ඉඩමට සින්නක්කර අයිතිය
- චන්දන මාරසිංහ
ඉඩම් යනු රටක ස්ථාවර වත්කමකි. එහි වටිනාකම දිනෙන් දින ඉහළ යන නිසා ඕනෑ ම පුද්ගලයකු නිරවුල් ඉඩමක අයිතිකරුවකු වීමට සිහින දකියි. එහෙත් අතීතයේ සිට පාරම්පරික ව මෙන් ම වෙනත් ක්‍රමවේද ඔස්සේ පැවතෙමින් එන මේ ඉඩම් අයිතිය නිරවුල් නොවීමෙන්, එනම් සින්නක්කර ඉඩම් අයිතිය නොමැති වීමෙන් විවිධ ගැටලුවලට මුහුණදීමට පුරවැසියන්ට සිදු වේ. ඒ සඳහා විසඳුම් සෙවීමට පත් වූ විවිධ ආණ්ඩු පියවර ගෙන ඇති අතර වත්මන් ආණ්ඩුව ඊට යෝජනා කර ඇත්තේ ‘උරුමය’ වැඩසටහනයි. මෙවර දෙසතිය කවරයේ කතාවෙන් කතාබහ කරන්නේ නිරවුල් ඉඩම් අයිතිය පුද්ගලයකුට කෙතරම්දුරට වැදගත් ද යන්නයි.
රටක පුරවැසියන් මෙන් ම පුරවැසි නොවන පිරිස් ඉඩම් ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ විවිධ අරමුණු පෙරදැරි ව ය. නිවසක් ඉදිකිරීම, ව්‍යාපාර පවත්වාගෙන යාම, කෘෂිකර්මය සම්බන්ධ ක්‍රියාකාරකම් එහිදී ප්‍රමුඛ වේ. ඒ සඳහා ඉඩමක අයිතිය ඉතා වැදගත් වේ. පුද්ගලයකු ඉඩම් ආකාර කිහිපයකට අත්පත් කර ගනී. ඉඩමක් මිල දී ගැනීම, ත්‍යාගයක් ලෙස ලැබීම, බාධාවකින් තොර ව දීර්ඝ කාලයක් පරිහරණය කිරීම සහ රජයේ දීමනාවක් ලෙස ලැබීම ඒ අතර වේ.
ඔප්පුවක් යනු ඉඩම්වලට අදාළ ව සිදුවන ගනුදෙනු සම්බන්ධයෙන් පාර්ශ්ව විසින් සාක්ෂිකරුවන් දෙදෙනකු හා බලයලත් නොතාරිස්වරයකු ඉදිරියේ ලියා අත්සන් කරනු ලබන ලියවිල්ලකි. ඉඩමක අයිතිය නිත්‍යානුකූල කිරීමට දැනට භාවිත වන ක්‍රමය වන්නේ නොතාරිස්වරයකු වෙත ගොස් ඔප්පුවක් ලියා ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි කිරීම ය. ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ මෙය සිදු කෙරේ. ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව දක්වන ආකාරයට මේ ක්‍රමය භාවිත කළ ද ඔප්පුවකින් සහතික වන්නේ ඉඩමට අදාළ ගනුදෙනුව මත හිමිකම් සහතිකයක් නොවේ. මේ නිසා ඉඩමේ අයිතිය නිරවුල්කර නොතාරිස්වරයකුගෙන් හිමිකම් සහතිකයක් ගත යුතු වේ. ඉඩම් ලියාපදිංචි කිරීමේ ප්‍රධාන ක්‍රම දෙක වන්නේ ඔප්පු සහ හිමිකම් ලියාපදිංචි කිරීම ය. හිමිකම් ලියාපදිංචි කිරීම සඳහා පවතින වැඩසටහන බිම් සවිය හෝ ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීමේ වැඩසටහන ලෙස හඳුන්වයි.
