තුන් කල් දුටු මිනිසුන්ගේ නිහඬ හඬ
“ආදරණීය සහෝදර සහෝදරියනි, අද මේ මංගල රැලිය මා අමතන්නේ මරණ වරෙන්තුව අතේ තබාගෙන. සුදු අධිරාජ්‍යවාදීන් අපගේ මාතෘ භූමිය බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමෙන් පසුව කන්ද උඩරට අඩි 5000ට වඩා උස භූමිය කපා විනාශකොට තේ වගා කළා. ඉන්පසුව කළු සුද්දෝ ඉතිරි වනාන්තර ටිකත් කපා මහා විනාශයක් සිදුකරමින් ඉන්නවා. මේ මහා විනාශය නැවැත්තුවේ නැතිනම් දශක තුනක් හතරක් ඉදිරියට යද්දී නායයාම්, සෝදාපාළුව, ගං වතුර, කඳු කඩා වැටීම්වලින් ජන සංහාරයක් සිදුවෙනවාමයි.
මේ මාතෘ භූමියේ භූගෝලීය තත්ත්වය හමුවේ ස්වාභාවික පරිසරයේ සමතුලිතභාවය රැකීමටනම් අනිවාර්යයෙන් අඩි 5000ට වඩා උස භූමිය වන වගා කළ යුතුයි. කළු සුද්දනි, මේ මහා විනාශය දැන්වත් නවත්තපල්ලා. තොපි එසේ නොකළහොත් එදාට මා ජීවතුන් අතර සිටින්නටත් නොසිටින්නටත් පුළුවන්. නමුත් නායයාම්වලින්, කඳු කඩා වැටීම්වලින් සිය දහස් ගණන් ජනයා මිය යාම වළක්වාලන්න බැහැ“
අදින් වසර 55කට පෙරාතුව එනම් 1970 වසරේදී කොළඹ හයිඩ් පිටියේදී මේ ප්‍රකාශය කරන ලද්දේ ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර විසින්. එයින් වසර 19කට පසු 1989 මෙවැනි නොවැම්බරයකදී ඔහු ඝාතනයට ලක් වුණා. ඒ, අදින් වසර 36කට පෙරාතුව.
නොබෝදා පැවති දේශගුණ විපර්යාස පිළිබඳ සමුළුවේ ආරම්භය සනිටුහන් කරමින් බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා සිය කතාවේදී මෙසේ කියා සිටියා.
“අපි නිවැරදි දිශාවට ගමන් කරනවා, නමුත් වැරදි වේගයකින්.”
ලෝකයේ සංවර්ධනය පිළිබඳ පවත්නා ලිබරල් ධනේශ්වර දෘෂ්ටිවාදය යනු සීමිත පිරිසකගේ උපරිම තෘප්තිය වෙනුවෙන් ලෝකයේ අනාගත පරම්පරාව බිලි දීම. සාමුහික අරගලයකින් මිස ඊට පිළියම් තිබිය නොහැකියි.
“සංක්රාන්තියේ ආර්ථික විද්‍යාව අවිවාදිතයි. ලෝකයේ ප්‍රධාන බලශක්ති ප්රභවය ලෙස පුනර්ජනනීය බලශක්තිය දැනටමත් ගල් අඟුරු අභිභවා ගොස් තිබෙනවා. දැන් අභිලාෂය සංයුක්ත ක්‍රියාවක් බවට පත් කිරීමට කාලයයි. බහුපාර්ශ්විකත්වය තවමත් ප්‍රතිඵල ලබා දෙන බව අප ලෝකයට පෙන්වන්නේ එලෙසයි.” ලූලා එහිදී වැඩිදුරටත් සඳහන් කරන්නේ එය.
එහෙත් මේ, දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව ගැනවත් බ්රසිල ජනාධිපති ලූලා ගැනවත් නොවෙයි. දශක ගණනාවකට ඉහතදී අධිරාජ්‍යවාදීන්ගේ හෝ ධනේශ්වර පංතියේ අවිධිමත් සංවර්ධන සැලසුම්, ඊනියා සංවර්ධන වැඩසහන් මානව සංහතියේ පැවැත්මට තර්ජනයක් විය හැකි අන්දම පෙන්වා දුන් තුන් කල් දුටු මිනිසා ගැන. ඒ මිනිසා ඇතුළු දහස් ගණනක් වධ හිංසා පමුණුවා අමු අමුවේ අකාලයේ ඝාතනය කළ ඉතිහාසය ගැන. එකී කෲරතර සිදුවීම් ජාලයක කූටප්‍රාප්තිය සලකුණු කළේ 1989 නොවැම්බර් 13 දින.
