#විවිධ

GFU රූපමය පෙළහර

  • චානුද දුල්ශාන් ද මැල්

ගෙවුණු වසරේ (2023) සමරන්නට යෙදුණු රජයේ චිත්‍රපට අංශයේ 75 වැනි සංවත්සරයට සමගාමී ව ජාතික වැදගත්කමක් දරන චිත්‍රපට නව පරපුර වෙත සමීප කරවීම කාලීන අවශ්‍යතාවක් බව හඳුනා ගත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දෙසතිය පුවත් සඟරාවේ ඉදිරි කලාපවලින් එම චිත්‍රපට පිළිබඳ පසුබිම් කතා ඇතුළත් කෙටි විමසුමක් ගෙන ඒමට සූදානම් බවට පසුගිය කලාපයෙන් දැනුවත් කළෙමු. රජයේ චිත්‍රපට අංශයේ යූටියුබ් නාලිකාවට පිවිසීමෙන් එම චිත්‍රපට නරඹා ඔබගේ රසඥතාව වර්ධනය කර ගැනීමටත් ඉතිහාසය යළි කියවා ගැනීමටත් අපි එහිදී ඔබට ආරාධනා කළෙමු. මේ, චිත්‍රපට පිළිබඳ පසුබිම් කතා ඇතුළත් පළමු කෙටි විමසුමයි

– – මීගමුවේ මසුන් මරන්නෝ
වාර්තාමය සිනමා කැමරාවට හසුවන රූප ඔස්සේ කියැවෙන මානව කතන්දරය, ඒ ඒ කාල පරිච්ජේද පිළිබඳ පුළුල් අවබෝධයකට මාවත විවර කර දෙයි. මෙය ද එලෙස තෙප්පම මත ජීවිතය තරකර ගත් මීගමුවේ මස් මරන්නන් ගැන ය.
කළු සුදු මි.මි 35 කාණ්ඩයේ වාර්තා සිනමාපටයක් වූ මෙය 1952 වර්ෂයේදී රූගත කෙරිණි. මිනිත්තු 22ක් ඇතුළත ධිවර සංස්කෘතියේ අල්පමාත්‍රයක සිදුවිම් ආඛ්‍යානයක් රූපමය භාෂාවෙන් පෙළගස්වන්නේ ජෝර්ජ් වික්‍රමසිංහයන් ය. ඊට සිංහල භාෂාවෙන් පසුබිම් කථනය ගළපන්නේ රැල්ෆ් කීන්ගේ අදහසකින් ය. ඒ, චලනය වන රූප ඛණ්ඩවලට ජීවමය ගුණයක් ලබා දෙමිනි. ජන සංගීතය ඔපෙරා ශෛලියෙන් හැඩ කර ඇත්තේ දේවාර් සූරියසේන ය. ජොර්ජ් ස්ටුවට්ගේ තෙවැනි ඇසට හසුකරගත් රූප එකට ගළපා ඇත්තේ ජී කලාබි්‍රයා ය. ශබ්ද පරිපාලනය එෆ් සේරාගෙනි.

මෙම වාර්තා චිත්‍රපටයේ සෑම කොටසක් ම ඊට අදාළ ජන සංස්කෘතිය, පරිසරය හා සම්බන්ධ අතුරු දර්ශන උපයෝගි කොටගෙන, දේශීය සංගීතය හා ස්වාභාවික ශබ්ද සංකලනය කරමින් මනා ජීවගුණයකින් යුතු ව ගොඩනැගුණ හෙයින් මෙය අදටත් ලාංකේය ජන පර්යේෂණ ඉතිහාසයේ වඩා වැදගත් මූලාශ්‍රයක් වී ඇත. එහි පෙළ ගැස්ම මෙසේ ය.
තෙප්පම්කරුවන් මුහුදු යෑම

