අඟහරු මත ජලාශයක්
- නිහාල් පීරිස්
අඟහරු ග්‍රහයා සූර්ය ග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝක අතරින් විද්‍යාඥයන්ගේ වැඩි ම අවධානයක් යොමුවන ග්‍රහලෝකයකි. එම ග්‍රහලෝකය මත ඈත අතීතයේ ජීවීන් සිටියා ද වැනි ප්‍රශ්න ද නිතර සංවාදයට ලක් වන බව රහසක් නොවේ. බොහෝ විද්‍යා ප්රබන්ධවලට පවා අඟහරු ග්‍රහයා පසුබිම් වී ඇත. එච්. ජී. වෙල්ස් නැමැති සුප්‍රකට ඇමරිකානු ලේඛකයා විසින් 1895-1897 අතර කාලයේ ලියන ලද The War of the Worlds නැමැති ප්‍රබන්ධය ඒ අතරින් ජනප්‍රිය ම විද්‍යා ප්රබන්ධයකි. අඟහරු සිට පැමිණි දියුණු ජීවින් පිරිසක් පෘථිවිය ආක්‍රමණය කිරීම පිළිබඳ කතාවක් ඊට පසුබිම් වේ. මෙම කෘතිය ඇසුරෙන් ස්ටීවන් ස්පිල්බර්ග් විසින් නිර්මාණය කරන ලද සිනමාපටයක් ද 2005 වසරේ ප්‍රේක්ෂකයන් හමුවට පැමිණියේ ය.
අඟහරු පිළිබඳ මෙම පූර්විකාව සටහන් කළේ පසුගිය දිනවල ද එම ග්‍රහලෝකය ගැන විද්‍යා ක්ෂේත්රයේ විශේෂ අවධානයක් යොමු වූ බැවිනි. එයට හේතු වූයේ මෙයට වසර කිහිපයකට පෙර ඇමරිකාවේ නාසා ආයතනය එහි යැවූ යානයක් විසින් එවන ලද තොරතුරු ඇසුරෙන් විද්‍යාඥයන් කළ සොයා ගැනීමකි.
මෙම තොරතුරු ඇසුරෙන් විද්‍යාඥයන් පවසන්නේ අඟහරු ග්‍රහයාගේ පෘෂ්ඨයට යටින් විශාල ජලාශයක් පවතින අයුරු පෙනී යන බවයි. අඟහරු යනු මතුපිටින් බැලූ විට එක ම කාන්තාරයක් ලෙස පෙනී යන ග්‍රහලෝකයකි. එහි ද්‍රව ජලය ඇති බවට සාක්ෂි හමු වූ පළමු අවස්ථාව මෙයයි. එම නිසා මෙම සොයා ගැනීම අඟහරු සම්බන්ධයෙන් මෑත කාලයේ කළ විශේෂතම සොයා ගැනීමක් ලෙස සැලකේ.
විද්‍යාඥයන් විශ්වාස කරන ආකාරයට මෙයට වසර බිලියන ගණනකට කලින්නම් අඟහරු පෘෂ්ඨය මත ඇති තරම් ජලය තිබී ඇත. එහි ගංගා, විල් සහ සුවිසල් සාගර වැනි දේ පැවැති බවට සලකුණු ඔවුහු සොයාගෙන තිබුණහ. මේ බව පෙන්වන අපූරු ඡායාරූප ආදිය ද විද්‍යාඥයන් සතු ව තිබේ. එහෙත් කිසියම් හේතුවක් නිසා එක්තරා අවධියක මෙම ජල සම්පත් සියල්ල සිඳී ගොස් තිබිණි. විද්‍යාඥයන් සඳහන් කරන ආකාරයට අඟහරු කාන්තාරයක් බවට පත් ව තිබුණේ වසර බිලියන 3කට පමණ පෙර ය.
ඈත අතීතයේ අඟහරු සතු වූ ජල සම්පත් මේ ආකාරයෙන් අතුරුදන් ව ගියේ මන්ද යන්න සම්බන්ධයෙන් විවිධ මත පවතී. එක් ප්‍රධාන මතයක් වන්නේ අඟහරුගේ අභ්‍යන්තරයේ ඇති වූ වෙනස්කම් හේතුවෙන් එහි චුම්භක ක්ෂේත්රය දුර්වල වීම මෙයට හේතුවන්නට ඇති බවයි. චුම්භක ක්ෂේත්රය දුර්වල වීම නිසා එයට එකල අඟහරු වටා පැවැති වායුගෝලය රඳවා තබා ගන්නට නොහැකි විය. වායුගෝලය කෙමෙන් අභ්‍යවකාශයට කාන්දු වන්නට පටන් ගත් අතර ඒ සමග ම සාගර, ගංගා, ඇළfදාළවල තිබූ ජලය ද වාෂ්ප වෙමින් අභ්‍යවකාශයෙහි විසිර ගියේ ය. මෙය අඟහරු මත තිබූ ජලය අතුරුදන් වූයේ කෙසේද යන්න පිළිබඳ ඇති ප්‍රධාන මතය ලෙස සැලකේ.
අඟහරු පෘෂ්ඨය මත මේ වනවිට ද්‍රව ජලය දක්නට නැතත් පෘෂ්ඨයට යටින් ජලාශ වැනි දෑ පවතින බවට සාක්ෂි පසුගිය දා නාසා විද්‍යාඥයන් සොයා ගත්තේ මෙයට වසර කිහිපයකට පෙර අඟහරු වෙත යවන ලද InSight (Interior Exploration using Seismic Investigations, Geodesy and Heat Transport) නැමැති යානය ලබා දුන් තොරතුරු විශ්ලේෂණයෙනි. මෙම යානය පෘථිවියෙන් අඟහරු බලා පිටත් වූයේ 2018 වසරේ මැයි 18 දිනයි. එම වසරේ ම නොවැම්බර් 26 දින එය අඟහරුහි එලයිසියම් ප්ලැනිෂියා (Elysium Planitia) නැමැති ප්‍රදේශයට ගොඩ බැස්සේ ය. එයින් පසු 2022 දෙසැම්බර් මාසය දක්වා ම එය අඟහරු මත රැඳී සිටිමින් විවිධ තොරතුරු විද්‍යාඥයන් වෙත ලබා දුන්නේ ය.
