#ක්‍රීඩා

කෙළි බිම විස්කම්

ක්‍රීඩා 43කින් සමන්විත ව සැප්තැම්බර් 19 දින සිට ඔක්තෝබර් 04 දින දක්වා 20 වැනි ආසියානු ක්‍රීඩා උලෙළ පැවැත්වෙන්නේ මීට වසර 05කට ඉහත කොවිඩ් 19 වසංගතය හේතුවෙන් හිස් වූ, එහෙත් ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළ පවත්වා තිබූ ක්‍රීඩාංගණවලදී.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපතිනිය වන Kirsty Coventry පසෙකින් සිටියදී නරුහිතෝ අධිරාජයා ක්‍රීඩා උළෙල විවෘත කළ අතර හිටපු ආසියානු ක්‍රීඩා මිටිය විසිකිරීමේ ශූරයන් වන Shigenobu Murofushi සහ Koji Murofushi යන ජපානයේ පිය පුතු යුගලය ආසියානු ක්‍රීඩා පහන දැල්වූවා.

ජපානයේ අයිචි-නගෝයා නගරයේදී රුමේෂ් තරංග පතිරගේගෙන් ආසියානු ක්‍රීඩා හෙල්ල විසිකිරීමේ රන් පදක්කමක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිටි ශ්‍රී ලංකාව ඊට පෙර රිදී පදක්කමකින් සැනසීමක් ලබා ගත්තේ ඔවුන්ගේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන්. අවසාන තරගයේදී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාවට අත්වුණේ ලකුණු 147ක පරාජයක්. චීනයේ හැංජෝ නගරයේ පැවති පසුගිය ආසියානු ක්‍රීඩා උලෙළේදීත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට හිමිවුණේ රිදී පදක්කම. මෙවර පදක්කම ශ්‍රී ලංකාව 2026 ආසියානු ක්‍රීඩා උලෙළේ දිනා ගත් පළමු පදක්කම වුණා.

1951 වසරේ මංගල ආසියානු ක්‍රීඩා උලෙළේ පෙනී සිටීමෙන් පසුව ශ්‍රී ලංකාව මෙවර එම ක්‍රීඩා උළෙලට සහභාගි වුණේ 20 වැනි වතාවට. ශ්‍රී ලංකා කණ්ඩායම 156 දෙනෙකුගෙන් සමන්විත වූ අතර ඊට ක්‍රීඩකයන් 100 දෙනෙක් හා ක්‍රීඩිකාවන් 56 දෙනෙක් ඇතුළත් වුණා. මෙය ශ්‍රී ලංකාව මෙතෙක් ආසියානු ක්‍රීඩා උළෙලකට සහභාගි කර වූ විශාලතම කණ්ඩායම. කණ්ඩායම් නිලධාරින් 82 දෙනෙක් ද ශ්‍රී ලංකා නියෝජිත පිරිසට ඇතුළත් ව සිටියා. ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළේ ගෲප් කපිතාන් එරන්ද ගිණිගේ. අශෝක් ජෙයකුමාර් නියෝජ්‍ය ප්‍රධානියා ලෙස නම් කර තිබුණා.

මෙවර ආසියානු ක්‍රීඩා උලෙළේදී රටවල් 45කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,000ක් තරග 469කට සහභාගි වන අතර මෙය ඔලිම්පික් ක්‍රීඩා උලෙළටත් වඩා වැඩි සහභාගිත්වයක්. ආසියානු ක්‍රීඩා උලෙළේ ශ්‍රී ලංකා සහභාගිත්වය වෙනුවෙන් සියලු වියදම් දරන්නේ  ක්‍රීඩා අමාත්‍යාංශය.

සමාරම්භක උත්සවයේ ආචාර පෙළපාළියේදී ශ්‍රී ලංකා ධජය රැගෙන ගියේ නවීන පංචප්‍රයාම ක්‍රීඩක ඉසිවරුණ ද සිල්වා හා කලාත්මක ජිම්නාස්ටික් ක්‍රීඩිකා නුයාරා ප්‍රනාන්දු. ඉසිවරුණ ජාත්‍යන්තර මට්ටමෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයෙකු වන අතර නුයාරා 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ ඇතුළු ව සැලකිය යුතු ජාත්‍යන්තර අත්දැකීම් තිබෙන දක්ෂ ක්‍රීඩිකාවක්.

