කළු ජනවාරියේ අඬහැරය

- කපිල එම්. ගමගේ
මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයන් ඝාතනයට, ප්‍රහාරවලට ලක්කිරීමට සහ අතුරුදන් කිරීම්වලට මෙන් ම මාධ්‍ය ආයතනවලට ප්‍රහාර එල්ල කිරීම්වලට එරෙහි ව 2012 වසරේ සිට ජනවාරි මාසය ‘කළු ජනවාරිය’ ලෙස නම් කර තිබෙනවා. ඒ, මේ සිදුවීම්වල වගකිවයුත්තන් නීතිය ඉදිරියට පමුණුවා නිසි දඩුවම් ලබා දීමට බලධාරීන්ට බල කිරීමේ අරමුණෙන්. මෙකරුණ සිහිපත් කරමිනුයි මේ ලිපිය සැකසෙන්නේ.
මාධ්‍යකරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය යනු නිදහස් භාෂණය, විනිවිදභාවය සහ වගවීම පිළිබඳ මූලධර්මවලට තර්ජනයක් වන ක්‍රමානුකූල හා ගැඹුරින් සැලකිලිමත් විය යුතු ගැටලුවක්. එය වාචික හිරිහැර හා බිය ගැන්වීමේ සිට ශාරීරික ප්‍රහාර, පැහැරගැනීම් සහ මරාදැමීම් යන විවිධාකාරයෙන් සිදුවෙනවා. මාධ්‍යකරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයේ ආකාර කිහිපයක් ද දක්නට පුළුවන්. මූලික ව ම දැකිය හැකි ස්වරූපයක් වන්නේ ශාරීරික හිංසනය. මාධ්‍යකරුවන් නිහඬ කිරීම අරමුණු කරගත් පහරදීම්, වෙඩි තැබීම්, බෝම්බ හෙලීම් හෝ වෙනත් ශාරීරික හිංසන ආකාරයෙන් මෙය සිදුවෙනවා.
මෙවැනි සිදුවීම් ලොව බොහෝ විට සිදුවන්නේ සිවිල් යුද්ධ පවතින රටවල මෙන් ම විවිධ විරෝධතා, ගැටුම් සහිත කලාප හෝ වෙනත් සංවේදී මාතෘකා පිළිබඳ ප්‍රතිවිරෝධතා පැන නගින ස්ථානවල. ශ්‍රී ලංකාවේත් දීර්ඝකාලීන යුද්ධයක් පැවති කාල වකවානුවේ මෙන් ම පාලකයන්ට බලය පිළිබඳ තර්ජනයක් ඇතිවන සමාජ දේශපාලන වටපිටාවලදී මෙවැනි දෑ දක්නට ලැබුණා. පෝද්දල ජයන්ත පැහැරගෙන ගොස් වධහිංසා කිරීම, උපාලි තෙන්නකෝන් හා කීත් නොයර් යන දෙදෙනාට කළ ශාරීරික වධහිංසා ඊට මෑතකාලීන උදාහරණ. මෙවැනි ශාරීරික හිංසනවලට අමතර ව පැහැරගැනීම් සහ බලහත්කාර අතුරුදහන් කිරීම් ද මාධ්‍යකරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයේ තවත් ස්වරූපයක්. මේ පැහැර ගැනීම් ආකාර කිහිපයකින් සිදු වන්නට පුළුවන්. සටන්කාමී සන්නද්ධ කණ්ඩායම්, අපරාධ සංවිධාන, නිල හමුදා හෝ රාජ්‍ය අනුග්‍රහය සහිත සන්නද්ධ කණ්ඩායම් (Para – Military Groups) විසින් මේවා සිදුකරනවා. මේ පැහැර ගැනීම් නිසා ඇතමුන් නැවත කිසිදා හමුනොවන අතර ඔවුන්ගේ පවුල් සාමාජිකයන් සහ හිතවතුන් දිගුකාලීන අවිනිශ්චිතතාවකට ඇද දමනවා. මේ සඳහා ඇති හොඳම ශ්‍රී ලාංකික උදාහරණය වන්නේ සුප්‍රකට ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම. 2010 වසරේ සිදුවූ මේ අතුරුදන් කිරිම පිළිබඳ වසර 14ක් ගෙවී ගියත් අදටත් නිශ්චිත තොරතුරක් ලබා ගත හැකි වී නැහැ.
