#විදේශ විත්ති

අභ්‍යවකාශ ජනාවාසකරණයේ ලකුණු

  • සුගත්ප්‍රිය කුලතුංග ආරච්චි

වසර දස දහස් ගණනක් මහපොළොවට ම කොටු වී සිටි මිනිසා මුල්වරට ඉන් පිටස්තර ආගන්තුක භුමියක පය තැබුවේ මෙයට වසර 55කට පමණ පෙර ය. ඒ, නිල් ආම්ස්ට්‍රෝං ඇතුළු පිරිස සඳ මත පා තැබීමත් සමගිනි. මේ සමග මිනිසා සිහින දුටුවේ අභ්‍යවකාශයේ සැරිසරමින් පිටස්තර ග්‍රහලෝක මත ජනාවාස තැනීමට ය. මිනිසාගේ අනෙක් අපේක්ෂාව වූයේ “ඈත එපිට ලෝකයකදී අප මේ විශ්වයේ තනි වී නැත” කියා සනාථ කෙරෙන මහපොළොවෙන් පිටත පවතින ජීවය පිළිබඳ සාක්ෂියක් සොයා ගැනිම ය. සඳ මත පා තබා වසර 55ක් ගතවෙද්දී ම මිනිසාගේ මේ ඉපැරැණි සිහින සෑබෑ වන ලකුණු ද පහළ වි තිබේ. ඒ සමග අප පිවිස ඇත්තේ අභ්‍යවකාශයේ තැනෙන මුල් ම මිනිස් ජනාවාස සඳහා මුල් පියවර තැබෙන සුබ මොහොතට ය.

පළමූ රොකට්ටුව යැවූ දා සිට ම අනෙකුත් ග්‍රහලෝක මත සිය නිවාස ඉදිකර ගැනීම මිනිසාගේ සිහිනයක් විය. ලබා ඇති දියුණුව සහ වේගවත් අභ්‍යවකාශ ගමන් හැකියාව නිසා ඒ සිහින සැබෑවක් කර ගත හැකි බව සනාථ වී හමාර ය.
අභ්‍යවකාශයේ වෙනත් ග්‍රහ තල මත නිවාස තනන්නට පෙර ළඟ ම අභ්‍යවකාශ සගයා වන සඳ මත ජනාවාස සහ වෙනත් ලෝක වෙත යානා පිටත් කර හරින අභ්‍යවකාශ තොටුපොළක් සෑදීම නාසා ආයතනය ප්‍රමුඛ පර්යේෂණායතනවල මෑතකාලීන වෑයම ය. මේ සඳහා විවිධ සැලසුම් ඉදිරිපත් ව තිබේ. මෙහිදී මුහුණදුන් ප්‍රධාන ගැටලු‍ව වූයේ ඈත අභ්‍යවකාශයේ සිට එන රුදුරු උල්කා, ග්‍රහක සහ විකිරණ ප්‍රහාරවලට නිරාවරණය වූ තුනි වායුගෝලයක් සහිත සඳ තලය මතදී ඒවාට මුහුණදෙමින් කල් පැවැතිය හැකි නැවතුම්පොළක් ගොඩ නඟන්නේ කෙසේද? යන්න පිළිබඳ ව ය. ඒ සඳහා යෝජනා වූ හොඳම විකල්පය වූයේ සඳ මත නොව සඳ ගැබ තුළ ගුහා තනා ඒ තුළ මේ ජනාවාස තැනීම ය. එහෙත් මිනිසාට තවදුරටත් මේ ජනාවාස උදෙසා සඳ බිම් තලය කණිමින් වෙහෙස විමට අවශ්‍ය වන්නේ නැත. ඒ, සඳෙහි ම අනාදිමත් කාලයක් සැඟවි පැවැති ස්වාභාවික ලෙන් ගුහා පද්ධතියක් අපූර්ව ලෙස අනාවරණය වීමත් සමග ය.

අඩි 200ක් ගැඹුරු සඳ ආවාටයක හෙවත් වළක පතුලේ සඳ මතදී සොයාගත් පළමු ගුහාව ලෙස පෙනෙන ලෙනක් කරා විහිද ගිය විවරයක් සොයා ගැනීමට නාසා විද්වතුන්ට හැකි වීම ලෝක විද්‍යා ප්‍රජාව උද්දාමයෙන් කම්පනයට පත්වන්නක් විය. මේ සඳ ආවාටය Mare Tranquillitatis Pit ලෙස හඳුන්වන අතර මේ වළ 1969 ජූලි 20 දින මිනිසුන් ප්‍රථම වරට සඳ මතට ගොඩ බැස්ස ඇපලෝ 11 ගොඩබෑමේ ස්ථානයේ සිට සැතපුම් 230ක් පමණ ඊසාන දෙසින් පිහිටි සන්සුන් මුහුදේ හෙවත් Mare Tranquillitatisහි පිහිටා තිබිම දෛවෝපගත සිද්ධියකි. එය පෘථිවියේ සිට පියවි ඇසට පවා පෙනෙයි.

