#ආර්ථික

තහනම ඉවතට වාහන මෙරටට

  • දීප්ත කුමාර බටගොඩ

කොවිඩ්-19 වසංගතය සහ ගෝලීය සැපයුම් දාම බාධා හේතුවෙන් උග්‍ර වූ ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂ අර්බුදයට ප්‍රතිචාර වශයෙන් වාහන ආනයනය තාවකාලික ව අත්හිටුවීමට එවකට ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹුණා. ආර්ථිකය යථාවත් කර ගැනීම සහ විදේශ විනිමය සංචිත කළමනාකරණය අරමුණු කරගත් මේ තීරණය නිසා පාරිභෝගිකයන්ට, ව්‍යාපාරවලට සහ මෝටර් රථ කර්මාන්තයට එල්ල වූයේ දැඩි බලපෑමක්.


වේගයෙන් අවප්‍රමාණය වන මුදල් ඒකකයක් සහ හැකිළෙන විදේශ සංචිත සමග වාහන ඇතුළු සුඛෝපභෝගී පාරිභෝගික භාණ්ඩවලට වඩා අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට ප්‍රමුඛත්වය දීමටයි මෙහිදී රජය ක්‍රියා කළේ. එහි ප්‍රතිඵලයක් ලෙස අලෙවි නියෝජිත ආයතනවල විකුණුම් තියුණු ලෙස පහත වැටීමක් සහ වාහන මිලදී ගැනීමට උත්සාහ කරන පුද්ගලයන්ට දැඩි දුෂ්කරතාවලට මුහුණුපෑමට සිදු වුණා. වාහන ඉල්ලු‍ම්කරුවන්ට විකල්ප භාවිත සඳහා පෙළඹීමට සිදු වූ නිසා භාවිත කළ වාහන මිල ගණන් ඉහළ ගියේ ඉතා විශාල ලෙස. වාහන ආනයනය අත්හිටුවීමේ ප්‍රතිඵලයක් ලෙස අලෙවිකරුවන්ගේ ආදායම පහත වැටීම හා පිරිවැය ඉහළ යාම නිසා කාර්ය මණ්ඩල කප්පාදු කිරීම් හා ආර්ථිකයේ අනෙකුත් කර්මාන්තවල ගැටලු ඇති කර තිබුණා. මෝටර් රථ නඩත්තුව, කොටස් සැපයුම, රක්ෂණය සහ මූල්‍යකරණයට අදාළ අංශවලට මේ නිසා එල්ල වූයේ දැඩි බලපෑමක්. සමෘද්ධිමත් මෝටර් රථ වෙළෙඳපොළක් සාමාන්‍යයෙන් බොහෝ රැකියා සහ දේශීය ව්‍යාපාර සඳහා සහය වන අතර ඒ සියල්ලට ම වාහන ආනයනය අත්හිටුවීම ඍණාත්මක ලෙස බලපා තිබුණා.

ශ්‍රී ලංකා ආර්ථිකයේ තත්ත්වය වඩාත් යහපත් හා යම් මට්ටමක ස්ථාවර තත්ත්වයකට එළඹීමෙන් පසුව, රජය වඩාත් නම්‍යශීලී වෙමින් වාහන ආනයන ප්‍රතිපත්තියක අවශ්‍යතාව හඳුනා ගත්තා. වාහන ආනයනය සඳහා තීරණයට එළඹුණේ ඒ හේතුවෙන් නැවතත් රට විදෙස් සංචිත හිඟයකට මුහුණුදීමට සිදු නොවන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව සමග සාකච්ඡා කිරීමෙන් පසුව බවයි ජනාධිපතිවරයා අය වැය ඉදිරිපත් කරමින් පැවසුවේ. වාහන ආනයනයට ලබා දුන් අවසරය පුද්ගලික සහ වාණිජ ප්‍රවාහනය සඳහා ඇති ඉල්ලු‍ම සපුරාලීම පමණක් නොව, පුළුල් ආර්ථික ප්‍රතිසාධන ඉලක්ක සමග ද සමපාත වන බවයි බොහෝදෙනකුගේ අදහස.

අතිවිශේෂ ගැසට් පත්‍රයකින් වාහන ආනයනයට අවසර ලැබුණු අතර මගී ප්‍රවාහනය සඳහා වන වාහන ආනයනයට 2024 දෙසැම්බර් 14 දින සිටත් භාණ්ඩ ප්‍රවාහනය සඳහා වාහන සහ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා වාහන වශයෙන් කාණ්ඩ දෙකක වාහන ආනයනය සඳහා 2025 පෙබරවාරි 01 දින සිටත් අවසර ලැබී තිබෙනවා. ඒ අනුව අනයනය කෙරෙන අලුත් ම වාහන තොගය මෙරටට ලැබුණේ පෙබරවාරි 01 දින.

