කම්කරු පංතියේ විප්ලවීය අරගලය

- වසන්ත දිසානායක
උදාවන 2025 මැයි 01 දිනය කම්කරු පංතියේ පංති සටනේ කාහළ නාදය පතුරුවන ලෝක කම්කරු දිනයේ 136 වැනි සංවත්සරය සටහන් කරන දිනය. ලෝක පරිමාණ ඓතිහාසික හා ප‍්‍රායෝගික දේශපාලන වැදගත්කමක් අඩංගු කර ගන්නා දිනයක් වශයෙන් සංලක්ෂිත එම දිනයේ ආරම්භය සටහන් වන්නේ 1889 මැයි 01 දින. කම්කරු පංතියට කම්කරු දිනය හා මැයි දිනය එක ම දිනයක් වශයෙන් අනන්‍ය වී තිබෙනවා. බොහෝ රටවලත් රාජ්‍ය මට්ටමින් ද මැයි දිනය හා ලෝක කම්කරු දිනය යනු එක ම දිනයක්. එහෙත් ඇමරිකා එක්සත් ජනපදයේ හා කැනඩාවේ රාජ්‍ය ‘කම්කරු දිනය’ වශයෙන් සලකන්නේ සෑම වසරක ම සැප්තැම්බර් මාසයේ පළමු වැනි සඳුදා.
මැයි දිනය හෙවත් ලෝක කම්කරු දිනය උපත ලබන්නේ පැය 08ක වැඩ කරන දිනයක් උදෙසා වූ ඉල්ලීම පදනම් කරගෙන. මේ ඉල්ලීම පැන නගින විට කම්කරුවන්ට දිනකට පැය 10-16 දක්වා අතර කාලයක් ඉතා දුක්ඛිත තත්ත්වයක් යටතේ වැඩ කිරීමට සිදු ව තිබුණා. පැය 08ක වැඩ දිනයක් සඳහා වූ ඉල්ලීම පෙරට දැමුවේ මුල්කාලීන සමාජවාදියකු වූ රොබට් ඕවන්. ඒ, 1817දී ඉදිරිපත් කළ ඔහුගේ සුප‍්‍රසිද්ධ සටන් පාඨය වන ”පැය 08ක ශ‍්‍රමය, පැය 08ක විනෝදායනය, පැය 08ක විවේකය” (Eight hours labour, eight hours recreation, eight hours rest) යන සටන් පාඨයෙන්.

පැය 08 වැඩ දිනය ගැන කතා කළ මාක්ස් එය කම්කරුවන්ගේ සෞඛ්‍යයට තීරණාත්මක වැදගත්කමක් ගන්නා බව කියා සිටියා. මාක්ස් තවදුරටත් සිය ‘ප‍්‍රාග්ධනය’ කෘතියෙහි පෙන්වා දුන්නේ ධනේශ්වර නිෂ්පාදන ක‍්‍රමය විසින් වැඩ දිනය දීර්ඝ කිරීමෙන් මානව ශ‍්‍රම ශක්තියේ සාමාන්‍ය සදාචාරාත්මක හා භෞතික සංවර්ධනය හා ක‍්‍රියාකාරිත්වය කොල්ලකනු ලබන බවත් එමගින් එහි පරිහානියක් ඇති කරනු ලබන බවත් ඉන් නොනැවතී එහි ම අකල් ක්ෂයවීම හා මරණය ඇති කරනු ලබන බවත්.
