200ට උසස් වීම

- වර්නන් ගුණසේකර
මේ වසරේ ම මීට පෙර අවස්ථාවකදී ද ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු පාපන්දු කවුන්සලයේ ආසියානු කුසලාන සුදුසුකම්
ලැබීමේ තරගයකදී කාම්බෝජියාව පරාජය කරමින් අංක 205 සිට අංක 200 දක්වා ස්ථාන පහක් ඉහළට නැගීමට සමත් වුණා. පසුගිය සැප්තැම්බරයේ සිදුවූ මේ නැගීම 2019 වසරෙන් පසුව ශ්‍රී ලංකාවට ජගත් පාපන්දු සම්මේලනයේ ශ්‍රේණිගත කිරීම්වල සිය තත්ත්වය දියුණු කර ගැනීමට හැකිවූ ප්‍රථම අවස්ථාවයි. මේ අනුව ඔවුන් ආසියානු ශ්‍රේණිගත කිරීමේ ද අංක 46 සිට අංක 45ට පිවිසියා.

පාපන්දු ක්‍රීඩාව පාලනය කරන ලෝක බලධාරීන් වන FIFA ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 2019 වසරේදී අංක 205 ස්ථානයේ ද 2020 වසරේදී අංක 205 ස්ථානයේ ද 2020 වසරේදී අංක 206 ස්ථානයේ ද 2021 වසරේදී අංක 204 ස්ථානයේ ද 2022 වසරේදී අංක 207 ස්ථානයේ ද පසුගිය වසරේදී අංක 204 ස්ථානයේ ද පසුවෙමින් සිටියා.
ශ්‍රී ලංකාව මීට පෙර 2023 වසරේ අප්‍රේල් මාසය වන විට අංක 207 දක්වා පහළට බැස සිටි අතර අංක 200 දක්වා ඉහළට පිවිසීමට ඔවුන්ට මං විවර කළේ කාම්බෝජියාවට එරෙහි ව ලැබූ ජයග්‍රහණය. මෙය තරග කිහිපයකදී පරාජයකින් තොර ව සිට ශ්‍රී ලංකාව ලබා ගත් පළමු ජයග්‍රහණය ද වුණා. ශ්‍රී ලංකාව අංක 207ට පිවිසීම ඔවුන් මෑත ඉතිහාසයේ ශ්‍රේණිගත කිරීම්වල වැටුණු පහළ ම ස්ථානය. ශ්‍රී ලංකා පාපන්දුව ලෝක ශ්‍රේණිගත කිරීමේ මෙතෙක් ලබාගෙන තිබෙන ඉහළ ම ස්ථානය වන්නේ අංක 122. ඔවුන් එම තත්ත්වයට පිවිසියේ 1998 වසරේ නොවැම්බර් මාසයේ.
මේ අනුව ලෝක ශ්‍රේණිගත කිරීමේ සටහනේ කණ්ඩායම් කිහිපයක් පසු කරමින් අංක 200 ස්ථානය හිමිකර ගැනීමට අබ්දුල්ලා අල්මුටයිරිගෙන් පුහුණුව ලබන ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සමත් ව සිටිනවා. ශ්‍රී ලංකාවට ඔවුන්ගේ
ශ්‍රේණිගත කිරීම වර්ධනය කර ගැනීමට හැකිවූයේ අංක 180 වැනි ස්ථානයේ සිටි කාම්බෝජියාවට එරෙහි තරගය ජය
පැරදුමින් තොර ව අවසන් කර ගැනීමෙන් පසුව වාර්තා කළ පෙනල්ටි ප්‍රහාරය ජයග්‍රහණය නිසා. එම ජය වාර්තා වූයේ
2027 වසරේ සෞදි අරාබියේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීම පිණිස
කාම්බෝජියාවේ පැවති එරට කණ්ඩායමට එරෙහි ආපසු තරගයේ. කෙසේ වෙතත් පෙනල්ටි ප්‍රහාරයේදී 2-4ක පරාජයක් ලැබූව ද කාම්බෝජියාව ඔවුන්ගේ 180 වැනි ස්ථානයේ ම රැඳී සිටීමට සමත් ව සිටිනවා.
