තේ පිරියෙසුමට100යි

- නිරෝෂි දොඹගහගේ
ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ සියවස් සැමරුම (1925-2025) යෙදී තිබෙන්නේ 2025 වර්ෂයට. එසේ ම ලෝක තේ දිනය (World Tea Day)ද මැයි මස 21 දිනට යෙදී තිබෙනවා. මෙවර ‘අතීත සැරිසර’ විශේෂාංගය ලියැවෙන්නේ විශේෂයෙන් ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ සියවස් සැමරුම නිමිතතෙන්.
ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ආර්ථික විවරණය – 2024 අනුව මෙරට අපනයන සංයුතිය සලකා බැලීමේදී කෘෂිකාර්මික අපනයන අතර ප්‍රධානතම අපනයන බෝගය වන්නේ තේ. 2020 සිට 2024 වර්ෂය දක්වා මෙරටින් අපනයනය කර ඇති තේ වටිනාකම පිළිවෙළින් එක්සත් ජනපද ඩොලර් මිලියන 1240.9ක්, 1324.4ක්, 1258.8ක්, 1309.9ක් හා 1435.9ක්. 2024 වර්ෂයේදී මෙරට සමස්ත අපනයනවලින් කෘෂිකාර්මික ක්ෂේත්රයේ දායකත්වය 21.7%ක් වූ අතර ඉන් 11.2%ක් ම තේ අපනයන. මෙරට අපනයන ආදායම කෙරෙහි තේ වගාවේ දායකත්වය කැපී පෙනෙන බව මෙයින් පැහැදිලි වනවා.
මෙවැනි පසුබිමක ‘තේ පර්යේෂණ ක්ෂේත්රයේ විශිෂ්ටතමයා වෙමින් ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික තත්ත්වය ඉහළ නංවාලීම සඳහා අවශ්‍ය තාක්ෂණික මඟපෙන්වීම ලබාදෙමින් ලොව ප්‍රමුඛතම තේ නිෂ්පාදකයා බවට පත්වීම’ යන්න දැක්ම කර ගත් තලවකැලේ පිහිටි ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය සිය සියවස් සැමරුම (1925-2025) සඳහා සූදානම්. ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය විසින් සංවිධානය කරනු ලබන තේ පිළිබඳ අන්තර් රාජ්‍ය කණ්ඩායමේ සම්මේලනයට (FAO-Intergovernmental on Group of Tea-¸GG) සමගාමී ව z¸nTSym100zලෙසින් අන්තර්ජාතික තේ විද්‍යා සම්මන්ත්‍රණය : (International Tea Symposium) 2025 නොවැම්බර් 10, 11 දිනවල කොළඹදී පැවැත්වීමට තීරණය කර ඇත්තේ ද මීට සමගාමී ව.
සියවස් සැමරුම නිමිති කරගත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට තේ පර්යේෂණ ආයතනය ‘සියවස් සැමරුම් ලේකම් කාර්යාලය’ (TRI Centenary Secretariat) ස්ථාපිත කර තිබෙනවා. ඒ අනුව, සියවස් සැමරුම් නිල ලාංජනය සහ ඊරුඅසබට ෂබබදඩ්එසදබ යන තේමා පාඨය එළි දැක්වීම, ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ නිල යූ ටියුබ් නාලිකාව එළි දැක්වීම යනාදිය මේ වන විට සිදු කර අවසන්.

ශ්‍රී ලංකාවේ තේ වගා කිරීමට අවශ්‍ය මුල් බීජ කල්කටා උද්භිද උද්‍යානයෙන් ලංකාවට ගෙන එන ලද්දේ 1839 වර්ෂයේදී. වර්තමානයේ නුවරඑළිය පීඞ්රු වතුයාය ලෙසින් හඳුන්වන භූමියේ මුලින් ම තේ පැළ වගා කිරීම ආරම්භ කෙරුණා. මෙරට තේ වගාව වානිජමය වශයෙන් ආරම්භ කිරීමේ ගෞරවය හිමිවන්නේ ජේම්ස් ටේලර්ට. ඔහු 1867 වර්ෂයේදී ලූල්කඳුර වතුයායේ (හේවාහැට) තේ වගා කළ බවයි වාර්තා වන්නේ. පසුකාලීන ව ලෝකයේ සන්නාමයක් බවට පත්වූ ‘සිලෝන් තේ’ (Ceylon Tea)හි උපත ඒ සමග සනිටුහන් වූ බව සැලකෙනවා. මෙරට නිෂ්පාදිත Ceylon Tea මුල් වරට ලන්ඩන් තේ වෙන්දේසියේදී විකුණන ලද්දේ 1873 වර්ෂයේදී.
