#විවිධ

අයිතියේ කලකලය

අයිතිය, හිමිකම (Right) යන්න අර්ථය වෙනස් වන, යම් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට හෝ හිමි විය යුතු, ඉල්ලා සිටිය හැකි, ක්‍රියාත්මක කළ හැකි නීත්‍යනුකූල, ආර්ථික, සදාචාරාත්මක, සමාජයීය වටිනාකමක් කියා සරල ව අරුත්ගැන්විය හැකියි. එහි ම පැතිකඩක් වන මානවයාගේ බුද්ධිමය ශ්‍රමය මෙහෙයවා නිර්මාණය කරන නිමවුම්වලට අදාළ බුද්ධිමය දේපොළ අයිතිය (Intellectual Property) , කතෘභාග හිමිකම (Copyright) ගැන ශ්‍රී ලාංකේය සමාජය අවදියෙන් සංවාද කරන කාලයක්, අද. 

“සංගීත කෘති මහජනතාව ඉදිරියේ  ප්‍රාසංගික ව ඉදිරිපත් කිරීමට සහ මහජනතාව වෙත සන්නිවේදනය කිරීම සඳහා වන බලපත්‍ර ගාස්තු ක්‍රමය” හඳුන්වා දීම සඳහා ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ  සංගමය (ACPOSL) 2026 ජූනි මස 05 දින රජයේ ගැසට් පත්‍රයේ පළ කළ දැන්වීම පිළිබඳ මේ කතිකාව, මෙරට ගීතයට අදාළ බුද්ධිමය දේපොළ අයිතිය සහ කර්තෘභාග හිමිකම සම්බන්ධ ව සමාජය කලඹන්නට සමත් වුණා. මේ සංගමය ශ්‍රී ලංකා බුද්ධිමය දේපළ කාර්යාලයේ (NIPO) ලියාපදිංචි සාමුහික කළමනාකරණ සංවිධානයක් ( C o l l e c t i v e Management Organization) එහි වගකීම වන්නේ ගීත කතුවරුන්ගේ (පද රචකයන්ගේ) සහ සංගීත නිර්මාණකරුවන්ගේ (තනු රචකයන්ගේ) අයිතිවාසිකම් පරිපාලනය සහ ගීත  ප්‍රාසංගික ව ඉදිරිපත් කිරීමේදී බලපත්‍ර නිකුත් කිරීම බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

මේ නිවේදනය නිකුත් වීමත් සමඟ සමාජගත වූ බහු පාර්ශ්වීය කතිකා සටනේ ප්‍රමුඛ පාර්ශ්වකරුවන් වන්නේ පද රචකයා, තනු නිර්මාණ ශිල්පියා, ගායකයා හෝ ගායිකාව. ගීත ප්‍රචාරය කරන ගුවන්විදුලි සහ රූපවාහිනි නාලිකා, විවිධ වෙබ් අඩවි සහ යූටියුබ් වැනි සමාජ මාධ්‍ය, එළිමහන් සංගීත සංදර්ශන සංවිධායකයන්, හෝටල සහ වෙනත් ස්ථානගත ව ගීත සංදර්ශන පවත්වන පුද්ගලයන් පමණක් නොව විවාහ මංගල්‍ය සහ විවිධ සාද උත්සව සංවිධායකයන් ද නිරතුරු ගීත වාදනය වන පොදු ස්ථාන භාරකරුවන් ද ආයතන ද  පත් ව ඇත්තේ අපහසුතාවට. මේ තත්ත්වය මූල්‍ය අපේක්ෂාවකින් තොර රසවින්දනාත්මක, අධ්‍යාපනික සහ පුණාධාර වැඩසටහන්වලට ද බලපාන්නක් ද? යන්නත් කතාබහ වනවා.