මාධ්‍යකරුවන්ට එරෙහි හිංසනයේ දරුණු ම ස්වරූපය වන්නේ ඔවුන් අමානුෂික ලෙස ඝාතනය කිරිම. මෙයට බොහෝ විට හේතු වන්නේ විසම්මුතික හෝ විමර්ශනාත්මක වාර්තාකරණය. ඒවායින් හෙළිදරව් වන සත්‍යය බලයට කෙතරම් බලපාන්නේ ද යන කාරණය මත සිදුකරන මේවා සියුම් ලෙස සැලසුම් කළ ඝාතන. 1990 වසරේදී සිදු කළ රිචඩ් ද සොයිසා ඝාතනය, 2005 වසරේදී සිදු කළ ධර්මරත්නම් සිවරාම් ඝාතනය, 2009 වසරේදී සිදු කළ ලසන්ත වික්‍රමතුංග ඝාතනය මේ වන විටත් නොවිසඳුණු ඉතා කෲර ඝාතන ලෙස ඉතිහාසයට එකතු වි තිබෙනවා. අතිශය දූෂිත, දේශපාලනික බලපෑම් සහිත ආරක්ෂක අංශ සහ නීතියේ ආධිපත්‍යය හා විධානය ගිලීහී ගිය රාජ්‍යවල මෙවැනි ඝාතන නොවිසඳී පැවතීම නිරීක්ෂණය කළ හැකි කාරණයක්.
මාධ්‍යකරුවන්ට බලපෑම් ඇති කර තොරතුරු දැනගැනීමේ අයිතිය වසා දමන ආකාර කිහිපයක් ද තිබෙනවා. ඉන් ප්‍රචලිත කාරණයක් වන්නේ ජනමාධ්‍යකරුවන්ට එරෙහි ව මානසික ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කිරිම. මෙහිදී සිදුකරන්නේ මාධ්‍යකරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට එරෙහි තර්ජන සිදුකිරීම, මාර්ගගත (ධබකසබැ) හිරිහැර කිරීම, අවලාද, මඩ ගැසීමේ ව්‍යාපාර දියත් කිරීම. මෙහි අරමුණ වන්නේ ඔවුන්ගේ කාර්යය අපකීර්තියට පත් කිරීම හෝ මානසික පීඩනය ඔස්සේ ස්වයං-වාරණයට බල කිරීම. කාන්තා මාධ්‍යකරුවන්ට එරෙහි ව දියත් කරන ස්ත්‍රී පුරුෂභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය ද තවත් ආකාරයක ස්වරූපයක්. මෙය එක් ආකාරයකට ලිංගික ප්‍රචණ්ඩත්වය ඔස්සේ සිදුවන්නක්. ලිංගික අතවර සිදුකිරීම, ලිංගික හිරිහැර සහ ලිංගික සූරාකෑම මෙයට ඇතුළත්. මෙවැනි ප්‍රචණ්ඩත්වයට බලපාන මූලික හේතු කිහිපයක් ද සමාජ දේශපාලන සන්දර්භයෙන් සොයා ගන්නට පුළුවන්.
දූෂණය සහ අධිකාරීවාදයේදී සිදු වන්නේ දූෂිත ක්‍රියා හෙළිදරව් කිරීම හෝ අධිකාරීවාදී පාලන තන්ත්‍ර විවේචනය කරන මාධ්‍යධ්‍යකරුවන් ඍජු ඉලක්ක බවට නිතර පත් වීම. දණ්ඩමුක්තියේදී බොහෝ රටවල අපරාධකරුවන්ට එරෙහි ව කිසිදු ප්‍රතිවිපාකයකට ඔවුන් මුහුණනොදෙන අතර එය අනාගත ප්‍රහාර තව තවත් ධෛර්යමත් කරනවා. ගැටුම් සහ අස්ථාවරත්වය මත සිදු වන්නේ සිවිල් නොසන්සුන්තාවක් ඇති යුද කලාප සහ එවැනි කලාපවල සිටින මාධ්‍යකරුවන්ට ඉහළ අවදානම් ඇති කරන කාරණා බවට මේවා පත් වීම.