වාර්තා චිත්‍රපටය ආරම්භ වන්නේ මීගමු කලපුවේ රුවල් ඔරුවක් ගමන ආරම්භ කරමිනි. එහි පසුබිමින් ලක්දිව වෙරළට අරුණාලෝකය වැටෙත් ම මීගමුවේ මස් මරන්නට උදා වන්නේ යළිත් වැඩ බහුල දිනයක් බැව් ප්‍රේක්ෂක අපට කියාපායි. ලංකාවේ පරම්පරාගත ව මුහුදු ගමනාගමනයට හුරුපුරුදු කොල්ලෑව සහිත පුංචි ඔරු ආදිය මේ සඳහා යොදා ගැනේ.
දෛනික ව මුහුදු සැතපුම් 5ක්, 10ක් හා 20ක් පමණ ගමන්කොට මසුන් මරණ තිත්පොළ වෙත ඔවුහු ගමන් කරති. ධිවරයන් මුහුදට ගිය පසු ඔවුන්ගේ භාර්යාවෝ හෝ මව්වරු ගමනට ආගමික ආශිර්වාදය පතති. මේ තත්ත්වය මත මීගමු වෙරළ හරිම කාර්යබහුල ය.

ලුණුමිදෙල්ල කොට හතරක් එක්කර, වැරකොට බැඳගත් අඩි 08ක් දිග ඇති අඩි 04ක් පළල ලෙස තෙප්පම සාදා ගනී. මුහුදු ගමනට වුවමනා කරන සියලු දෑ සූදානම් කළ පසු වැලි කන්දෙන් තෙප්පම සීරුවෙන් දියට හෙලයි. අලුයම දියට යන තෙප්පම සුළං බලයෙන් ගමන් කරයි. එක තෙප්පමක දෙදෙනා බැගින් නැඟගත් මිනිස්සු ඔවුන්ගේ කුඩා වේදිකාවල සමබර ව සිටින සේ දක්ෂ ලෙස වාඩිවී ඇත. මුහුදේ කොරල් කඳුවලින් ඔබ්බට ගොස් ගැඹුරු තැන්වල දැල් ගසති.

ගොඩබිම තවත් සිදුවීමක් ආරම්භ වේ. එය නම් උදෑසන අලුත් පාරුවක් මුහුදට ගෙනයාමයි. පල්ලියේ පූජකතුමන් අලුත් පාරුව ඉදිරියේ යාඥාා කරයි. භක්තිමත් උත්සව ලීලාවෙන් ඔරුව සිසාරා ගමන් කරන කුඩා පෙරහැර, එය මස් මරන්නන්ගේ සාන්තුවරයා වූ ශුද්ධ අන්තෝනිතුමන්ට කැපකරයි. ක්‍රමයෙන් පිරිස තම පාරුව දියඹට ගෙනයයි.

— දැල් ඇඳීම —
වැඩිහිටි පිරිමින් සුරුට්ටු හෝ බීඩි ඉරීම පුරුද්දක් වි ඇතත් මුහුදු යෑමට යම් වත්කමක් තිබිය යුතු ය. වැඩිහිටි හා තරුණ පිරිමි ඈත දියඹට ගොස් එළනු ලැබූ මාදැල් අදිනු ඇත. වටකුරු දැල්, එළනා දැල්, හතරස් දැල්, ගහන දැල් ආදී විවිධ හැඩහුරුකම් ඇති දැල් ආදියත් ඒ සියල්ලට ම වඩා ලොකු දැල් වර්ගය නම් අද දින අලුයම් සමයේ ආශිර්වද කර දියඹට දමන ලද පාරුවට අයත් විශාල මාදැල් ය, උදයවරුවේ ම අව් රශ්මිය විඳිමින් ඔවුන් මේ දැල ගොඩට අදින්නේ හිමිහිට, අධික වෙහෙස දරමින් අඟලෙන් අඟලට මුහුදේ වඩදිය බාදිය ගැන සැලකිලිමත් වෙමිනි. මැදැල් අදින්නේ රිද්මයකට ය. ඔවුහු සැම පාද එක විට තාලයට තබමින් ද කවි කියමින් ද දැල අදිති.