මේ කලකලයේ වගකීම් බර බොහෝ පාර්ශ්ව බැර කරන්නේ වත්මන් රජයට. එනයින්, රජයට සිදු ව තිබෙන්නේ දුරාතීතයේ පැවැති ගෘහස්ථ ප්‍රියසාද, ගම්වල කාමර බජව්, ශ්‍රී ලංකා ගුවන්විදුලිය සහ එළිමහන් පොල් කොට මත වේදිකා ප්‍රසංගවල පටන් අද නව මාධ්‍යවල ගීත භාවිතාවන් දක්වා ව්‍යාප්ත වන තුරු ම ගීතයට නිසි නියාමනයක් (Regulation/Law/ Monitoring/ Supervision), කතෘභාග ගෙවීමක්, ආදායම් මාර්ග සකසා දීමක් වෙනුවෙන් පැවැති ආණ්ඩු සක්‍රිය මැදිහත්වීමක් සිදු නොකිරීමේ රික්තය පිරවීමට. ආරාවුල් අවුළා ගත් කලාකරුවන්ගේ සහ ශ්‍රාවක, ප්‍රේක්ෂක, සහෘදයන්ගේ කැඩී බිඳී සුනුවිසුනු වී ගිය හිතවත්කම් යළි පිළිසකර කිරීමේ කාර්යයත් සමාජයේ වඩාත් ම ප්‍රචලිත සරල ම සහ හෘදයාංගම ම කලා මාධ්‍ය වන ගීතයේ සාහිත්‍යයික ගුණ රැෙ​ඳන, සංගීතමය සුලලිතභාවය සහ ශාස්ත්‍රීය ගුණාංග සුරක්ෂිත වන, ශ්‍රාවකයා ආනන්දයෙන් ප්‍රඥාවට යොමු කරවන තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යාමේ කාර්යයත් ඒ අතර වනවා.

මේ කාරණය සම්බන්ධ අධි මාත්‍රාවේ මත ගැටුම්වලින් සිදු වන්නේ විෂය ඥානයෙන් යුත් විශිෂ්ට ගීත රචකයන්, තනු රචකයන්, සංගීතඥයන් සහෘද ගායනවේදීන් ද සහසම්බන්ධ කරගෙන දශක ගණනාවක් තිස්සේ අප්‍රතිහත ධෛර්යයෙන් ක්‍රියාත්මක වී බිහි කළ සාහිත්‍යමය සහ සංගීතමය ගුණයෙන් උසස්  යහපත්, සුභාවිත ගීත කලාව හානියට පත් වීම. එයින් සිදු වන්නේ මෙතුවක් කල් මූල්‍ය හෝ කර්තෘභාග හිමිකාරිත්වයේ හෝ සොච්චමවත් නොලැබ නාලිකාවල ප්‍රසංගවල, උත්සවවල, සංදර්ශනවල ගැයෙන සහ සමාජ මාධ්‍යවල පළ කෙරෙන අවස්ථාවලදී නාම ප්‍රකාශ කිරීමේ යුක්තියවත් ඉටු නොවන නිසා ආත්මතෘප්තියත් අහිමි ව වුව ද සිය යුගකාරක මෙහෙවර ඉටු කළ ගීත රචකයන්ගේත් තනු රචකයන්ගේත් බුද්ධිමය (Intellectual) දායකත්වය අනාගතයේත් අවතක්සේරුවට ලක් වීම. එය නිවැරැදි කිරීමේදී ගායකයාට අසාධාරණයක් වී අනෙක් දෙපාර්ශ්වයට සාධාරණය ඉටු වීමත් සිදු නොවිය යුත්තක්.

මේ සම්බන්ධයෙන් නීති යුක්ති පෙරදැරි ව කරුණු සොයා බලා වාර්තාවක් සැකසීම සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් කමිටුවක් ද පත් කෙරුණේ උද්ගත ව ඇති ගැටලුවට සාධනීය විසඳුම් සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට. බුද්ධිමය දේපළ නීති ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු වන ආචාර්ය ඩී.එම්. කරුණාරත්නගේ ප්‍රධානත්වයෙන් බුද්ධිමය දේපළ නීති, විදුලි සංදේශ නියාමන, සංස්කෘතික කටයුතු, වෙළෙඳ හා වාණිජ ඇතුළු විවිධ ක්ෂේත්‍ර සම්බන්ධ ප්‍රාමාණික දැනුම සහිත විද්වතුන් සහ නිලධාරින් කණ්ඩායමක් එම කමිටුව නියෝජනය කරනවා.