කුවේට් ජාතික අබ්දුල්ලා අල්මුටයිරි ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීමෙන් පසුව කණ්ඩායමේ ක්‍රීඩා රටාව ආක්‍රමණශීලී ලෙස වෙනස් ව තිබෙන්නේ ශ්‍රී ලංකා පාපන්දුවට නව යුගයක් උදා කරමින්. කාම්බෝජියාව පරාජය කරමින් ශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ තෙවැනි සුදුසුකම් ලැබීමේ වටය දක්වා ගෙන යාමෙන් ප්‍රදර්ශනය වූ ඔහුගේ සාර්ථකත්වය නිසා ක්‍රීඩා ලෝලීන්ගෙන් මෙන් ම පාපන්දු කළමනාකාරිත්වයේ ද විශ්වාසය හා සහයෝගය ඔහුට ලැබී තිබෙනවා.
අල්මුටයිරි ප්‍රසිද්ධ ව සිටින්නේ ඔහුගේ ආක්‍රමණය මුල්කර ගත් ශක්තිමත් කණ්ඩායම් ජීවයකින් යුත් ක්‍රීඩා විලාශයට. මෙය ශ්‍රී ලංකාවේ අභිලාෂ සමග මනාව ගැළපෙනවා. ඔහුගේ ධුර කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායමට නැවත පිබිදීමේ අවධානය හා උපායමාර්ග ගෙන එනු ඇතැයි අපේක්ෂා කෙරෙන්නේ ලබන වසරේ පැවැත්වෙන දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියට අල්මුටයිරි ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කරමින් සිටින මේ වකවානුවේ.
ශ්‍රී ලංකා පාපන්දුව නුදුරු අනාගතයේදී ම ආසියාවේ බලකණුවක් බවට පත්වන ලකුණු පහළ කර තිබෙනවා. ඒ, ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේ අංක 200 ස්ථානයට පිවිසෙමින්. ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට කලාපීය හා මහාද්වීපික වශයෙන් තිබෙන තත්ත්වය ඔසවා තැබීම අරමුණ කර ගත් ශ්‍රී ලංකා පාපන්දුවේ ධනාත්මක පරිවර්තනයේ උත්සාහයට යම් තරමක සාර්ථකත්වයක් ලැබී තිබෙන බවක් මෙයින් පෙන්නුම් කරනවා.
ශ්‍රී ලංකාව ජගත් පාපන්දු සම්මේලනයේ ශ්‍රේණිගත කිරීම්වල අංක 200 ස්ථානයට පිවිසියේ අංක 154 ස්ථානයේ සිටි යේමනය පරාජය කරමින්. ලෝක ශ්‍රේණිගත කිරීමේ අංක 203 ස්ථානයේ සිට යේමන් කණ්ඩායම සමග කටාර් දේශයේ තරග වැදීමට ශ්‍රී ලංකාවෙන් පිටත් ව ගිය කණ්ඩායම පෙරළා දිවයිනට පැමිණියේ අංක 200ට උසස් වීමක් ලබමින්. යේමනය සමග පැවති පළමු තරගය ගෝල් 1-0කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුව ද ආබාධයට ලක්වූ ප්‍රබල ක්‍රීඩකයන් කිහිපදෙනකු නොමැති ව තරග කළ දෙවැනි තරගයෙන් ගෝල් 0-2ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට සිදුවුණා. ඒ අනුව තරගමාලාව අවසන් වූයේ 1-1ක් ලෙස සම තත්ත්වයෙන්.
මේ වසරේ ම මීට පෙර අවස්ථාවකදී ද ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු පාපන්දු කවුන්සලයේ ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයකදී කාම්බෝජියාව පරාජය කරමින් අංක 205 සිට අංක 200 දක්වා ස්ථාන පහක් ඉහළට නැගීමට සමත් වුණා. පසුගිය සැප්තැම්බරයේ සිදුවූ මේ නැගීම 2019 වසරෙන් පසුව ශ්‍රී ලංකාවට ජගත් පාපන්දු සම්මේලනයේ ශ්‍රේණිගත කිරීම්වල සිය තත්ත්වය දියුණු කර ගැනීමට හැකිවූ ප්‍රථම අවස්ථාවයි. මේ අනුව ඔවුන් ආසියානු ශ්‍රේණිගත කිරීමේ ද අංක 46 සිට අංක 45ට පිවිසියා.
