දේශපාලන කුණාටුව නිම වෙයි ද?
- ඩබ්ලිව්. එම් ශාන්තප්‍රිය
සෞන්දර්යාත්මක මෙන් ම ඓතිහාසික වශයෙන් ද වැදගත් ඉබේරියානු අර්ධද්වීපයේ පිහිටි ස්පාඤ්ඤය දේශපාලන කුණාටුවකට මැදි ව සිටිනවා. දශක 1 1/2කට ආසන්න කාලයක් තිස්සේ පවතින ආර්ථික හා සමාජීය පරිවර්තන හමුවේ අගමැති පෙද්රෝ සන්චෙස් (Pedro Sanchez) පාර්ලිමේන්තුව විසිරුවා හැර 2026 නොවැම්බර් 29 දින හදිසි මහ මැතිවරණයක් (Snap General Election) ප්‍රකාශයට පත් කළා.
සංවර්ධිත රටක් ලෙස වර්ගීකරණය වී ඇති ස්පාඤ්ඤය ආර්ථිකමය වශයෙන් යම් ස්ථාවරත්වයක් පෙන්නුම් කළත් උග්‍ර වූ නිවාස අර්බුදය හා නගරබද කුලී ගාස්තු ඉතා ඉහළ යාම ජනතාව අතර නිර්මාණය කළේ දැඩි පීඩනයක්. විශේෂයෙන් මැඩ්රිඩ් ඇතුළු ප්‍රධාන නගරවල වසර ගණනාවක් තිස්සේ ජීවත් වූ ජනතාව නිවාසවලින් ඉවත් කිරීමට එරෙහි ව විශාල ජනතා විරෝධතා ගොඩනැගී තිබෙනවා. මේ සමාජ අර්බුදයට පිළියම් ලෙස අගමැතිවරයාගේ පාලක ස්පාඤ්ඤ සමාජවාදී කම්කරු පක්ෂය (PSOE) හදිසි සහන පනත් කෙටුම්පතක් (Housing Relief Package) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් එය පරාජයට පත් වුණා. අගමැතිවරයාගේ රජයට සහය දුන් කටලෝනියානු වාමාංශික පක්ෂයක් වන Junts පක්ෂය විපක්ෂයට සහය ලබා දීම මේ පරාජයට හේතු වුණා. පාලක ස්පාඤ්ඤ සමාජවාදී කම්කරු පක්ෂය පවත්වාගෙන යන්නේ බහුතර බලයක් සහිත පාර්ලිමේන්තුවක් නොවන අතර එය සුළුතර ආණ්ඩුවක්. පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමි වීම නිසා නව පනත් සම්මත කර ගැනීමට සහ අය වැය අනුමත කර ගැනීමට ඇති බාධා හමුවේ අගමැතිවරයාට තිබූ එක ම විකල්පය වූයේ පාර්ලිමේන්තුව විසිරුවා හැර ජනතාව හමුවට යාම. ඒ නිසයි හදිසි මැතිවරණයක් පැවැත්වීමට පාලක පක්ෂ තීරණය කරන්නේ.
වර්ග කිලෝමීටර 505,983ක භූමි ප්‍රමාණයක් ඇති ස්පාඤ්ඤය යුරෝපා සංගමයේ දෙවැනි විශාලතම රට. මේ ප්‍රධාන භූමියට අමතර ව මධ්‍යධරණී මුහුදේ පිහිටි බැලෙයරික් දූපත් (Balearic Island), අත්ලාන්තික් සාගරයේ පිහිටි කැනරි දූපත් සහ උතුරු අප්‍රිකානු වෙරළබඩ පිහිටි සෙයුටා (Ceuta) හා මෙලිලියා (Mellilia) යන ස්වායක්ත නගර ස්පාඤ්ඤයට අයත්. එරට මුළු ජනගහනය මිලියන 48කට ආසන්න වනවා. ජනගහනයෙන් 81%කට වඩා ජීවත් වන්නේ නාගරික ප්‍රදේශවල. රාජ්‍ය භාෂාව ස්පාඤ්ඤ වන අතර (Spanish) කටලාන් (Catalan) බාස්ක් (Basque) සහ ගැලිසියන් (Galician) වැනි ප්‍රාදේශීය නිල භාෂා එහි භාවිත වනවා.