ශ්‍රී ලංකාව මෙවර ක්‍රීඩා 26කට සහභාගි වෙනවා. එම ක්‍රීඩා වුණේ 3ං3 බාස්කට්බෝල්, දුනු විදීම, මලල ක්‍රීඩා, බැඩ්මින්ටන්, වෙරළ වොලිබෝල්, බොක්සිං, ක්‍රිකට්, කිමිදුම්, හොකී, ගොල්ෆ්, ජිම්නාස්ටික්ස්, ජූඩෝ, කබඩි, කරාටේ, නවීන පංචප්‍රයාම, ඔරු පැදීම හා රුවල් ඔරු පැදීම, සත්-සාමාජික රග්බි, ස්කොච්, සර්ෆිං, පිහිනුම්, ටේබල් ටෙනිස්, ටයිකොන්ඩෝ, බර ඉසිලීම, මල්ලවපොර හා වුෂූ.

2026 ආසියානු ක්‍රීඩා උළෙලේ පළමු රන් පදක්කම සත්කාරක දේශය වන ජපානයට ම හිමිවීම විශේෂත්වයක්. එම පදක්කම පිරිමි තුන්ප්‍රයාම ඉසව්ව ජයග්‍රහණය කරමින් 30 හැවිරිදි Takumi Hojo දිනා ගත්තේ මිනිත්තු 52යි තත්පර 56ක කාලයක් සටහන් කරමින්.

මෙවර ආසියානු ක්‍රීඩා පිහිනුම් තටාකයේ කාගේත් අවධානය යොමු වූ පුංචි වීරවරියක් සිටියා. ඇය චීනයේ 13 හැවිරිදි යූ සිඩි. මේ පිහිනුම් ආශ්චර්යය මීටර් 200 සමනලආර ඉසව්වේ කිරුළ පැලඳුවේ මිනිත්තු 2යි තත්පර 5.08ක වාර්තාගත කාලයක් ද සටහන් කරමින්. මේ වයසින් කුඩා දැරිය චීනයේ ම සංග් යූෆී පිහිටුවා තිබූ ආසියානු ක්‍රීඩා වාර්තාව තත්පරයෙන් අඩකට ආසන්න කාලයකින් මකා දැමුවා.

ආසියානු ක්‍රීඩා උලෙළේ ශ්‍රී ලංකාවේ වාර්තා අනුව රට මේ දක්වා පදක්කම් 51ක් හිමිකරගෙන තිබෙන අතර මෙයින් රන් පදක්කම් තිබෙන්නේ 12ක්. රිදී පදක්කම් 13ක් සහ ලෝකඩ පදක්කම් 26ක් ද ඒ අතර වනවා. ශ්‍රී ලංකාව එක් ආසියානු ක්‍රීඩා උලෙළකදී ලබා ගත් වැඩි ම පදක්කම් සංඛ්‍යාව ලෙස සටහන් ව තිබෙන්නේ පදක්කම් 06ක් වන අතර මෙය ඔවුන් අවස්ථා තුනකදී ම වාර්තා කර තිබෙනවා. ආසියානු ක්‍රීඩා තරග බිමේ ශ්‍රී ලංකාවේ හොඳම දක්ෂතාව ප්‍රදර්ශනය වුණේ 1998 බැංකොක් තරගාවලියේ. එහිදී ඔවුන් රන් හා ලෝකඩ පදක්කම් තුන බැගින් පදක්කම් 06ක් දිනා ගත්තා. නැවත වතාවක් 2002 බූසාන් ආසියානු ක්‍රීඩා උලෙළේදී රන් 2ක්, රිදී 1ක් හා ලෝකඩ 3ක් ඇතුළු ව පදක්කම් 06ක් දිනා ගත් ශ්‍රී ලංකාව 1966 බැංකොක් ක්‍රීඩා උලෙළේදී ලෝකඩ පදක්කම් 06ක් හිමි කරගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවේ රන් පදක්කම් 12න් 11ක් ම ලැබී තිබෙන්නේ මලල ක්‍රීඩාවෙන්. අනෙක් රන් පදක්කම ක්‍රිකට් ක්‍රීඩාවෙන් 2014 ඉන්චොන්හිදී වාර්තා වුණා. රිදී හා ලෝකඩ පදක්කම් සටනේදී ද මලල ක්‍රීඩාව රිදී 07කට හා ලෝකඩ 13කට වග කියා තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව රිදී 02ක් හා ලෝකඩ පදක්කමක් එක්කර තිබෙනවා.