වාහන ආනයනය අත්හිටුවීම පිටුපස ඇති තාර්කිකත්වය, එහි බලපෑම් සහ තහනම ක්‍රමයෙන් ඉවත් කිරීම සඳහා වන විභව උපාය මාර්ග පිළිබඳ ව රජය සැලකිලිමත් වී ඇති බව කාණ්ඩ තුනක් යටතේ, යම් යම් කොන්දේසි සහිත ව ආනයනයට අවසර ලබා දීමෙන් පැහැදිලි වනවා. එහිදී වාහන ආනයනය සඳහා බදු අය කිරීමේ සිට ඒ සඳහා වැය කෙරෙන මුදල් සීමා පනවා තිබීම විශේෂිත කාරණා. මේ ඔස්සේ රට යථා තත්ත්වයට පත්වීමෙන් පසුව සංවර්ධන මාවතේ ගමන් කරන විට විදේශ සංචිත ආරක්ෂා කර ගැනීමත් ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමත් යන ද්විත්ව අරමුණු අතර සමතුලිතතාවක් ඇති කර ගැනීමට රජය ක්‍රියා කර තිබෙන බව පැහැදිලි වන්නක්. “අප වසර 05ක් බලාගෙන සිටියා. යම් යම් කොන්දේසි යටතේ වුවත් වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය ගෙන ඇති තීරණය පැසසිය යුතුයි. අප දන්නවා රට පැවතුණේ අර්බුදයක. තහනම ඉවත් කිරීමේදී පෙර පැවති ආකාරයට ක්ෂණික ව ම ගමන් කරන්නට බැහැ. එය ක්‍රමක්‍රමයෙන් යා යුතු ගමනක්. ආනයන සඳහා පනවා ඇති මූල්‍යමය සීමාව වුවත් ප්‍රමාණාත්මක ව සෑහෙනවා. ආනයනය කරන වාහන මාස තුනක් ඇතුළත අලෙවි කළ යුතුයි. නැතහොත් සියයට 3ක ප්‍රමාද ගාස්තුවක් අය වනවා. තහනම ඉවත් කිරීම නිසා වාහන ආනයනය මත යැපුණු ආර්ථිකයේ විවිධ පුද්ගලයන් සහ ආයතනවල යථාවත් වීමක් සිදු වන්නට පුළුවන්.” වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසන්නේ එලෙස.


වාහන ආනයනය පදනම් කර ගනිමින් ආර්ථිකයේ ක්‍රියාත්මක වූ ආයතනික පද්ධතියේ බිඳ වැටීමක් මෙන් ම එකී අංශයේ සේවා වියුක්තිය හා ආදායම් අඩු වීමක් ද සිදු වුණා. වාහන ආනයනය වක්‍ර ව බලපෑම් කරන සංචාරක අංශය වැනි ක්ෂේත්‍රවල ද අපේක්ෂිත වර්ධනය ළඟා කර ගැනීමේ ගැටලුවලට මුහුණපෑමට ද සිදු වුණා.


වාහන ආයනයන සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමත් සමග බලපෑම ඇති වන්නේ තහනම නිසා ක්ෂණික ව ම බිඳ වැටුණු ක්ෂේත්‍රවල. මේ නිසා වාහනවල මිල ගණන්වල වෙනසක් ඇති වන්නට ද පුළුවන්. මේ පිළිබඳ අදහස් දක්වන වාහන ආනයනකරුවන්ගේ සභාපති ප්‍රසාද් මානගේ; “සමස්තයක් ලෙස ගත් විට වාහනවල මිල ගණන් පහළ යාමක් අපේක්ෂා කරන්නට පුළුවන්. නමුත් එය කාලයට සාපේක්ෂයි. 2024 වර්ෂය අවසානයේ වාහන මිල ගණන් සමග සැසඳුවහොත් මේ මිල පහළ යාම ඉදිරියේදී නිරීක්ෂණය කිරීමේ හැකියාව තිබෙනවා. 2019 වර්ෂයට පෙර පැවති වාහන මිල ගණන්වලටත් වඩා මිල පහළ යාමක් අපේක්ෂා කරන්න බැහැ. සෑම දෙයක් ම මිල ගණන් මත පමණක් පදනම් ව අගය තීරණය කළ යුතු නැහැ. අද මේ තහනම ඉවත් නොවුණානම් 2025 වසර අවසානය වන විට වාහන මිල ගණන් තවත් ඉහළ යාමේ හැකියාවක් තිබෙනවා. අලු‍ත් වාහනයක් මිල දී ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාවක් ලැබී තිබෙන්නේ වසර 05කට පසුව. එය සතුටු විය හැකි කාරණයක්.”

