#ආර්ථික

අපනයන ප්‍රවර්ධනයට අත හිත

ධනනාත් ප්‍රනාන්දු
ආර්ථික විශ්ලේශක

මා දකින ආකාරයට ශ්‍රී ලංකා රජයේ 2025 අය වැය, පැතිකඩ තුනක් සමබර කර ගැනීමට සැකසුණු අය වැයක්. එම පැතිකඩ වන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති පිළිබඳ දිශානතිය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකර ගත් එකඟතා, රජයේ ආදායම සහ වියදම අතර තුලිතතාව. සාමාන්‍යයෙන් සෑම අය වැයක ම ආණ්ඩුවක ප්‍රතිපත්ති දිශානතිය පිළිබඳ අදහසක් ලබා ගත හැකි වුවත් මෙවර අය වැයෙහි එහි විශේෂත්වයක් පවතිනවා. නව දේශපාලන සංස්කෘතියක ආරම්භයත් සමග ජනතාවගේත් ව්‍යාපාරික ලෝකයේත් ඉහළ අවධානයක් යොමු වී තිබුණේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති දිශානතිය පිළිබඳ ව. ජනාධිපතිවරයාත් අය වැය කතාවේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති දිශානතිය පිළිබඳ ව ඉස්මතු කළා. ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික ගමන් මාර්ගයේ 2025
අය වැය සුළුවෙන් තැකිය නොහැකියි. එසේ ම එය සුවිශේෂ ලක්ෂණ රාශියක්අ න්තර්ගත වුණු අය වැයක්. ණය ප්‍රතිව්‍යුහගතකරණය බොහෝදුරට අවසන් ව තිබෙන අවස්ථාවක ඉදිරිපත් වීමත් 2028 වර්ෂයේදී නැවත ණය ගෙවීම සිදු කිරීමේ හැකියාව පිළිබඳ විශ්වාසයක් ඇති කර ගැනීමත් නව ආණ්ඩුවේ ප්‍රථම අය වැය වීමත් මෙහි ඇති එම සුවිශේෂ ලක්ෂණ.

මෙවර අය වැය ඉදිරිපත් වූ ආර්ථික, සමාජ හා දේශපාලන පසුබිම අනුව පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට තරම් වූ අරමුණු සහ ඉලක්ක රාශියකුත් ඒවා ඉටු කර ගැනීම සඳහා වන සාධනීය තත්ත්වයකුත් රටට ඇති බව මා විශ්වාස කරනවා. පළමුවෙන් ම අයවැයෙහි අපනයන ප්‍රවර්ධනය සඳහා වන යෝජනා පිළිබඳ අවධානය යොමු කළහොත් ඇතැම් යෝජනා අලුත් යෝජනා නොවුණත් එය නව ආණ්ඩුවේ දෘෂ්ටිකෝණයෙන් ඉදිරිපත් කිරීම වැදගත්. එයට හේතුව බොහෝ පිරිස් අවධානයෙන් සිටි ආණ්ඩුවේ ප්‍රතිපත්ති දිශානතිය පිළිබඳ ඉඟියක්එ මගින් සැපයෙන නිසා. බැඳීම් නොමැති ස්වභාවයත් වංචා දූෂණ අක්‍රමිතාවලින් තොර පාලනයක විශ්වාසය තිබූ නිසාත් රටේ ආර්ථිකය නවතම පිරිසකට මනාව ක්‍රියාත්මක කළ හැකි වේයැයි මහජනතාවට විශ්වාසයක් ද පැවතුණා. නව රේගු පනතක් ගෙන ඒමෙන් අපනයන ප්‍රවර්ධනයට තිබූ බාධා අවම වීමක් සිදු වේයැයි අපේක්ෂා කරන්න පුළුවන්. පවතින රේගු පනත වසර සියයකට වඩා පැරණි පනතක්. එම පනතින් අප අපේක්ෂා කරන අපනයන ආර්ථිකය ළඟා කර ගැනීමට හැකියාවක් නැහැ. නව තීරු බදු ක්‍රමය සරල කිරීම, අපනයන ආනයන ක්‍රියාවලිය ඒකාබද්ධ කිරීම හා ඩිජිටල්කරණය (National Single Window), රටවල් සමග ආනයන අපනයන ආර්ථිකයේ තරගකාරී ව ක්‍රියාත්මක වීමට වෙළෙඳ ගිවිසුම් පිළිබඳ සලකා බැලීම, බුන්වත් වීමේ නීති, රජයට අයත් ව්‍යාපාර රජයේ අයිතිය සහිත ව එක ම ආයතනයක් යටතට පත් කිරීම හා ඒවා කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීම යනාදී යෝජනා ඉතාමත් සුබවාදී සහ ධනාත්මක යෝජනා. මේ යෝජනාවලින් ආර්ථිකයේ ප්‍රවර්ධනයට අවශ්‍ය නීති සම්පාදනයත් පහසු ගමන් මගකට අවශ්‍ය ලිහිසිකාරක සැපයීමත් ආර්ථිකයේ ප්‍රවර්ධනයට මෙතෙක් පැවති යම් යම් බාධාකාරී තත්ත්ව ඉවත් වීමත් සිදු ව තිබෙනවා. අපනයන සංවර්ධනය සඳහා පෞද්ගලික අංශය සමග එක් වීම හා ඉඩම් ලබා දීම, කෘෂිකර්මාන්තය හා අනෙකුත්