පැය 08 වැඩ දිනය ප‍්‍රවර්ධනය කිරීමේ වැදගත් ඓතිහාසික අවස්ථාවක් වන්නේ ඇමරිකාවේ කැනඩාවේ සංවිධිත වෘත්තීය හා කම්කරු සමිති සම්මේලනය 1886 මැයි 01 දින සිට පැය 08ක වැඩ දිනයක් සංස්ථාපනය කළ යුතු බවට 1884දී යෝජනාවක් සම්මත කිරීම හා ඒ සඳහා ප‍්‍රායෝගික ක‍්‍රියාකාරිත්වයට පිවිසීම. යෝජිත දිනය වූ 1886 මැයි 01 දින ඇමරිකාවේ චිකාගෝ කේන්ද්‍රය කරගෙන 50,000කට අධික කම්කරුවන් පැය 08ක වැඩ දිනයක් ඉල්ලා ආරම්භ කළ මහා වැඩ වර්ජනය පැය 08 වැඩ දිනයක් සඳහා වූ අරගලයේ තීරණාත්මක අවස්ථාවක්. වර්ජිතයන්ට පොලිසිය පහර දීමත් පොලිස් ප‍්‍රහාරයෙන් එක් කම්කරුවකු මරුමුවට පත් වීමත් අරගලය තවත් තීව‍්‍ර කිරීමට හේතු වුණා. පොලිස් පහර දීමට හා කම්කරුවකු මරා දැමීමට එරෙහි ව විරෝධය පෑම් වස් 1886 මැයි 04 දින කැඳ වූ චිකාගෝවේ හේමාකට් චතුරශ‍්‍රයේ පැවැත් වූ සාමකාමී විරෝධතා රැළිය මැඩලීමට පොලිසිය ගත් උත්සාහයත් සමග ඇති වූ ප‍්‍රචණ්ඩකාරී තත්ත්වය පැය 08 වැඩ දිනයක් සඳහා වූ අරගලයේ උච්චතම අවස්ථාවක් ලෙස නම් කළ හැකියි. මේ අරගලයේ ඊළඟ වැදගත් අවස්ථාව වන්නේ අන්තර්ජාතික වැඩකරන මිනිසුන්ගේ සංවිධානය හෙවත් පළමු වැනි ජාත්‍යන්තරය 1886 සැප්තැම්බර් ජිනීවා සම්මේලනයේදී පැය 08 වැඩ දිනය නීත්‍යානුකූල වැඩ දිනය ලෙස ගත යුතු යැයි සම්මත කිරීමෙන් එම ඉල්ලීමට නව ජීවයක් එක් කිරීම. එහෙත් නිශ්චිත ලෙස තවමත් ලෝක කම්කරු දිනයක් පිළිබඳ අදහසක් මතු ව තිබුණා යැයි කිව නොහැකියි. මේ පිළිබඳ නිශ්චිත ව අදහසක් පිළිසිඳ ගන්නේ 1889 මැයි 01 දින ප‍්‍රධාන වශයෙන් ලන්ඩනයේදීත් ඇමරිකාව ආදී රටවල් ගණනාවකදීත් 1886 මැයි 01 හා මැයි 04 යන දිනවල චිකාගෝවේ හේමාකට් චතුරශ‍්‍රයේ ඇති වූ සිදුවීම් අනුස්මරණය කරමින් පැවැත් වූ කම්කරු රැළි පාදක කරගෙන.
නිශ්චිත ලෙස ලෝක කම්කරු දිනයක් ප‍්‍රකාශයට පත් කෙරෙන්නේ 1889 ජූලි 14 දින පැරිසියේ පැවති දෙවැනි ජාත්‍යන්තරයේ ප‍්‍රථම රැස්වීමේදී. එහිදී මැයි 01 දින ජාත්‍යන්තර කම්කරු දිනය වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමත් සමග අතිනත ගෙනයි මැයි 01 දින ලෝක කම්කරු දිනය වශයෙන් කම්කරු පංතියේ අනුස්මරණීය දිනයක් බවට පත් වන්නේ.