ඉඩම් නිරවුල් කිරීම
ඉඩම් නිරවුල් කිරීම ලෙස හැඳින්වෙන්නේ මෙරට භූමිය සතු සියලු ඉඩම්වලින් රජයේ ඉඩම් හා පෞද්ගලික මොනවාද යන්න තීරණය කර ඒවායේ අයිතිය තහවුරු කිරීම ය. ඒ ඔස්සේ උරුමකරුවන්ට ඒවා පැවරීමේ හැකියාව පවතී.
ඓතිහාසික පසුබිමක් මත මෙසේ ඉඩම් නිරවුල් කිරීමට සිදු ව තිබේ. යුරෝපා ජාතිකයන් ශ්‍රී ලංකාවේ පාලන බලය අත්පත් කර ගැනීමට පෙර මෙරට පැවතුණේ රජු ප්‍රමුඛ කරගත් දේශීය පාලන ක්‍රමයකි. රුහුණ විශ්වවිද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශය නිකුත් කළ ජර්නලයකට අනුව රටේ ඉඩම් සම්බන්ධයෙන් රාජ්‍ය පාලකයා සතු ව විශේෂ බලයක් පැවතිණ. රටේ සියලු ඉඩම්වල ස්වාමියා වූයේ ද රජු ය. ඔහු එම ඉඩම් ගොවිතැන් සඳහා ජනතාවට බෙදා දී තිබේ. රජු ‘භූපති’ ලෙස හඳුන්වා ඇත්තේ ද රජුට ඇති මේ ඉඩම් අයිතිය හේතුවෙනි. එහෙත් ඉඩම් සියල්ල රජු සතු ව පැවති බවට සඳහනක් නොමැත. පිරිස ලබාගත හැකි කවරකුට වුව ද වැව් තැනීම් ආදිය සඳහා ඉඩම් ලබා ගැනීමට හැකි විය. පෞද්ගලික ඉඩම් අයිතිය තිබූ පිරිසක් ද අතීත සමයේ සිටි බවට අනාවරණය වේ. සෙල්ලිපි හා වංශ කතා ඒ පිළිබඳ තොරතුරු තහවුරු කරයි. ඇතැම් රජවරු වැව් සහ ඉඩම් මිලදී ගත් බවට සාධක ඇත. රසවාහිනියේ සඳහන් කර ඇති ආකාරයට මහවැලි උතුරු ප්‍රදේශයේ කෙළෙඹි පුත්‍රයකුට විශාල හැල් කෙත් යායක් අයිති ව ඇත. විහාරගල සෙල්ලිපියේ ද රජු විසින් කහවනු පන්සීයක් ගෙවා වැවක් මිල දී ගත් බව සඳහන් ය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයනාංශයේ අංශාධිපති මහාචාර්ය රෝහිත දසනායක සඳහන් කරන ආකාරයට රජු ට මෙන් ම සාමාන්‍ය ජනතාවට ද ඉඩම් අයිතිය තිබුණි. රජුගේ ප්‍රධාන වගකීමක් වූයේ ජනතාව ආරක්‍ෂා කිරීම ය. එම පදනමින් රජුට රාජ්‍යත්වය හිමි විය. මේ නිසා ම ජනතාව තමන් පරිහරණය කරන ඉඩමේ වගාවෙන් 1/6ක් රජුට ලබා දී තිබේ. මෙය ඉතා සුළු ප්‍රමාණයකි. එහෙත් හදිසි තත්ත්වයකදී 1/4ක් ගෙවා ඇත. රජු ‘භූපති’ ලෙස හඳුන්වා ඇත්තේ ඉඩම්වලින් බදු ලබා ගැනීමේ අයිතිය රජුට තිබුණු නිසා ය. එහෙත් මහා පරාක්‍රමබාහු රජු කහවනු පන්සීයක් ලබා දී ඉඩමක් මිල දී ගෙන තිබෙන්නේ ඉඩමේ අයිතියක් රජුට නොතිබූ බැවිනි. ඒ අනුව ඉඩමේ අයිතිය නොව බදු ලබා ගැනීමේ නිල අයිතිය රජුට තිබී ඇත. මහාවංශයේ මේ බදු හඳුන්වා තිබෙන්නේ බලි, කර, බාග හා පත්ති ආදී නම්වලිනි. ඉඩම්වලින් අය කළ බදු ‘බෝජකපති’ ලෙස