ඉල් මහේ පැතුම
එළැඹෙන්නේ නොවැම්බරය. ඒ, වසර 37කට පෙර ඉතිහාසය යළි හඬ නඟන මාසය. එදා 1989 නොවැම්බරයේ උස් මානව ප්‍රාර්ථනා බල උමතුව විසින් ඝාතනය කරනු ලැබුවා. මේ නොවැම්බරයට වත්මන් ආණ්ඩුව පිහිටුවා දෙවසරක්. එදා ඒ කුරිරු මර්ධනය හමුවේ දැවැන්ත විනාශයකට ලක් වූයේ ජනතා විමුක්ති පෙරමුණ. අද ජනතා බලයට නායකත්වය දෙන්නේ විනාශ කළා යැයි එවකට පාලක පංතිය උදම් ඇනූ ජවිපෙය ප්රමුඛ කොට ගත් ජාතික ජන බලවේගය නම් ජනතා ව්‍යාපාරය. එදා ඉල්මහේ විරුවන් දිවි පුදා ප්‍රාර්ථනා කළ අරමුණ, සුබවාදී සිහිනය යථාර්ථයක් වෙනවාද නැද්ද යන ප්රශ්නය මේ ඉල්මහේ ඇසෙනවා. එයට පිළිතුර කුමක්දැයි විමසා බැලිය යුතුයි.
සෝවියට් දේශයේ විප්ලවවාදී තරුණ ලේඛක නිකොලායි ඔස්ත්‍රොව්ස්කි ඔහුගේ ‘වානේ පන්නරය ලැබූ හැටි’ කෘතියේ මෙසේ සඳහන් කරනවා. “මිනිසාගේ අතිඋතුම් වස්තුව ජීවිතයයි. එය ඔහුට ලැබෙන්නේ එක වරක් පමණි…..ඔහු මිය යන විට ඔහුට මෙසේ කීමට පුළුවන්කමක් තිබිය යුතු ය. මගේ මුළුමහත් ජීවිතයත් මුළුමහත් ශක්තියත් ලෝකයේ අතිශයින් ම උදාර හා සුන්දර පරමාර්ථය උදෙසා, එනම් මිනිස් සංහතියට විමුක්තිය ලබාදීමේ සටන උදෙසා කැපකරන ලදී.” සැබවින් ම ඉල්මහේ විරුවන්ගේ සිත පතුලෙන් නැඟි එම උදානය එතෙක් මෙතෙක් සියලු විප්ලවවාදීන්ගේ ක්‍රියාකාරිත්වය මෙහෙය වූ හෘදයසාක්ෂිය වෙනවා. එබැවින් වත්මන් පාලනයේ හෘදය සාක්ෂිය ද එයයි. එය සමස්ත සමාජයක හෙට දවසේ හෘදය සාක්ෂිය ද වනු ඇති. ඉල් මහේ දිවි පිදුවේ 1965 ජනතා විමුක්ති පෙරමුණේ නම් වාමාංශික සමාජ ව්‍යාපාරය බිහි කළ මානව ප්‍රේමය පුරවා ගත් හදවත්. අද රටේ ආණඩුව මෙහෙය වන්නේ ද එම හෘදය සාක්ෂිය සහිත ජනතා ව්‍යාපාරය.
