#විදේශ විත්ති

ට්‍රම්ප් හා ලෝක දේශපාලනය

  • නිහාල් පීරිස්

ආන්දෝලනාත්මක දේශපාලන නායකයකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවැනි වතාවටත් ඇමරිකාවේ ජනාධිපති ධුරයට පත් වීම පසුගිය දිනවල ජාත්‍යන්තර දේශපාලන ක්‍ෂේත්‍රයේ කතාබහට ලක්වූවක්. ජනවාරි 20 දින ඔහු දිව්රුම් දුන්නේ එරට 47 වැනි ජනාධිපතිවරයා ලෙසින්.

ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය වුණේ 2017 ජනවාරි මාසයේ සිට 2021 ජනවාරි දක්වා. 2020 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් ඔහු පරාජයට පත් වූ අතර එයින් ජයගෙන ජනාධිපති පදවියට පත් වූයේ ජෝ බයිඩ්න්. එහෙත් වසර 04කට පසු 2024 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් ජය ගනිමින් නැවතත් ධවල මන්දිරය වෙත පැමිණීමට ට්‍රම්ප්ට හැකි වුණා.

මේ ආකාරයෙන් ජනාධිපතිවරයකු වරක් පරාජය වී නැවත ජනාධිපති ධුරයට පත් වීම ඇමරිකාවේ දුලබ සිදුවීමක්. මෙයට පෙර මෙවැන්නක් සිදු ව තිබුණේ එක් වරක් පමණයි. ඒ, මෙයට වසර 132කට පෙර. එවර ඇමරිකානු ඉතිහාසයේ පළමු වරට එම දස්කම කළේ ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ් නැමැති ජනාධිපතිවරයා. ඔහු මුලින් ම ජනාධිපති ධුරයට පත් වූයේ 1885 වසරේ. 1889 වසරේ ඔහුගේ පාලනය අවසන් වුවත් වසර 04කට පසු ජනාධිපතිවරණයකින් ජය ගනිමින් ක්ලීව්ලන්ඩ් 1893 වසරේ යළිත් ජනාධිපති ධුරයට පත් වුණා.

මෙවර ට්‍රම්ප් බිඳ දැමුවේ මෙයට පෙර ජෝ බයිඩ්න් පිහිටුවා තිබූ වාර්තාවක්. ඒ, ඇමරිකානු ජනාධිපති පදවියට පත් වියපත් ම පුද්ගලයා යන වාර්තාව. බයිඩ්න් 2021 වසරේ ජනාධිපති ධුරයේ දිව්රුම් දෙද්දී ඔහුගේ වයස අවුරුදු 78යි මාස 02ක්. එහෙත් පසුගිය දා ට්‍රම්ප් දිව්රුම් දෙද්දී ඔහුගේ වයස අවුරුදු 78යි මාස 07ක්.

ඇමරිකාවේ ජනාධිපතිවරුන් දිව්රුම් දීමේ සම්ප්‍රදායෙහි යම් වෙනසක් ද මෙවර සිදු කෙරුණා. එරට ජනාධිපතිවරුන් සාමාන්‍යයෙන් දිව්රුම් දෙන්නේ වොෂින්ටන් නුවර පිහිටි කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිට එලිමහනේ. එහෙත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දිව්රුම් දීම සිදු වූයේ එළිමහනේ නොව එම ගොඩනැගිල්ල ඇතුළත. එයට හේතු වූයේ එම දිනවල වොෂින්ටන් ප්‍රදේශයේ දැඩි ශීතලක් සහ අධික සුළං තත්වයක් පැවතීම.

දිව්රුම් දීම සිදු වූයේ ජනවාරි 20 දින දහවල් 12ට පමණ. එයට කලින් දින උදෑසන ට්‍රම්ප් ධවල මන්දිරය ආසන්නයේ පිහිටි දේවස්ථානයක දේව මෙහෙයකට සහභාගි වුණා. එය ද නව ජනාධිපතිවරයකු පත් වීමේදී සම්ප්‍රදායානුකූල ව සිදු වන්නක්. මේ දේව මෙහෙයෙන් පසු ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ මෙලනියා ඒ වනවිට ජනාධිපති පදවිය දැරූ ජෝ බයිඩ්න්ගේ ඇරයුමෙන් ධවල මන්දිරයට ගොස් තේ පැන් සංග්‍රයකට සහභාගි වුණා. මේ අවස්ථාවට බයිඩ්න්ගේ බිරිඳ ජිල් බයිඩ්න් ද සහභාගි වී සිටියා. මෙය ද නව ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා ඉවත් ව යන ජනාධිපතිවරයා විසින් පවත්වනු ලබන සම්ප්‍රදායානුකූල තේ පැන් සංග්‍රහයක්. ට්‍රම්ප් දිව්රුම් දීමේ උත්සවය පැවැත්වුණේ එයින් පසුව. මේ අවස්ථාවේ ම උප ජනාධිපතිවරයා ලෙස තෝරාගෙන සිටි ජේ.ඩී. වාන්ස් ද දිව්රුම් දුන්නා. උප ජනාධිපතිවරයා දිව්රුම් දෙන්නේ ජනාධිපතිවරයා දිව්රුම් දීමට කලින්.

ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරුන් වන ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්, බිල් ක්ලින්ටන් සහ බරැක් ඔබාමා මේ අවස්ථාවට එක් ව සිටියා. බුෂ්ගේ බිරිඳ ලෝරා බුෂ් සහ ක්ලින්ටන්ගේ බිරිඳ හිලර් ක්ලින්ටන් ද එයට සහභාගි වී සිටියත් ඔබාමාගේ බිරිඳ මිෂෙල් ඔබාමා පැමිණ සිටියේ නැහැ. ඇය කවදත් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනය කරන තැනැත්තියක්. ට්‍රම්ප් දිව්රුම් දීමේ අවස්ථාවට ඇය සහභාගි නොවූයේ ඇයගේ මේ විරෝධය නිසා බව පෙනුණත් මිෂෙල් සහභාගි නොවීමට හේතුව ගැන නිල වශයෙන් කිසිදු ප්‍රකාශයක් නිකුත් කර තිබුණේ නැහැ.

ඇමරිකාවේ ඉහළ ම පෙළේ බිලියනපති ව්‍යවසායකයන් කිහිපදෙනෙක් ද මේ අවස්ථාවට සහභාගි වුණා. ලොව ධනවත් ම පුද්ගලයා ලෙස සැලකෙන ඊලෝන් මස්ක්, ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බෙසෝස්, ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් වැනි අය ඒ අතර සිටියා.

දිව්රුම් දීමෙන් අනතුරු ව නව ජනාධිපති ට්‍රම්ප් සිය ප්‍රතිපත්ති පිළිබඳ සඳහන් කරමින් ජාතිය අමතා කතාවක් කළා. එහිදී ඔහු පැවසුවේ පසුගිය කාලයේ බොහෝ පසුබෑම්වලට ලක් වූ ඇමරිකාව නැවත ස්වර්ණමය යුගයකට ගෙන යන බව. ට්‍රම්ප් මෙහිදී ආර්ථිකය ගැනත් සංක්‍රමණිකයන් පිළිබඳ ගැටලුව ගැනත් විශේෂයෙන් අවධානය යොමු කළ අතර සංක්‍රමණිකයන් සහ බලශක්තිය යන ක්‍ෂේත්‍රවලට අදාළ ව ජාතික හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කරන බව ද පැවසුවා.

නීති විරෝධී සංක්‍රමණිකයන් ඇමරිකාවට විශාල ගැටලුවක් බවට පත් ව ඇති බව පිළිගැනෙන්නක්. අනවසරයෙන් රටට ඇතුළු වී සිටින සංක්‍රමණිකයන් විශාල පිරිසක් ඇමරිකාවෙන් පිටුවහල් කිරීමට ට්‍රම්ප් බලාපොරොත්තු වනවා. එමෙන් ම එරට දේශසීමාවල ආරක්‍ෂාව සඳහා හමුදාව යෙදවීමත් ඔහුගේ අපේක්ෂාවක්.

දිව්රුම් දීමෙන් පසු ධවල මන්දිරයට පැමිණි ට්‍රම්ප් සිය පළමු දිනයේ ම විධායක නියෝග :ෑංැජමඑසඩැ ධරාැරි* විශාල සංඛ්‍යාවකට අත්සන් තැබුවා. ඒ අතරින් විශාල අවධානයක් දිනා ගත්තේ ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහ පැරිස් සම්මුතියෙන් ඉවත් කර ගැනීම සඳහා අත්සන් කරන ලද නියෝග දෙක. ඇමරිකාව මේවායින් ඉවත් වුවහොත් එය ලෝකයට ම යම් බලපෑමක් කරන්නක් වනු ඇති බව කිව යුතු නැහැ.