කර්මාන්ත සඳහා අවශ්‍ය ඉඩම් වෙළෙඳ කලාප (Industrial Zone) නිර්මාණය කිරීම, කොළඹ වරාය බටහිර පර්යන්තය 2 හා උතුරු වරාය පෞද්ගලික අංශය සමග ඒකාබද්ධ ව සංවර්ධනය කිරීම 2025 අය වැය යෝජනා අතරට අයත්. මේ සියලු යෝජනාවලින් සහ ප්‍රතිපත්තිමය තීරණවලින් අපනයන ප්‍රවර්ධනයට ලබා දී තිබෙන්නේ විශාල බලයක්. ජාත්‍යන්තර ආයෝජකයන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීම සඳහා පරිසරය සකස් කිරීමෙන් ඔවුන්ට අත දිගු කිරීමක් මෙවර අය වැයේ දකින්නට පුළුවන්. ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය දිනා ගැනීමට එයින් හැකියාව ලැබෙනවා. එය රටේ ආයෝජන ඉහළ යාමටත් ආර්ථිකයේ වර්ධනයටත් අත්‍යාවශ්‍ය සාධකයක්.

ජාත්‍යන්තර ආයෝජකයන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීම සඳහා පරිසරය සකස් කිරීමෙන් ඔවුන්ට අත දිගු කිරීමක් මෙවර අය වැයේ දකින්නට පුළුවන්. ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය දිනා ගැනීමට එයින් හැකියාව ලැබෙනවා. එය රටේ ආයෝජන ඉහළ යාමටත් ආර්ථිකයේ වර්ධනයටත් අත්‍යාවශ්‍ය සාධකයක්. මේ යෝජනාවලටත් වඩා වැදගත් වන්නේ මේවා අපේක්ෂා කරන ආකාරයෙන් ම ක්‍රියාත්මක කිරීම. 2025 අය වැයේ දැනටමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවක් වන ආදායම හා වියදම අතර පරතරය ඉක්මවා ගොස් තිබෙනවා. කෙසේ වෙතත් ආදායම් රැස් කිරීමේදීත් රාජ්‍ය වියදම්වලදීත් අය වැයෙහි පවතින යෝජනා ඉතා කෙටි කාලයකින් අත්පත් කරගත යුතු වනවා. එය අභියෝගාත්මකයි. එහෙත් කළ යුතුයි. එය සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයේ ම වගකීමක් හා යුතුකමක්.