ගොල්ෆ් ක්‍රීඩාව රිදී පදක්කම්වලට දායක ව සිටින අතර බොක්සිං, ටෙනිස් හා රුවල් ඔරු පැදීම වෙනුවෙන් රිදී පදක්කම බැගින් දිනාගෙන තිබෙනවා. ලෝකඩ පදක්කම් හිමිකර ගත් ක්‍රීඩා අතර බොක්සිං හා ටෙනිස් පදක්කම් 04ක්, පාපැදිය පදක්කම් 02ක්, රුවල් ඔරු හා කරාටේ එක් පදක්කම බැගින් සටහන් කර තිබෙනවා.

මේ අනුව ශ්‍රී ලංකාව මෙවර ආසියානු ක්‍රීඩා තරග බිමට පිවිසියේත් ප්‍රධාන වශයෙන් මලල ක්‍රීඩාවෙන් හා ක්‍රිකට් ක්‍රීඩාවෙන් පදක්කම් අපේක්ෂාවෙන්. ඒ, අනෙකුත් ක්‍රීඩාවල දායකත්වය එක් ක්‍රීඩා උලෙළකින් තවත් උලෙළකට වෙනස් වී ඇති බැවින්. ශ්‍රී ලංකාව මෙවර ක්‍රීඩා 26කට සහභාගි වන්නේ වැඩි පදක්කම් දිනා ගැනීමේ බලාපොරොත්තුවෙන්. 

2022 වසරේ චීනයේ පැවති පසුගිය ආසියානු ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාව රන් පදක්කමක්, රිදී පදක්කම් 02ක් හා ලෝකඩ පදක්කම් 02ක් ඇතුළු ව පදක්කම් 05ක් දිනා ගත්තා.

මෙවර ක්‍රීඩා උලෙළ වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීමේදී දෝෂ තිබූ අතර අවසාන දිනයට පෙර මේ තේරීම් සම්පූර්ණ කිරීමට ඇතැම් ජාතික ක්‍රීඩා සංගම් ප්‍රමාද වූ නිසා ප්‍රශ්න උද්ගත වූ බව ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ සහ ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති අසංග සෙනවිරත්න ප්‍රකාශ කර තිබුණා. ඇතැම් ජාතික සංගම්වල අකාර්යක්ෂමතාවේ ප්‍රතිඵලයක් ලෙස ඒවායේ ක්‍රීඩකයන්ට ආසියානු ක්‍රීඩා උලෙළේ තරග කිරීමට තිබූ අවස්ථා මඟහැරුණු බවටත් ඔවුන් චෝදනා කර තිබුණා.

අයිචි-නගෝයා ආසියානු ක්‍රීඩා උලෙළ දියත් වුණේ නවාතැන් හා ප්‍රවාහනය සම්බන්ධයෙන් ක්‍රීඩකයන් හා නිලධාරින්ගෙන් නැඟුණු පැමිණිලි මධ්‍යයේ. ක්‍රීඩකයන් වෙනුවෙන් තිබිය යුතු ක්‍රීඩක ගම්මානය වෙනුවට සංවිධායකයන් තාවකාලික දැව කන්ටේනර, හෝටල කාමර කිහිපයක හා සංචාරක යාත්‍රාවක නවාතැන් සපයා තිබුණේ වියදම් කපා හැරීමේ ක්‍රමවේදයකට අනුව.

සාමකාමී ක්‍රීඩා උලෙළක අපේක්ෂා මුලදී ම බිඳ වැටෙමින් සිද්ධි කිහිපයක් ද මෙවර වාර්තා වුණා. තායිවානයේ ක්‍රීඩා ඇමති සහ හිටපු ඔලිම්පික් ශූරයෙකු වන Lee Yang තායිවාන නියෝජිත පිරිස  පිළිගැනීමේ උත්සවයට පැමිණීමට ඉඩ නොදීම හේතුවෙන් ඔවුන් ඊට සහභාගි වීම තාවකාලික ව ප්‍රතික්ෂේප කළා.

වර්නන් ගුණසේකර