වත්මන් රජය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ජනතාවාදී වූවක්. ඒ සඳහා අවශ්‍ය මූලික කොන්දේසිය නිර්ප්‍රභූ පාලනයක්. 2024 සැප්තැම්බර් 21 දිනෙන් පසු ශ්‍රී ලංකාවේ ඉතිහාසය ලියැවෙන්නට ගත්තේ වරප්රසාදිත පාලකයන් වෙනුවට ජනතාවාදී පාලනය තුළ. ඒ නිසා ජනතාවගේ සිතුම් පැතුම් හා ආණ්ඩුවේ සිතුම් පැතුම් යනු දෙකක් නොව එකක්. මැතිවරණ දිස්ත්‍රික්ක 23කින් එක් දිස්ත්‍රික්කයක් හැර සියල්ල ජයග්‍රහණය කළේ මාලිමාව. ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු නියෝජනය 159 තෝරාපත් කර ගන්නේ පුද්ගල මුහුණු බලා නොව එහි ප්‍රතිපත්තිය බලාගෙන. ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති සකස් වන්නේ මානවහිතවාදය පදනම් ව. ජනතාවාදය යනු මානව හිතවාදය ම වෙනවා. එදා ඉල් මහා විරුවන් තම උස් ප්‍රාර්ථනා වෙනුවෙන් දිවි පුදා හළේ එවැනි මානව ප්‍රේමය නිසා. අද ඒ වීර පරපුරේ ආදර්ශය ගත් දරුවන් රට ආර්ථික වශයෙන් පොහොසත් කර ලස්සන ජීවිතයක් හෙවත් සංස්කෘතික ජීවිතයක් වින්දනය කරන මානව සමාජයක් සාදන්නට නිස්සරණාධ්‍යාසයෙන් වෙහෙසෙනවා.
විපක්ෂයට ප්‍රභූ පංතියේ විලාපය, එයට ජාතක වූ පාතාලයේ වියරුව, එම පංතියට ජාතක වංචනිකයන්ගේ හොරුන්ගේ නිරුවත තම ධජය කොටගෙන ජනතා විරෝධී ගමනක් යන්නට සිදු ව තිබෙන්නේ වත්මන් ජනතා කැමැත්ත ද ආණ්ඩුවේ කැමැත්ත ද එකක් වන බැවින්. 37 වැනි ඉල් මහා විරු සමරුව එළැඹෙන මේ මොහොතේ ඉටු වෙමින් පවතින්නේ යුක්තිගරුක දේශයක්, සාධාරණ සමාජයක්, නිවහල් මිනිසෙක් යන ආදර්ශ පාඨ ඔසවා ඉල් මහේ විරුවන් පැතූ ලොව ගොඩනැඟෙන පළමු පියවර.
රජය යන්න සමාජය හිස මතට අහසින් කඩා වැටුණක් නොවෙයි. එය, සමාජ සංවර්ධනයේදී ඓතිහාසික ව නිෂ්පාදන බලවේගවල වේගවත් වර්ධනය දරාගත නොහැකි ව සමාජ විෂමතාව බිහිවීමේ ප්‍රතිඵලය. මානව ඉතිහාසයේ මෙතැන් පටන් ප්‍රභූ පංතියේ මර්දන අවිය එයයි. එදා ඉල් මාසය වන විට 60,000කට අධික ව මෙරට යෞවනය බිලි ගත්තේ එම මර්දනයයි. එයට එරෙහි ව වධකාගාර තුළ ද මහමඟ ද සටන් කොට ජනතා ව්‍යාපාරය පාවා නොදී දිවි පුදා හළේ ඉල් මහේ වීරත්වයයි. එසේ නම් අද පවතින පාලනයේ ඒකායන අරමුණ විය යුත්තේ ජනතාවට කිසිසේත් ම රජය හිරිහැරයක්, මර්දනයක් නොවිය යුතු බව. මේ පාලනය බිහි වන්නේ ම ජාති, ආගම්, කුල, පක්ෂ, පාට, ප්රදේශවාදී බෙදීම් රේඛා මකා මනුෂ්‍ය වර්ගයා යන පොදු කුලකය ඔසවා ගනිමින්. පක්ෂ විපක්ෂ කිසිදු ජනතා හඬක් ආණ්ඩුව මර්දනය කර නැහැ. පොලිසියේ කඳුළු ගෑස් කල් ඉකුත් වී ඇති බව කියැවෙන්නේ එබැවින්. මෙතැනදී නාමික විපක්ෂයට ඇත්ත විපක්ෂය වීමට ද එය බාධාවක්. මෙතෙක් විපක්ෂය සංවිධාන කළේ මර්දනයට එරෙහි ව. ජනතාවගේ විවේචනයට ඇහුම්කන් දෙන පාලනයකට එරෙහි ව. වත්මන් විපක්ෂය අසරණයි. ඒ, පාලන උපායමාර්ගයක් නොව පවතින පාලනයේ ජනතාවාදය. ඉල්මහේ දිවි පිදූ විරුවන් මර්දනයට එරෙහි ව සටන් කොට ඉල්ලා සිටියේ එයයි.