වාහන ආනයනයත් සමග දේශීය වෙළෙඳපොළේ භාවිත කළ වාහනවල මිල ගණන් ද ඉදිරියේදී පහළ යනු ඇතැයි යන්නයි බොහෝදෙනාගේ මතය. ආර්ථිකයේ යටිතල පහසුකම් වැඩිදියුණු වීමෙන් විවිධ අංශවලට ධනාත්මක බලපෑමක් සිදු වනු ඇති. පොදු මගී ප්‍රවාහනය, සංචාරක කර්මාන්තය ඇතුළු අනෙකුත් කර්මාන්තවල මගී හා භාණ්ඩ ප්‍රවාහනයේදී මෙතෙක් තිබූ ගැටලු යම් ආකාරයකින් සමනය වීමක් සිදු වනු ඇතැයි අපේක්ෂා කරන්න පුළුවන්.

2025 අයවැය කථාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ වාහන ආනයන තහනම ඉවත් කිරීමෙන් රජය සැලකිය යුතු ප්‍රමාණයක රාජ්‍ය ආදායමක් අපේක්ෂා කරන බවක්. මේ නිසා වාහන ආනයන තහනම ඉවත් කිරීමෙන් රජයේ ආදායම යම් ආකාරයකින් අපේක්ෂිත ලෙස ඉහළ යනු ඇති. එය වාහන වෙළෙඳපොළේ ක්‍රියාකාරිත්වය මත තීරණය වන්නක්. බොහෝ විද්වතුන් අදහස් දක්වා ඇත්තේ අපේක්ෂිත ආකාරයෙන් රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට නම් රාජ්‍ය ආයතනවල කාර්යක්ෂතාව පවතිනවාට වඩා ඉහළ මට්ටමක පවත්වා ගත යුතු බව. විශේෂයෙන් වාහන ආනයනයේදී ශ්‍රී ලංකා රේගුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ඔවුන් විශේෂයෙන් අදහස් දක්වා තිබුණා. ප්‍රමාදයකින් තොර ව වාහන ආනයන කිරීමේදී ශ්‍රී ලංකා රේගුවේ කාර්යභාරය ඉතා වැදගත්.


වාහන ආනයනය සඳහා ඩොලර් බිලියනයක පමණ සීමාවක් පනවා තිබුණත් වාහන ආනයන තහනම ඉවත් කිරීම නිසා නැවතත් රටට විදේශ සංචිත හිගයකට මුහුණපෑමට සිදු වනු ඇත් ද යන්න සමාජය විමසන පැනයක්. වාහන ආනයනය සඳහා විදේශ සංචිත භාවිත නොකළත් බැංකු පද්ධතිය ඔස්සේ ශ්‍රී ලංකා මහ බැංකුවට විදේශ විනිමය ලබා ගැනීමේදී යම් බලපෑමක් සිදු වේ යැයි ද ඇතැමුන් මත පළ කර තිබුණා. නමුත් බැංකු පද්ධතියේ පවතින විදේශ විනිමය භාවිතයේ සීමා පැනවීමට අමතර ව වාහන ආනයනය නිසා ආර්ථිකයට සිදු වන ධනාත්මක බලපෑම මෙහිදී සැලකිල්ලට භාජනය කර තිබුණේ නැහැ. ආර්ථිකයේ වර්ධනයක් අපේක්ෂා කරන රටකට දිගින් දිගට ම වාහන ආනයනය නොකර සිටීමෙන් තවත් ගැටලු රාශියකට මුහුණපෑමට සිදු වනවා. ප්‍රවාහන කාර්යක්ෂමතාව රටක නිෂ්පාදනයේ වර්ධනයට ඍජු ව ම බලපාන සාධකයක්. නිෂ්පාදනයේ වර්ධනයෙන් ජාතික ආදායම ඉහළ යන අතර රටක විදේශ විනිමය උත්පාදන මාර්ගවල දියුණුවීමක් හා පුළුල්වීමක් ද සිදු වනවා. මේ නිසා සිදු කළ යුතු වන්නේ වාහන ආනයන තහනම අඛණ්ඩ ව පවත්වාගෙන යාම නොව වාහන ආනයනය රටේ සංවර්ධන සැලසුම් සමග ඒකාබද්ධ වන අයුරින් සහ එයට ගැළපෙන අයුරින් සිදු කිරීම.