‘ලංකා තේ පර්යේෂණ ආයතනය’ එවකට නුවරඑළිය නගරයට ආසන්න ලින්ඞ්ෆීල්ඞ් (Lindfield) වතුයායේදී 1925 ජූලි 01 දින ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ ශාඛාවක් ලෙස ආරම්භ කෙරුණේ තේ වගාවට සම්බන්ධ වැවිලිකරුවන්ගේ සහ තේ කර්මාන්තශාලා හිමිකරුවන්ට මුහුණපෑමට සිදු වූ ප්‍රධානම අභියෝගය වූ රෝග, දිලීර සහ කෘමි හානි ආශ්රිත ගැටලූ සඳහා විසඳුම් සොයා ගැනීමට අවශ්‍ය පර්යේෂණ කිරීමේ අරමුණ පෙරදැරි ව. මෙය ලොව තේ වගා කරන රටවල ස්ථාපිත කරන ලද පර්යේෂණ ආයතන අතර දෙවැනියට ස්ථාපිත වූ තේ පර්යේෂණ ආයතනය. එම ආයතනය තලවාකැලේ ශාන්ත කූම්බ්ස් වතුයායේ ස්ථාපිත කරන ලද නව පර්යේෂණාගාරය සහ කාර්යාල සංකීර්ණය වෙත රැගෙන එන ලද්දේ 1929 වර්ෂයේදී. තේ ක්ෂේත්රයට අවශ්‍ය මඟ පෙන්වීම සිදු කරන සහ පර්යේෂණ සහ සංවර්ධන කාර්ය වෙනුවෙන් දැනට මෙරට ස්ථාපිත ව ඇති එක ම ආයතනය ලෙසයි මෙය සැලකෙන්නේ. තේ වගා කළ ඉංග්‍රීසී යටත්විජිතයක් වූ රටවල ස්ථාපිත කරන ලද පර්යේෂණ ආයතන සතු පුස්තකාල අතර තේ ක්ෂේත්රයට පමණක් ම විශේෂිත වූ පැරණි ම පුස්තකාලයක හිමිකාරිත්වය ද මෙරට තේ පර්යේෂණ ආයතනය සතුවීම විශේෂත්වයක්.
සිදු කරන පර්යේෂණ රෝග හා පලිබෝධ මර්දනයට පමණක් සීමා නොවී ලංකා තේ පර්යේෂණ ආයතනය පසුකාලීන ව පස හා ශාක පෝෂණය, ශාක කායික විද්‍යාව, ශෂ්‍ය විද්‍යාව සහ කර්මාන්තශාලා මෙහෙයුම් ආදී අංශ ඔස්සේ ද පෘථුල ලෙස ව්‍යාප්තවීම ඇරඹුණේ තේ වගාවේ ක්රමික ව්‍යාප්තිය, තේ විද්‍යාවේ විකාශය වැනි සාධක පදනම් ව.

නිදහසින් පසු මෙරට සිදු වූ සමාජ, ආර්ථික සහ දේශපාලනික වෙනස්කම් සමග විදෙස් ජාතිකයන්ගෙන් සමන්විත ව තිබූ වැවිලිකරුවන්ගේ සංගමය හා මණ්ඩලයක් යටතේ පරිපාලනය කරන ලද ලංකා තේ පර්යේෂණ ආයතනය 1957 වර්ෂයේදී රාජ්‍ය ආයතනයක් බවට පරිවර්තනය වූ අතර 1975 වර්ෂයේදී ශ්‍රී ලංකා තේ මණ්ඩලය යටතේ ස්ථාපිත ආයතනයක් බවට පත්වුණා. 1993 වර්ෂයේදී ශ්‍රී ලංකා තේ පර්යේෂණ මණ්ඩලය යටතේ ව්‍යවස්ථාපිත මණ්ඩලයක් බවට පත් වූ ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය රජයේ ව්‍යවස්ථාපිත සංස්ථාවක් ලෙස ස්ථාපිත වූයේ 1993 අංක 52 දරන තේ පර්යේෂණ මණ්ඩල පනත ප්‍රකාර ව. ඒ අනුව වර්තමානය වන විට ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ කළමනාකාරිත්වය සිදු කෙරෙන්නේ ශ්‍රී ලංකා තේ පර්යේෂණ මණ්ඩලය යටතේ. තේ පර්යේෂණ මණ්ඩලයේ මූලික කාර්යභාරය වන්නේ තේ වගාව සහ පිරිසැකසුම් ආශ්රිත පර්යේෂණවල නියැළීම සහ දිරිමත් කිරීම, ඒ සඳහා පහසුකම් සැපයීම සහ සහයෝගය ලබා දීම.
