ගින්නේ වින්නැහිය

- සුගත්ප්‍රිය කුලතුංග ආරච්චි

ඩොලර් බිලියන 300කට ආසන්න ධන හානියකට හේතු වූ දරුණු ලැව්ගිනි මාලාවක් ජනවාරි දෙවැනි සතියේ දකුණු කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් ප්‍රදේශය පුරා පැතිර ගියා. වාර්තාවලට අනුව මෙය දශක හතරකට වැඩි කාලයකින් පසු ඇති වූ වඩාත් ම විනාශකාරී ලැව්ගින්න. මූලික ගිනි ජාලා දෙකක් ඇතුළු ව තැනින් තැනින් මතු ව සති ගණනක් පුරා ඇවිළ ගිය ප්‍රධාන ලැව්ගිනි 07කින් සමන්විත වූ මේ ලැව්ගිනි මාලාව සුප්‍රකට හොලිවුඩයේ මහා මන්දිර පවා දවා අළු කර දැමීමට තරම් දැඩි හානියක් කළා. ගින්නේ බලපෑම කෙතෙක්දයත් සිය ජනාධිපති ධුරයේ දෙවැනි වර වැඩ ඇරැඹු සැනින් ම ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාට ද ආපදාව පිළිබඳ ප්‍රමුඛතාව ලබාදීමට සිදුවුණා.
ජනවාරි 7 දින සිට ඇවිළීම ඇරැඹුණු විශාලතම ගිනි ජාලා දෙක ජනවාරි 25 දක්වා පැතිර යමින් තිබුණා. ඒ වන විට වාර්තා වුණේ මරණ 28ක්. වාර්තාගත ආකාරයට 12කට අධික පිරිසක් අතුරුදහන් ව තිබුණා. 100,000කට වැඩි පිරිසකට සිදු වූයේ තම නිවෙස්වලින් පලා යාමට. ගින්නෙහි දරුණුතම අවස්ථාවේදී පුද්ගලයන් 180,000කට වැඩි පිරිසක් ඉවත් කිරීමට නියෝග කළා. කැලිෆෝනියාව, මෙක්සිකෝවේ කාර්යමණ්ඩලය සහ තවත් ප්‍රාන්ත නවයක ගිනි නිවන රථ 1,400ක්, ගුවන් යානා 84ක් ගින්න නිවා දැමීමට සටනේ යෙදුණා. බහුවිධ ලැව්ගිනි ජාලාවන් හේතුවෙන් දැවී ගිය සමස්ත ප්‍රමාණය අක්කර 40,300ක්. ගින්නෙන් ප්‍රාන්තයට සිදු වූ සමස්ත මූල්‍යමය පාඩුව ඩොලර් බිලියන 250 සිට ඩොලර් බිලියන 275 හෝ ඊට වැඩි වන්නට පුළුවන්.
ප්‍රධාන හානිය කළ පළමු ලැව්ගින්න ජනවාරි 7 දින ලොස් ඇන්ජලීස්හී පැසිෆික් පලිසේඩ්ස් ප්‍රදේශයෙන් ආරම්භ වූ බව වාර්තා වුණා. Palisades fire සෙරු ලෙස කතාබහට ලක්වූ මෙයට ගොදුරු වූ භූමිය ලොස් ඇන්ජලීස් නගරයට කිලෝමීටර් 32ක් (සැතපුම් 20ක්) පමණ බටහිර දෙසින් පිහිටා ඇති සැන්ටා මොනිකා කඳු සහ පැසිෆික් සාගරය අතර පැතිර ගිය ධනවතුන් ගැවසෙන ප්‍රදේශයක්. මේ මහා ගින්න ධනවතුන්ට අයත් නිවාස සහ ගොඩනැඟිලි 1,121ක් සහමුලින් ම පුළුස්සා දැමූ 2018 වසරේ උදදකිැහහි පැතිර ගිය ගින්න ද අභිභවා ගියා. ඒ අනුව ගොඩනැඟිලි 5,300ක් විනාශ කර දැමූ මෙය ලොස් ඇන්ජලීස් ඉතිහාසයේ වඩාත් ම විනාශකාරී ලැව්ගිනි ජාලා අතරින් එක් ලැව්ගින්නක්. හොලිවුඩයේ ධනවත් පන්තියේ නළු නිළියන්ට අයත් බිලියන ගණන් වටිනා මහා මන්දිර පවා එක රැයින් ඔවුන් ඇස් ඉදිරිපිට ම අළු කර දැමීමට ද සමත් වූයේ මේ පැලිසේඩ් ජාලාව. පැලිසේඩ්ස් ගින්න ජනවාරි 21 දින වන විට අක්කර 23,400කට වැඩි ප්‍රදේශයක් දවා අළු කළ බව වාර්තා වුණා.
