#විදේශ විත්ති

නිමාවක් නැති මැද පෙරදිග හටන

ඇමරිකා-ඊශ්‍රායල හා ඉරාන යුද්ධය යනු මැද පෙරදිගට හෝ ඇමරිකාවට හෝ පමණක් බලපාන යුද්ධයක් නොවෙයි. අප වැනි  රටවලට ද මෙහි වක්‍ර බලපෑමක් තිබෙන බව කවුරුත් දන්නා කාරණයක්. ඊට ප්‍රධාන වශයෙන් ම හේතු වී ඇත්තේ මේ යුද ගැටුම නිසා ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ඉහළ යාම. තෙල් මිල ඉහළ යාමට වැඩි වශයෙන් ම බලපෑවේ ඉරානය ආසන්නයේ ඇති ඉතා වැදගත් නැව් මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමනයට ඉරානය විසින් බාධා කරනු ලැබීම. ලෝකයේ සමස්ත තෙල් සැපයුමෙන් 20%කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කෙරෙන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා.

මේ යුද්ධය අවසානයක් කරා ගමන් කරනු ඇති බවට යම් බලාපොරොත්තුවක්  පසුගිය ජූනි මාසයේ බොහෝ පාර්ශ්ව තුළ ඇති වූ ආකාරයක් දැකගන්නට ලැබුණා. ඊට හේතු වූයේ ඇමරිකාව සහ ඉරානය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම. දින 60ක කාලයක් සඳහා අත්සන් කෙරුණු මේ ගිවිසුමට කාරණා 14ක් ඇතුළත් වුණා. එහි මුලින් ම පැවතියේ දෙපාර්ශ්වය එකිනෙකා වෙත ප්‍රහාර එල්ල කර ගැනීම නතර කිරීම. එකිනෙකාගේ ස්වෛරීභාවයට ගරු කරන බවත් ඔවුන් එයින් ප්‍රකාශ කළා. එහිදී හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ඉරානය එකඟ වූ අතර ඒ වනවිට ඇමරිකාව ඉරාන වරායට අදාළ ව ක්‍රියාත්මක කරමින් සිටි නාවුක අවහිරය ඉවත් කර ගැනීමට ඇමරිකාවත් එකඟ වුණා.

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට අදාළ ව ද යම් එකඟතා ඇති වුණා. න්‍යෂ්ටික අවි නිපදවීමක් හෝ මිල දී ගැනීමක් හෝ සිදු නොකරන බවට ඉරානය මෙහිදී එකඟ වී තිබුණා. යුද්ධය ආරම්භ කරමින් ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කරද්දී ඔවුන් පැවසුවේ ඉරානය න්‍යෂ්ටික අවි අත්පත් කර ගැනීම වැළැක්වීම සඳහා එසේ කරන බව.

මේ අවබෝධතා ගිවිසුම අත්සන් කළේ දින 60ක කාලයකට. ඒ අතර කාලයේ ස්ථිර සාම ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා කර එකඟතාවකට පැමිණීමට නියමිත ව තිබුණා. කෙසේ වෙතත් එම ක්‍රියාදාමය අපේක්ෂා කළ ආකාරයෙන් සාර්ථක වුණේ නැහැ. එකිනෙකා කෙරේ පැවති අවිශ්වාසය නිසාත් කොන්දේසි ඉටු කිරීමේ පැවති ගැටලු නිසාත් එය බිඳ වැටුණා. නැවතත් ප්‍රහාර ආරම්භ වුණා. අවබෝධතා ගිවිසුම කාලයේ තරමක් අඩු වී, ස්ථාවර වී තිබූ තෙල් මිලත් නැවත ඉහළ යාමට පටන් ගත්තා.