ඒ අනුව තේ වගාවේ රෝග සහ පළිබෝධ වැළැක්වීම සහ මර්දනය, නිමි තේවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම, නිෂ්පාදන විවිධාංගීකරණය ආදී තේ වගාව සහ නිෂ්පාදනය සඳහා බලපාන සියලූ ගැටලූ සහ කරුණු පිළිබඳ ව පර්යේෂණ මෙහෙයවීම, සහයෝගය ලබා දීම සහ දිරිමත් කිරීම හා තොරතුරු සන්නිවේදනය, තේ කර්මාන්තයේ ආර්ථික ශක්‍යතා සහ ගැටලූ සම්බන්ධයෙන් මෙන් ම අනාගත ප්රවණතා පිළිබඳ පර්යේෂණ මෙහෙයවීම, දේශීය විදේශීය පර්යේෂණායතන සමග සබඳතා පවත්වාගෙන යාම, සහයෝගී අධ්‍යයන වැඩසටහන්, සම්මන්ත්රණ සහ සමුළු ආදිය පැවැත්වීම යනාදිය තේ පර්යේෂණ මණ්ඩලයේ විශේෂ කාර්යභාරය ලෙස හඳුනා ගන්නට පුළුවන්.
අදහස් දක්වන ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ (රාජකාරී ඉටුකරන) ආචාර්ය ඒ.බී. මහසෙන් රණතුංග; ”දැනට තේ කර්මාන්තය මුහුණපාමින් සිටින ප්‍රධාන අභියෝග හඳුනාගැනීමත් එම අභියෝග ජය ගැනීමට සුදුසු තාක්ෂණික/ විද්‍යාත්මක පර්යේෂණ සිදු කිරීමෙන් අවශ්‍ය තාක්ෂණය ජනනය කිරීමත් අපගේ සුවිශේෂ කාර්යයක්. එසේ ම ‘සිලෝන් තේ’ සන්නාමය දේශීය සහ ගෝලීය වෙළෙඳපොළේ රැකගැනීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබා දීමට අවශ්‍ය පර්යේෂණ සහ තාක්ෂණික දායකත්වය අප ලබා දෙනවා. ඉදිරි වෙළෙඳපොළ අවශ්‍යතා සහ ගෝලීය වශයෙන් ඇති වන ප්රවණතා ඔස්සේ තේ නිපදවන අනෙකුත් රටවල් සමග තරගකාරී ව ක්‍රියා කිරීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීමට අවශ්‍ය පර්යේෂණ සහ සංවර්ධන කාර්ය සඳහා අවධානය යොමු කිරීම අනෙකුත් කාර්ය අතරට අයත්. ඒ අනුව බෝග වැඩිදියුණු කිරීම, පාංශු සහ භූමි ඵලදායිතාව වැඩිදියුණු කිරීම, යාන්ත්‍රීකරණය, තේ සැකසීම, අගය එකතු කිරීම, දේශගුණික විපර්යාස අවම කිරීම, සම්පත් සැලසුම් කිරීම, තේවල සෞඛ්‍යමය ප්රතිලාභ, උපදෙස් සහ තාක්ෂණ ව්‍යාප්ති සේවා යනාදී තේමා 09ක් යටතේ පර්යේෂණ සහ සංවර්ධන වැඩසටහන් අප ක්‍රියාත්මක කරනවා.”
මෙරට තේ කර්මාන්තය මුහුණදෙන අභියෝග අතර වර්තමානය වන විට තේ වගාවේ පිරිවැය කළමනාකරණය ඉතා අසීරු කාර්යයක්. මේ නිසා තේ අගය දාම ක්‍රියාවලිය සම්බන්ධ පිරිවැය ඇස්තමේන්තුගත කිරීම සහ කළමනාකරණය ඔවුන්ගේ ප්රමුඛ කාර්යයක්. රසායනික පොහොරවලට දැරීමට සිදුවන අධික පිරිවැය අවම කර ගැනීමට සහ ඒකාබද්ධ පෝෂක කළමනාකරණ ප්‍රවේශය තහවුරු කිරීමට පරිසර හිතකාමී කෘෂි යෙදවුම් භාවිතය, දිගුකාලීන ව සෙමින් පෝෂක නිකුත් වන නැනෝ යූරියා නිෂ්පාදනය වැනි පර්යේෂණ සිදු කිරීම ඊට උදාහරණයක්.