1989 නොවැම්බර් 12 දින දහවල් 1.00ට පමණ බ්‍රිගේඩියර් ජානක පෙරේරා සහ කර්නල් ගාමිණී හෙට්ටිආරච්චි ඇතුළු හමුදා කණ්ඩායමක් ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර උලපනේදී අත්අඩංගුවට ගත්තා.’ඔබ්ස් කොම්බයින්’ විශේෂ හමුදා කණ්ඩායම ප්‍රථමයෙන් පැමිණියේ ගලහ නිවෙසට. උදෑසන නිවෙසින් බැහැර යෑමට සූදානම් ව සිටි පියදාස රණසිංහ, එච්.බී. හේරත් එහිදී අත්අඩංගුවට පත්වුණා. පස්වරු 1.00 පමණ වන විට ඔවුන් උලපනේ සෙන්ට් මේරිස්හි විජේවීර පදිංචි ව සිටි නිවෙසට පැමිණියේ හමුදා භටයකු විසින් පදවනු ලැබූ පියදාස රණසිංහ පාවිච්චි කළ මෝටර් රථයෙන්. එම මෝටර් රථය නිවසේ අයට අමුත්තක් වුණේ නැහැ. විජේවීර අත්අඩංගුවට ගැනීම සහ ඉනික්බිති ව සිදු වූ ඔහුගේ මරණය දක්වා වූ සිදුවීම් දැන් මෙරට ජනයාට තවදුරටත් සැඟවිය හැකි කාරණා නොවෙයි.
ගම්පොළ උලපනෙන් පිටත් ව එවක ජවිපෙ ලේකම්වරයා වූ උපතිස්ස ගමනායක බණ්ඩාරගම මහවිල නිවෙසට පැමිණියේ 11 දින රාත්‍රීයේදී. 12 දින උදෑසන ඔහු නිවෙසින් පිටත් ව ගියේ යොදාගෙන තිබූ පක්ෂයේ කිසියම් සාකච්ඡාවක් සඳහා. දහවල් ඔහු නැවත නිවෙසට පැමිණෙන විට වෙලාව දහවල් 1.00 පමණ වන්නට ඇති. දිවා ආහාර ගැනීමෙන් පසු නිවෙසින් පිටත් ව යෑමට ඔහු තීරණය කර තිබුණා. ගමනායකගේ බිරිය කරුණා පවසා තිබූ අන්දමට ඔහු එදින සිට ඇත්තේ කැළඹීමෙන්.
සෝමවංශ අමරසිංහ පක්ෂ තහනමින් පසුිසිරි අයියා’ නම භාවිත කර පසුව එම නම ද ඉවත් කර ‘රිචඩ්’ යන නම භාවිත කරමින් සිටියා. 11 දින නිවෙසට පැමිණි අවස්ථාවේ ගමනායක සිය බිරිඳ කරුණා සමඟ පවසා ඇත්තේ දින කිහිපයකින් ම රිචඩ් ගැන ආරංචියක් නැති බවග
“එහෙනම් ඇයි තවත් බල බල ඉන්නේ මෙතැනින් ඉවත් වෙන්න ඕන නේදැයි“ කරුණා විමසා තිබෙනවා.
ගමනායක ඊට පිළිතුරු දී ඇත්තේ තමා හෙට දවසේ පිට ව යෑමට තීරණය කර ඇති බව. 12 දින දහවල් කාලයේ පිටතට ගොස් නැවත පැමිණි ගමනායක පසුදින ප්‍රදේශයෙන් පිටත් ව යෑම සඳහා සූදානම් වෙමින් සිටියා.