ලොව 14 වැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ස්පාඤ්ඤය යුරෝපා සංගමයේ සිව් වැනි විශාලම ආර්ථිකය. එහි දළ දේශීය නිෂ්පාදිතයේ නාමික වටිනාකම එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 1.91 සිට 2.01ක පරාසයක පවතිනවා. එරට ආර්ථිකයේ 70%කට වැඩි ප්‍රමාණයක් ආවරණය වන්නේ සේවා අංශයෙන්. වසරකට සංචාරකයන් මිලියන 85කට වඩා අධික ව පැමිණෙන ස්පාඤ්ඤය ලොව දෙවැනි වැඩි ම සංචාරකයන් පිරිසක් පැමිණෙන රට ද වනවා. මෝටර් රථ නිපදවීම, රසායන ද්‍රව්‍ය, ඖෂධ, යන්ත්‍ර සූත්‍ර හා පුනර්ජනනීය බලශක්ති කර්මාන්ත අංශයේ ප්‍රධාන තැන හිමි කර ගන්නා ක්ෂේත්‍ර. ලොව විශාල ම ඔලිව් තෙල් (Olive oil) නිෂ්පාදකයා හා අපනයනකරු වන්නේ ද ස්පාඤ්ඤය වන අතර පැඟිරි පලතුරු, මිදි, වයින්, මස් නිෂ්පාදන සහ පිරිපහදු කළ තෙල් ප්‍රධාන අපනයන ක්ෂේත්රයට අයත්. ඒක පුද්ගල ආදායම ඩොලර් 38,600-41,500ක පරාසයක පවතින ලොව සංවර්ධිත ගණයට අයත් වන රටක් ස්පාඤ්ඤය.
එරට පාලක පක්ෂය වන ස්පාඤ්ඤ සමාජවාදී පක්ෂය (Spanish Socialist Worker’s Party) මධ්‍ය වාමාංශික දේශපාලන පක්ෂයක්. ප්‍රධාන මතවාදය සමාජ ප්රජාතන්ත්රවාදය. රාජ්‍ය සෞඛ්‍යය, රාජ්‍ය අධ්‍යාපනය සහ කම්කරු අයිතිවාසිකම් වැනි සමාජ සුභ සාධනය ප්රමුඛ ලෙස කටයුතු කරන පක්ෂයක්. ලිංගික සමානාත්මතාවය LGBTQ+ අයිතිවාසිකම්, පරිසර ආරක්ෂණය වැනි සංකල්ප ද පිළිගන්නා අතර යුරෝපා සංගමයක අවශ්‍යතාව දකින පක්ෂයක්.
ස්පාඤ්ඤ පාර්ලිමේන්තුවේ (Congress of deputies) පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන සංඛ්‍යාව 350 වුවත් අගමැතිවරයාගේ PSOE පක්ෂයට හිමි වන්නේ ආසන 120ක්. Sumar නැමැති වාමාශික සන්ධානය කලාපීය බාස්ක් හා කටලෝනියානු පක්ෂවල සහායෙනුයි බහුතර ආසන සංඛ්‍යාව වන 176 පවත්වාගෙන ගියේ.
කටලෝනියාව සහ බාස්ක් යනු ස්පාඤ්ඤයේ පිහිටි විශාල ස්වායක්ත (ස්වයං පාලන) කලාප 02ක්. බාස්ක් කලාපය ස්පාඤ්ඤයේ උතුරු දිග (ප්‍රංශ සීමාව ආසන්නයේ) පිහිටා ඇති අතර කටලෝනියාව ස්පාඤ්ඤ ඊසාන දිග වෙරළබඩ ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. මේ කලාප සඳහා ස්පාඤ්ඤ මධ්‍යම රජයට යටත් ව ක්‍රියාත්මක වන ස්වයං පාලන පාර්ලිමේන්තු හා පොලිස් බලකාය පවතිනවා. ඔවුන්ට ම ආවේණික සංස්කෘතියක්, ඉතිහාසයක් හා භාෂාවක් මේ ප්‍රදේශවල ජනයාට පවතිනවා. මේ කලාප ද්විත්වයේ ම ප්‍රබල නිදහස් ප්රජාතන්ත්රවාදී ව්‍යාපාර පවතින්නේ ස්පාඤ්ඤයෙන් වෙන්වීම සඳහා.
අගමැති පෙද්රෝ සන්චෙස්ගේ ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා කටලෝනියානු සහ බාස්ක් පක්ෂවල සහය අවශ්‍ය නිසා ඔවුන්ට එම කලාපවල වැඩි ස්වයං පාලන බලතල හා දේශපාලන සහන ලබාදීමට සිදු වී තිබෙනවා. මේ තත්ත්වය ස්පාඤ්ඤයේ ප්‍රධාන විපක්ෂයේ දැඩි දෝෂ දර්ශනයට ලක් වූ කරුණක්.
මහමැතිවරණයේ දැනට ඇති නවතම කරුණු අනුව ඉදිරියෙන් සිටින්නේ ඇල්බටෝ නූනෙස් ෆෙයිහෝ (Alberto Nunez Feihoo) නායකත්වයෙන් යුත් Popular Party (pp) පක්ෂය. 32%-33% අතර ඡන්ද සංඛ්‍යාවක් එම පක්ෂයට ලැබෙනු ඇති බවයි සමීක්ෂණවල කියැවෙන්නේ. මධ්‍ය දක්ෂිණාංශික පක්ෂයක් වන PP පක්ෂය දැනට ස්පාඤ්ඤ පහළ මන්ත්‍රී මණ්ඩලයේ පවතින විශාලතම තනි පක්ෂය වන අතර එය සතු ආසන සංඛ්‍යාව 137ක්. ජනමත සමීක්ෂණ අනුව අගමැතිවරයාගේ පාලක පක්ෂයට පවතින්නේ 25%-26% අතර ඡන්ද සංඛ්‍යාවක්. නිවාස අර්බුදය, සන්ධාන පක්ෂ ඉවත් වීම නිසා ආණ්ඩුවේ පවතින අස්ථාවරත්වය, ජීවන වියදම ඉහළ යාම කටලෝනියානු සහ බාස්ක් ප්‍රදේශවලට වැඩි බලතල ලබා දීම යන කරුණු මත ඔහුගේ පක්ෂයේ ජනප්‍රියතාව හීන වී තිබෙනවා.
දැඩි ජාතිකවාදී අතිදක්ෂිණාංශික පක්ෂයක් වන VOX පක්ෂය (හඬ) සැලකිය යුතු ජන පදනමක් සහිත ව මෙවර මැතිවරණ සඳහා ඉදිරිපත් වී ඇති තවත් පක්ෂයක්. දැනට ස්පාඤ්ඤ පාර්ලිමේන්තුවේ තුන් වැනි විශාල ම පක්ෂය වන අතර එයට ආසන 33ක බලයක් පවතිනවා.
පවතින තත්ත්වය අනුව pp පක්ෂය හා VOX පක්ෂය එක්මුතු වුවහොත් පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාව 176ක සීමාවකට ළඟාවීමේ දැඩි සම්භාවිතාවක් පවතින බවයි දේශපාලන විචාරකයන්ගේ මතය. එසේ වුවහොත් හිටපු ආඥාදායක පාලකයෙකු වු ප්රැන්සිස්කෝ පැන්කෝගේ (Francisco Franco) පාලන සමයෙන් පසු ස්පාඤ්ඤ ආණ්ඩුවකට අතිදක්ෂිණාංශික පක්ෂයක් (VOX) පක්ෂය එකතු වන පළමු වැනි ඓතිහාසික අවස්ථාව මෙය වනු ඇතිග කෙසේ වෙතත් කිසිදු තනි පක්ෂයකට ආසන 176ක බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වන බවයි සමීක්ෂණවලින් පෙන්වා දෙන්නේ.
විශේෂයෙන් මෙවර මහ මැතිවරණය මධ්‍ය වාමාංශික පිල, ජාතිකවාදී දක්ෂිණාංශික පිල, අතිදක්ෂිණාංශික පිල අතර සටනක් බවට පත් වී තිබෙනවා. දක්ෂිණාංශික pp පක්ෂය හා VOX පක්ෂය ප්රමුඛ සන්ධානය බලයට පත්වුවහොත් කටලෝනියානු හා බාස්ක් ප්‍රදේශවලට හිමි බලතල කපා හැරීමට බොහෝවිට ඉඩ ඇති බවට එම ප්‍රදේශවල වෙසෙන ජනතාවගේ පවතින සැකය නිසා එම ජනයාගේ හැසිරීම මේ මැතිවරණයේදී ඉතා තීරණාත්මක සාධකයක්.
2026 නොවැම්බර් 29 දින පැවැත්වෙන හදිසි මැතිවරණය ස්පාඤ්ඤයේ පමණක් නොව සමස්ත යුරෝපයට ම තීරණාත්මක වූවක්. යුරෝපා සංගමයේ ප්රගතිශීලී සංකල්ප හා පරිසර ප්‍රතිපත්ති පෙරදැරි කර ගත් මධ්‍ය වාමාංශික ආණ්ඩුවක් බලයට පත්වන්නේ ද? නැතහොත් දැනට යුරෝපය පුරා ව්‍යාප්ත වන අතිදක්ෂිණාංශික ජාතිකවාදී රැල්ලට ස්පාඤ්ඤයත් යටවේ ද? යන්න ඉදිරියේදී බලාගත හැකිවනු ඇතග