නිලාර් එන්. කාසිම් (ගීත රචක)

සභාපති (ACPOSL)

ඉතිහාසය පුරා ම බොහෝ විට ආර්ථික අයිතිවාසිකම් රැකුණේ ගීතයක එක් පාර්ශ්වකරුවකු වන ගායකයාගේ පමණයි. ජනප්‍රියත්වය මුල්කරගෙන ඔවුන් එකිනෙකා අය කරන මිල ගණන් විවිධයි. එහි වරදක් නැතත් අනෙක් දෙපාර්ශ්වයේ ආර්ථික අයිතිය උල්ලංඝනය කිරීම වරදක්. එය සිදු වන්නේ ගීතයෙන් ආදායම් ලබන ගයන, ප්‍රසංග සහ උත්සව සංවිධාන කරන, ප්‍රචාරය කරන පාර්ශ්ව වෙතින්. පද රචක, තනු රචක පාර්ශ්ව දශක ගණනක් ආත්මතෘප්තියෙන් සෑහී කරබාගෙන සිය ආර්ථික අයිතිය අමු අමුවේ උල්ලංඝනය කිරීම ඉවසා වදාරා සිටීම නීතිගත කිරීමටයි අපට විරුද්ධ පාර්ශ්වවල ඉල්ලීම. ඒ වරද නිවැරැදි කිරීමට මුලපිරීම ගැසට් නිවේදනය පළ කිරීමේ එක් අපේක්ෂාවක්. මෙය සකස් කර තියෙන්නේ CISAC, WIPO සහ IPRS කියන ජාත්‍යන්තර සංගම්වල නියෝජිතයන් සමඟ සිදු කළ පූර්ව සාකච්ඡාවලින් පසු.

එහි දැක්වෙන මිල ගණන් පිළිබඳ නිවරැදි අවබෝධයකින් තොර ව වැරැදි අර්ථකථනයක් දෙමින් සමාජ මාධ්‍ය ඔස්සේ බොරු ප්‍රචාර පතුරවමින් ACPOSL සාමාජිකයන්ට දෝෂාරෝපණය කළාට බුද්ධිමය/ කර්තෘ අයිතිය වෙනත් පාර්ශ්වයකට ලබා ගන්න බැහැ.

සංදර්ශනවල ගී ගැයීම වෙනුවෙන් යෝජිත ගෙවීම්වලට වැඩිපුර ම විරෝධය දක්වන්නේ ගායකයන් සහ ප්‍රසංග සංවිධායකයන්. නර්ථන කණ්ඩායම්, ඩිජිටල් තිර, වීඩියෝගත කිරීම්, මල් වෙඩි, මද්‍යසාර සහ දුම්වැටි, ආහාර-පාන, භූමිභාග, සංගීත කණ්ඩායම්, ආලෝකකරණය, ගායක ගායිකාවන් ඔවුනොවුන් ම කර ගන්නා තක්සේරු සඳහා ලක්ෂ ගණනින් ගෙවන ප්‍රසංග සංවිධායකවරුන්ටත් හිතූ හිතූ ගණන් අය කරන ගායක ගායිකාවන්ටත් නොහැකි වී ඇත්තේ පද රචකයා සහ තනු නිර්මාණ ශීල්පියා වෙනුවෙන් නීතිමය සහ සදාචාරාත්මක අයිතියට අදාළ ව සොච්චම් ආර්ථික හිමිකමක් ලබාදීමට. ගීතයකට උත්පත්තිය දෙන දෙපාර්ශ්වය හිඟන්නන්ගේ තත්ත්වයට ඇද දමමින් ඔවුන් කතා කිරීම මෙතෙක් කළ වරද පිළිගැනීමටත් ඉදිරියේදී  ඊට සාධාරණය ඉටු කිරීමටත් තිබෙන නොකැමැත්ත සැඟවීමට යොදන ලජ්ජාශීලී උත්සාහයක්.

