය වීම් බහුල පුවතක් ඔහු විසින් සකසා ගනු ලබන්නේ අතීතාවර්ජන හෝ උපකල්පන නොපැමිණෙන පරිදි. මේ අනුව ‘කොඩි ගහ යට’ ටෙලි නාටකය එක ම තලයක දිවෙන වග දැක ගන්නට පුළුවන්. එසේ ම නිසි එල්ලයකින් තොර ව සිදුවීම් විකාශයට ජගත්ට මහත් කැමැත්තක් ඇති බව ද පෙනී යනවා. එක ම චරිතයක් හෝ චරිත කිහිපයක් සමග දිගින් දිගට ම ගමන් කිරීමට ඔහුට උනන්දුවක් නොමැති බවත් ‘කොඩි ගහ යට’ පවසන්නේ විද්වත් රසිකයාට වුව තාර්කික ව මැදහත්වීමේ අවකාශයක් පාදා නොදෙමින්. විද්වත් රසිකයා විනිසුරුවකු බවට පත් කරලීම ද ජගත්ගේ අභිලාසයක් බවයි විටෙක හැඟෙන්නේ.

‘කොඩි ගහ යට’හි නිමා කෙරෙන සමයේ චරිත දෙක තුනක් මඳක් ඉහළට ඔසවනු පිණිස ජගත් දරන ප්‍රයත්නය රසික බහුතරයකට වටහා ගන්නට පුළුවන්. මෙය යම් උපක්‍රමයක් ලෙසිනුයි සඳහන් කළ යුතු වන්නේ. ටෙලි නාටකය නිමා කරලීම උචිතම අවස්ථාවේදී සිදු කිරීමට නම් මෙවැනි තීරණයක් ගත යුතු ම වනවා. ඊට පෙරාතුව නිරූපිත සුළු චරිත ප්‍රමුඛ චරිත බවට පත් කරලීමේ විලාසය ටෙලි නාටකයේ අනන්‍යතාව සලකුණු කෙරෙන අවස්ථාවක් සේ තේරුම් ගන්නටයි රසිකයාට සිදුවන්නේ.

වත්මන් ලාංකේය සමාජයේ අඳුරු අහුමුලු‍ කරා ආලෝක කදම්බයක් එල්ල කිරීම ‘කොඩි ගහ යට’ හිදී පෙරට එන ජගත්ගේ වුවමනාව සේ නිර්වචනය කරන්නට පුළුවන්. මේ අඳුරට හේතු වූ දෑ වරින් වර පැවසීමට ඔහු සූදානම්. එහෙත් විසඳුම් හෝ අන්‍ය අවස්ථා හඳුන්වා දීමට ඔහු පියවර ගන්නේ නැහැ. මෙය විද්වත් රසිකයා විසින් විනිශ්චය කළ යුතු බවයි ඔහුගේ අදහස සේ ගම්‍ය වන්නේ. සෙසු රසික පාර්ශ්ව දැනුවත් කිරීම අවශ්‍ය බව ද ඒ ඔස්සේ විද්‍යමාන කෙරෙනවා. මේ අනුව ‘කොඩි ගහ යට’ යනු ටෙලි නාටකය හා සමාජය අතර ගමන් කරන නිර්මාණයක් සේ අවධානයට ලක් කරන්නට පුළුවන්.
අග නගරයට වඩා සමීපවීමක් සමස්ත ටෙලි නාටකය වෙතින් දැක ගත හැකි ලකුණක්. පිටිසර ගම වරෙක නිරූපණය කෙරෙන්නේ අග නගරයට යටත් ව. අග නගරයේ ප්‍රමුඛත්වයට හානියක් හෝ අභියෝගයක් නොවන පරිදි. පිටිසර ගම පිළිබඳ තවමත් රජයන පටු කියවීම පරයා යන්නට ද ජගත් මෙතැනදී සමත් වනවා. මේ රුදුරු හා බිහිසුණු ගමක්. ප්‍රචණ්ඩත්වය පිරුණු ඉසව්වක්. ඊට ප්‍රතිපක්ෂ ව අග නගරය පිළිබිඹු කිරීමේදී ද ජගත් පිහිටන්නේ එය රුදුරු, බිහිසුණු හා ප්‍රචණ්ඩත්වය පිරුණු ඉසව්වක් ලෙස. එහෙත් විසඳුම් ඇත්තේ අග නගරයේ ම බව ඔහු ඉඟි කරන්නේ ගම හා නගරය පිළිබඳ විවෘත කියවීමකට අවකාශ සලසා දෙමින්. පිටිසර ගමක සිට නගරයේ රැකියා සොයා එන තරුණයකු හා ඔහුගේ සොහොයුරිය සමග සනිටුහන් කරන මෙකරුණ ටෙලි නාටකයේ හරය තහවුරු කරනවා.