සැලකේ. අනුරාධපුර රාජධානියේ සිට ම රජුගේ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ ඉඩම්වලින් ලබාගත් බදු ආදායමයි. විවිධ පුද්ගලයන් කළ සේවය වෙනුවෙන් ඉඩම් ලබා දීමේ ක්‍රමයක් ද එකල පැවතිණ. විහාර දේවාලගම් නඩත්තුව සඳහා ද මෙරට පාලකයන් ඉඩම් පූජා කර තිබේ. දුටුගැමුණු රජු විසින් නන්දිමිත්‍ර හා ඵුස්සදේවට කෙත් වතු ලබාදුන් බව මහාවංශයේ සඳහන් වේ. මේ ආකාරයෙන් ජනතාව සතු වූ ඉඩම් විවිධ නම්වලින් හඳුන්වා තිබේ. ඒ, ගබඩාගම් මුත්තෙට්ටු, බිසෝ ගම් ආදී ලෙස ය. රජුට අයත් ව තිබූ ගබඩාගමක් යම් පුද්ගලයකුගේ නිලයට අනුව අතිරේක ආදායමක් ලෙස තෑගි වශයෙන් පවරා දුන් අවස්ථා ද පවතී. ඒවා නින්දගම් ලෙස හඳුන්වා තිබේ. එසේ රජු සතු අසීමිත බලතල හේතුවෙන් ඉඩම් රාජසන්තක කිරීමේ හැකියාව ද ඔහුට පැවතිණ. රජරට විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ කථිකාචාර්ය ඒ. මාරසිංහ සම්පාදනය කර ඇති ලිපියක දැක්වෙන ආකාරයට බ්‍රෝම්ලි (ඊරදපකහ* 1989 වසරේදී ඉඩම් අයිතිය පිළිබඳ සංකල්ප 04ක් හඳුන්වා දී තිබේ. ඒ, පොදු දේපළ අයිතිය, පෞද්ගලික අයිතිය, විවෘත අයිතිය සහ රාජ්‍ය අයිතිය වශයෙනි. මෙරට අතීතයේ සිට වර්තමානය දක්වා අවධානය යොමු කිරීමේදී ශ්‍රී ලංකාවට ද එය පොදු තත්ත්වයකි.
ඉඩම් අයිතිය
ශ්‍රී ලංකාව බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ යටත්විජිතයක් වීමෙන් අනතුරු ව පැවති ඉඩම් අයිතිය සම්පූර්ණයෙන් ම ඉවත් විය. කෝල්බෘක් ප්‍රතිසංස්කරණවලින් රාජකාරී ක්‍රමය අහෝසි කෙරිණි. වැඩවසම් ක්‍රමය වෙනස් වූ අතර ඉඩම් නිෂ්පාදන සාධකයක් බවට පත් විය. ඔවුන් මෙරට පැවති ක්‍රමය වෙනස් කළ එක් අවස්ථාවක් වන්නේ 1840 අංක 12 දරන කිරීට ඉඩම් ආඥා පනත (Сrown Lands Orordinance) හඳුන්වා දීම ය. ඉන් සිදු වූයේ අයිතිය තහවුරු කළ නොහැකි සියලු ඉඩම් බි්‍රතාන්‍යයන්ට හිමි ඉඩම් ලෙස ප්‍රකාශ කිරීම ය. මේ නිසා ඔප්පු සහ වෙනත් ලේඛනගත සාක්ෂි නොමැති ඉඩම් අක්කර දහස් ගණනක අයිතිය අහිමි කර ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට ඉන් සිදු විය. 1956 අංක 10 දරන පන්සල් ඉඩම් ආඥා පනතෙන් තවදුරටත් ගැමියන්ගේ ඉඩම් අයිතිය සීමා සහිත විය. ඉන් සිදු වූයේ පන්සල සතු භූමිය මැන ලේඛනයක් සැකසීමයි. ධාන්‍ය බදු ආඥා පනතෙන් ඉඩම්වලින් රජයට බද්දක් ගෙවීමට නියම වූ අතර එය නොගෙවන්නේ නම් එම ඉඩම බි්‍රතාන්‍යයන් සතු විය.