ගීත ක්ෂේත්‍රය කර්මාන්තයක් විදිහට රටේ ස්ථාපිත කිරීම, කර්තෘභාග ක්‍රියාවලිය ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූල ව විධිමත් කිරීම, CISAC, WIPO සහ IPRS වැනි සංවිධානවල නිර්ණායක, උපදෙස් හා මඟපෙන්වීම් ලබාගෙන ක්‍රියාත්මක වීම, දැනට ඩිජිටල් මාධ්‍යයෙන් ප්‍රකාශයට පත්වන නිර්මාණ වෙනුවෙන් ජාත්‍යන්තරයෙන් අපේ රටට හිමි විය යුතු කර්තෘ හිමිකම් ඩොලර් මිලියන ගණනක විදේශ විනිමය ආදායම රටට ගෙන්වා ගැනීම යනාදිය සඳහා අප මෙමගින් උත්සාහ දරනවා.

2025 වසරේ කොළඹදී පැවැති ලෝක බුද්ධිමය දේපොළ දින විශේෂ සමුළුවේදී ප්‍රකාශ වුණේ ශ්‍රී ලංකාව තව ම CISAC සාමාජිකත්වය ලැබීමේ පරිසාධන මට්ටමට පැමිණ නැති බව. ඒ නිසා ජාත්‍යන්තර තත්ත්වයට ගැළපෙන ක්‍රියකාරී සැලැස්මක් සකස් කර අදාළ පරිසාධන මට්ටමට ළඟා වී එහි සාමාජිකත්වය ලබා ගැනීමයි අපේ ඉලක්කය.

කිසිදු පාර්ශ්වයකට අගතියක් අසාධාරණයක් සිදු නොවන ආකාරයට ගැසට්ටුවේ සඳහන් යෝජනා සංශෝධන, වෙනස් කිරීම්වලට භාජනය කරගෙන නීතියක් ලෙස සම්මත වීම දක්වා ගමන් කිරීම මෙන් ම විරුද්ධ මතධාරීන් විධිමත් ව අපට ලබා දී ඇති යෝජනා සලකා බලා නොවැම්බර් මස පැවැත්වෙන ACPOSLවාර්ෂික මහා සභා වාරයේදී අවශ්‍ය සංශෝධන කිරීමයි අපේ අපේක්ෂාව. එතෙක් යෝජිත ගාස්තු රාමු ක්‍රියාවට නැංවීම අප අත්හිටුවා තිබෙනවා. ගීතයක් කවුරුන් කොපමණ රසවින්දත් කමක් නැහැ. නමුත් වාණිජමය පරමාර්ථයෙන් භාවිත කරනවා නම් ඒ සෑම විටක ම රචකයාට සහ සංගීතඥයාට ලැබිය යුතු මෙතෙක් කල් මග හැර තිබුණු සොච්චම් කර්තෘභාග මුදල ගෙවිය යුතුයි. රජය නියෝජනය කරන පාර්ශ්ව ඉතා තුලනාත්මක ව මේ සඳහා මැදිහත් වීම අප අගය කරනවා.

සංගීතවේදී ජගත් වික්‍රමසිංහ

සභාපති (ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමය)

පද රචකයාගේ සහ සංගීතඥයාගේ අයිතීන් සහ හිමිකම් සුරැකිය යුතු නමුත් ගායකයාටත් ගීතයේ අයිතියක් තිබිය යුතුයි. විශේෂයෙන් විෂය දැනුම, ශ්‍රමය, දක්ෂතා, කාලය, ගමන් වියදම්, නින්ද, සතතාභ්‍යාසය සහ ලබාගන්නා ජනප්‍රියත්වය යන එකිනෙකාට අනන්‍ය උපයාගත් ශක්‍යතා වගේ ම ධ්වනි ගුණය, ධ්වනි රූපය, ස්වර හැසිරවීම, ගායන මාධූර්යය, මිහිරි කටහඬ, සුගායනීය වචන උච්චාරණය, ගැයුමේ භාවාත්මක ලක්ෂණ වැනි අස්පෘෂ්‍ය උත්පත්ති උරුමත් සිය හැඟීම් වහනය කිරීමේ ශක්තිය සහ ජනයා පිනවීමේ ආකර්ෂණ ගුණයත් ඔහුගේ බුද්ධිමය ශ්‍රමය වන නිසා එහි කර්තෘභාග හිමිකම, බුද්ධිමය දේපොළ අයිතිය වැනි ආර්ථික අයිතීනුත් සදාචාරාත්මක අයිතීනුත් තිදෙනා අතර සම ව බෙදී යා යුතුයි.