සංවිධානාත්මක අපරාධ ද ප්‍රචණ්ඩත්වයට බලපාන හේතුවක්. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, ජාවාරම්කාර ජාල හෝ මූල්‍ය අපරාධ විමර්ශනය කරන වාර්තාකරුවන් බොහෝ විට මෙහිදී ඉලක්ක කර ගන්නවා. මෙවැනි ප්‍රචණ්ඩකාරී බලපැම් ඇතිකිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජ හා ආයතන පද්ධතියට ඇති වන බලපෑම් අතර සිසිලන බලපෑම, ප්‍රජාතන්ත්‍රවාදය අඩපණ කිරීම, මාධ්‍ය නිදහස ඛාදනයවීම සිදු වන්නට පුළුවන්.
සිසිලන බලපෑම (Chilling Effect) යන්නෙන් අදහස් කෙරෙන්නේ නීතිය හා විධානයේ ආධිපත්‍යය මෙන් ම ආරක්ෂාව නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා මාධ්‍යකරුවන් කළ යුතු දේ නොකර නිහඬවීම හෝ පියවරක් පසුපසට යාම. මෙහිදී සිදුවන්නේ ප්‍රචණ්ඩත්වයට ඇති බිය නිසා මාධ්‍යකරුවන් ස්වයං-වාරණයක් සිදු කර ගැනීම. විශේෂයෙන් මතභේදාත්මක මාතෘකා මත විමර්ශනාත්මක පුවත්පත් කලාවේ විෂය පථය මේ නිසා සීමා වනවා. මෙය දියුණු පුරවැසි සමාජයකට අහිතකර ලෙස බලපාන කාරණයක්.
මාධ්‍යකරුවන් නිහඬ කිරීම හෝ දුර්මුඛ කිරීමෙන් තොරතුරු සහ වගවීම සඳහා ඇති මහජන ප්‍රවේශය සීමා කිරීම මෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී ආයතන දුර්වල කිරීම සිදුවන අතර දූෂණය වර්ධනය වන පරිසරයක් පෝෂණය කරනවා. එයින් සිදු වන්නේ අනීතික බව හා දූෂණය සමාජ මනස තුළ සාමාන්‍ය කරුණක් බවට ස්ථාපිත විම.
ජනමාධ්‍යකරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක වන රටවල හා කලාපවල මාධ්‍ය නිදහස යන සංකල්පය බරපතළ පිරිහීමකට ලක් වනවා. රාජ්‍ය පාලනයේ හා ආණ්ඩුකරණයේ විනිවිදභාවය අඩු වනවා. මහජනතාව මාධ්‍ය කෙරෙහි තබාගත යුතු විශ්වාසය ද අහිමි කර ගන්නවා. මාධ්‍යකරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය නිසා ඔවුන්ගේ රාජකාරිය පදනම් කරගෙන වාර්ෂික ව මාධ්‍යකරුවන් මරා දමන්නේ සිය ගණනක්. යුනෙස්කෝවට අනුව මාධ්‍යකරුවන්ගේ ඝාතනවලින් ආසන්න වශයෙන් 86%ක් දඬුවම් ලබාදෙන මට්ටමට විසඳී නැහැ. මෙය බරපතල කාරණයක්.