1897 අංක 01 දරන මුඩුබිම් ආඥා පනතෙන් ද ඉඩම් අයිතිය සීමා කෙරිණි. මෙහිදී පුද්ගලයකු පදිංචි ව සිටින භූමිය හැර ඔවුන්ට අයත් බව සඳහන් වන අනෙක් භූමි ප්‍රදේශ රජයට අයත් ලෙස සලකා තිබේ. ඉන් ගොවියන් සතු ඉඩම් තවදුරටත් ඔවුන්ට අහිමි විය. වනාන්තර, හේන් සහ වගා නොකළ ඉඩම් සම්බන්ධයෙන් මේ ආඥා පනත ක්‍රියාත්මක විය. මේ නීති ක්‍රියාත්මක කිරීම පැවරුණේ දිසාපතිවරුන්ට ය. 1903 වසරේදී මේ සඳහා ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව ආරම්භ කෙරිණි. 1931 අංක 20 දරන ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පනත අනුව අදාළ නීති ක්‍රියාත්මක වූ අතර බි්‍රතාන්‍යයන් හඳුන්වා දුන් ආඥා පනත්වලට අනුව පාරම්පරික ඉඩම් භුක්ති ක්‍රමය අහෝසි වී දේශීය හා විදේශීය ධනපති පංතියට ඉඩම් රාශියක් අයත් විය. එහෙත් ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පනතෙන් ඉඩම් අහිමි වූ පුද්ගලයන්ට තම අයිතිය ඉදිරිපත් කර සහන ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.
1935 ඉඩම් සංවර්ධන ආඥා පනතෙන් රජයට අයත් ඉඩම් ක්‍රමානුකූල ව යළි බෙදා හැරීමේ ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත. ලබාදෙන ඉඩම කුඩා වීම වැළැක්වීම සඳහා ඉඩමට එක් අයිතිකරුවකු පමණක් සිටීමේ ක්‍රමය එහිදී හඳුන්වා දී ඇත. පසුකාලීන ව ස්වර්ණ භූමි, රත්න භූමි, ජය භූමි හා බිම්සවිය වැනි වැඩසටහන්වලින් ඔප්පු පිරිනැමීමට ක්‍රමවේදයක් අනුගමනය කර ඇත. ගොවිජනපද ආරම්භ වීමත් සමග විවිධ කාලවලදී ජනතාවට ඉඩම් ලබාදීම සිදු විය. මහවැලි ව්‍යාපාරය ද ඊට අයත් ය. මහවැලි ඉඩම් මුලින් ම බලපත්‍ර ලෙසත් පසුව ස්වර්ණ භූමි හෝ ජය භූමි ලෙසත් ලබා දී තිබේ. එම ඉඩම් හුවමාරු කිරීම හෝ විකිණීම සම්බන්ධ ගැටලු පැවතිණි. මේ කලාප සම්බන්ධයෙන් ක්‍රියා කළේ 1979 වසරේදී ආරම්භ කළ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියයි. කිසියම් විශේෂිත ප්‍රදේශයක ඉඩම්වල පුද්ගලයන් පදිංචි කිරීම, ගොවිබිම් හා දේපළ ප්‍රවර්ධනය ඇතුළු කාර්ය මහවැලි අධිකාරිය සතු විය. ඉඩම් නොමැති ජනතාවට ගොවිජනපද ව්‍යාපාරවලින් ඉඩම් ලබා දුන්නත් ඒවායේ පූර්ණ අයිතිය පැවරුම්ලාභියාට හිමිවූයේ නැත. එහි පරම අයිතිය පැවරී තිබුණේ රජයට ය. 1931 ඉඩම් සංවර්ධන පනතෙන් ගොවිතැන් සහ නේවාසික කටයුතු සඳහා රජයේ ඉඩම් ලබා දීම සිදු විය. එහිදී ජනතාවට හිමි වූයේ ඒවා භුක්ති විඳීමේ අයිතියයි. ඊට අදාළ ව ගොවිජනපදවල ක්‍රියාත්මක වූයේ පැවරුම් ඔප්පු සංකල්පයයි. වාරිමාර්ග අමාත්‍යාංශය පෙන්වාදෙන ආකාරයට මහවැලි කලාපයේ බලපත්‍රලාභීන් සංඛ්‍යාව 280,000කට වැඩි ය.
උරුමයට උරුමය
ජනතාව භුක්ති විඳින ඉඩම්වල පවතින ගැටලුසහගත බව ඉවත් කර එම ඉඩම්වල පරම අයිතිය ලබාදීම සඳහා ක්‍රියාත්මක වැඩසටහන වන්නේ 2024 අයවැය යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ ‘උරුමය’යි. එහි ප්‍රමුඛ කාර්යය වන්නේ 1935 අංක 19 දරන ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ වන අවසරපත්‍ර හා දීමනාපත්‍රලාභීන්ට 1947 අංක 08 දරන රජයේ ඉඩම් ආඥා පනතේ 19 (2) වගන්තිය යටතේ නිදහස් ප්‍රදාන පත්‍ර ලබාදීමයි. තමන් සතු අවසරපත්‍ර හා දීමනාපත්‍ර ස්වකීය කැමැත්තෙන් රජයට භාර දී එම ඉඩම් සඳහා පරම අයිතිය සහිත ඔප්පුවක් ලබා ගැනීමේ හැකියාව ඔවුන්ට මෙයින් ලැබේ.
මේ වැඩසටහන ක්‍රියාත්මක වන්නේ අදියර 03ක් යටතේ ය. පළමු අදියර 2024 පෙබරවාරි මාසයේ ආරම්භ වූයේ ගොවිජනතාව ඇතුළු මහජනතාවට පරම අයිතිය සහිත නිදහස් ප්‍රදාන පත්‍ර 10,000ක් ලබාදීමෙනි. නිසි පරිදි කොන්දේසි සපුරා, සංවර්ධනය කර නිරවුල් ව භුක්ති විඳින ඉඩම් සඳහා දෙවැනි අදියර යටතේ නිදහස් ප්‍රදාන පත්‍ර ලබා දෙන අතර ලැබෙන ඉල්ලීම් අතුරින් ගැටලු සහිත ඉඩම් සඳහා අදාළ ගැටලු නිරාකරණය කිරීමෙන් පසු විධිමත් පරිදි තෝරා ගත් පුද්ගලයන්ට නිදහස් ප්‍රදාන පත්‍ර ලබාදීම සිදුවන්නේ තුන් වැනි අදියර යටතේ ය.
උරුමය වැඩසටහනේ අදාළ තොරතුරු ඇතුළත් කරන්නේ ැ-ීකසපි හෙවත් රජයේ ඉඩම් තොරතුරු සහ කළමනාකරණ පද්ධතියට ය. රාජ්‍ය ඉඩම් බැහැර කිරීමේ ක්‍රියාවලිය සඳහා වඩාත් පුරවැසි හිතකාමී සහ කාර්යක්ෂම මෙන් ම ඵලදායි ක්‍රියාවලියක් සංවර්ධනය කිරීම එහි අරමුණ ය. මේ වැඩසටහන විධිමත්ව පවත්වාගෙන යාම සඳහා ජනාධිපති කාර්යාලයේ ‘උරුමය ජාතික මෙහෙයුම් ලේකම් කාර්යාලය’ පිහිටුවා ඇත.
