තෙත්බිම් උරුමය
- බිනූ දිලාරා ගමගේ
1991 වසරේදී උසකාදෙඅක Wildfowl and Wetland Trust (WWT) විසින් පිහිටුවන ලද ජාත්‍යන්තර තෙත්බිම් එකමුතුව (Wetland Link International – WLI) ලෝක ප්‍රජාවට තෙත්බිම් පරිසර පද්ධති පිළිබඳ දැනුම බෙදා හැරීම හා හුවමාරු කාර්යය සඳහා සුවිශේෂ භූමිකාවක් ඉටු කරයි. 1971 වසරේදී පිහිටුවන ලද රැම්සාර් ආයතනයේ එක් අනුශාඛාවක් වන මේ තෙත්බිම් එකමුතුවේ එක් කලාපීය සංවිධානයක් වන ආසියානු තෙත්බිම් එකමුතුවේ 09 වැනි සමුළුව ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් නොබෝදා (ජූනි 17-21) බත්තරමුල්ල දියසරු උද්‍යානය ආශ්‍රිත ව පැවැත්වුණි. එය නම් කර තිබුණේ ‘අන්තර්ජාතික තෙත්බිම් උද්‍යාන එකමුතුවේ ඕස්ටේ්‍රලියානු, නවසීලන්ත හා ආසියානු පළමුවැනි සමුළුව’ ලෙස ය. ඒ, 2023 වසරේ සංවිධානයේ නව සාමාජිකත්වය නවසීලන්තය හා ඕස්‌ට්‍රේලියාව ලබා ගැනීමත් සමග එම රටවල් සහභාගි වන පළමු වැනි WLI Asia Oceania තෙත්බිම් සමුළුව මෙය වන බැවිනි. ‘පරිසර සංචාරක ව්‍යාපාරය සඳහා තෙත්බිම් සහ තෙත්බිම් මධ්‍යස්ථාන‘ යන තේමාව මූලික කරගෙන පැවති මෙවර සමුළුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, බස්නාහිර පළාත් සංචාරක අධිකාරිය, ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාව යන ආයතනවල සාමුහිකත්වයෙන් සංවිධානය විය. වසර දෙකකට වරක් පවත්වන මේ සමුළුවට මෙවර රටවල් 15ක තෙත්බිම් සංවිධාන 60කට ආසන්න සංඛ්‍යාවක නියෝජිතයෝ 100කට ආසන්න ව සහභාගි වූහ.
අදහස් දක්වන නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්. එස් සත්‍යනන්ද; “ශ්‍රී ලංකා රජය තෙත්බිම් සංරක්ෂණයෙන් පාරිසරික සමතුලිතතාව හා ජෛව විවිධත්වය ආරක්ෂා කර ගනිමින් ගෝලීය වශයෙන් ඇතිවන අභියෝගවලට සාර්ථක ව රටක් වශයෙන් මුහුණ දිය හැකි ආකාරයේ දැනුමක් ඒකරාශි කිරීම මේ සමුළුවෙන් අපේක්ෂා කරනවා. ශ්‍රී ලංකාව මේ වන විට මුහුණදෙමින් සිටින ආර්ථික අර්බුදයට ආර්ථිකමය ශක්තියක් ලබා ගැනීමටත් මේ සමුළුව වැදගත්. විශේෂයෙන් විදේශ සංචාරකයන්ගේ ආකර්ෂණය ක්‍රමයෙන් මෙරට පාරිසරික සෞන්දර්යය කෙරෙහි වර්ධනය වෙමින් පවතින අවස්ථාවක තෙත්බිම් සංරක්ෂණය හා පාරිසරික දැනුවත් කිරීම් සම්බන්ධයෙන් ලෝකයට දැනුම ලබා දීමටත් ශ්‍රී ලංකාව ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ග හා අත්දැකීම් සම්බන්ධයෙන් ලෝකය දැනුවත් කිරීමටත් මෙය මහඟු අවස්ථාවක්.”
වසර දෙදහසකට වඩා ඉපැරණි ශ්‍රී ලංකාවට උරුම තෙත්බිම් කලාප මේ අතර වඩාත් සුවිශේෂ වන්නේ සංචාරක පක්ෂීන්ට පවා වාසස්ථාන නිර්මාණය කිරීම නිසා බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තෙත්බිම් කළමනාකරණ ඉංජිනේරු ආචාර්ය එන්. එස්. විජේරත්ත පවසයි. අදහස් දක්වන ඔහු; “සංචාරක පක්ෂීන්ට ඔවුන්ගේ ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට තෙත්බිම් ඉතා වැදගත්. චීනය, රුසියාව වැනි රටවල සිට පැමිණෙන සංචාරක පක්ෂීන්ගේ අවසාන ගමනාන්තය වන්නේ ශ්‍රී ලංකාවේ තෙත්බිම් උද්‍යාන. සංචාරකයන්ට පවා මේ සුන්දරත්වය විඳින්න අවස්ථාව ලබා දීමට හැකියාව පවතිනවා.”
2018 වසරේදී පළමු ජාත්‍යන්තර තෙත්බිම් නගරය (Wetland City) වශයෙන් රැම්සාර් සහතිකය කොළඹ අගනගරයට හිමි විය. ශ්‍රී ලංකාව කෙරෙහි සංචාරක ආකර්ෂණය වර්ධනය කිරීමට තෙත්බිම් ආශ්‍රිත පාරිසරික කලාප උපයෝගී කරගත හැකි බව පවසන බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති සුගත් හේවාපතිරණ; “2018 වසරේදී කොළඹ අගනගරය ලොව පළමු තෙත්බිම් නගරය බවට පත් කරමින් ශ්‍රී ලංකාව ලබා ගන්නා ලද සන්නාමය උපයෝගී කර ගනිමින් මෙරට සංචාරක කර්මාන්තයේ දියුණු කරනවා. ස්වභාවධර්මයේ දායාද කෙරෙහි ජාත්‍යන්තර ප්‍රජාව ආකර්ෂණය කරගෙන ඉන් ආදායමක් ගෙන ඒමටත් සංචාරක කර්මාන්තයට පවතින්නේ ඉහළ විභවතාවක්.” පරිසර හිතකාමී සංචාරක කර්මාන්තයක් Eco-Tourism) සඳහා තෙත්බිම් යොදාගත හැකි ආකාරය පිළිබඳවත් මේ සමුළුවේදී අවධානය යොමු වීම වැදගත්.
සීමිත භූමි ප්‍රමාණයක පමණක් තෙත්බිම් පරිසර පද්ධති දක්නට ලැබුණත් තෙත්බිම්වල බලපෑම ඒවා නිජබිම කරගත් භූමියට පමණක් නොව ලෝකයට ම ප්‍රයෝජනවත් වන බව රැම්සාර් (RAMSAR) සම්මුතිය පෙන්වා දෙයි. රැම්සාර් සම්මුතියට අනුව “ස්වාභාවික හෝ කෘත්‍රීම, ස්ථිර හෝ තාවකාලික, ස්ථිතික හෝ ගලා යන ජලයෙන් යුතු, නැවුම් හෝ කිවුල් හෝ ලුණු සාන්ද්‍රණයක් සහිත, අඩු වඩදියකදී ගැඹුර මීටර් හයක් නොඉක්මවන ලද වගුරු බිමක් හෝ එවැනි ජලයෙන් පිරුණු භූමියක්” තෙත්බිමක් වශයෙන් හඳුනා ගැනෙයි.
සාමාන්‍යයෙන් තෙත්බිම් ස්වභාව පහක් මිහිපිට හඳුනා ගැනීමට හැකිවන අතර ඒවා වෙරළබඩ තෙත්බිම් (Marine), ඩෙල්ටා හා කඩොලාන ආශ්‍රිත කළපු තෙත්බිම් (Estuarine), විල් ආශ්‍රිත තෙත් බිම් (lacustrine), ගංගා හා ඇළදොළ ආශ්‍රිත තෙත්බිම් (Riverine) සහ වගුරු බිම් ආශ්‍රිත තෙත්බිම් (palustrine) වශයෙන් හඳුනා ගනියි. රැම්සාර් වර්ගීකරණයට අදාළ ව සමුද්‍ර සහ වෙරළබඩ තෙත්බිම්, අභ්‍යන්තර තෙත්බිම් සහ මිනිසුන් විසින් සාදන ලද තෙත්බිම් වශයෙන් ප්‍රධාන කාණ්ඩ තුනකට අයත් තෙත්බිම් වර්ග 42ක් ද හඳුනා ගත හැකියි.