අග නගරයේ තතු සේ නිරූපණය කෙරෙන පාතාල සමාජයේ ඇතැම් චර්යා රසික බහුතරයකට ආගන්තුකය යන්න නොරහසක්. මෙහි එන මිනිස් සබඳතා දෙස ජගත් නෙත් යොමන්නේ දයාබර ව. කෙමෙන් ප්‍රමුඛ චරිතය බවට පත් වන මහේෂ් නැමැති පාතාල තරුණ පුරුෂයා සිය රූබර බිරිඳ සමීපතමයකුගේ පෙම්වතිය වනු දැක ඉවසා සිටින්නේ විශ්වාසනීයත්වයට කිසිදු පළුදු කිරීමක් නොකරමින්. අවිහිංසකයන් අනතුරේ වැටෙන පාතාල මෙහෙයුම් වෙත එක්වීමට ද ඔහු අදිමදි කරන්නෙක්. සෙසු චරිත වෙතින් ද මේ කළු සුදු මුසු ලකුණු හසු කර ගැනීමේ හැකියාව පවතිනවා. අත්වැරදීමකින් තමා අතින් මිය යන මිතුරාගේ බිරිඳට රැකවරණය සලසන තරුණයා එවැන්නෙක්. මහේෂ්ගේ සමිපතමයාගේ දිවි සැරිය ජගත්ට විෂය වන්නේ ද මේ ආකාරයෙන් ම. මොහුගේ මව, සොහොයුරිය තවත් අතුරු පුවත් ප්‍රමුඛ පුවත කරා රැගෙන එන්නේ රසික සහභාගිත්වය තීව්‍ර කරමින්.

බන්ධනාගාර දිවිය ප්‍රතිනිර්මාණයට සැලකිය යුතු ඉඩක් වෙන් කර දීමට ජගත් සූදානම්. බැලූ බැල්මට නම් මේ වත්මන් බන්ධනාගාර දිවිය නොවන්නට ද පුළුවන්. රැඳවූවන් බන්ධනාගාර වපසරියේ අපමණ නිදහසක් භුක්ති විඳින අයුරු ජගත් නොපැකිළ ව නිරූපණය කරනවා. ඔහු ‘කොඩි ගහ යට’ සම්මත තාත්වික තලයෙන් බැහැර කරලන්නට වෑයම් කරන බවයි මෙහිදී රසිකයාට වැටහෙන්නේ.

පාතාල නයුවන්ගේ චරිත ගෙන එමේදී ද ජගත් උක්ත පිළිවෙතේ ම පිහිටා සිටින බව දක්නට පුළුවන්. නාගරික සමරිසි දිවිය, රාත්‍රී සාද. සම්බාහන සේවා, සුරාව හා වෙනත් මත් වන දෑ, අවි ආයුධ මෙන් ම විලාසිතා ද ටෙලි නාටකයේ දෘෂ්‍යමානය ආකර්ෂණීය කරනවා. නාගරික අඩු අහසුකම් සහිත ජන දිවිය නිරූපණයේදීත් අදාළ හා සුදුසු ආකර්ෂණීය බවක් සාක්ෂාත් කර ගන්නට ඔහු පසුබට වන්නේ නැහැ.

දේශපාලනික හා ආරක්ෂක අංශ පිළිබඳවත් නීතියේ ආධිපත්‍යය පිළිබඳවත් තරමක කර්කශ විවරණයක් කරා ‘කොඩි ගහ යට’ ගමන් කරන්නේ විදග්ධ රසික ප්‍රතිචාර ම ඉලක්ක කර ගනිමින්. පශ්චාත් යුද සමයේ උතුරුකරයේ හැඩරුව හසු කර ගන්නට ද මේ අතරවාරයේ ම ජගත් වෙහෙස වනවා.

සමීප රූප භාවිතයට ලබාදෙන ප්‍රමුඛත්වය ‘කොඩි ගහ යට’හි දක්නට ලැබෙන ටෙලි නාටක අනන්‍යතාව තහවුරු කරන්නක්. ඇතැම් රසිකයකු මෙය සිනමාවට නෑකම් කියන්නක් සේ පවසන්නට ද ඉඩ තිබෙනවා. එහෙත් විවිධ සිදුවීම් හා චරිත හඳුන්වා දීම හා ඒවා නිරූපණය කරන විලාසය මෙහි සිනමානුරූපී බව යටපත් කරන බවයි පෙනී යන්නේ. සිනමාව හා ටෙලි නාටකය අතරැ’ති වෙනස සම්බන්ධයෙන් ජගත්ට වැටහීමක් තිබෙන බව ද මෙතැනදී පැහැදිලි වනවා.

රූපණ කාර්යයට එක්වන හැම කෙනකු ම ප්‍රමාණවත් සාධාරණයක් ටෙලි නාටකයට හිමි කරදෙන බව විශේෂයෙන් කිව යුත්තක්. කිසිවකුත් ටෙලි නාටකයේ සමස්තය වෙතින් සෙස්සන් පරයා කැපී පෙනෙන්නේ නැහැ. ඊට එක් හේතුවක් වන්නේ සෑම කෙනකු ම කවර අවස්ථාවකදී හෝ ප්‍රධාන චරිතයක් බවට පත් වීම.

කොඩි ගහ යට

හයිකු