ප්‍රංශයේ වීදිගත සිහින
තරුණ පරපුරේ මූලිකත්වයෙන් රටවල පාලකයන්ට එරෙහි ව දියත් වන උණුසුම් අරගල, විරෝධතා ආදිය මේ කාලයේ සුලබ සිදුවීම්. ශ්‍රී ලංකාව, නේපාලය, බංගලි දේශය වැනි රටවල පසුගිය කාලයේ ඇති වූ මෙවැනි දැවැන්ත විරෝධතා විශේෂයෙන් කැපී පෙනුණා.
යුරෝපයේ රටවල් කිහිපයකිනුත් මෙවැනි උණුසුම් විරෝධතා රැල්ලක් ගැන වාර්තා වෙමින් තිබුණා. ඒ, ප්‍රධාන වශයෙන් ම ප්‍රංශය, ග්‍රීසිය, ඇල්බේනියාව, බෙල්ජියම වැනි රටවලින්. මේ විරෝධතා ඉතා ප්රචණ්ඩ ස්වරූපයක් ද ගෙන තිබූ අතර ගොඩනැගිලි, වාහන ආදිය ගිනිබත් කර ඇති ආකාරයත් වෙළෙඳසැල් කොල්ලකන ආකාරයත් විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ගැටුම් ඇතිවන ආකාරයත් දැකගන්නට ලැබුණා.
සති කිහිපයකට පෙර ප්‍රංශයෙන් මේ විරෝධතා ආරම්භ වූයේ තරුණ වියේ දරු දැරියන්ට බෙහෙවින් බලපාන අධ්‍යාපන ක්ෂේත්රයේ ගැටලු මුල්කරගෙන. ප්‍රංශයේ පැරිස් නුවර ආසන්නයේ ක්රෙටේයි නැමැති ප්‍රදේශයේ පිහිටා තිබෙන Lycée Antoine-de-Saint-Exupéry නැමැති පාසැලෙනුයි මේ විරෝධතා රැල්ල ආරම්භ වුණේ. එහිදී සිසු දරු දැරියන් විරෝධතා දැක්වූයේ පාසැලේ ගුරු හිඟය, පහසුකම්වල අඩුපාඩු, පන්ති කාමරවල සිසුන් වැඩි වීම නිසා ඇති ව තිබෙන දැඩි තදබදය ආදී කාරණා සම්බන්ධයෙන්. සිසුන් ඇරඹූ විරෝධතාවට එම පාසැලේ ගුරුවරුන් සහ දෙමව්පියන් පවා පසුව එකතු වී තිබුණා.
පාසැලට ඇතුළු වන දොරටු අවහිර කරමින්, පන්ති වර්ජනය කරමින්, විවිධාකාරයේ උද්ඝෝෂණ පවත්වමින් මේ පිරිස් විරෝධතා දක්වන ආකාරය මාධ්‍ය වාර්තා කළා. මුලදී මේ විරෝධතා පැවැත්වුණේ බොහෝ සාමකාමී ආකාරයෙන්.
මාධ්‍ය ඔස්සේ විරෝධතා ගැන තොරතුරු සංසරණය වෙද්දී ප්‍රංශයේ වෙනත් ප්‍රදේශවල පාසැල් ද විරෝධතා ව්‍යාපාරය හා එක්වීමට පටන් ගත්තා. කෙතරම් ශීඝ්‍රයෙන් එය පැතිරුණා ද කියතොත් අවසානයේ එය රට පුරා විහිදුණු විරෝධතාවක් බවට පරිවර්තනය වුණා. විශ්වවිද්‍යාල සිසුන්, වෘත්තීය සමිති පවා ඊට එක්වීමට පටන් ගත්තා. ලක්ෂ ගණනින් පිරිස් ඒවාට සහභාගි වනු දැකිය හැකි වුණා.
පාසල්වල ගුරු හිඟය කෙතරම් දරුණු ද යත් ඇතැම් විෂයයන් සඳහා මාස ගණන් ගුරුවරුන් නැතිව සිසුන් අධ්‍යාපනය සම්බන්ධ විශාල ගැටලුවලට මුහුණදෙමින් සිටින බව සඳහන්. ගුරු ඇබෑර්තු ඉක්මනින් පිරවීමට රජය අසමත් වීම සම්බන්ධයෙන් ද නිරන්තරයෙන් චෝදනා එල්ල වෙනවා. ගුරුවරුන්ට අමතර ව පාසල්වල වෙනත් සේවකයන්ගේ හිඟයක් පවා ඇති බව සඳහන්. පන්ති කාමරවල සිටිය යුතු සංඛ්‍යාවට වඩා සිසු සිසුවියන් සිටීම නිසා දරුවන් දැඩි අපහසුතාවට මුහුණදෙමින් සිටින බව ද වාර්තා වන අතර මෙය ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට කර තිබෙන්නේ සෘණාත්මක බලපෑමක්.
පාසැල්වල වැසිකිළි ආදියෙහි තත්ත්වය ඉතා අයහපත් වීම; ගොඩනැගිලි තුළ මීයන්, කැරපොත්තන් වැනි සතුන් ගැවසීම; බිත්ති සහ වහල ආදිය අබලන් ව තිබීම වැනි කාරණා ද විරෝධතාකරුවන් පෙන්වා දෙනවා. පන්ති කාමරවල වායුසමීකරණ යන්ත්‍ර ආදියෙහි පවතින ගැටලු නිසා ග්‍රීෂ්ම සෘතුවේ දැඩි උණුසුම සිසුන් පත් කළේ ඉමහත් පීඩාවට. ඇතැම් කාලවල උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 40 තරම් ඉහළ අගයක් ගන්නා අතර එවිට සිසුන් පත්වන පීඩාකාරී තත්ත්වය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. ශීත කාලයේ ද ඔවුන් ඊට සමාන අපහසුතාවලට මුහුණදෙන බව සඳහන්.
