තීරුබද්දේ සද්දේ

- නිහාල් පීරිස්
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පසුගිය ජනවාරි මාසයේ එම ධුරයට පත් වූයේ ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබමින්. ඔහු ජනාධිපති ලෙස පත් වී වැඩි කාලයක් නැතත් ඔහුගේ ජනප්‍රියත්වය අඩු වීමට පටන්ගෙන ඇති බවක් පසුගිය දිනවල මාධ්‍යවල වූයේ ඔහු විසින් ක්‍රියාත්මක කරන ලද ඇතැම් මතභේදාත්මක ප්‍රතිපත්තිවලට ජනතා ප්‍රසාදයක් නොමැතිවීමෙන්.
ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් ගන්නා ලද එක් තීරණයක් වූයේ වෙනත් රටවලින් ඇමරිකාවට ගෙන්වනු ලබන භාණ්ඩ සඳහා වන තීරුබදු ඉහළ දැමීම. මේ ආකාරයෙන් ඇමරිකාවට ආනයනය කරනු ලබන සියලූ ම භාණ්ඩ සඳහා සියයට 10ක තීරුබදු අය කිරීමට තීරණය කරන ලද අතර ඇතැම් රටවලින් ගෙන්වන භාණ්ඩ වෙනුවෙන් ඊට වැඩි තීරුබදු පැනවුණා. ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා අය කිරීමට නියමිත වූ බද්ද වූයේ සියයට 44ක්. වැඩියෙන් ම තීරුබදු පැනවූ රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ද අයත් වුණා.

ට්‍රම්ප් පරිපාලනය තීරුබදු පනවන ලද රටවල් අතර ඉහළින් ම සිටියේ චීනය. චීනයෙන් ඇමරිකාවට ගෙන්වන භාණ්ඩ සඳහා සමස්තයක් ලෙස සියයට 145ක තීරුබදු පනවා තිබෙනවා. තම රටවලට පැනවූ තීරුබදු අඩු කර ගැනීමට බොහෝ රටවල් ඇමරිකාව සමග සාකච්ඡුා කිරීමට පියවර ගත්තත් චීනය එවැනි පියවරක් ගෙන නැහැ. ඔවුන් අනුගමනය කළේ එකට එක කිරීමේ ප්‍රතිපත්තියක්. ඇමරිකාව සහ චීනය යනු එකිනෙකාට දෙවැනි වීමට අකැමැති, බොහෝ ක්ෂේත්රවල තරගයක යෙදී සිටින රටවල් දෙකක් බව නොරහසක්.
ට්‍රම්ප්ගේ තීරුබදු පැනවීම ඉදිරියේ චීනය කළේ ඇමරිකාවෙන් චීනයට ගෙන්වන භාණ්ඩ සඳහා අය කරන තීරුබදු ද ඉහළ දැමීම. ඇමරිකානු භාණ්ඩ සඳහා අය කරන තීරුබදු සියයට 125ක් දක්වා ඉහළ දැමීමට චීනය පියවර ගත්තා. ඇමරිකාවෙන් ඇණවුම් කර තිබූ බොයිං වර්ගයේ ගුවන් යානා රැසක් ආපසු ඇමරිකාවට එවීමට ද චීනය පියවර ගෙන තිබුණා.
ජනාධිපති ට්‍රම්ප් මේ ආකාරයෙන් තීරුබදු ඉහළ දෑමීමට තීරණය කළේ හේතු කිහිපයක් නිසා. ඇමරිකානු ජනතාව විසින් වැඩි වැඩියෙන් ඇමරිකානු භාණ්ඩ මිල දී ගනු දැකීමයි ඔහුගේ බලාපොරොත්තුව. තීරුබදු ඉහළ දැමූ විට ආනයනික භාණ්ඩවල මිල ඉහළ යාමක් සිදු වන අතර ජනතාව ඒවා මිල දී ගැනීම අඩුවීමෙන් ඇමරිකානු නිෂ්පාදන සඳහා ඉල්ලූම වැඩි වී නිෂ්පාදන ක්ෂේත්රයේ වර්ධනයක් සිදුවනු ඇතැයි ද එහි ආයෝජන ඉහළ යනු ඇතැයි ද ට්‍රම්ප් අපේක්ෂාව කරනවා.
ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තියට බල පෑ තවත් හේතුවක් වන්නේ ඇමරිකාව සහ වෙනත් රටවල් අතර වෙළෙඳාමෙහි පවතින අවාසිදායක පරතරය අඩුකර ගැනීම. බොහෝ රටවල් ඇමරිකාවට විශාල වශයෙන් භාණ්ඩ විකුණුවත් ඇමරිකාවෙන් මිල දී ගන්නේ අඩුවෙන්. මේ නිසා ඇමරිකාව යම් අවාසිදායක තත්ත්වයකට මුහුණ දී සිටිනවා.
ඇමරිකාව පසුගිය වසරේ චීනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 440ක භාණඩ මිල දී ගෙන තිබුණත් චීනය ඇමරිකාවෙන් මිල දී ගෙන ඇත්තේ ඇමරිකානු ඩොලර් බිලියන 145ක භාණ්ඩ ප්‍රමාණයක් පමණයි. ට්‍රම්ප් පවසන්නේ ඇමරිකාව රවටා ඇති බව සහ සොරා කා ඇති බව. තීරුබදු ඉහළ දැමූ විට අනෙක් රටවලින් ඇමරිකාවට එන භාණ්ඩ ප්‍රමාණය අඩු වන විට ඉහත කී අවාසිදායක පරතරය අඩු වනවා.