අන්තිමේදී දැල ගොඩට ම වාගේ ඇවිත් ය. මිනිසුන් කඩිමුඩියේ එහා මෙහා දුවත් ම, නැතහොත් මඩිය ඇදීමට උකුලක් වතුරට බසිත් ම දැල ඇදීමේ තාලය ද කැඩෙන්නේ ය. පසු පිරිස එකතුවී මාළු අසුවී ඇති දැල් කෙළවරේ ඇති මඩිය ඔසවා ගොඩට ගෙන එයි. එහි මත්ස්‍යන් දහසක් සිටිය හැකි ය. නැතහොත් එකෙක්වත් සිටිය නොහැකි ය. මෙතරම් වේලා බොහෝ ඉවසිල්ලෙන් හෙළුෑ දහඩිය වෙනුවෙන් ඔවුන්ට කුමක් ලැබෙයි ද? දැල ලිහා බලති. අද අසුවී තිබෙන්නේ ඉතා අඩුවෙනි. සමහරවිට හෙට වාසනාව උදාවන්නට පුළුවනි.

ඒ නම් තෙප්පම්කාරයන්ට වාසි වූ හොඳ දවසකි. රිදී පාට කොරපොතුවලින් වැසී ගිය සිය ගණන් මාළුවන්ගෙන් පිරුණු දැල් දිලිසෙන සේ පෙනේ. දැල්වලින් මාළු එළියට ගන්නන් බොහෝ ය. මාළු තොගයෙන් වාසි නොවෙන පවුලක් ගමේ නැති තරම් ය.

— මාළු වෙන්දේසිය —
මාළු වෙන්දේසිය පටන් ගැනේ. සෙනඟ වටේට රැස්වෙති. වෙන්දේසිකරු ඉල්ලන මිල ගණන් කියාගෙන යයි. ලෙජර් ලිපිකරු විකුණූ ගණන් මිමි ලියයි. විවෘත වෙළෙඳපොළෙහි, අසුවුණ මාළු ප්‍රමාණයට අනුව මිල ගණන් වෙනස් වෙයි. බොහෝ විට මහජනයාත් මාළු අල්ලන්නාත් තැරැව්කාරයා විසින් සූරාකනු ලබයි. මාළු විකුණන හැම රුපියල් 10කින් ම ධිවරයන්ට ඇතැම් විට ලැබෙන්නේ රුපියල් 05කි. පැය ගණන් වෙන්දේසිය දිග්ගැසේ. කලපුව දිගේ එන ඔරුවලින් මාළු ගෙන එයි. ඒ අතර ඈත මුහුදේදී බීලී කොකුවලින් අල්ලා ගන්නා ලද ලොකු මාළු ද වෙන්දේසිපොළට රැගෙන එයි. තද නැති, කටට රහ ඇති රාත්තල් 10-20 දක්වා ඇති තෝරු, වටකුරු රතු තබලයෝ, රීදී පැහැති කටුවල්ලෝ, වයිරම් ගල් මාළු, තිත් සහිත හැදැල්ලු හා අඩි හතේ මෝරු ද මේ අතර සිටී.

වෙන්දේසීපොළට රැස් වූ හැමදෙනාගේ ම ගත සිත මාළුවලට ය. වේලට මාළු කැල්ලක් ගන්න සිටින ගෘහණිය, මාළු පෙතිවලට කපා විකුණන මාළු කත්කරු, මීගමුවෙන් ආ සිල්ලර වෙළෙන්දන්, කොළඹින් ආ තොග වෙළෙන්දන් මාළු ගන්න පැමිණ සිටි. අන්තිම මාළුවත් විකිණේ. සෙනඟ විසිර යති. ක්‍රමයෙන් වෙළෙඳපොළේ කලබලය නැති වී යයි. දැන් වෙන්දේසි මඩුව හිස් ය.