වසර 34කට පෙර, ඉතා දුර්දාන්ත සමයෙක රිචඩ් ද සොයිසා නම් වූ තරුණ මාධ්‍යකරුවා පැහැරගෙන ගොස් අතුරුදහන් කෙරුණා. ඔහුගේ මළ සිරුර පසුව හමුවූයේ මුහුදු වෙරළේදී. එම කාලයේ ම රටේ දස දහස් ගණනක් පුද්ගලයන් අතුරුදහන් කෙරුණා. 1990 පෙබරවාරි 18 දින රාජ්‍ය අනුග්‍රහයලත් ඝාතක කල්ලියක් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කරන ලද රිචඩ් ද සොයිසා, පසුගිය දශක තුනකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය අනුග්‍රහයලත් නිදහස් අදහස් ප්‍රකාශනය මර්දනය කිරීමේ ක්‍රියාවලියේ නිරූපකයක් ලෙස සැලකෙනවා. සුවිශේෂ කාරණය වන්නේ මේ අතුරුදහන් කිරීම්වලට අදාළ කිසිදු සිද්ධියක් සැබෑ පරීක්ෂණ සහ නඩු පැවරීම් ඔස්සේ මෙතෙක් විසඳා නොමැති වීම.
රිචඩ් ද සොයිසා ප්‍රසිද්ධ අන්තර්ජාතික හා ජාතික මාධ්‍යවේදියකු පමණක් නොව, කවියකු සහ නළුවකු, රූපවාහිනි ප්‍රවෘත්ති නිවේදකයකු ලෙස ද ප්‍රකට චරිතයක්. මේ නිසා ම ඔහුගේ නඩුව ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර ව විශාල මාධ්‍ය අවධානයක් ලබා ගත් කාරණයක් වුණා. ඔහු ප්‍රසිද්ධ තරුණ සමාජ ක්‍රියාකාරිකයකු සහ කීර්තිමත් පුද්ගලයකු වීම නිසා සහ ඔහු කීර්තිමත් පවුලක සාමාජිකයකු විම නිසාත් ඝාතනය වෙනුවෙන් ඔහුගේ මව යුක්තිය සෙවීමේ උත්සාහය අත්නොහැරි දිරිය කාන්තාවක් නිසාත් මේ ඝාතනයට සුවිශේෂ අවධානයක් යොමුවුණා.
පොලිස් නිලධාරීන් කණ්ඩායමක් රිචඩ් ද සොයිසා පැහැරගෙන ගොස්, වධහිංසා පමුණුවා පසුව මරා දැමූ බව හොඳින් තහවුරු වී ඇතත් වරදකරුවන් කිසියම් දණ්ඩනයකට යටත්නොවීමේ නිල නීතිමය ක්‍රියාවලිය සිදු නොවීම නිසා ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය දෙස සැකසහිත අවධානයක් යොමුවීම නොවැළැක්විය හැකි හේතුවක් වුණා. එයින් සමාජගත වූයේ මේ බලහත්කාර අතුරුදහන් කිරීම අනුමත කිරීම එවකට පැවති රජයේ ප්‍රතිපත්තියක ප්‍රතිඵලයක් බව.
රාජ්‍යයක් හිතාමතා ම අත්අඩංගුවට ගත් පුද්ගලයන් මෙලෙස ඝාතනය කිරීම අනුමත කර එයට සාධාරණය ඉටුවීම වළක්වන්නේනම් සිදු වන්නේ අධිකරණ පද්ධතියේ සියලු මූලික කරුණු උල්ලංඝනය වීම. මේ නිසා ම රිචඩ් ද සොයිසා සහ තවත් සිය ගණනක් මාධ්‍යකරුවන්ගේ ඝාතනවලින් මතු කළ යුතු ගැටලුවක් තිබෙනවා. ඒ, රාජ්‍ය අනුමැතිය සහ රාජ්‍ය අධීක්ෂණය යටතේ මෙවැනි මිනීමැරුම් සිදු කර තොරතුරු දැන ගැනීම සඳහා පුරවැසියන්ට ඇති ඉඩ අහුරා, එම ඝාතන පිළිබඳ සාධාරණය ඉටුනොවීම කාලයට යටපත් කිරීමට තවදුරටත් ඉඩ දෙනවා ද? නැත්නම් වර්තමානයේදී හෝ ඒවා නිසි පරිදි මෙහෙයවා මෙවැනි ඝාතනවලට එරෙහි ව සාධාරණය ඉෂ්ට කර තොරතුරු දැනගැනීමේ ප්‍රධාන ප්‍රවාහයක් වන මාධ්‍ය මැදිහත්වීම නිදහස් හා ස්ථාවර වූවක් බවට පත් කරනවා ද? යන්න.