2009 වසරේදී සඳ වටා Lunar Reconnaissance Orbiter චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන් පසු එය Mare ද ඇතුළු ව මෙබඳු වළවල් රෑසක් සොයා ගන්නා ලද බැවින් Mare Tranquillitatis Pit නොහොත් MTP ගැන කළින් දැන සිටි බව සැබෑ ය. 2010 වසරේදී පමණ භ්ී් සඳ වටා යැවූ චන්ද්‍රිකාව විසින් ගන්නා ලද පින්තූර විශ්ලේෂණය කරන පර්යේෂකයන් ඵඔඡහි ලෙන් දොරටු බඳු සෙවන සහිත ස්ථාන ඇති බව වටහා ගත්තත් ඒ දොරටු භූගත ගුහා දක්වා විහිද යා හැකි බව මෑතක් වන තුරු සනාථ වී නොතිබිණි. දැන් එබඳු ගුහාවකට ඉතිහාසයේ මුල්වරට දොර විවිර වී හමාර ය.

විද්‍යාඥයන් පවසන ආකාරයට චන්ද්‍රගාමීන්ට සf​ඳහි රුදුරු පරිසර තත්ත්වයෙන් ආරක්ෂා වීමට මෙබඳු භූගත චන්ද්‍ර ගුහාවකට ස්ථිර පදනමක් සැපයිය හැකි ය. 2022 ජූලි මාසයේ ඇමරිකානු භූ භෞතික සංගමයේ වාර්තාවකට අනුව චන්ද්‍ර ගුහා තුළ උෂ්ණත්වය අංශක 63ක පමණ සාපේක්ෂ ව ස්ථායී බව විශ්වාස කෙරේ.

පෘථිවිය මෙන් නොව සඳට ආරක්ෂිත වායුගෝලයක් හෝ චුම්භක ගෝලයක් නොමැති අතර එය සූර්ය හෝ අභ්‍යවකාශයේ කොස්මික් අංශු විකිරණවලින් හෝ ග්‍රහලෝකය ආරක්ෂා නොකරයි. එමගින් සඳ මතුපිට මිනිසුන්ට කුරිරු වූ පරිසරයක් ඇති කරයි.

නාසා ආයතනය පවසන පරිදි සඳ මත දිවා කාලයේදී ෆැරන්හයිට් අංශක 260ක් සහ රාත්‍රියෙන් පසු අංශක -280ක් දක්වා පරාසයක උෂ්ණත්වය අධික වේ. ගැඹුරු ආවාටවල ස්ථිර සෙවණැලිවල උෂ්ණත්වය ඊටත් වඩා සිසිල් වන අතර සමහර ඒවා අංශක -410 තරම් අඩු ය. විකිරණ ද තර්ජනයකි. ඈත මන්දාකිණි වෙතින් එන කොස්මික් කිරණ යනු සෞඛ්‍ය අවදානම් වැඩි කරන ශක්ති අංශු තරංග වේ. මේ නිසා නව ලෙන් දොර ඇරුණු ගුහාව අයත් MTP විවරය විශ්ලේෂණයෙන් සඳ මත මිනිසාට යහපත් ව දිවි ගෙවිය හැකි ගුහා පවතින බවට විද්‍යාඥයන්ගේ දිගුකාලීන විශ්වාසය සනාථ වී තිබේ.