මේ ගින්න හේතුවෙන් නාසා ආයතනයේ ප්‍රධාන පරීක්ෂණාගාරය වන කැල්ටෙක් ආයතනය ඇතුළු ප්‍රධාන ආයතන ගණනාවක් වසා දැමුණා. හැරී කුමරුගේ මාලිගයක් මෙන් ම පැරිස් හිල්ටන්, කාර්ඩිශාන්, ඇන්තනි හොප්කින්ස්, අරියානා ග්‍රන්ඩේ, ජේම්ස් වුඩ්ස්, මැන්ඩි මුවර්, බිලී ක්‍රිස්ටල්, ටීනා නෝල්ස්, කැරී එල්වෙස්, ජෝෂුවා ජැක්සන්, රිකී ලේක්, මෙලිසා රිවර්, ඇනා ෆාරිස්, ස්පෙන්සර් ප්‍රට්, හයිඩි මොන්ටැග්, බෙලා හැඩිඩ්, සූයි ඩෙස්චනෙල් සහ සාරා ස්ටවුඩින්ගර් ඩයෑන් වොරන්, බි්රට්නි ස්පියර්ස්, ටැටම් ඕ‘නීල් සහ කැමරන් මැතිසන් වැනි ජනකාන්ත පිරිසකට ඔවුන්ගේ ජීවිතය පුරාවට ඉපයූ දෑ සිය නිවාස ගිනිබත් වීමත් සමග අහිමි ව ගියා.
වේගයෙන් පැතිර ගිය අනෙක් දැවැන්ත ඊටන් ගින්න ද (Eton fire) ජනවාරි 7 දින ආරම්භ වූ අතර එය අක්කර 14,117කට වඩා අළු කර දැමුවාග ඉන් ගොඩනැගිලි 13,000කට පමණ තර්ජනයක් එල්ල වූ බව වාර්තා වුණා. අල්ටඩේනාහි නිවාස සහ ව්‍යාපාර ගොඩනැඟිලි සිය ගණනක් විනාශ කළ මේ ඊටන් ගින්න ලොස් ඇන්ජලීස් ජාතික වනයේ කොටසක් ද ගිල ගත්තා. සතියකට පමණ පසු පහව ගිය නමුත් ඉන්පසු තදබල ලෙස හමා යන්නට වූ සැන්ටා ඇනා සුළඟින් කලාපය පුරා ගිනි අඟුරු නැවත පැතිර ගිය අතර ගින්න තවත් වටයකින් විනාශය ඇරැඹුවා.
හර්ස්ට් ගින්න (Hurts fire) ද ජනවාරි 7 දින ආරම්භ වූවක්. ඉන් අක්කර 800කට ආසන්න ප්‍රමාණයක් දැවී ගියා. ජනවාරි 21 දින වන විට එය සම්පූර්ණයෙන් ම පාලනය කර තිබුණා. ජනවාරි 8 දින ලිඩියා ගින්න (Lidiya Fire) හටගත් අතර අක්කර 395ක් ගිනි තැබූ පසු එය 100%ක් පාලනය කරන්නට හැකි වූවා. කෙනත් ගින්න (Kenneth Fire) ජනවාරි 9 දින ආරම්භ වී අක්කර 1,052ක් ගිනි තැබූ අතර පසුව එය සම්පූර්ණයෙන් ම පාලනයට ලක් කළා.

