විමුක්තිවාදී නිදහස
එමීල් බෙන්විනීස්ට් නම් කේන්ද්‍රීය ප්‍රංශ වාග් විද්‍යාඥයාගේ “Dictionary of Indo-European Concepts and Society” නම් 1969 වසරේ පළ වූ අතිශය බලපෑම්සහගත වාග්විද්‍යාත්මක අධ්‍යයනය මෙහිදී අපට මග පෙන්වීමක් කරනවා. මේ කෘතිය පුරා බෙන්විනීස්ට් උත්සාහ කරන්නේ අපගේ වර්තමානය සකස් වී ඇති සමාජීය සහ ආයතනික වචන මාලාව ඉන්දු-යුරෝපීය භාෂාවල විවිධ ආකාරයෙන් ව්‍යවහාර වී ඇති ආකාරය සහ ඒවා විකාශනය වී ඇති ආකාරය පෙන්වා දීමට.
මෙහිදී අපට වැදගත් වන්නේ ‘නිදහස් මිනිසා’ යන අර්ථය හිමි eleútheros යන ග්‍රීක වචනයේ සහ ‘වහලා’ යන අර්ථය ඇතිි ‘doúlos’ යන ග්‍රීක වචනයේ විකාශනය ගැන බෙන්විනීස්ට් සිදුකරන පැහැදිලි කිරීම. බෙන්විනීස්ට් විසින් නිරාවරණය කර ගන්නා ලද අනපේක්ෂිත අදහසක් නම් eleútheros සහ එහි ලතින් සමාන පදය වන ‘liber’ යන වචනවල මුල් අර්ථය වන්නේ ‘යමකින් ගැලවීම’, ‘යමකින් නිදහස් වීම’ වැන්නක් නොව ‘වාර්ගික කුලකයකට අයිති වීම’ යන්න. එයින් හැඟවුම්කරණය කරන්නේ එක්තරා වරප්‍රසාදිත සමාජ කුලකයකට අයිති වීම යන්න. ‘නිදහස් මිනිසා’ යනු එම සමාජ කුලකයේ උපත ලැබීමට වාසනාවත්න වන මිනිසා. එයින් අර්ථවත් වන්නේ එම සමාජ කුලකයට අයිති නොවන මිනිසුන් සඳහා නොමැති වරප්‍රසාදවල හිමිකාරිත්වය. එම නිසා ම ‘නිදහස්’ මිනිසුන් සිටිය හැකි වන්නේ නිදහස අහිමි වූ අනෙකුන්, වහලුන්, දුප්පතුන්, විදේශිකයන්, පරයන්, පිටගම්කාරයන් සිටිනා තැනක පමණයි.
මෙය සිංහල භාෂාවට සම්බන්ධ වන ආකාරය පවා බෙන්විනීස්ට් ඔස්සේ අපට පහසුවෙන් ලකුණු කළ හැකියි. ‘frei’ යන ජර්මන් වචනයේ ‘free’ යන ඉංග්‍රීසි වචනයේ මුල් ඉන්දු-යුරෝපීය ආකෘතිය ලෙස ‘priyos’ යන්න ගත හැකි වනවා කියා බෙන්විනීස්ට් සිදුකරන පැහැදිලි කිරීම සමඟ. බෙන්විනීස්ට් පැහැදිලි කරන ආකාරයට ‘priya’ යන සංස්කෘත වචනය බිඳී එන්නේ ද මෙයින්. ‘ප්‍රිය’ යන සිංහල වචනයේ නිරුක්තිය ලෙස ගත හැකි මේ වචනයේ අර්ථය වන්නේ ‘අප කැමති’, ‘අප ඇසුරු කිරීමට කැමැත්ත ඇති’ වැනි අර්ථයක් බව අප දන්නා කරුණක්. අප ඇසුරු කිරීමට කැමති වන්නේ, අපට ‘ප්‍රිය’ වන්නේ අප අයත් සමාජ කුලකයේ මිනිසුන්. වඩාත් සරල ලෙස ප්‍රියයන් යනු ‘අපේ කට්ටිය’. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් වන්නේ එම නිසා. ‘ප්‍රිය’ යන සිංහල වචනය ‘free’ යන ඉංග්‍රීසි වචනය අතර සම්බන්ධය මෙයින් පැහැදිලි වෙනවා. එම සම්බන්ධය වන්නේ අපට හුරුපුරුදු, තෝරා ගත්, වරප්‍රසාදිත සමාජ කුලයකට අයත් වන යන්න. ‘නිදහස’ යනු ඓතිහාසික ව, තෝරා ගත් සුළු පිරිසකට අයත් වීමේ වරප්‍රසාදය. ලිබරල් සමාජය යනු ප්‍රියයන්ගේ සමාගම.
මේ අර්ථයෙන් ලිබරල්වාදය යනු නිදහස යන අදහසේ අව්‍යාජ ප්‍රකාශනයක් ලෙස අපට සත්‍ය වශයෙන් ම සැලකිය හැකියි. එහිදී නිදහස් මිනිසුන් යන්නට අයත් නොවන්නන් සඳහා සිය වරප්‍රසාද දරුණු ලෙස අහිමි වීම කිසිසේත් පරස්පරයක් ලෙස සැලකීමට නොහැකියි. නිදහස යනු ම මෙවැනි සමාරම්භක බෙදීමක් මත පදනම් වන්නක්.