මැයි දිනය හෙවත් ලෝක කම්කරු දිනය යනු කම්කරු පංතියේ ඉල්ලීම් ඉදිරිපත් කරන හා ප‍්‍රකාශයට පත් කරන නිශ්චිත දිනයක් පමණක් නොව එය සිය සාධාරණ ඉල්ලීම් දිනා ගැනීම සඳහා ද සූරාකෑමට හා සියලූ පීඩනයට එරෙහි ව ද අරගල කරන්නට එහි ඇති සූදානම, අරගලයෙහිලා අවශ්‍ය කරන කම්කරු පංතියේ එක්සත්කම, අධිෂ්ඨානය හා කැපවීම ප‍්‍රකාශයට පත් කරන සුවිශේෂ දිනයක්.
එහෙත් අද වන විට ලෝකයේ ම මැයි දිනය සමරන්නේ ඒ අර්ථයෙන් නොවෙයි. දේශපාලන පක්ෂ ද වෘත්තීය සමිති ද සාම්ප‍්‍රදායික උත්සවයක් වශයෙන් මැයි දිනය සමරන බව ඇත්තක්. නිදසුන් ලෙස අද ශ‍්‍රී ලංකාවේ කම්කරු පංතිය විසින් පවත්වනු ලබන එක් මැයි දින උත්සවයක් නැහැ. පැවැත්වෙන්නේ එක් එක් වෘත්තීය සමිති හෝ වෘත්තීය සමිති එකතූ ලෙස වෙන් වෙන් ව පවත්වන මැයි දින රැළි. දේශපාලන පක්ෂ විසින් වෙන් වෙන් ව පවත්වනු ලබන මැයි රැළි. අරුමය වන්නේ කම්කරු පංතියේ ප‍්‍රති පක්ෂය වන ධනපති පංතියේ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් ද මැයි දිනය උත්සවාකාරයෙන් පැවැත්වීම.
ලෝක කම්කරු දිනයේ අර්ථය හා අභිමානය ශ‍්‍රී ලංකාවේ මෙන් ම බොහෝ රටවල ද කම්කරු පංතියෙන් උදුරා ගනු ලැබ තිබෙනවා. එය කම්කරු පංතියේ නොව සුළු ධනපති පංතිවල පටන් ධනේශ්වර පංති දක්වා වන කම්කරු පංති නොවන බලවේගවල ඵලප‍්‍රයෝජන විදහා දක්වන සැණකෙළියක් බවට පත් කර තිබෙනවා. කම්කරු පංතියේ සටන්කාමිත්වය සුළු ධනේශ්වර හා ධනේශ්වර පංතිවල උවමනා එපාකම්වල ගිල්වා දමා තිබෙනවා. බොහෝ ‘කම්කරු’ රැළිවල නැගෙන්නේ කම්කරු පංතියේ පංති සටනේ කාහළ නාදය නංවන සටන් පාඨ නොව සුළු ධනේශ්වර හා ධනේශ්වර පංති බලවේගවල පුරාජේරුව කියාපාන සටන් පාඨ. කම්කරු පංතියේ අභිමානවත් ජාත්‍යන්තර ගීය නොව ධනේශ්වර පංතිවල අවශ්‍යතා කියාපාන ස්ත්‍රෝත‍්‍ර ගී.

මේ වන විට කම්කරු පංතිය, කම්කරු පංතිමය දේශපාලන බලවේග ලෙස ක‍්‍රියා කිරීම නැවතී තිබෙනවා. නැතහොත් කම්කරු පංති ධනේශ්වර ලූතිනන්ලා විසින් එය එසේ ක‍්‍රියා කිරීම නවතා දමනු ලැබ තිබෙනවා. කම්කරු පංතියමත් කම්කරු පංති දේශපාලන සේනාංකයක සිට සුළු ධනේශ්වර නැතහොත් ධනේශ්වර දේශපාලන සේනාංකයක් බවට පිරිහවා තිබෙනවා.