සන්සෙට් ගින්න (Sunset fire) හට ගත්තේ ජනවාරි 8 දින. එය ජනවාරි 9 දින සම්පූර්ණයෙන් ම පාලනය කෙරුණා. එහෙත් ඉන් අක්කර 43ක් දැවී ගියා. ජනවාරි 13 දින ආරම්භ වූ ඔටෝ ගින්න (Auto fire) 100% ක් පාලනය කරන විට අක්කර 60කට වඩා විනාශ වී තිබුණා.
බලධාරීන් තවමත් ගින්නට නිශ්චිත හේතු විමර්ශනය කරමින් සිටිනවා. එක් ප්‍රධාන සැකයක් එල්ල වි ඇත්තේ දකුණු කැලිෆෝනියාවේ විදුලිය සපයන එඩිසන් ආයතනයේ කුලුනු සහ උපකරණවල සිදු වූ කාන්දුවක් ගින්න ඇතිවීමට හේතු වූ බව. මේ ගැන නඩු පවා පැවරී තිබෙනවා. එහෙත් බලධාරීන් පවසන්නේ පසුගිය වසර දෙකේ ඇති වූ ආන්තික කාලගුණික රටාවල එකතුව වත්මන් ලැව්ගිනි උග්රවීමට ප්‍රධානතම හේතුවක් බව.
දකුණු කැලිෆෝනියා කලාපය 2023 ශීත ඍතුවේ සිට 2024 වසන්තය දක්වා අධික තෙත් කාලගුණයක් අත්විඳී අතර එමඟින් නව වෘක්ෂලතා ඉක්මනින් වර්ධනය වීමට ඉඩ සැලසුණා. ඉන්පසු ප්‍රදේශය මෑතකදී දීර්ඝ වියළි කාලගුණයක් අත්විඳි අතර ජනවාරි 7 දින වන විට ගින්නක් ඇතිවීමට සුදුසු වටාපිටාවක් නිර්මාණය කර තිබුණා.
ජනවාරි 7 දින ගින්න ආරම්භ වන විට අවම වශයෙන් වසර 130කට පසු පැමිණි එහි උණුසුම් ගිම්හානය අත්විඳීමෙන් හා පසුගිය මැයි මාසයේ සිට අඟල් 0.16 (මි.මී. 4.1)ක අවම වර්ෂාපතනයක් පමණක් ලැබීමෙන් පසු ලොස් ඇන්ජලීස් ප්‍රාන්තය දැඩි ලෙස වියළී තිබුණා.
වාර්තා අනුව සමස්තයක් වශයෙන්, 2022 සහ 2023 දී ඇති වූ අධික වර්ෂාපතනයෙන් පසු දකුණු කැලිෆෝනියාවේ මිලියන 2.2කට ආසන්න ජනතාවක් මේ දිනය වන විට ‘අසාමාන්‍ය ලෙස වියළි’ තත්ත්වයක් අත්විඳිමින් සිටි අතර දැඩි නියඟයෙන් පීඩාවට පත් ව සිටියා. නාසා ආයතනයට අනුව මේ කාලයේ එම ප්‍රදේශයේ පාංශු තෙතමනය ද පැවතුණේ 2%ක් තරමේ ඉතා ම පහළ අගයක.