ඉඩම් හිමිකම ලබා දීමෙන් ගොවියන් සවිබල ගැන්වීම සඳහා පවුල් ලක්ෂ 20කට සින්නක්කර ඔප්පු ලබාදීම වැඩපිළිවෙළේ අරමුණයි. 2024 ජූලි මාසය අවසන් වන විට ඔප්පු 25000කට වැඩි සංඛ්‍යාවක් සකස් කර අවසන් බව ඉඩම් කොමසාරිස් ජනරාල් බන්ධුල ජයසිංහ සඳහන් කරයි. ඔප්පු සකස් කිරීම සඳහා තවත් 104,000ක පමණ අදාළ ලියකියවිලි යොමු කර ඇත. දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාල, අන්තර් පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාල හා අන්තර් පළාත් සහකාර ඉඩම් කොමසාරිස් කාර්යාලවල ‘උරුමය ඒකකය’ නමින් නව විශේෂිත ඒකක පිහිටුවා ඇත්තේ අයදුම්කරුවන් සම්බන්ධීකරණය, නියාමනය, ගැටලු විසඳීම සහ ප්‍රදාන පත්‍ර ලබාදීම ආදිය සඳහා ය.
ඉඩම් සංවර්ධන ආඥා පනතේ 19 (2) වගන්තිය යටතේ ජනතාවට ලබා දී ඇති අවසර පත්‍රයේ තොරතුරු ැ-ීකසපි පද්ධතියට ඇතුළත් කර ප්‍රාදේශීය ලේකම්වරයා නිර්දේශ කිරීමෙන් අනතුරු ව පළාත් ඉඩම් කොමසාරිස්, අන්තර් පළාත් ඉඩම් කොමසාරිස්, අන්තර් පළාත් සහකාර ඉඩම් කොමසාරිස් මගින් ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවට යොමු කෙරේ. උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන යටතේ වැඩි ම ඔප්පු සංඛ්‍යාවක් ලබාදෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැව් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 25ක් ලබාදීමට අපේක්ෂා කෙරේ. ඔප්පු ලබාදීමේ වැඩසටහන කාර්යක්ෂම කිරීමට ජංගම වැඩසටහන් පැවැත්වීමටත් පියවර ගෙන තිබේ. ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් චන්ද්‍රා හේරත් සඳහන් කරන්නේ සින්නක්කර ඔප්පු ලබාදීමට අදාළ සියලු රාජ්‍ය ආයතන නිලධාරීන් ඊට එක් වන බව ය. මහවැලි කලාප 10ක ජීවත් වන බලපත්‍රලාභී සියලුදෙනාට ‘උරුමය’ යටතේ සින්නක්කර ඉඩම් ලබාදෙන බව වාරිමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි. මේ වැඩසටහන යටතේ 65,000ක පමණ පිරිසකට ඔප්පු ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇති අතර ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් සින්නක්කර ඔප්පු 204,002ක් සකස් කිරීමට සැලසුම් කර තිබේ.
උරුමය සින්නක්කර ඉඩම් අයිතිය ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීමට ක්ෂණික ඇමතුම් අංකයක් ද හඳුන්වා දී ඇත. මහජනතාවට දිනපතා පෙරවරු 8.30-රාත්‍රී 8.30 දක්වා 1908 ක්ෂණික අංකයට අමතා ජනාධිපති කාර්යාලයේ උරුමය ජාතික මෙහෙයුම් කාර්යාලය සමඟ සම්බන්ධ වීමේ හැකියාව තිබේ.