තේ දලූවල ප්‍රමිතිය පවත්වා ගැනීම, ගුණාත්මකභාවය තහවුරු කිරීම සහ සහතිකකරණය මගින් උසස් තේ නිෂ්පාදනය කිරීම අභියෝගාත්මක කාර්යයක්. එ් වෙනුවෙන් තේ දලූ නෙළීමේ සිට තේ නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය දක්වා සිදු කෙරෙන කාර්යයන් සඳහා අවශ්‍ය සියලූ ම තාක්ෂණික මඟ පෙන්වීම ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය ලබා දෙනවා. මෙහිදී තේවල ගුණාත්මකභාවය සහතිකකරණය සම්බන්ධ දේශීය සහ ජාත්‍යන්තර මට්ටමේ සහතිකකරණයට අවශ්‍ය සුදුසුකම් තේ වගාකරුවන්ට, තේ නිෂ්පාදකයන්ට මෙන් ම තේ අපනයනකරුවන්ට ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමත් තේ පර්යේෂණ ආයතනයේ විශේෂිත කාර්යයක්.
දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව ඇති තේ ප්‍රභේද වැඩිදියුණු කිරීමට තේ පර්යේෂණ ආයතනය උත්සාහ කරන්නේ තේ කර්මාන්තයට එල්ලවන දේශගුණික සහ කාලගුණික විපර්යාස සම්බන්ධ අවදානම පුරෝකථනය කරමින්. තේ වතු කම්කරුවන් වතුයාය ආශ්රිත රැකියාවෙන් පිටවී යෑම සහ නව ශ්‍රම බලකායේ ඇති අස්ථාවරභාවය මෙරට තේ කර්මාන්තය මුහුණදෙන තවත් අභියෝගයක්. උචිත කෘෂිකාර්මික යාන්ත්‍රීකරණය, ශ්‍රම බලකායේ හිඟය සඳහා විකල්ප සේවකයන් යෙදවීම, තේ වගා බිම් යාන්ත්‍රිකරණයට සුදුසු ලෙස සකසා ගැනීම, එවැනි යන්ත්රසූත්ර නිපදවීමට අවශ්‍ය පර්යේෂණ තේ පර්යේෂණ ආයතනය විසින් සිදු කරනු ලබන්නේ ඊට පිළියමක් ලෙස.
ජාත්‍යන්තර තරගකාරීත්වය, පැරණි තේ වගා ප්‍රතිස්ථාපනය නොවීම, නව වෙළෙඳපොළට යොමු වීම අවම වීම යනාදී අභියෝග සඳහා විසඳුම් ලෙස ද ක්‍රියාමාර්ග රාශියක් ගෙන තිබෙනවා. නවෝත්පාදන වානිජකරණය සඳහා 2020 වසරේදී තාක්ෂණික හුවමාරු කාර්යාලයක් (Technology Transfer Office)පිහිටුවීම, තේ ආශ්රිත නිෂ්පාදන සඳහා අගය එකතු කරමින් නව තේ ආශ්රිත නිෂ්පාදන සිදු කිරීම, එම නිෂ්පාදන වෙනුවෙන් අවශ්‍ය පේටන්ට් බලපත්‍ර ලබා ගැනීම සහ ඒවා වානිජ මට්ටමින් නිෂ්පාදනයට අවශ්‍ය පියවර සකස් කිරිම යනාදිය එම ක්‍රියාමාර්ග කිහිපයක්. එසේ ම අගය එකතු කළ නිෂ්පාදනයක් වන තේ වයින් වානිජ මට්ටමින් නිපදවමින් වෙළෙඳපොළට නිකුත් කිරීමට තෝරාගත් සමාගමක් සමග ගිවිසුම්ගත වී තිබෙනවා.
මෙරට තේ කර්මාන්තය නගා සිටුවීම කෙරෙහි ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය සියවසක් මුළුල්ලේ ලබා දී ඇති මේ අනගි දායකත්වය ඉදිරියේදීත් සාර්ථක ව ලබා ගැනීමෙන් මෙරට තේ කර්මාන්තය තවදුරටත් නඟා සිටුවීමට හැකියාව ලැබෙනු ඇති බව සපථ කළ හැකි කාරණයක්.