ශ‍්‍රී ලංකාවේ මෙන් ම අන් බොහෝ රටවලදී ද කම්කරු පංති හා වාමාංශික නායකයන්ගේ කාර්යය වී ඇත්තේ කම්කරු පංතිය සුළු ධනේශ්වර දේශපාලනයක එනයින් අවසානයේ ධනේශ්වර දේශපාලනයක ගාල් කිරීම. මෙමගින් අද කම්කරු පංතිය ඓතිහාසික පරාජයකට පත් කිරීම. අද කම්කරු පංතියේ නායකයන් බවට පත් ව සිටින සියලූ දෙනා ම පාහේ කම්කරු පංතිය මෙහෙය වන්නේ, කම්කරු පංතියට නායකත්වය දෙන්නේ ධනේශ්වර පාලන පෙරළා දමා කම්කරු පංතිය ප‍්‍රමුඛ පීඩිත බලවේගවල ඵලප‍්‍රයෝජන ඉටු කරන පංති පාලනයක් බිහිකර ගැනීම සඳහා නොව හුදෙක් පවතින ක‍්‍රමයේ ම අයිතිවාසිකම් යම් ප‍්‍රමාණයක් දිනා ගැනීමට, ආරක්ෂා කර ගැනීමට පමණයි. ඉන් ඔබ්බට කම්කරු පංතිය මෙහෙයවීමක් ගැන සිතීමක් ඇත්තේ ම නැහැ.
අද වන විට කම්කරු පංතියේ කම්කරු පංති දේශපාලනය පමණක් නොව කම්කරු පංතියේ ධනේශ්වර දේශපාලනය හුදෙක් ප‍්‍රතිසංස්කරණවලට පමණක් කම්කරු පංතිය කොටු කර දමන ප‍්‍රතිසංස්කරණවාදී දේශපාලනයේ ගිල්වා දමා ඇති තත්ත්වයකට පත් කර තිබෙනවා. මෙහි අවසන් තාර්කික ප‍්‍රතිඵලය විය හැක්කේ බොහෝ විට අරාජකවාදී ප‍්‍රචණ්ඩකාරී දේශපාලන ක‍්‍රියාකාරිත්ව පැන නැගීම.
ධනපති ක‍්‍රමය පෙරළා දැමීමේ විප්ලවීය අරගලයට නායකත්වය දිය හැක්කේ කම්කරු පංති දේශපාලනයෙන් පන්නරගත වන හා සෙසු පීඩිත බලවේග තමන් වටා පෙළ ගස්වා ගන්නා කම්කරු පංතියට පමණයි. එසේ වුවත් කම්කරු පංතියේ ස්වාභාවික ව පැන නගින්නේ ප‍්‍රතිසංස්කරණ සඳහා වන අරගලය. නිදසුන් ලෙස ලෝක කම්කරු දිනයට පාදක වූ පැය 08 වැඩ දිනයක් සඳහා වූ අරගලය එවැන්නක්. ධනේශ්වර ක‍්‍රමයේ එවැනි අරගල රාශියක් නිරායාසයෙන් ම පැන නගින අතර කම්කරු පංතිය එම අරගල තිරසර ව ඉදිරියට ගෙන යා යුතුමයි. එයින් තොර ව කම්කරු පංතියට සිය විමුක්තිය මෙන් ම සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ විමුක්තිය සඳහා වන අරගලයට සැබෑ දායකත්වයක්, සැබෑ නායකත්වයක් දිය නොහැකියි. එහෙත් එකී අරගලයට පමණක් කම්කරු පංතියේ හා සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ විමුක්තිය සඳහා වන අරගලය සාධනය කර ගත නොහැකියි. ඒ සඳහා එම අරගලය කම්කරු පංතියේ විප්ලවීය පංති අරගලය, විප්ලවීය දේශපාලන අරගලය සමග වෙන් කළ නොහැකි සේ ඒකාබද්ධ කළ යුතුමයි.