ගීතයක් නිෂ්පාදනය වන්නේ පද රචනාව සහ තනු නිර්මාණය වෙන් ව තිබීමෙන් නොවෙයි ගායන ශිල්පියා හෝ ශිල්පිණිය හෝ ගැයීමෙන් පසුයි. ඒ නිසයි අප විරුද්ධ වන්නේ ගීතයේ සමස්ත අයිතිය පද රචකයාට සහ සංගීතඥයාට හිමි කර දීමට.

ගීතයක නිෂ්පාදකයාට ද වාද්‍ය ශිල්පීන්ට ද ගැයෙන, ප්‍රචාරය කෙරෙන වාර ගණන අනුව සාධාරණ වාණිජමය ප්‍රතිලාභයක් ලැබිය යුතුයි. නව සමාජ මාධ්‍ය ඔස්සේ ගීතයක් බෙදා හැරීමේදීත් මේ තත්ත්වය ම පැවතිය යුතුයි. අයිතිය, හිමිකම, අවසරය, ප්‍රතිලාභය යන සියල්ලමත් සදාචාරාත්මක සහ ආර්ථික (වාණිජමය) හිමිකමත් මූලික ශිල්පීන් තිදෙනාට ම සමාන විය යුතුයි. අන්තර්ජාතික නීති රීති දැනගෙන අපේ රටට ගැළපෙන නීතියක් සකසා ගැනීමයි සියලු පාර්ශ්ව එක් ව කළ යුත්තේ.

නිර්මාණාත්මක අයිතිය වෙනුවෙන් නිර්මාණකරුවන්ට  පෞද්ගලික ව හිමි විය යුතු කතෘභාග ACPOSLවැනි   සමාගමක් ඒකරාශී කිරීමත් වැරැදියි. එය මුල් නිර්මාණකරුවන්ගේ සදාචාරාත්මක සහ ආර්ථික අයිතීන් උල්ලංඝනය කිරීමක්.

ප්‍රසංග සංවිධානයේදී, අනෙකුත් උත්සවවලදී, වෙනත් අවස්ථාවලදී, විද්‍යුත් මාධ්‍යවල ප්‍රචාරයෙදී මේ ගැටලුව සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ වෙළෙඳ හා වාණිජ, සංස්කෘතික කටයුතු, ජනමාධ්‍ය යන විෂය භාර අමාත්‍යාංශවල මැදිහත්වීමෙන්. මේ වන විට අදාළ අමාත්‍යාංශවල මැදිහත් වීම සිදු වෙනවා. 2025 අගෝස්තු 05 දින ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමත් එහිදී අපට පිළිගත හැකි යෝජනා රැසක් ඉදිරිපත් වීමත් අවුරුදු 23ක් පැරණි පනත සංශෝධනය කිරීම පිළිබඳ කරුණු සොයා බලා වාර්තා කිරීමට කමිටුවක් පත් කිරීමත් වැදගත්. එහි ක්‍රියාකාරිත්වය කඩිනම් වීමයි අවශ්‍ය වන්නේ. 

සම්පත් කුමාරසිංහ

සභාපති (සංගීත ප්‍රසංග සංවිධායකයන්ගේ සංගමය)