සමාජ සුභ සාධනය ඡන්ද උගුලක් ව පැවැති යුගය අවසන් කර, එය ජනතාවාදයක පිහිටුවා කටයුතු කිරීම පීඩිතයන් වෙනුවෙන් සටන් කොට මිය ගිය ඉල් මහේ ප්‍රාර්ථනය වෙනවා. ඒ නිසා වත්මන් පාලනය අය වැය පවා ගෙන එන්නේ තවත් ආදායම් වියදම් වාර්තාවක් ලෙස නොවෙයි. ආණ්ඩුව, දෙමව්පියන් සේ රැක බලා ගන්නා ජනතාව වෙනුවෙන් අවධානය යොමු කළ ජනතා අය වැයක් ගෙන ඒමත් ජනතා රජයක පරමාර්ථයක්. රටක සංවර්ධනය උදෙසා ප්‍රාග්ධන වියදම් වෙන් කිරීම ද පෙරළා ජනතාවට අනාගත ප්රතිලාභ බෙදා හැරීමක්. රට ගොඩනංවා ආර්ථික වශයෙන් සමස්ත ජනතාව ශක්තිමත් කරන තුරු ආණ්ඩුව නිබඳ ව ම බලාගත යුතු අසරණ පිරිසක් සිටිනවා. එබැවින් පීඩිත පංතියේ විමුක්තිය උදෙසා මුදා හළ හැඟීම් සහිත ඉල් මහා විරු හෘදය සාක්ෂිය යළි මේ පාලනයේ ඒකායන ජනතාවාදී පෙළඹුම බවට පත් වෙනවා.
වත්මන් පාලනයෙන් ඉල් මහේ ප්‍රාර්ථනා ඉටු කරමින් හා ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් යන ගමනක් දක්නට ලැබෙනවා. පාලකයෙක්, දෙදෙනෙක්, සුළුතරයක් වෙනුවට සාතිශය බහුතරයක් ජනතාව බලගන්වන පාලනයේ මැදිහත්කරුවන් වන ජනතා පාලනයක්; ජනතාව උදෙසා ආර්ථිකය ඔසවන මෙහෙයුමක්; සමාජය ලබන සියලු ආර්ථික, සමාජයීය, දේශපාලන, සංස්කෘතික ප්රතිලාභ, දියුණුව සමස්ත ජනතාව වෙතට ම සාධාරණ ලෙස අයත් වන ජනතාවගේ ම පාලනයක්; සමාජයක් හැර ඉල් මහේ විරුවන් ඉල්ලූ පෞද්ගලික කිසිවක් නැහැ. එබැවින් ඔවුන්ගේ එම ප්‍රාර්ථනා ඉටු කරන බලය ලද ජනතා ව්‍යාපාරය නොපසුබට ව, නොබිය ව, සටන්කාමී ව, විශ්වාසයෙන් ඉටු කරමින් පවතින්නේ ඒ ඉල් මහේ උදාර ප්‍රාර්ථනා. එය ජනතාවගේ ද ප්‍රාර්ථනා වන බැවින් එය ඉටුකරන මඟ දිගේ තව ඉවසීමෙන් සීරුවෙන් උපායමාර්ගික ව යා යුතු ගමනක් තිබෙනවා. 37 වැනි ඉල් මහා විරු සමරුව එළැඹෙද්දී ජනතා ව්‍යාපාරය සපථ කරමින් යළි තහවුරු කරන්නේ මේ ජනතාවාදී ආණ්ඩුව, ජනතාව උදෙසා ඉල්මහේ විරුවන් තම අවසන් හුස්ම පොද සතුරා විසින් සිරකරද්දී පවා ප්‍රාර්ථනා කළ ජනතා පැතුම ජනතාව වෙනුවෙන් ඉටු කරන බව. එහි මුල් පියවර තබමින් සිටින බව සත්‍යවාදී ජනතාවට විශ්වාසයි.