පැය 08 වැඩ දිනයක් සඳහා වූ ප‍්‍රතිසංස්කරණමය ඉල්ලීම පාදක කරගෙන පැවැත්මට ආ ලෝක කම්කරු දිනය සැබෑ කම්කරු දිනයක් බවට පරිවර්තනය වූයේ එය කම්කරු පංතියේ විප්ලවීය පංති අරගලය සමග සමස්ත කිරීමෙන්. කාලයක් මුළුල්ලේ ලෝක කම්කරු දිනයේදී ප‍්‍රකාශයට පත් වූයේ හා මුළු දුන්නේ ප‍්‍රධානකොට ම එම කම්කරු පංති විප්ලවීය දේශපාලනයේ කාහළ නාදය. පවතින ක‍්‍රමය එහි පදනමින් ම වෙනස් කිරීම සඳහා වූ අධිෂ්ඨානය. ඒ සඳහා කම්කරු පංතියේ ඇති සූදානම.
ලෝක කම්කරු දිනය එහි නියම අරුත ප‍්‍රකාශයට පත් කිරීමට නම් එය යළිත් කම්කරු පංතියේ විමුක්තිය සඳහා වන දේශපාලන අරගලය එනම් සමාජවාදයේ ජයග‍්‍රහණය පතා වන අරගලය සංකේතවත් කරන්නක් ද කම්කරු පංතියේ සැබෑ සමගිය, සහෝදරත්වය, සටන්කාමිත්වය, අධිෂ්ඨානය ප‍්‍රකාශයට පත් කරන්නක් ද අවසානයේ කම්කරු පංතියේ පමණක් නොව සමස්ත පීඩිත ජනයාගේ ම විමුක්තිය සඳහා වන අරගලය මූර්තිමත් කරන්නක් ද බවට නගාලීම අවශ්‍ය වනවා.
කම්කරු පංතියට විශේෂයෙන් අද දවසේ මේ කාර්යය සපුරා ගන්නට බැහැ. ඒ, සුළු ධනේශ්වර හා ධනේශ්වර පංති විසින් කම්කරු පංතිය සිය ග‍්‍රහණයට ගනු ලැබ ඇති නිසා. ආර්ථික, දේශපාලන හා සංවිධානමය වශයෙන් පමණක් නොව දෘෂ්ටිමය වශයෙන් ද කම්කරු පංතිය අද මේ පංතිවල පක්ෂ හා කණ්ඩායම්වල ආධිපත්‍යයට හසු ව ඇති නිසා.
මේ සඳහා කම්කරු පංතිය මේ ආධිපත්‍යයෙන් නිදහස් විය යුතුමයි. මේ සඳහා මග පෙන්විය හැක්කේ සැබෑ සමාජවාදීන්ට පමණයි. ඔවුන් කම්කරු පංති දේශපාලනයට නැවත පිවිසීම සඳහා කම්කරු පංතියට සහය විය යුතුයි. මග පෙන්විය යුතුයි. නායකත්වය දිය යුතුයි. එහෙත් මෙහි දී ද විශාල ගැටලූවක් තිබෙනවා. ඒ, අද දවසේ අප හමුවේ ඊට නායකත්වය දිය හැකි සැබෑ සමාජවාදී ව්‍යාපාරයක් තිබේ ද යන්න.
පවතින තත්ත්ව යටතේ ලෝක කම්කරු දිනය සැබෑ කම්කරු දිනයක් බවට පත් කිරීමට නම් කම්කරු පංති දේශපාලනයක් නගා සිටුවීමට නම් සැබෑ සමාජවාදී ව්‍යාපාරයක් ගොඩ නැගීමට සටන් වැදීම දවසේ කාර්යයක් බවට පත් ව තිබෙනවා. එය මැයි දින ප‍්‍රමුඛ අධිෂ්ඨානය බවට පත් කර ගැනීම සමාජවාදයේ වුවමනාවෙන් ක‍්‍රියා කරන මිනිසුන්ගේ හා ගැහැනුන්ගේ කාර්යයක් විය යුතුයි.