‘ගායකයාට ගීතයේ අයිතියක් නැතැයි කියන නිසා අයිතියක් නැති           කෙනෙකුගෙන් කර්තෘභාග ඉල්ලා සිටිය නොහැකියි’ කියන පදනමිනුයි ගායකයා පාවිච්චි කරන, නැතිනම් මුදල් යොදවා ප්‍රසංගවලට කැඳවන අප මත මේ මූල්‍ය ගෙවීමේ වගකීම පටවන්නේ. පද රචකයාට සහ සංගීතඥයාට සෑම සංදර්ශන වාරයකට ම කතෘභාගයක් ගෙවිය යුතු බවයි අපෙත් පිළිගැනීම. නමුත් එය ගෙවිය යුතු වන්නේ ගායකයා. පද රචකයාගේ සහ සංගීතඥයාගේ බුද්ධිමය ශ්‍රමය ලබා ගන්නා තැනැත්තා ගායකයා මිස අප නොවෙයි. අප සේවාව ලබා ගන්නේ ගායකයාගෙන්. ඒ සඳහා අද ලංකාවේ ගායක ගායිකාවන්ගේ ප්‍රසංග ගායනයේ තක්සේරුව වන රුපියල් 20 000/- පමණ සිට ලක්ෂ 18 පමණ දක්වා පරාසයක මුදලක් අප ගෙවනවා. ගායකයා සිය වගකීම ඉටු කළා නම් මේ ප්‍රශ්නය පැන නගින්නේ නැහැ.

මේ ගැසට් නිවේදනයේ ප්‍රධාන වරදක් තමයි සෑම ප්‍රසංගයකදී ම, ගීතයක් ගැයෙන සෑම වාරයක් වෙනුවෙන් ම රුපියල් 10 000/- ක නිශ්චිත මුදලක් නියම කිරීම. එය ප්‍රතිශත අගයක් වුණා නම් ප්‍රායෝගිකයි. එවිට රුපියල් 20 000ක් අය කරන ගායකයාත් ලක්ෂ 18ක් අය කරන ගායකයාත් එක ම මුදලක් ගෙවිය යුතු වන්නේ නැහැ. ACPOSL සමඟ පිළිගත හැකි විසඳුම් රැසක් අප සාකච්ඡා කර තිබෙනවා.

නීතිඥ අමිත් ලියනගේ

සාමාජික (ACPOSL අධ්‍යක්ෂ මණ්ඩලය)

බුද්ධිමය දේපොළක් යන්න ගීතයට පිඬු කළාට එය සෑම නව නිර්මාණයක් කරා ම විහිදෙන නීතිමය තත්ත්වයක්. සාහිත්‍ය කලා අංශ ගණනාවක් මේ යටතේ ආවරණය වී තිබුණත් ගීතය කියා අංගයක්, විෂයක් මේ යටතේ සඳහන් වන්නේ නැහැ. එහි සඳහන් වන ‘සංගීතය සමඟ ගයන වචන ඇතුළත් වන හෝ නොවන හෝ සංගීත කෘති’ යන කොටසටයි ගීතය අයත් වන්නේ.

හැම විට ම ප්‍රකාශන හිමිකම මගින් ආරක්ෂාව ලැබෙන්නේ නිර්මාණකරුවාට (Creator) සහ නිර්මාණයට (Creation). එය ද කෙනෙකුගේ මනසේ නිර්මාණය වන මුල් කෘතියක් (Original Creation) එනම් ස්වතන්ත්‍ර නිර්මාණයක් විය යුතුයි. ඒ අනුවයි ගායනයට උචිත ව රචනා කරන පදවලට (ගේය පද) සංකල්පමය දායකත්වය ලබා දෙන තැනැත්තා සහ ඒ පද ගායනයට සුදුසු පරිදි සංගීතමය සංකල්පනාව රචනා කරන සංගීතඥයා ගීතයක මුල් නිර්මාණකරුවන් (Creators) සහ ගීතයක කතෘවරුන් ලෙස සලකන්නේ.

මේවා මීට අවුරුදු 140කට පෙර එනම් 1886 වසරේදී බර්න් සම්මුතිය ඔස්සේ ඇති කර ගත් සම්මත. ශ්‍රී ලංකාවේ කතෘ හිමිකම (Copyright Law) බලපැවැත්වෙන්නේ 1842 වසරේ පමණ සිට බ්‍රිතාන්‍ය නීතිය යටතේ. එහි විවිධ සංශෝධනවලින් පසු 1979 වසරේදී බුද්ධිමය දේපොළ පනත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබුවා. ඊට විවිධ සංශෝධන ඇතුළත් ව 2003 අංක 36 දරන  බුද්ධිමය දේපොළ පනත සම්මත වුණා. ඒ නිසා ශ්‍රී ලංකාවට දිගු ඉතිහාසයක් සහිත විෂයක් මෙය. ඊට අනුව ආර්ථික සහ බුද්ධිමය අයිතිය ඇතුළු සියලු ම හිමිකම් ලබා දෙන්නේ මුල් නිර්මාණකරුවන්ට.