මේ තීරු බදු නිසා ඇමරිකානු භාණ්ඩාගාරයට ලැබෙන අමතර මුදල් යොදා ගනිමින් ජනතාවට සහන සැලසීමට ද රජයේ අලූත් ව්‍යාපෘති දියත් කිරීමට ද බලාපොරොත්තු වන බව ට්‍රම්ප් පවසනවා. කැනඩාව, මෙක්සිකෝව, චීනය යන රටවලට එරෙහි ව ට්‍රම්ප් පැනවූ ඇතැම් බදුවලට හේතු වූයේ එම රටවලින් නීති විරෝධී ආකාරයෙන් ඇමරිකාවට මත්ද්‍රව්‍ය විශාල වශයෙන් ඇතුළු වීම. මෙය වැළැක්වීම සඳහා එම රටවල් මත පීඩනයක් එල්ල කිරීම එම බදු පැනවීමෙහි අරමුණ වුණා. කැනඩාව සහ මෙක්සිකෝව මේ සම්බන්ධයෙන් පියවර ගැනීමට එකඟ වී තිබෙනවා.
ට්‍රම්ප් විසින් පනවන ලද බදු වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක වීමට නියමිත ව තිබුණේ අපේ‍්‍රල් 9 දින සිට. එහෙත් සියයට 10යේ මූලික තීරු බදු ප්‍රමාණය හැර සෙසු බදු අය කිරීම මාස තුනකින් කල් දැමීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගත්තා. මේ නව බදු ප්‍රතිපත්තියට එරෙහි ව දේශීය වශයෙන් මෙන් ම ජාත්‍යන්තරයෙන් ද යම් විරෝධයක්, අප්‍රසාදයක් පළ වීම ද ඊට හේතුවක්. චීනයට එරෙහි බදු අඩු කිරීමක් සිදු වී නැහැ.
ට්‍රම්ප්ගේ ඉහළ තීරු බදු නිසා රටේ භාණ්ඩ මිල ඉහළ යාමක් සිදු වනු ඇති බව ආර්ථික විශේෂඥයන් පෙන්වා දුන්නා. රටට ආනයනය කරන නිමි භාණ්ඩවල මිල පමණක් නොව රටේ නිෂ්පාදනය කරන ඇතැම් භාණ්ඩවල මිල පවා ඉහළ යාමට නියමිත ව තිබුණා. එ්, මේ භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය බොහෝ විට ගෙන්වන්නේ වෙනත් රටවලින් බැවින්.
මෙවැනි තත්ත්වයක ජනතාවගේ ජීවන වියදම විශාල වශයෙන් ඉහළ යාමේ අවදානමක් තිබුණා. ජීවන වියදම ඉහළ යාම කාලයක සිට ඇමරිකානුවන් මුහුණ දී සිටින ගැටලූවක්. පසුගිය වසරේ පැවති ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති ජෝ බයිඞ්න් පරාජය වීමට මෙය ද හේතුවක්.
මේ තීරුබදු නිසා ලෝක ආර්ථිකයේ මෙන් ම ඇමරිකානු ආර්ථිකයේ ද පසුබෑමක් සිදුවිය හැකි බවට අනාවැකි පළවන්නට වුණා. 2025 වසරේ ඇමරිකානු ආර්ථිකය සියයට 2.7කින් වර්ධනය වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය ජනවාරි මාසයේ සඳහන් කර තිබුණත් ඔවුන්ගේ අලූත් ම පුරෝකථනවලින් පැවසුණේ එය සියයට 1.3 දක්වා පහත වැටෙනු ඇති බව.
ලෝක ආර්ථිකය සියයට 3.3කින් වර්ධනය වනු ඇතැයි මූල්‍ය අරමුදල කලින් පුරෝකථනය කර තිබුණත් දැන් ඔවුන් පවසන්නේ එය සියයට 2.8ක් පමණක් වනු ඇති බව. ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තියට විවිධ පාර්ශ්ව වෙතින් විරෝධයක් එල්ල වුයේ මෙවැනි තත්ත්වයක. ට්‍රම්ප්ගේ පක්ෂය වන රිපබ්ලිකන් පක්ෂයේ ම ඇතැමුන් පවා මේ බදු ප්‍රතිපත්තියට සියයට සියයක් එකඟ වූයේ නැහැ.
ට්‍රම්ප්ගේ ඇතැම් ප්‍රතිපත්තිවලට එරෙහි ව රටේ විවිධ නගරවල ජනතාව දස දහස් ගණනින් වීදි බසිමින් විරෝධතා දක්වන ආකාරය ද දැක ගන්නට ලැබුණා. අලූත් තීරු බදු ප්‍රතිපත්තිය ද ජනතා විරෝධයට බඳුන් වූ කාරණයක්. ඊට අමතර ව සංක්‍රමණිකයන්ට අදාළ ඇතැම් ප්‍රතිපත්ති ද රාජ්‍ය සේවකයන් රැකියාවලින් ඉවත් කිරීමේ ප්‍රතිපත්ති ද විරෝධයට ලක් වුණා. රජයේ සේවකයන් ඉවත් කිරීමට ට්‍රම්ප් පරිපාලනය ක්‍රියා කළේ රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම කිරීමේ වැඩපිළිවෙළක් යටතේ.
තීරුබදු ක්‍රියාත්මක කිරීම මාස තුනකින් කල් දමා තිබෙන පසුබිමක බදු සම්බන්ධයෙන් ඇමරිකාව සමග සාකච්ඡුා කර යම් පියවර ගැනීමට අදාළ රටවලට හැකියාව පවතිනවා. එ් අනුව මාස තුනෙන් පසු මුලින් පැනවූ බදුවල යම් අඩු වීමක් සිදු වනු ඇතැයි යන්න අපේක්ෂාවක්.