InSight යානය ප්‍රධාන වශයෙන් ම රැස් කළේ අඟහරු පෘෂ්ඨයට යටින් සිදුවන දේ හා සම්බන්ධ තොරතුරුයි. භූමිකම්පා පිළිබඳ තොරතුරු ද ඒ අතර විය. මේ ආකාරයෙන් InSight යානය භූමිකම්පා 1,300කට පමණ අදාළ දත්ත ගබඩා කරගෙන තිබිණි. අඟහරු පෘෂ්ඨයට යටින් විශාල ජලාශයක් පවතින බවට සාක්ෂි ඇතැයි දැන් විද්‍යාඥයන් පවසන්නේ මෙම භූමිකම්පා පිළිබඳ දත්ත විශ්ලේෂණයෙනි. භූමිකම්පාවලින් නැගෙන ශබ්ද තරංග අධ්‍යයනය කිරීමෙන් භූමිය අභ්‍යන්තරයේ පවතින බොහෝ දේ පිළිබඳ සොයා ගැනීමට විද්‍යාඥයන්ට හැකියාව තිබේ. එම තරංග ගමන් කරන වේගය අනුව ඒවා ගමන් කරන්නේ කුමන මාධ්‍යයක් හරහා ද යන්න නිගමනය කිරීමට හැකි ය.
“පෘථිවිය මතත් අප මේ ක්‍රමය භාවිතයට ගන්නවා. පෘථිවිය මත ජලය, තෙල් සහ ගෑස් ආදිය තිබෙන තැන් සොයා ගැනීමටත් මෙම ක්‍රමයයි භාවිත කරන්නේ’ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මයිකල් මන්ගා සඳහන් කරයි. ඔහු ද අඟහරු පිළිබඳ පර්යේෂණ කරන කණ්ඩායමට අයත් විද්‍යාඥයෙකි.
InSight යානය ලබා දුන් තොරතුරු විශ්ලේෂණය කළ විද්‍යාඥයන්ගේ අදහසට අනුව සොයා ගත් ජලාශය තිබෙන්නේ අඟහරු පෘෂ්ඨයේ සිට කි.මී. 10-20ක් අතර ගැඹුරකිනි. යානය ගබඩා කරගෙන තිබුණේ එය ගොඩබට ස්ථානයට හරියට ම යටින් නැගුණු ශබ්ද තරංග පිළිබඳ දත්ත පමණි. විද්‍යාඥයන් පවසන්නේ අඟහරු මත වෙනත් ස්ථානවල ද එහි පෘෂ්ඨයට යටින් මේ ආකාරයෙන් ම ජලාශ පවතින්නට ඉඩ ඇති බවයි.
මෙම සොයා ගැනීම අඟහරු පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයන්ට බොහෝ අලුත් බලාපොරොත්තු දල්වන්නක් බවට පත් ව තිබේ. අඟහරු මත ජීවීන් සිටින්නේ ද යන්න සම්බන්ධයෙන් සොයා බලන විද්‍යාඥයන්ගේ ද මෙවැනි විශාල උනන්දුවක් ඇති ව තිබෙන බව පෙනේ. ජලය යනු ජීවීන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය සහ ඒ සඳහා උදව් දෙන මාධ්‍යයකි. අඟහරු පෘෂ්ඨයට යටින් ඇති බව විශ්වාස කෙරෙන ජලාශවල ද ජීවීන් සිටින්නට බොහෝදුරට ඉඩ ඇති බව විද්‍යාඥයන්ගේ අදහසයි. ඉදිරියේදී මේ පිළිබඳ අලුත් පර්යේෂණ දියත් කිරීමට ඔවුන් පියවර ගනු නොඅනුමාන ය.
අනාගතයේ අඟහරු වෙත මිනිසුන් යැවීමට ද විද්‍යාඥයන් සැලසුම් කරමින් සිටින බව රහසක් නොවේ. යම් දිනෙක ඒ මත විද්‍යාගාර, ජනාවාස ආදිය ද ඉදි කෙරෙනු ඇත. අඟහරු ග්‍රහයා මත ද්‍රව ජලය සොයා ගතහොත් මෙවැනි කටයුතුවලට එයින් ලැබෙනු ඇත්තේ විශාල ප්රයෝජනයකි. මෙම ජලය යොදාගෙන ඉන්ධන නිෂ්පාදනය කිරීමට ද විද්‍යාඥයන්ට හැකියාව ලැබෙන අතර පෘථිවිය සහ අඟහරු අතර ගමන් කරන අභ්‍යවකාශ යානා සඳහා ද මෙම ඉන්ධන යොදා ගැනීමට හැකි වේ.
අඟහරු මත ඇති බවට සාක්ෂි ලැබී ඇති ජලාශය පිහිටා තිබෙන්නේ එහි මතුපිට සිට කි.මී. 10-20ක් පමණ ගැඹුරින් නිසා මෙම ජලය මතුපිටට ගැනීම අභියෝගාත්මක කාර්යයක් වනු ඇති බව විශ්වාස කෙරේ. එහෙත් ඒ සඳහා ද තාක්ෂණයක් නිපදවා ගැනීමට ඉදිරියේදී විද්‍යාඥයන් පියවර ගනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ.