වඳිමු උතුම්මුනි දළ දා


මහාචාර්ය පූජ්‍ය නාවලපිටියේ
අනුරාධා සුධම්මිකා භික්ෂුණිය
සිංහල හා ජනසන්නිවේදන
අධ්‍යයනාංශය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
දළ දා වහන්සේ හා බැඳුණු භාරත සබඳතාව
සම්බුදු සසුන ලක්දිව ස්ථාපිත කිරීම තරමට ම වැදගත් සිද්ධියක් ලෙස දළ දා වහන්සේ ලක්දිවට වැඩම කරවීමත් ඒ හා බැඳුණු භාරත සබඳතාවත් සලකන්නට පුළුවන්. බුදුන් වහන්සේ වැඩසිටීමට සමාන වනවා බුදුන් වහන්සේගේ ශාරීරික කොටස් වැඩ සිටීම.
සම්මා සම්බුදුවරයන් වහන්සේලා විසිඅට නමක් ගැන ග්‍රන්ථාගත තොරතුරුවල සඳහන්. උන් වහන්සේලාගෙන් විසිඅට වැනි බුදුන් වහන්සේ වන්නේ ගෞතම බුදුන් වහන්සේ. භාරතයේ මධ්‍යදේශයේ උපන් මේ අසහාය මහා ප්‍රාඥයා දෙසූ දහම භාරතයෙන් සිංහල දේශයට ලැබුණු දා පටන් ජනතාව ඉමහත් ආදරයෙන් හා ගෞරවයෙන් ‘අප බුදුන්’ ලෙස හඳුන්වන්නට පුරුදු වී සිටින්නේ එම විසිඅට වැනි ගෞතම බුදුන් වහන්සේ.

ජීවමාන බුදු රජාණන් වහන්සේ ලක්දිවට අවස්ථා තුනකදී වැඩම කළ බව ඓතිහාසික වශයෙන් සාකච්ඡාවට බඳුන් වුවත් ලංකාවේ බුදු දහම රාජ්‍ය ආගම බවට පත් වූයේත් ලක්දිව බුදු දහම ස්ථාපිත වූයේත් බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් දෙකහමාරක් පමණ ගත වූ තැන්හි භාරතයේ ධර්මාශෝක මහාධිරාජයාගේ කාලයේදී පවත්වන ලද තුන් වැනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් වශයෙන්.
නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ සන්සුන් ඉරියව්වලින් පැහැදුණු ධර්මාශෝක මහාධිරාජයා, උන් වහන්සේ රජ මැදුරට වැඩමවා ගත් විට සුදුසු ආසනය ලෙස සිංහාසනයේ වැඩ සිටි බවත් ධර්මය විමසූ කල්හි,
‘අප්පමාදෝ අමතපදං’ යනාදී ගාථාවෙන් අප්‍රමාදයෙහි අගය ගැන දහම් දෙසන ලද බවත් ඇසූ දහමට අනුව අප්‍රමාදී බවෙහි අරුත වටහා ගත් මහාධිරාජයා එවකට සම්බුද්ධ ශාසනයේ වගකිවයුතු කාර්යභාරයක් ඉටු කළ මොග්ගලී පුත්තතිස්ස මහ රහතන් වහන්සේගේ අනුශාසනා පරිදි තෙවැනි ධර්ම සංගායනාව පැවැත්වීමට පූර්ණ අනුග්‍රහය ලබා දුන් බවත් වාර්තා වනවා.
ධර්මාශෝක මහාධිරාජයා තම කල්‍යාණ මිත්‍ර ධර්මයට අනුව තමා තෙරුවන් සරණ ගිය බව ද ඔබත් තෙරුවන් සරණ යන්න යැයි එකල ලක්දිව රාජ්‍ය කළ තිස්ස රජතුමාට පණිවිඩ එවා තිබෙනවා. ධර්මාශෝක රජු ‘දෙවියන්ට ප්‍රිය වූ’ යන අභිධානය, ගෞරව නාමය භාවිත කළ බැවින් එම රාජකීය ගෞරව නාමය තිස්ස රජතුමාටත් ප්‍රදානය කරමින් දේවානම් පිය යන අභිධානය සහිත ව අභිෂේක කරවූ බව ද කියැවෙනවා.
එම මිත්‍ර ධර්මයත් පදනම් කරගෙන තම පුතු වූ ධර්ම රාජයාණන් වහන්සේගේ ශ්‍රාවක වූ මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු ධර්මදූත පිරිස ලක්දිවට පිටත් කර හැරියා. මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස ලක්දිව වැඩමවා සම්බුදු සසුන ස්ථාපිත කෙරුණා.
එම රාජකීය ගමනෙහි දෙවැනි පියවරක් ලෙස සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ ඇතුළු පිරිස ද ජය ශ්‍රී මහා බෝධීන් වහනන්සේ වැඩමවා ලක්දිව සංස්කෘතිය ස්ථාපිත කිරීම ද ඓතිහාසික වශයෙන් වැදගත් සංසිද්ධි.
ධර්මාශෝක මහාධිරාජයා තම රාජ්‍ය බලය සමග පැවැත්වූ සබඳතාවේ ප්‍රතිඵලය ලක්දිවට වාසනාව ගෙන ආවා. ඒ, සම්බුදු දහම අපට ලැබීම නිසාත් ගෞතම බුදුන් වහන්සේට බුද්ධත්වය ලැබීමට සෙවන දුන් බෝධීන් වහන්සේ රාජ්‍ය සංකේතය බවට පත් වීමත් නිසා. එලෙස සම්බුදු දහමත් බෞද්ධ සංස්කෘතියත් ස්ථාපිත වූ රාජ්‍යයක් ලෙස ලංකාව ලෝක ප්‍රකට වී තිබෙන්නට ඇති.
එතැන් පටන් ලක්දිව බෞද්ධ රාජ්‍යයක් ලෙස ස්ථාපිත වූ අතර ඒ සඳහා ගැළපෙන ව්‍යවස්ථා ද සැකසුණා. රාජ්‍ය නායකත්වයට පත්වන නායකයා දිවි හිමියෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේත් මහා සංඝ රත්නයත් රටවැසියාත් සුරක්ෂිත කළ යුතු වුණා.
ක්‍රි. පූ. 3 වැනි සියවසේදී එසේ ස්ථාපිත වූ සම්බුදු දහමත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පදනම් කරගත් සංස්කෘතියත් සමග ගෙවී ගිය ලංකාවේ සියවස් 5ක පමණ කාලයේ දළ දා වහන්සේ භාරතයේ වැඩ සිටි බව වාර්තා වී තිබෙනවා. එම කාලයේ විවිධ රජවරුන්ගේ කාලවලදී අප ගෞතම බුදුන් වහන්සේගේ බොහෝ ශාරීරික ධාතූන් වහන්සේලා ශ්‍රී ලංකාවේ විවිධ චේතියවල තැන්පත් කර ගෞරව බහුමානයට ලක් කරන ලද අතර වර්තමානයේ මහනුවර දළ දා මාළිගාවේ වැඩ සිටින දළ දා වහන්සේ ලක්දිවට ලැබුණේ ක්‍රි.ව. 4 වැනි සියවසේදී.
බුදුන් වහන්සේගේ පිරිනිවනින් පසු එනම් ක්‍රි.ව. 6 වැනි සියවසේදී ආදාහන චිතකයෙන් ඛේම නම් මහරහතන් වහන්සේ ලබා ගත් දළ දා වහන්සේ දඹදිව හෙවත් ඉන්දියාවේ කළිඟුපුරයේ බ්‍රහ්මදත්ත රජුට බාර දුන් බවත් ඔහු ඇවෑමෙන් එම රජ මැදුරේ පූජනීයත්වයෙන් පරම්පරා හතක් දක්වා ම දළ දා වහන්සේ සුරක්ෂිත ව පුද පූජා ලද බවත් ගුහසීව රජුගේ කාලයේදී හෙවත් ක්‍රි. ව. 4 වැනි සියවස වන විට දඹදිවදී දළ දා වහන්සේ සුරක්ෂිත නොවන තත්ත්වයකට පත් වූ බවත් රාජ්‍ය බලය පදනම් කරගත් යුද වාතාවරණය යටතේ ගුහසීව රජු දළ දා වහන්සේ රැක බලා ගත් බවත් දාඨාවංශයේ සඳහන් වනවා.
ගුහසීව රජු සහ බෑනණුවරුන් දෙදෙනෙක් සමග අවසන් වරට යුද වැදුණු අවසාන අවස්ථාවේ තමා යුද්ධයෙන් පරාජය වුවහොත් දළ දා වහන්සේ රැගෙන සිංහල දේශයට යන ලෙස තම දියණිය වූ හේමමාලි කුමරියටත් බෑනණු වූ දන්ත කුමරුටත් කියා තිබුණු බැවින් රජු පරාජය වූ බව අසා, එම දෙපළ දළ දා වහන්සේ ලක්දිවට වැඩමවූ බව වාර්තා වන්නක්. එකල එම තොරතුරු සිංහල දාඨාවංසයක ලියා තබන ලදුව පසුව එය පාලියට පරිවර්තනය කිරීමේදී එම ග්‍රන්ථය ගැන සඳහන් කර ඇති බැවින් පාලි දාඨාවංසය සිංහල දළ දා වංසයක පරිවර්තනයක් බව ද හඳුනා ගන්නට පුළුවන්.
හේමමාලා කුමරිය සහ දන්ත කුමරු යන රාජකීය දෙපළ දළ දා වහන්සේ වැඩමවාගෙන ලක්දිව පැමිණෙන විට, කීර්ති ශ්‍රී මේඝවර්ණ (ක්‍රි.ව. 301-328) රජුගේ රාජ්‍යත්වයෙන් 9 වැනි වර්ෂය වුණා. එනම් ක්‍රි. ව. 310 යැයි අනුමාන කළ හැකියි. දළ දා වහන්සේ ලක්දිවට වැඩමවන තෙක් දඹදිව (ඉන්දියාවේ) කළිඟු දේශයේදී පිදුම් ලද දළ දා වහන්සේ හේමමාලා කුමරියගේ මුහුළසෙහි බැඳී දන්ත කුමරු ද සමග ලක්දිවට වැඩමවීම තෙක් සිදු වූ ප්‍රාතිහාර්ය ගැන දාඨාවංසයෙහි 298 වැනි ගාථාවේ ද ක්‍රි.ව. 5 වැනි සියවසේදී ලියන ලදැයි සැලකෙන මහාවංශයෙහි 37 පරිච්ඡේදයෙහි 92 ගාථාවේ ද සඳහන්. එම ඉතිහාසය මහනුවර දළ දා මාළිගාවේ අලුත් මාළිගාව නමින් හඳුන්වන ගොඩනැගිල්ලේ සිතුවම් ලෙස ප්‍රදර්ශනය කර තිබෙනු අදටත් දැක ගත හැකියි. සැබවින් ම මේ පූජනීය මහනීය වස්තුව ලෝකයේ අනෙකුත් රටවල් අතුරින් ලක්දිවට ලැබීම ම අපූර්ව වූ ප්‍රාතිහාර්යයක්.