නාසා ආයතනයට අනුව අලු‍ත තහවුරු කරගත් මේ ගුහාව වසර මිලියන ගණනකට හෝ බිලියන ගණනකට හෝ පෙර සඳ මත ලාවා ගලා යාමෙන් පර්වතය හරහා නිර්මාණය වූ උමගකි. මේ ලෙනෙහි සඳ මතුපිට සිට පතිත අහස් ආලෝකය පැතිර ඇත. එය සිරස් ව සහ උඩින් බිත්ති දක්වා පහළට ගමන් කරයි, තවදුරටත් භූගත ව පැතිර යා හැකි බෑවුම් තට්ටුවක් ද මෙහි ඇත. මේ ලෙන් ගුහාව සඳහා පෘථිවියේ ඇති ආසන්නතම ආදර්ශය වන්නේ ස්පාඤ්ඤයේ ලැන්සාරෝට්හි ගිනිකඳු ගුහා ය.
විද්‍යාඥයන්ට අනුව නව ගුහා පද්ධතිය චන්ද්‍ර ජනාවාසයක් සඳහා හොඳ ම ස්ථානයකි. පෘථිවියේ ජීවය ආරම්භ වූයේ මෙබඳු ගුහා තුළ ය. එබැවින් මිනිසුන්ට සඳ මත මේ ගුහා තුළ ජීවත් විය හැකි බව ඔවුහු පෙන්වා දෙති. ඒ අනුව සඳ මත වාසයට සුදුසු තැනක් ලැබී හමාර ය. මේ ලෙන් ගුහා පිළිබඳ සඳ තලය විනිවිද දකින ලේසර් මගින් සහ රෝබෝ යාත්‍රා මෙහෙයුම් මගින් තවදුරටත් සොයා බැලීම දැන් අවශ්‍ය ව තිබේ. ඉන්පසු සඳ මත ජනාවාස ඇරැඹීමට හැකියාව උදාවනු නියත ය. අනාගතයේදී අඟහරු ග්‍රහයා මත ජනාවාසකරණය උදෙසා ගුහා ගවේෂණය කිරීමට ද මේ පර්යේෂණ අත්දැකිම් මහඟු‍ ලෙස උපකාරී වනු ඇත. එයට අඟහරු ග්‍රහයා මත ජීවය පිළිබඳ සාක්ෂි සෙවීමට ද දොර විවර කළ හැකි ය, මන්ද එය මත ජීවය පැවතුණේනම්, එය නිසැක ව ම ග්‍රහලෝකයේ මතුපිට ඇති උපද්‍රවවලින් ආරක්ෂා වූ ගුහා තුළට යාමට ඉඩ තිබෙන නිසා ය.

මේ සමග නව අභ්‍යවකාශ ජනාවාසකරණ යුගයේ ප්‍රධාන ගැටලු‍වකට පිලියම් ලැබී හමාර ය. මිනිසා නිතර නඟන ප්‍රශ්නය වන ‘අප මේ විශ්වයේ තනි වී සිටියි ද?” යන ප්‍රශ්නයට ද මේ සොයා ගැනිමට සමගාමී ව පිළිතුරු සහ සාක්ෂි ලැබී තිබේ.
මුලින් ම අඟහරු මත වෙසෙන ඡැරිැඩැර්බජැ රෝවරය අඟහරු මත ජීවය පැවැති බවට ප්‍රබල සාක්ෂි ගණනාවක් ම ලබා දී තිබුණි. මේ රෝවරය ඉතා මෑතකදී ඊතල ශීර්ෂයක හැඩැති පාෂාණයක සාම්පලයක් ලබා ගත් අතර එහි පැරණි අඟහරු මත විසූ අන්වීක්ෂීය ජීවය පවතින බවට ප්‍රබෝධමත් ඉඟි අඩංගු විය. අඟහරු ග්‍රහයාගේ මතුපිට පරිසරයේ ද්‍රව ජලය තිබූ බව පෙන්නුම් කළ එහි ජීවයේ තැනුම් ඒකක ලෙස සැලකෙන කාබනික සංයෝග ද අඩංගු බව වාර්තා වී තිබේ.

මේ සමග ම තවත් විද්‍යාත්මක වාර්තාවක් පැවසුවේ සිකුරු මත ජිවය පවතින බවට කළින් ලැබුණු හෝඩුවාව දැන් ඇත්තක් ය යන්න සනාථ වි ඇති බව ය. මීට පෙර සිකුරු මත ඝනැති වායුගොලයේ ජීවය පිළිබඳ ප්‍රබල සාක්ෂියක් වන පොස්පින් පැවැති බවට හෝඩුවාවක් ලැබී තිබුණි. දැන් එම හෝඩුවාව සනාථ කරන දත්ත 140 ගුණයකටත් වඩා ලැබී ඇති අතර තවත් ජෛව-ජනිත වායුවක් වන ඇමෝනියා පිළිබඳ සාක්ෂි ද ඉදිරිපත් ව තිබේ.

මේ වනවිට අනෙකුත් විද්‍යා අංශ සමග තාරකා සහ අභ්‍යවකාශ විද්‍යා අංශය ද දිගු පිමි පනිමින් නව සොයා ගැනීම්වලින් ඉදිරියට යයි. ඒ, අනාගත විශ්ව ගම්මානය තැනීමට මුල්ගල් තබමිනි. ඉතා නුදුරේදී ම අභ්‍යවකාශයේ නිදැල්ලේ සැරිසැරීමට සමත් වන මිනිසා විශ්වයේ පැතිර ඇති විශ්මිත ජිවීන් සමග ගනුදෙනු අරඹනු නිසැක ය.