යුද්ධය ආරම්භ වූයේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන කේන්ද්‍ර කරගෙන. එසේ වුවත් පසුව හෝමුස් සමුද්‍ර සන්ධිය පිළිබඳ කාරණය වඩා ප්‍රධාන කාරණය බවට පත් වූ බවක් දැකිය හැකි වුණා. මේ සමුද්‍ර සන්ධිය මත සිය බලය පැතිරවීමට ඉරානයට හැකි වීම ඇමරිකාවට සහ ඔවුන්ගේ මිත්‍ර පාර්ශ්වවලට දීර්ඝකාලීන ව ද  උපායමාර්ගික ව විශාල අවාසියක්. එම පසුබිමෙහි ඇමරිකාව පසුගිය දිනවල වැඩිපුර ම ප්‍රහාර එල්ල කළේ ඉරානයේ මේ හැකියාව දුර්වල කිරීමට. සමුද්‍ර සන්ධිය ආශ්‍රිත ඉරානයේ හමුදාමය යටිතල පහසුකම් සහ නාවුක බලය විනාශ කිරීම ඇමරිකාවේ ප්‍රධාන මෙහෙයුම බවට පත් ව තිබෙනවා. මේ අරමුණ ඉටු කරගන්නා තුරු ස්ථිර සටන් විරාමයකට එළැඹීමට ඇමරිකාව සූදානම් නැති බවක් දැකිය හැකි වුණා. ඉරානය ද මේ කාරණයේදී පරාජය භාර ගැනීමට සූදානම් නැහැ. පසුගිය දිනවල යුද්ධය ඉදිරියට ඇදී ගියේ ප්‍රධාන වශයෙන් මේ කාරණය පසුබිම් කරගෙන.

ඒ අතර ඉරානයේ මිත්‍ර පාර්ශ්වයක් වන හූති සටන්කාමීන් සහ ඇමරිකාවේ මිත්‍ර රටක් වන සෞදි අරාබිය අතර ඇති වූ ගැටුමත් පසුගිය දිනවල කැපී පෙනුණු සිද්ධියක්. මේ ගැටුම ඇති වූයේ රතු මුහුදු කලාපය කේන්ද්‍ර කරගෙන. රතු මුහුදත් ලෝකයේ තෙල් ප්‍රවාහනයේදී වැදගත් මුහුදු කලාපයක්. ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමෙන් පසු සෞදි අරාබිය රතු මුහුද ඔස්සේ ඔවුන්ගේ තෙල් ප්‍රවාහනය කළා. එහිදී යේමනයේ සිට ක්‍රියාත්මක වන ඉරාන හිතවාදී හූති සටන්කාමීන් සෞදි තෙල් නැව්වලට සහ තවත් යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කරමින් එම ප්‍රවාහන කටයුතු නතර කිරීමට උත්සාහ ගනු දක්නට ලැබුණා. පසුගිය කාලයේ තෙල් මිල නැවත ඉහළ යාමට රතු මුහුදේ මේ ගැටලුවත් හේතුවක් වුණා.

කෙසේ වෙතත් නැවතත් යම් සාම ක්‍රියාදාමයක් ආරම්භ වේවි ද යන කුතූහලයක් සැප්තැම්බර් අග භාගය වනවිට මතු වෙමින් තිබුණා. ප්‍රධාන වශයෙන් ඊට හේතු වූයේ ඉරානය කරුණු 07කින් යුතු අලුත් යෝජනාවලියක් ඇමරිකාව වෙත ඉදිරිපත් කිරීම. ඔවුන් මෙය යොමු කර තිබුණේ මැදිහත්කාර පාර්ශ්වයක් වන කටාර් රාජ්‍යය ඔස්සේ.

එක්සත් ජාතීන්ගේ මහ සභා රැස්වීමක් ද එම දිනවල ඇමරිකාවේ නිව්යොර්ක් නුවර පැවැත්වුණු අතර ඊට සහභාගි වීමට එන ඉරාන ජනාධිපති Masoud Pezeshkian  සහ ජනාධිපති Donald Trump අතර මුහුණට මුහුණ හමුවක් පැවැත්වෙනු ඇතැයි ද බලාපොරොත්තු පළ වුණා.