සිවිල් ඇඳුමෙන් සැරසුණු ආරක්ෂක අංශ සාමාජික පිරිසක් ඔවුන්ගේ නිවෙසට කඩා වැදුණේ ඒ මොහොතේ. නිවෙසේ සිටියේ ගමනායකත් බිරියත් අත්උදව්වට සිටි පුෂ්පිකාත් පමණයි. නව හැවිරිදි දියණියත් හය හැවිරිදි පුතාත් ඒ වනවිට සිටියේ අමතර පන්ති පැවැත්වෙන නිවෙසකට ගොසින්. ආරක්ෂක අංශ නිවෙසට ඇතුළු වන විට කරුණා එම පිරිස අතරින් එළියට ගියේ නිවෙසේ පවත්වාගෙන ගිය කඩෙන් බඩු ගැනීමට පැමිණි කාන්තාවක ලෙස.
දඩයම ලුහුබැඳ ගිය පිරිස කරුණාගේ ඉවතට යෑම ගැන සැලකිල්ලක් දැක්වූයේ නැහැ. කරුණා නොපෙනී ගියා. ඩයස් මුදලාලි යනුවෙන් පානදුර මහවිල ප්‍රදේශයේ පෙනී සිටි උපතිස්ස ගමනායක අත්අඩංගුවට පත් වූයේ එලෙස. හමුදාව පිටත් ව ගියේ ගමනායකගේ මෝටර් රථයේ ම ඔහු ව නංවාගෙන.

1987 වසරේදී ජවිපෙට එරෙහි ව ආරම්භ වූ සාහසික මර්දනයේදී පක්ෂයේ නායක රෝහණ විජේවීර ඇතුළු දේශපාලන මණ්ඩලය සමඟ ඉතා සමීප ඇසුරක් පැවැත්වූ තිදෙනෙකු 1989 ඉල්මහේ මහා සංහාරයට කලකට පෙර ඝාතනය කෙරුණා. මෙයින් විජේවීර සහ ගමනායක ඇතුළු දේශපාලන මණ්ඩලය රැස්වන බණ්ඩාරවෙල සහ ගලහ නිවෙස් දැනසිටි දේශපාලන මණ්ඩල සභිකයෙකු වූ පී.ඩී.එන්. විජේනායක නොහොත් සුමිත් අතුකෝරාල ප්‍රථමවරට ඝාතනයට ලක්වූ අයෙක්. ඒ වනවිට සුමිත් අතුකෝරාල රට වටා යමින් ජවිපෙ සංවිධානය කරමින් සිටියා. 1988 අගෝස්තු මස පුත්තලම ලුණුවිල දෙමටපිටියේදී පාවාදෙන්නෙකුගේ තොරතුරක් මත අත්අඩංගුවට ගත් ඔහු වධ හිංසනයට ලක්කොට ඝාතනය කර සිරුර බඩල්ගම මහඔය පාලමෙන් විසි කර දමා තිබුණා. ඒ, 1988 සැප්තැම්බර් 4 දින.
තිස්සමහාරාමයේ නන්දතිලක ගලප්පත්ති, පක්ෂය බිහි කළ ඉහළ ම බුද්ධිමය පරිචයක් ඇති අධ්‍යාපන අංශයේ ඉදිරිපෙළ නායකයෙක්. 1989 මැද භාගයේදී කෑගල්ල දිසා කමිටුව රඹුක්කනදී රැස්වූ අවස්ථාවකදී එය වැටලූ ආරක්ෂක අංශ ඔවුන්ට යටත්වන ලෙස නියෝග කළ ද යටත් නොවී සටන් කිරීම නිසා එහි සිටි පිරිසෙන් 5 දෙනෙකු එම ස්ථානයේදී ඝාතනයට ලක්වුණා. එසේ යටත් නොවී සටන් වැදුණු පිරිස අතර නන්දතිලක ගලප්පත්ති ද සිටියා. පසුව ඔහු මත්තේගොඩ හමුදා කඳවුරට රැගෙනවිත් ඝාතනය කර තිබුණේ දෙතිස් වධ බන්ධනයට යටත්කොට.
ජවිපෙ දේශපාලන මණ්ඩලය නියෝජනය කළ පී.බී විමලරත්න නොහොත් ට්‍රින්කෝ විමල්, 1989 සැප්තැම්බර් 12 දින බදුල්ලේ සිට බසයකින් කොළඹට පැමිණෙමින් සිටියදී ලැබුණු ඔත්තුවකට අනුව ‘ප්‍රා’ සංවිධානයේ පිරිසක් බස්රථය මහමග නවත්වා ඔහු පැහැර ගත්තා. මේ පැහැරගැනීමෙන් පසු ආරක්ෂක අංශ වෙත බාර දී ඇති ඔහු ද ඔහුගේ බිරිඳ ද පසුව ඝාතනයට ලක්වුණා.