–ඇදුම් පැළදුම්–
මීගමු ධිවරයන් බහුතරයකගේ වස්ත්‍රය වූයේ අමුඩය හෝ සරමයි. ඊට උඩින් ලේස් බැනියමක් ද අත් දිග කපු කමිසයක් ද එසේත් නැතහොත් උඩුකය නිරුවත් කොට ද තිබේ. හිස රෙදි කැබැල්ලකින් ජාටාවක් බැඳ ඇත. නැතහොත් පන්වලින් වියන ලද තොප්පියක් පැලඳ ඇත. මුහුදු වෙරළේ සිටින කුඩා ළමයින්ගේ වස්ත්‍රය වූයේ අමුඩයයි. ධිවර කාන්තාවන්ගේ වස්ත්‍ර වි ඇත්තේ චීත්තය හා රේන්ද හැට්ට ය. පිරිමි ළමයින් පාසලට යන විට කොට කලිසමත් අත්දිග කමිසයත් අඳින අතර ගැහැනු දරුවන් ගවුමත් අතට වළලුත් නළලට තිලකයත් තබා ඇත. මෙකල නිශ්චිත ඇඳුමක් පාසලට නොතිබුණි.

–කටුදැල්කාරයන්ගේ දින චර්යාව–
මාළු අල්ලනන් නිදි දෙව්දුව තුරුළට වී සැනසුම් ලබයි. ඔරුකාරයන්ගේ හා තෙප්පම්කාරයන්ගේ වැඩ හෙට අරුණෝදය වනතුරු හමාරයි. එහෙත් කටුදැල්කාරයන්ගේ වැඩ යන්තම් පටන් ගත්තා විතරයි. කටුදැල්කාරයෝ කට්ට කරුවලේ කලපුවේ ඉස්සන් හා කොකිරිස්සන් අල්ලති. වටින් පිටින් ඇඳිරි වැටීගෙන එනවිට ඔවුහු කුඩා ඔරු, පාරු කුඩා කලපුවෙන් මහා කලපුවට අද්දවති. ඉක්බිති ඉස්සන් කොකිරිස්සන් දැල් ඇතුළට ඇදී ඒම පිණිස භූමිතෙල් විලක්කු දල්වති. මේ මාළුවන් රළ පහරත් සමග රෑන් පිටින් දැල් මඩියට එනතුරු ඔවුහු නොයිවසිලි ව රැක සිටිති. රාත්‍රිය ගෙවි යයි. ලංකා වෙරළ හිරු රැස් දහරින් බබලයි. ඔරු යළිත් දියත් වෙයි. මීගමු මස් මරන්නන්ට තවත් වැඩ බහුල වූ දවසක් උදා වේ.

–සමුපකාර ක්‍රමය–
මසුන් මරන්නන් මෙරට හඳුන්වනු ලැබු කුලය ‘කරාව’ ය. එම මුහුදුබඩ කුලය සංක්‍රමණික ජන කණ්ඩායම් ආශ්‍රයෙන් ගොඩනැඟි තිබුණු කුලයක් වුව ද එය සිංහල වැඩවසම් ක්‍රමයට හොඳින් අනුගත වී නොතිබුණි. මෙම ප්‍රජාව විදේශ පාලනයකට අයත් ප්‍රදේශවල එක දිගට ජීවත් වූ ජනතාවක් වශයෙන් වාණිජ්‍යකරණයට හුරුපුරුදු ව සිටි. ඔවුන්ගේ දැවෙන ගැටලුවලට විසඳුම් දී ඇත්තේ මෙසේ ය,

යල් පැනපු ඔරු, ලෙඩ දුන් ණය තුරුස් යන මේවා ඔවුන් ඉදිරියේ තිබෙන ගැටලුවලින් සමහරකි. මේවා දවසින් නිරාකරණය කළ නොහැකි ය. එහෙත් දැන් ඒ සම්බන්ධ ව ක්‍රියා ආරම්භ කර කිබේ. වඩා හොඳ දැල් ආදිය සපයනු ලැබේ. වෙරළ අයිනේ ඒ ඒ තැන්වල විපතට පත්වන මස්මරන්නන්ට සහය වීම පිණිස බෝට්ටු පිළියෙල කර ඇත්තේ ය. මස්මරන්නන් සමුපකාර ක්‍රමය අනුව හැඩගැස්විමට වැයම් කරනු ලැබේ. මේ ක්‍රමයෙන් ඔවුන්ගේ මාළුවලට නියම මිලට අවශ්‍ය ණය තුරුස් ලබා ගතහැකි ය. මස් මරන්නන් ලංකාවේ වැසියන් බැව් මෙනෙහි කළ යුතු ය.