එක්වර ම හුදු වචන සෙල්ලමක් ලෙස පෙනී ගිය ද මෙය බැලූබැල්මට පරස්පර විරෝධී කියා සිතෙන ඓතිහාසික අත්දැකීමක් තේරුම් ගැනීමට අපට මග පාදනවා. එම අත්දැකීම වන්නේ ඉංග්‍රීසි, නෙදර්ලන්ත සහ ඇමරිකානු විප්ලවවලින් පසුව මානව ඉතිහාසයේ කිසිදා නොතිබුණු ආකාරයේ වහල් සේවයක් ආරම්භ වීම. මේ රටවල් පැරණි රාජාණ්ඩුවල පාලනයෙන් නිදහස් වීම නිසා සිදුවන්නේ එම සමාජවල මිනිසුන් ‘නිදහස්‘ වීම නොවෙයි. ඒ වෙනුවට එහිදී සත්‍ය වශයෙන් ම සිදුවන්නේ එවැනි සමාජයෙන් ඍජු වහල් සේවය වේගයෙන් වැඩි වීම. නිදර්ශනයක් ලෙස වර්ෂ 1700 වන විට 330,000ක් ලෙස පැවති ඇමරිකාවේ වහල් ජනගහනය වසර 1800 වන විට මිලියන තුනක් පමණ දක්වා වර්ධනය වන අතර 1850 දශකය වන විට මිලියන 06ක් දක්වා වර්ධනය වෙනවා. උක් වගාව සඳහා මහා පරිමාණ වහල් සේවයක් ඇති කිරීම ආරම්භ කරන්නේ නෙදර්ලන්ත ජාතිකයන්. එහෙත් 18 වැනි සියවසේ මැදභාගය වන විට වහල් වෙළෙඳාමේ ප්‍රමුඛස්ථානය නෙදර්ලන්තයෙන් මහා බි්‍රතාන්‍යය අතට හුවමාරු වන්නේ 878,000ක වැඩි ම වහලුන් සංඛ්‍යාවක් සහිත රාජ්‍යය ලෙස. පොදුවේ ගත්විට මේ රටවල් තුන ම වහල් සේවයේ සහ වහල් වෙළෙඳාමේ ගෝලීය ප්‍රමුඛයන්.
වසර ගණනක් පෙබරවාරි 04 දින අප සමරන ලද ‘නිදහස‘ තේරුම් ගත යුතු නිශ්චිත ඓතිහාසික ප්‍රවේශය මෙයයි. 1948 වසරේ සිට සෑම වසරක ම ලංකාවේ රාජ්‍ය පාලකයන් දිනා ගත් උතුම් නිදහසක් පිළිබඳ ව අපට කතා පවත්වා තිබෙනවා. එම නිදහස දිනා ගැනීමේ ‘සටනට‘ නායකත්වය දුන් ‘ජාතික වීරයන්‘ ගැන කියා තිබෙනවා. එහෙත් එම වීරයන් විසින් දිනවා දෙනු ලැබූ නිදහස් ලංකාවේ සමස්ත ඉතිහාසය ම පිරී තිබෙන්නේ බිහිසුණු අත්දැකීම්වලින්. දශක තුනකට වැඩි සිවිල් යුද්ධයකට අප මුහුණ දුන්නා. දකුණේ තරුණයන් නායකත්වය දුන් සන්නද්ධ නැගී සිටීම් දෙකක් අත්දැක්කා. නිදහස් රටේ ජනයා තළා පෙළා සිය සිතැඟි පරිදි රට පාලනය කළ දේශපාලන පන්තියක් දුටුවා. අවසානයේදී ඔවුන් අපට ඉතිරි කර දුන්නේ දූෂිත, පිරිහුණු, අසාර්ථක රාජ්‍ය යන්ත්‍රයක් සහ බංකොලොත් ආර්ථිකයක්.
නිදහස කිසිදා එහි ම අර්ථයෙන් යහපතක් නියෝජනය කරන්නේ නැහැ. නිදහස සත්‍ය වශයෙන් ම විමුක්තිවාදී වන්නේ එය සමානාත්මතාව සහ සහෝදරත්වය සමඟ එක් වූ විට. මේ තිබෙන්නේ ප්‍රංශ විප්ලවයේ ඓතිහාසික සටන් පාඨය කියා අප දන්නවා. දේශපාලන විශ්වීයත්වය ප්‍රංශ විප්ලවයෙන් ආරම්භ වූවා කියා කියන්නේ මේ නිසා.
මෙවර අප සාම්ප්‍රදායික ජාතික නිදහස් දිනය සමරන නිශ්චිත සන්දර්භය ගෙන එන්නේ මේ ආකාරයේ රැඩිකල් නිදහසක් පිළිබඳ බලාපොරොත්තුවක්. මින් අදහස් කරන්නේ දිට්වා සුළි කුණාටුවට පසුව මෙරට ජනයා පෙන්වූ සාමුහිකත්වයයි. ජාතියක් වශයෙන් අප ආඩම්බර විය යුතු එක් චරිත ලක්ෂණයක් වන්නේ මේ සාමුහිකත්වය. අප සැමදාමත් හදිසියේදී එකිනෙකාට උපකාර කරගන්නා සාමුහික හැඟීමක් ඇති ප්‍රජාවක්. මේ දුෂ්කර මොහොතේදී අප අත්දුටුවේ ද එයයි.
මෙවර ශ්‍රී ලංකාවේ නිදහස් දින සැමරුම අලුත් බලාපොරොත්තුවක් ගෙන එන්නේ ඒ නිසා. සත්‍ය වශයෙන් ම විමුක්තිවාදී නිදහස් ජාතියක අනාගත සැමරුමක් පිළිබඳ බලාපොරොත්තුවක් අද අපට තිබෙනවා. එම නිසා සත්‍ය වශයෙන් ම අලුත් නිදහස් දිනය වෙනුවෙන් යෝජනා කරන්න තිබෙන්නේ ද ඒ ඉපැරණි සටන් පාඨය මිස අන් දෙයක් නොවෙයි. නිදහස, සමානාත්මතාව සහ සහෝදරත්වය !.






