#කෘෂිකර්ම

ගොවිබිමට පුනරදය

  • කාංචනා සිරිවර්ධන

රටේ දිළිඳු බව තුරන් කිරීම නව රජයේ මූලික අරමුණක්. ඒ අනුව මහවැල කලාපවල දිළිඳු බව තුරන් කරමින් මහවැලි ප්‍රජාවගේ ආර්ථික, සමාජීය, සංස්කෘතික හා ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කිරීමට කඩිනම් සැලසුමක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව වටහා ගනිමින්, ‘ගොවිබිමට පුනරුදය’ ජාතික වැඩසටහන ආරම්භ කෙරුණේ මහවැලි අධිකාරියේ පරිපාලන
ව්‍යුහය යටතේ පවතින ගොවි සංවිධාන පද්ධතිය සම්බන්ධ කරගනිමින්.


මේ වැඩසටහන මහවැලි අධිකාරිය ක්‍රියාත්මක කරන්නේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයේ
උපදෙස් මත. මහවැලි කලාපවල ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කිරීම වෙනුවෙන් භාණ්ඩාගාරයෙන් වෙන් කෙරෙන
ප්‍රතිපාදන බෙදාදීමේදී මෙවර ‘ගොවිබිමට පුනරුදය’ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට වැඩි ප්‍රමුඛත්වයක් ලබා දී තිබීම ඉතා
වැදගත්. ‘එක මිටට ගොවි බිමට’ සහ ‘වාරි මහිම’ අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ මහවැලි අධිකාරිය ක්‍රියාත්මක
කරන අනෙකුත් ව්‍යාපෘති. ‘ගොවි බිමට පුනරුදය’ ජාතික වැඩසටහනෙහි සමාරම්භය මැයි 15 දින මහවැලි අධිකාරියේ බිසෝපුර මහවැලි කලාපයෙන් සනිටුහන් වුණා. ඒ, මහවැලි ඩී කලාපයේ බිසෝපුර නේවාසික ව්‍යාපාර කළමනාකාර කාර්යාලයේදී.

සමාරම්භක වැඩසටහන යටතේ මහවැලි ඩී කලාපයේ බිසෝපුර ගොවි සංවිධාන 15කට, එක් සංවිධානයකට රුපියල් මිලියනය බැගින් මූල්‍යාධාර පිරිනැමුණේ තෝරා ගත් ව්‍යාපෘති 15ක් ක්‍රියාත්මක කිරීමට. ඒ අනුව තෝරාගත් ගොවි සංවිධාන
1000කට ව්‍යාපෘති 1000ක් සඳහා රුපියල් මිලියන 1000ක් මේ යටතේ ප්‍රදානය කෙරෙනවා. ව්‍යාපෘතිය තෝරාගැනීම,
ව්‍යාපෘති පිළිබඳ විශේෂ සංවර්ධන කමිටු සාකච්ඡාව, සංශෝධන සිදු කිරීම හා ගොවි සංවිධාන මහා සභාවේ අනුමැතිය
ලබාගැනීම, විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරමින් අනුමැතිය ලබාදීම හා කාර්යය ආරම්භ කිරීම යන මූලික පියවර ඔස්සේයි මේ වැඩසටහන ක්‍රියාත්මක වන්නේ.


අදාළ ගොවි සංවිධාන බල ප්‍රදේශයේ ප්‍රජාවගේ දිළිඳුභාවය තුරන් කිරීම ප්‍රමුඛ අරමුණ කර ගත් මේ වැඩසටහන යටතේ
සෑම ගොවි සංවිධානයක ම කාලීන හා ප්‍රජාවට සෘජු ප්‍රතිලාභ අත්වන අත්‍යාවශ්‍ය සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට
උපරිම වශයෙන් රුපියල් මිලියනයක් හිමි වුව ද ඒ සඳහා උපරිම ශ්‍රම දායකත්වයක් ලබාගැනීමෙන් ග්‍රාමීය සංවර්ධනයක්
ඇති කිරීම අරමුණු කෙරෙනවා. මෙහිදී උපරිම ප්‍රමිතියකින් යුතු ව හා ඉහළ සාමාජික සහභාගිත්වයකින් යුතු ව නියමිත
සංවර්ධන කාර්යය ඉටු කරවා ගැනීම, ගොවි සංවිධාන සාමාජික සාමාජිකාවන් තුළ වඩාත් සමීප සම්බන්ධතාවක් ඇති
කිරීමට හා සාමුහික වශයෙන් පොදු කටයුතුවල නිරත වීමට ගොවියන් උනන්දු කරවීම, ගොවි සංවිධානය විසින් ම පමණක් එම කාර්යය නිම කිරීම යන කාරණා මේ වැඩසටහනේ පැහැදිලි ව අන්තර්ගත වනවා.


මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මහවැලි අධ්‍යක්ෂ ජනරාල් එච් එම් ජේ කේ හේරත් දක්වා සිටියේ මෙබඳු අදහසක්. ඔහු; “ගොවිබිමට පුනරුදය යනු ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි කලාප10යේ ක්‍රියාකාරී ගොවි සංවිධාන ආර්ථික හා සමාජීය වශයෙන් ශක්තිමත් කරන වැඩසටහනක්. ගොවි සංවිධානවලින් තමන්ගේ බල ප්‍රදේශයේ පොදු යහපත පිණිස වන ඉදිකිරීම් ගණයේ ව්‍යාපෘති යෝජනා කැඳවීමක් අප මෙහිදී සිදු කළා. ඒ අතරින් තෝරාගත් ව්‍යාපෘති 1000කට මහවැලි අධිකාරියෙන් ඇස්තමේන්තු සකස් කර උපරිම රුපියල් මිලියනයක් දක්වා මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙන අතර ම තාක්ෂණික සහයත් ලබා දෙනවා. කොන්ත්‍රාත්තුව දෙන්නේ ගොවි සංවිධානයට. ගොවි සංවිධානය ඔවුන්ගේ ශ්‍රමය සහ උපකරණ යොදාගෙන ව්‍යාපෘතිය අවසන් කළ යුතු යි. කම්කරු ශ්‍රමය ගොවි සංවිධානයේ සාමාජිකයන් ස්වෙච්ඡාවෙන් දිය යුතුයි. කොන්ත්‍රාත්
පිටස්තර පුද්ගලයන්ට ලබාදීම තහනම්.


ව්‍යාපෘතියෙන් යම් ලාභයක් ලැබෙනවා නම් ඒ ලාබය ගොවි සංවිධානයේ අරමුදලට එකතු විය යුතු යි.” මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ (සැලසුම්) ලංකා බණ්ඩාර පවසන ආකාරයට මහවැලි අධිකාරියේ මහවැලි කලාප 10 යටතේ ගොවි සංවිධාන තිබෙනවා 1082ක්. මහවැලිය මූලික ව ම කෘෂිකර්මාන්තය මත පදනම් වූ ව්‍යාපාරයක්. මීට අදාළ ව මින් පෙර සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ බොහෝ විට සම්පූර්ණයෙන් ම සිදු කරනු ලැබුවේ රජය විසින්.

එහෙත් ‘ගොවි බිමට පුනරුදය’ වැඩසටහන යටතේ වැව්, ග්‍රාමීය මාර්ග, වාරි ඇළ පද්ධති පුනරුත්ථාපනය වැනි තෝරාගත් ව්‍යාපෘති 1000 සඳහා ශ්‍රම දායකත්වය ලබාදෙන්නේ ගොවි සංවිධාන නිසා ප්‍රජාපාදක ව්‍යාපෘතියක් ලෙස ග්‍රාමීය සංවර්ධනයට මෙහි ඉහළ ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි වීම ඉතා වැදගත්.


ගොවියාට පමණක් නොව රටට ම සුබසෙත සැලසීමේ මුඛ්‍ය පරමාර්ථය ඇති ව ආරම්භ කරන ලද මෙහි නිසි ඵල නෙළා
ගැනීම කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය මත තීරණය වනු ඇති.