ජවිපෙ නායකත්වය රහසිගත ව ජීවත්වූ ස්ථානය පවා දැනසිටි මොවුන් කුරිරු වධ බන්ධනයට ලක් වුව ද උතුම් අමුණක් වෙනුවෙන් සංවිධානය වූ තම සගයන් පිළිබඳ ව කිසිදු තොරතුරක් අනාවරණය නොකොට නිහඬ ව ම මරණය වැලඳ ගත්තා.
රටේ සැබෑ නිදහස සහ යහපත් අනාගතයක් උදාකිරීම වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවූ ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර ඇතුළු දහස් සංඛ්‍යාත මිනිසුන්ගේ සිහිනය, යථාර්ථයක් බවට පත් කරමින් ජවිපෙ ප්රමුඛ ජාතික ජනබලවේගය වඩා ප්රජාතන්ත්රවාදී දේශපාලන ප්‍රතිසංස්කරණ ඔස්සේ රට ස්ථාවර කරමින් සංවර්ධනයේ දිගු අරමුණ කරා ගමන් කරමින් සිටිනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක නොබෝදා 2026 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට එකී කතාව අවසන් කළේ මෙලෙස.
“ඉතිහාසයේ වේදනාබර සිදුවීම් අපට කියන්නේ මේ රට ගොඩනඟන්න කියලා. අහිමිවීම්, නොසලකාහැරීම්, පීඩා, තර්ජන, ගර්ජන පිරි අතීතය අපිට කියන්නේ මේ රට ගොඩනඟන්න කියලා.
සැබෑ ආඩම්බරයකින් කතා කරන්න බැරිවුණා. නමුත්, අනාගත පරම්පරාව ඒ ඛේදවාචකයෙන් මුදවා ගත යුතුයි. වඩා ලස්සන රටක් වෙනුවෙන් තමන්ගේ සෑම සිහිනයක් ම කැප කරමින්, ඒ ලස්සන රට බිහිවෙන්නට පෙර මියගිය සෑම හදවතක ම ප්‍රාර්ථනාව තිබුණේ මේ රට ලස්සන රටක් කරනවා දකින සිහිනය. අපි දෙවුර මතට ගෙන තියෙන්නේ ඒ පවිත්‍ර මිනිස්සුන්ගේ මරණාසන්න ප්‍රාර්ථනා. ඒ ප්‍රාර්ථනා දේව වාක්‍ය තරම් වුවමනාවකින් අපි ඉටුකරනවා.
අඳුරු වලාකුළුවලින් ඔබ්බට හිරු බබළන බවත් අඳුරු වලාකුළු පහ ව යන බවත් අපි විශ්වාස කරනවා. ඒ වගේ ම අන්ධකාරය මැද දීප්තිමත් රිදී රේඛා නිශ්චිත ව ම පායන බවත් අප විශ්වාස කරනවා. අපි යන මේ ගමනේදී සතුරන්ගේ වියරු කෑගැසීම් අපට නෑසෙන බවත් රටේ පුරවැසියන්ගේ අධිෂ්ඨානශීලී බලාපොරොත්තු සහගත දෑස් පමණක් අපට පෙනෙන බවත් සිහිපත් කරනවා. ”
88-89 යුගයේ උතුම් අරමුණක් වෙනුවෙන් දිවි පිදූවන්ට සැබෑ කෘතගුණ දැක්විය හැක්කේ ඔවුන් සිහිකර ගුණ වැයීමෙන් නොව ඔවුන් පැතූ ලෝකය ගොඩනැඟීමෙන්. ජනාධිපතිවරයා ප්රමුඛ වත්මන් ආණ්ඩුවට පැවරී ඇත්තේ එකී වගකීම. අප ද රට ගොඩනැඟීමේ එකී සත් කාර්යයේ කොටස්කරුවන් බැව් අමතක නොකළ යුතුයි.