විවිධ මිනිස් ක්‍රියාකාරකම් නිසාත් ඇතැම් පාරිසරික තත්ත්ව හමුවේත් තෙත්බිම් විශාල වශයෙන් තර්ජනයට ලක් වූ පරිසර කලාපයක් බවට පත් ව තිබෙන බව ශ්‍රී ලංකාවේ තෙත්බිම් පිළිබඳ අවධානය යොමු කරමින් 2004 වසරේදී IUCN (International Union for Conservation of Nature and Natural Resources) සංවිධානය වෙනුවෙන් J.C.J.Van Zon ’දබ පෙන්වා දී ඇත. ආසියානු තෙත්බිම් නාමාවලියට (1989) අනුව තොණ්ඩමන්නාර් කළපුව, චුන්ඩික්කුලම් කළපුව, චලෙයි කළපුව, පෙරියකාරච්චි සහ චින්නකරච්චි කළපුව, මහවැලි ගඟ දෙපස, ලූනම කළපුව සහ බෙල්ලන්විල-අත්තිඩිය ආශ්‍රිත තෙත්බිම් ඒ වනවිට උග්‍ර සහ මධ්‍යස්ථ මට්ටමේ වඳ වීමේ තර්ජනවලට හසු ව පැවතුණු බව සඳහන් ය.
එහෙත් පසුගිය වසර කිහිපයේ තෙත්බිම්වල වටිනාකම පිළිබඳ ගෝලීය ජනතාවගේ අවධානය හා අවබෝධය ක්‍රමයෙන් වර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙස තෙත්බිම් නැවතත් පුනර්ජනනය කරමින් ඒවායේ ක්‍රියාකාරීත්වය සුරක්ෂිත කිරීමට බොහෝ රටවල් පියවර ගෙන තිබේ. ජෛව විවිධත්වය හා ජල පෝෂකත්වය රැක ගැනීම සඳහා සුවිශේෂ දායකත්වයක් සපයන තෙත්බිම් කුරුල්ලන්, ක්ෂීරපායින්, උරගයන්, උභයජීවීන්, මාළු සහ අපෘෂ්ඨවංශී සත්ත්ව හා විවිධ ශාක විශේෂ ගණනාවකට වාසස්ථාන සලසා දෙන පරිසර පද්ධතියකි. දේශගුණික බලපෑම් හා ලෝක ජනගහනයේ අධික වර්ධනය නිසා දිනෙන් දින උග්‍රවන ජල අර්බුදයට විසඳුමක් ද තෙත්බිම් පරිසර පද්ධති සපයයි. වෙනස් වන පරිසර තත්ත්ව සඳහා මනාව අනුවර්තනය වීමට ඇති හැකියාව නිසාත් තෙත්බිම් පරිසර පද්ධති දේශගුණික විපර්යාසවලදී වඩාත් තීරණාත්මක වෙයි. ධීවර කර්මාන්තයට, කෘෂිකර්මාන්තයට, නිරන්තර ගංවතුර තත්ත්ව ඇතිවන ප්‍රදේශවල පසෙහි පෝෂක රඳවා තබා ගැනීමට, දැව නිෂ්පාදනයේදී ප්‍රවාහන කාර්යයට වඩා ප්‍රයෝජනවත් වන අතර තෙත්බිම් අහිතකර ස්වභාවික වායු අවශෝෂණය කර ගන්නා පරිසර පද්ධතියක් වශයෙන් ද හඳුනා ගැනෙයි. ඒවා ඇතැම් ජන වර්ගවල ආගමික හා ආධ්‍යාත්මික විශ්වාස සමග බැඳුණු සෞන්දර්යාත්මක වටිනාකමකින් යුත් සංස්කෘතික උරුමයක් ද වෙයි.