මෙවැනි වටපිටාවක වියළි, තරුණ වෘක්ෂලතා ගොමු සමග මෙවර සාමාන්‍යයට වඩා පැයට සැතපුම් 100ක් තරම් ඉහළ වේගයකින් හමා ගිය වාර්ෂික සැන්ටා ඇනා සුළං ප්‍රවාහය ද ඒකාබද්ධ ව ගිනි ජාලාවලට බොහෝ වේගයෙන් පැතිර යාමට සහය වුණා. ජනවාරියේ අධික උෂ්ණත්වය සහ ඉතා අඩු ආර්ද්‍රතාව, වියළි වෘක්ෂලතාදිය සහ සැන්ටා ඇනා වෙරළබඩ සුළංවල සංයෝජනය මාරාන්තික ලැව්ගින්නට ඉන්ධන සපයා ඇති බවත් ඒවා පාලනය කළ හැකි ප්‍රමාණයට වඩා බොහෝ වේගයෙන් වර්ධනය වී පැතිරීමට ඉඩ සලසා ඇති බවත් මනා ව පැහැදිලි වන්නක්. ඒ අතරේ නොහික්මුණු මානව ක්‍රියාකලාප ද මේ ගින්නට පිදුරු දැමුවා. සුළං මැද්දේ අනාරක්ෂිත ව ගිනි ඇවිළ වූ කිහිපදෙනකු අත්අඩංගුවට පත් ව තිබෙනවා.
කැලිෆෝනියා ගින්න ගැන අමුතු ම චෝදනාවක් ද මතු වුණා. ඒ, නියඟයෙන් බැටකමින් සිටි ලොස් ඇන්ජලීස් ප්‍රාන්තය පුරා ගිනි නිවන උපකරණවල හටගෙන තිබූ අසාමාන්‍ය ජල හිඟය. මේ ජල හිඟයට හේතුව ගැන පරික්ෂණයක් ඇරඹුණු අතර ඒ ගැන විවිධ මතිමතාන්තර පැතිර ගියා.
ඒ අතර අමුතු ම හේතු දැක්වීමක් වුයේ ‘වර්තමානයේ බහුල ව කතාබහට ලක්වන AI මොඩලයක් වන ChatGPT මේ ගින්නට වගකිව යුතු ය’ යන්න. AI තාක්ෂණය ක්‍රියාත්මක වීමට දැඩි ව උපකාරී වනල ඒවායේ දත්ත රඳවන ගබඩා මධ්‍යස්ථාන සිසිලනය සඳහා විශාල ජල ප්‍රමාණයක් භාවිත වන බව හෙළිදරව් වන්නක්. ඒ අනුව දත්ත මධ්‍යස්ථානවල ජල භාවිත අවශ්‍යතා වර්තමානයේ ඉහළ යාමක් වාර්තා වුණා. රටේ දත්ත මධ්‍යස්ථාන බලශක්ති භාවිතය පිළිබඳ එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුවේ වාර්තාව අනුව 2014 වසරේදී අවශ්‍ය වී තිබූ ලීටර් බිලියන 21.2 සිට 2023 වසරේදී මුළු ජල භාවිතය ලීටර් බිලියන 66 දක්වා ඉහළ නැංවී තිබෙනවා.
දත්ත මධ්‍යස්ථාන පිහිටීම ගැන සිතියම පෙන්වා දෙන්නේ කැලිෆෝනියාවේ දත්ත මධ්‍යස්ථාන 286ක් ඇති බව. ලොස් ඇන්ජලීස්හි මධ්‍යස්ථාන 69ක් පවතින බව. මෑත වාර්තාවක දැක්වෙන්නේ 2024 වසරේ කෘත්‍රිම බුද්ධිය නව දත්ත මධ්‍යස්ථාන සඳහා ජල ඉල්ලුම 20%ක් පමණ ඉහළ දමා ඇති බව. ChatGPT මොඩල භාවිතය ඉහළ යාමෙන් දත්ත මධ්‍යස්ථාන සඳහා වන ඉල්ලුම ඉහළ යන අතර ඒ හා සමග දැඩි ව ඉහළ යන්නේ සිසිලන අවශ්‍යතා සඳහා ඇති ජල අවශ්‍යතාව. ඉන් සනාථ වුණේ ඉඩෝරය මැද දත්ත මධ්‍යස්ථාන උදුරා ගත් මහා ජල පරිමාව නිසා ප්‍රාන්තයේ ගිනි නිවන යන්ත්‍ර සඳහා අවශ්‍ය තරම් ජලය රඳවා ගත නොහැකි වූ බවක්.