ප්‍රංශය වැනි දියුණු ආර්ථිකයක් ඇති රටකත් මෙවැනි ගැටලු පවතින්නේ මන්ද යන්න විමතිය දනවන කාරණයක්. ගුරු හිඟයට ප්‍රධාන වශයෙන් ම හේතු වී ඇත්තේ ගුරුවරුන්ට ගෙවන වැටුප් අඩු වීම බවයි හෙළි වන්නේ. ප්‍රංශයේ ගුරු වැටුප් යුරෝපයේ අනෙක් ප්‍රධාන රටවල වැටුප්වලට වඩා බෙහෙවින් අඩු බව සඳහන්. ඒ නිසා උපාධිධාරින් වැනි අය වෙනත් රැකියාවලට වැඩි ප්රමුඛත්වයක් දෙන බවයි වාර්තා වන්නේ.
රජයේ වියදම් අඩු කිරීම සඳහා ප්‍රංශ රජය මෙවරත් අය වැයෙන් බොහෝ පියවර ගෙන තිබූ අතර ගුරු ක්ෂේත්රයේ රැකියා කප්පාදුවක් ද කර තිබෙනවා. ගුරුවරුන් සංඛ්‍යාව 3,200කින් පමණ අඩු කර ඇති බවයි සඳහන් වන්නේ. රජයේ පාසල්වල තත්ත්වය නඩත්තු කිරීම අදාළ ප්‍රදේශවල ප්‍රාදේශීය ආයතනවලට අපහසු වී ඇති බවත් මුදල් අඟහිඟකම් ඊට හේතු වී ඇති බවත් වාර්තා වෙනවා.
ප්‍රංශයේ සිසු විරෝධතා මුලින් සාමකාමී ව ආරම්භ වුවත් පසුව ඉතා ප්රචණ්ඩ ස්වරූපයක් දක්වා වර්ධනය වුණා. වෙනත් දේශපාලන පාර්ශ්ව ද එයට එක් ව ඇති බවත් ජීවන වියදම වැඩි වීම වැනි කාරණාවලට එරෙහි ව ද ඔවුන් විරෝධතා දක්වමින් සිටින බවත් වාර්තා වී තිබුණා. ගොඩනැගිලි, වාහන, වෙළෙඳසැල් ආදිය ගිනි ගනිමින් ඇති ආකාරය දක්නට ලැබුණු අතර විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ඇති වූ ගැටුම් සම්බන්ධවත් මාධ්‍ය වාර්තා කර තිබුණා. විරෝධතාකරුවන් ගල්මුල්වලින් සහ ගිනිකෙළි ආදියෙන් පොලිසියට පහර දුන් අතර පොලිසිය ද බැටන් ප්‍රහාර, ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් ප්‍රතිචාර දක්වා තිබුණා. ඔක්තෝබර් 20 වන විට ආරක්ෂක අංශවල 1,000කට වැඩි සංඛ්‍යාවක් ද විරෝධතාකරුවන් 215කට ආසන්න සංඛ්‍යාවක් ද තුවාල ලබා ඇති අතර 6,800කට ආසන්න සංඛ්‍යාවක් පොලිසිය විසින් රඳවා ගනු ලැබ ඇති බවත් මාධ්‍ය වාර්තාවල දැක්වුණා.
ප්‍රංශයේ සිසුන්, ගුරුවරුන්, දෙමාපියන් වැනි පාර්ශ්ව විරෝධතා දක්වනු දුටු යුරෝපයේ තවත් රටවල සමාන ප්‍රශ්නවලින් පිඩා විඳිමින් සිටි සිසු ප්‍රජාව ද වීදි බසිමින් විරෝධතා දැක්වීමට පටන් ගත්තා. ඒ අතරින් බෙල්ජියම, ඇල්බේනියාව වැනි රටවල විරෝධතා කැපී පෙනුණා. දැකගන්නට ලැබුණේ මේ රටවල විරෝධතා ද ඉතා ප්රචණ්ඩ ආකාරයෙන් වර්ධනය වන ආකාරයක්.
ඇල්බේනියාවේ සිසු විරෝධතා ආරම්භ වීමට පෙරත් එරට අගමැති Edi Rama ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධයක් පැන නැගී තිබුණා. ආරක්ෂිත භූමියක සුඛෝපභෝගී නිවාඩු නිකේතනයක් ඉදි කිරීමේ ව්‍යාපෘතියකට එරෙහි ව ද ජනතාව විරෝධතා දැක් වූ අතර දූෂණ වංචා සම්බන්ධයෙන් ද දැඩි විවේචන එල්ල වුණා. මේ ව්‍යාපෘතියට ඇමරිකානු ජනාධිපති Donald Trump බෑනා වන Jared Kushner සම්බන්ධයක් ඇති බව සඳහන්. මෙවැනි තත්ත්වයක ඇල්බේනියා විරෝධතාකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වූයේ ඍ්ප් අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව.