මෙහිදී ගායන ශිල්පියා මුල් නිර්මාණකරුවකු (Creator) ලෙස නොසලකන නිසා සහ ගීතය මුල් නිර්මාණයක් (Creation) ලෙස නොසලකන නිසා නිර්මාණකරුවකුට සහ නිර්මාණයකට ලබා දී ඇති අයිතිය හෝ හිමිකම හෝ ඔවුන්ට ලැබෙන්නේ නැහැ. නිර්මාණකරුවන්ට ලැබෙන අයිතීන් 2003 පනතේ 9 වන වගන්තියේ පැහැදිලි ව දක්වා තිබෙනවා. මෙය ගීත රචනයට හෝ තනු රචනයට හෝ පමණක් නොවෙයි සාහිත්‍ය කෘති, සිනමා නිර්මාණ ඇතුළු සමස්ත නව නිර්මාණවලට ම පොදු නීතියක්.

ගායක පාර්ශ්වය ඉල්ලා සිටින ආකාරයට සමාන අයිතිය හිමිවීමට නම් පළමුවෙන් ම ගායකයා, ඉදිරිපත් කරන්නා (Performer) යන අර්ථකථනයෙන් සහ හැකියා, කුසලතා සහ ශිල්පීය දක්ෂතා (Skills/ Craft) මත නිර්මාණයකට දායක වන්නකුගෙන් ඉවත් කර නිර්මාණකරුවකු  (Creator)  ලෙස සහ බුද්ධිමය දේපොළක් (Intellectual Property) සම්පාදනය කරන්නෙකු ලෙස අර්ථකථනය කරවා ගත යුතුයි. මේ අයිතිවාසිකම් ද්විත්වය පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් නිවැරදි ව ම රේඛාවකින් බෙදා වෙන් කර ඇති අර්ථකථන දේශීය ව අපට පමණක් වෙනස් කළ නොහැකියි. එය ඊට එකඟ ව සිටින රටවල් 182හි ම සම්මතයෙන් අන්තර්ජාතික ව සිදු කළ යුත්තක්.

ගායකයාට ගීතයක් පටිගත කර වසර පණහක් දක්වා පනතේ සඳහන් පරිදි එම පටිගත කිරීමට වාණිජ (ආර්ථික) හෝ කර්තෘභාග හිමිකමක් ලැබිය යුතු වුවත් එය කර්තෘ හිමිකමක්, අයිතියක් වන්නේ නැහැ. නමුත් කර්තෘවරයා හෙවත් නිර්මාණකරුට ජීවිතාන්තය දක්වාත් ඔහු හෝ ඇය හෝ මිය ගොස් වසර 70ක් ගත වන තුරු නෛතික උරුමක්කාරයන්ටත් නිර්මාණයේ ප්‍රතිලාභ ලැබීමේ අයිතිය හිමියි.

ගායක ගායකාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් රෝම සම්මුතිය, WPPT, බීජිං සම්මුතිය වැනි ජාත්‍යන්තර සම්මුති ගණනාවක් තිබෙනවා. ඔවුන් ඒවා අධ්‍යයනය කර, ඒවාට අත්සන් තබා සාමාජිකත්වය ලබාගෙන, ස්වකීය අයිතීන් හඳුනාගෙන ක්‍රියා කිරීමයි කළ යුත්තේ. එසේ නොමැති ව කර්තෘ හිමිකම් දරන්නන්ට තිබෙන අයිතීන් ආරක්ෂා කර නොදී ඒවා නැති කර දැමීමට නොවෙයි ශිෂ්ටසම්පන්න නම් ක්‍රියා කළ යුත්තේ.

අයිතියේ කලකලය

අයිතියේ කලකලය