ලෝක සෞඛ්‍ය සංවිධානය යනු ලෝක ප්‍රජාවගේ සෞඛ්‍යමය සුරක්‍ෂිතභාවය රැක ගැනීම සඳහා කැප වී සිටින සංවිධානයක්. මේ වනවිට ලෝකයට විශාල තර්ජනයක් බවට පත් ව ඇති පෝලියෝ, මැලේරියා, එබෝලා ඇතුළු බොහෝ රෝග මෙලොවින් තුරන් කිරීම සඳහා එය නායකත්වය ලබා දෙනවා. කොවිඩ්-19 වැනි ගෝලීය වසංගත ඇති වන අවස්ථාවල ද ඒවා කළමනාකරණය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ඉටු කරන්නේ විශාල වැඩ කොටසක්. ඇමරිකාව, ලෝක සෞඛ්‍ය සංවිධානයට වැඩියෙන් ම අරමුදල් සපයන රටක්. ඇමරිකාවේ මේ අරමුදල් නොලැබී ගියහොත් එය එම සංවිධානයට දැනෙන සුළු බලපෑමක් කරන කාරණයක් වනු ඇති.

ලෝක සෞඛ්‍ය සංවිධානයට කාලයක සිට යම් යම් විවේචන ද එල්ල වෙමින් පවතිනවා. ඒ, අකාර්යක්‍ෂම බව, විනිවිදභාවය පිළිබඳ ගැටලු ආදිය සම්බන්ධයෙන්. ට්‍රම්ප් ද පවසන්නේ මේ සංවිධානය ‘දූෂිත’ ආයතනයක් වන බව. එය ඇමරිකාවේ මුදල් සූරාකමින් සිටින බව ද ඔහුගේ තවත් චෝදනාවක්. ඇමරිකාව වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 500කට ආසන්න අරමුදල් මේ සංවිධානයට ලබා දුන්නත් අතිවිශාල ජනගහනයක් සිටින චීනය එයට ලබා දෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 40ක පමණ අරමුදල් ප්‍රමාණයක් බව වරක් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණා.

ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ රූකඩයක් බවට ද ඔහු වරක් නිර්දය චෝදනාවක් එල්ල කළා. ඒ, කොවිඩ් වසංගතය පැවති කාලයේ. වසංගතයට අදාළ යම් යම් කාරණා වසන් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය උදව් කළේ යැයි ඔහු ප්‍රකාශ කළා. ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කර ගැනීමට ට්‍රම්ප් තීරණය කළේ මෙවැනි පසුබිමක.

ඇමරිකාව පැරිස් සම්මුතියෙන් ඉවත් කර ගැනීමට ට්‍රම්ප් සූදානම් වන්නේ ඔහුගේ ඇතැම් ආර්ථික සැලසුම් සහ පැරිස් සම්මුතියේ අරමුණු අතර ගැටුමක් ඇති වන නිසා. නිදසුනක් ලෙස ඉදිරියේදී ඇමරිකාවේ ඛණිජ තෙල් සහ ගෑස් නිෂ්පාදනය විශාල වශයෙන් ඉහළ දැමීමට ට්‍රම්ප් බලාපොරොත්තු වනවා. එයින් එරට ආර්ථිකයට නව ජවයක් එක් කිරීමයි ඔහුගේ අපේක්‍ෂාව. එහෙත් පැරිස් සම්මුතිය යනු ලෝකයේ ෆොසිල ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා කටයුතු ක්‍රියා කරන ගිවිසුමක්.

2016 වසරේ මේ සම්මුතිය ඇති කරගන්නා ලද්දේ ගෝලීය උණුසුම ඉහළ යාම වැනි කාරණා නිසා ලෝකයට මුහුණදෙන්නට සිදු ව ඇති අර්බුද විසඳීමට. ගෝලීය උණුසුම ඉහළ යාමට බල පා ඇති ප්‍රධානම කාරණයක් වන්නේ ඛණිජ තෙල්, ගෑස්, ගල් අඟුරු වැනි ෆොසිල ඉන්ධන භාවිතය නිසා කාබන් ඩයොක්සයිඩ් විශාල වශයෙන් වායුගෝලයට එකතු වීම.

මෙලෙස ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහ පැරිස් සම්මුතියෙන් ඉවත් කර ගැනීමට ට්‍රම්ප් සූදානම් වීම බොහෝ පාර්ශ්වවල දැඩි විවේචනයට ලක් ව තිබෙන්නක්.