මේ නායකයන් අතර හමුවක් සිදු වුණේ නැහැ. එහෙත් ඇමරිකාවේ සහ ඉරානයේ ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායම් දෙකක් අතර සාකච්ඡා පැවැත්වුණු බව වාර්තා වුණා. මැද පෙරදිග කලාපය පිළිබඳ ඇමරිකානු විශේෂ නියෝජිත Steve Witkoff සහ ජනාධිපති Trump බෑනා වන Jared Kushnerඇමරිකාව නියෝජනය කළ අතර ඉරාන විදේශ අමාත්‍ය Abbas Araghchi ඉරාන කණ්ඩායමේ නායකත්වය දැරුවා. ඉරානය සකස් කළ යෝජනාවලිය ගැන මෙහිදී සාකච්ඡා වූ බවත් වාර්තා වුණා.

දින 07ක් හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන් විවෘත කිරීමට එහිදී ඉරානය එකඟ වී තිබුණා. එහෙත් ඒ වෙනුවෙන් ඇමරිකාව ඉරාන වරායට එරෙහි ව ක්‍රියාත්මක කරන නාවුක අවහිරය ඉවත් කර මේ වනවිට අත් හිටුවා ඇති ඇමරිකානු ඩොලර් බිලියන 12ක ඉරාන වත්කම් නිදහස් කළ යුතු බවත් යෝජනාවලියේ සඳහන් වූ බැව් වාර්තා වුණා. මේ යෝජනාවලිය ඔස්සේ සාම සාකච්ඡා ඉදිරියට යාවි ද? අවසානයේ යුද්ධයේ නිමාවක් එළැඹේවි ද? යන්න තවමත් නිශ්චිත ව පවසන්නට බැහැ.

මේ යුද්ධය ආරම්භ කළේ ඇමරිකාව සහ ඊශ්‍රායලය වුවත් ඒ රටවල නායකයන්ටත් එය විශාල ප්‍රශ්නයක් වී තිබෙනවා. යුද්ධය නිසා එම රටවල ජනතාව ද දැඩි ආර්ථික පීඩනයකට මුහුණ දී සිටින අතර ඒ Donald Trump පරිපාලනය මෙන් ම ඊශ්‍රායල අගමැති Benjamin Netanyahu ආණ්ඩුව ද ජනප්‍රියත්වයෙන් පිරිහෙමින් තිබෙනවා.

ඇමරිකානු කොංග්‍රසයට නියෝජිතයන් තෝරා ගැනෙන වාර මැද මැතිවරණයක් නොවැම්බර් මාසයේ පැවැත්වෙන අතර ඊශ්‍රායලයේ පාර්ලිමේන්තු මැතිවරණය ඔක්තෝම්බර් මාසයේ පැවැත්වීමට නියමිතයි. මේ මැතිවරණවලදී නායකයන්ගේ පක්ෂ පසුබෑමට ලක්වනු ඇති බවයි දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ. එහෙත් ඔවුන්ට දැන් ම යුද්ධය නවත්වා ගන්නට නොහැකි ව ඇත්තේ සිතූ තරම් ජයග්‍රහණ ලබා ගන්නට නොහැකි වූ නිසා. සැබැවින් ම ඉරානය පරාජය කිරීමට මේ තරම් කාලයක් ගතවනු ඇතැයි ඔවුන් සිතුවේ නැහැ.

නොබෝදා ඊශ්‍රායලයේ කළ සමීක්ෂණයකින් අපූරු කාරණයක් හෙළි වී තිබුණා. යුද්ධයේ ජයග්‍රාහකයා ඉරානය බව ඊශ්‍රායල ජනතාවගෙන් 92%ක් පමණ සිතන බවයි එයින් අනාවරණය වී තිබුණේ.