සුජාන් පෙරේරාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ප්‍රගතියට තවත් ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ එම කණ්ඩායමේ සිටින විදෙස් ක්‍රීඩකයන්. ගෝල් රකින්නා සහ ආරක්ෂක පෙළේ දෙතුන් දෙනකු හැරෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රධාන වශයෙන් සමන්විත ව තිබෙන්නේ ශ්‍රී ලංකාවේ සම්භවයක් සහිත ව විදෙස් තරගවල නියැළී සිටින ක්‍රීඩකයන්ගෙන් වන අතර ඔවුන්ගේ විදේශීය තරග අත්දැකීම් ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබී තිබෙන ඉතා වටිනා ආශිර්වාදයක්.
විශේෂයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ ක්‍රියාවන් නිසා ජගත් පාපන්දු සම්මේලනයේ තහනමට ලක්වීම ඇතුළු දේශපාලන අභියෝගවලට මුහුණදීමට ශ්‍රී ලංකා පාපන්දු පරිපාලනයට පසුගිය කාලයේදී සිදු වුණා. පාලනය කිරීමේ ගැටලූ හා ජාත්‍යන්තර තරග අවස්ථාවල තිබූ අඩුව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ප්‍රගතිය පමා කර තිබුණා.
නවතම ශ්‍රේණිගත කිරීමේදී දකුණු ආසියාවේ ඇතැම් රටවල් ඔවුන් සිටි ස්ථානවලින් පහළට වැටෙමින් සිටියදී ශ්‍රේණිගත කිරීමේ ඉනිමගේ ඉහළට නැගීමට හැකිවීම ශ්‍රී ලංකාවේ වැදගත් ජයග්‍රහණයක් පෙන්නුම් කරන අතර ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ අනාගත සාර්ථකත්වය ද එයින් පිළිබිඹු වනවා.
පසුගිය මාස 14 ඇතුළත ශ්‍රී ලංකාව ස්ථිර දියුණුවක් ලබා තිබෙන්නේ යුරෝපයේ හා ලොව අනෙකුත් ප්‍රධාන පෙළේ තරගාවලිහි ක්‍රීඩා කරන වෘත්තීය ක්‍රීඩකයන් 14 දෙනෙක් කණ්ඩායමට එක් කර ගනිමින්. සිය මවුපිය සම්බන්ධකම් මත ශ්‍රී ලංකාවට ක්‍රීඩා කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින මේ වෘත්තීය ක්‍රීඩකයන් සමග දේශීය ක්‍රීඩකයන් 20කට ආසන්න සංඛ්‍යාවක් මිශ්‍ර කිරීමෙන් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමට ලැබී තිබෙන්නේ විශාල ලාභයක්.
යේමනයට එරෙහි ව නොවැම්බරයේ ලබා ගත් ජයග්‍රහණයට පෙර ශ්‍රී ලංකාව සහභාගි වූ ජාත්‍යන්තර තරග 08කදී ඔවුන්
කාම්බෝජියාවට එරෙහි ව 4-2ක් හා භූතානයට එරෙහි ව 2-0ක් වශයෙන් ජයග්‍රහණ දෙකක් ද ජය පැරදුමින් තොර ප්‍රතිඵල තුනක් හා පරාජ තුනක් ද වාර්තා කළා.
ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම වර්තමානයේ සීඝ්‍ර දියුණුවක් ලබා තිබෙන්නේ ජස්වර් උමාර් ශ්‍රී ලංකා පාපන්දු
සම්මේලනයේ මුල් පුටුවට පිවිසීමෙන් පසුව වීම විශේෂත්වයක්. ආසියානු පාපන්දු තරග බිමේ ප්‍රබල තරගකරුවකු ලෙස ක්‍රමක්‍රමයෙන් ඉස්මතු වෙමින් සිටින ශ්‍රී ලංකාව ඉදිරි වසරවලදී සැලකිය යුතු බලවේගයක් බවට පත්වෙමින් සිටිනවා.