#දේශ විත්ති

පල දරන ජනතා අපේක්ෂා

  • කාංචනා සිරිවර්ධන

උරුමය
අයවැය යෝජනා 2024 යටතේ ඉදිරිපත් කෙරුණු යෝජනාවක් අනුව පවුල් ලක්ෂ 20කට ඉඩම් හා ගොවි බිම්වල පූර්ණ පෞද්ගලික අයිතිය ලබාදීමේ ජාතික වැඩසටහන ‘උරුමය’ නම් වේ. 1947 රජයේ ඉඩම් ආඥා පනතේ ප්‍රතිපාදන ප්‍රකාර ව දැනටමත් මහජනතාව භුක්ති විඳින ඉඩම් කොටස් සඳහා 1982 වසරේ සිට ලබාදුන් දීමනා පත්‍ර ලක්ෂ 20 සහ බලපත්‍ර ලක්ෂ 06 වසර කිහිපයක් ඇතුළත නිදහස් දීමනා පත්‍ර වශයෙන් පූර්ණ ලෙස බැහැර කිරීමත් ජනතාවට තමන් සතු ඉඩම් සම්බන්ධයෙන් අභිමත පරිදි කටයුතු කිරීමට හැකියාව ලබාදීමත් උරුමය වැඩසටහනේ මූලික අපේක්ෂාව වේ.
ඒ අනුව දැනට ලබාදී ඇති අවසර පත්‍ර හා දීමනා පත්‍ර සම්බන්ධයෙන් පැන නැගී ඇති ආරවුල් විසඳමින් ඒවා නිසි අයුරින් මිනුම් කටයුතු කර, ‘උරුමය’ නමින් ඔප්පු ලබාදීම මේ යටතේ සිදු කෙරේ. මේ වන විට මාස 04ක කාලයක් ඇතුළත ප්‍රතිලාභීන් 16000කට ඔප්පු ලබා දී අවසන් ය. වසර කිහිපයක් ඇතුළත සියලු‍ ම අවසර පත්‍ර හා දීමනාපත්‍ර ලාභීන්ට ඔප්පු ප්‍රදානය කිරීමට සැලසුම් කොට ඇති අතර මේ වැඩසටහන යටතේ ම මින් පෙර අවසර පත්‍ර හෝ දීමනා පත්‍ර යටතේ ඉඩම් ලබාදී ඇති රණවිරුවන් ලක්ෂයක පමණ පිරිසකට ද ඔප්පු ලබාදීම සිදු කෙරේ.

සංචාරක හා ඉඩම් අමාත්‍යංශය හා ඒ යටතේ ක්‍රියාත්මක වන ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, ඉඩම් පරිහරණ සැලසුම් දෙපාර්තමේන්තුව, ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව, මිනින්දොරු දෙපාර්තමේන්තුව හා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මේ කාර්යයේදී පෙරමුණ ගෙන කටයුතු කරයි.

නාගරික නිවාස ලබාදීම
නාමික අගයක් තීරණය කොට වසර 30ක් දක්වා ගෙවීමේ ක්‍රමවේදයකට අනුව රජයෙන් මහජනතාව වෙත ලබාදී තිබෙන මහල් නිවාසවල අයිතිය එම නිවාසවල පදිංචි ජනතාව වෙත ම පවරා දීම එනම් ඔවුන්ට ඔප්පු ලබාදීම 2024 අයවැය යෝජනා අනුව ක්‍රියාවට නැංවෙන ජාතික වැඩසටහනකි. වසර 30ක ගෙවීමේ ක්‍රමවේදයක් යටතේ ලබාදුන් එම මහල් නිවාසවල පළමු පිරිස පදිංචිකොට ද තව ම ගතවී ඇත්තේ වසර 10ක් පමණ ය. එම පිරිස අතරින් මුදල් ගෙවූ නොගෙවූ සියලු‍ දෙනා වෙත අවමය ලක්ෂ තුනහාමාරක මුදලක් අය කරගෙන, එම නිවාසවල අයිතිය පදිංචිකරුවන් වෙත පවරා දීමට කැබිනට් අනුමැතියක් ලැබී තිබේ. එනම් මේ නිවාසවල පදිංචිකරුවන්ට ඔප්පු ලබාගත හැක්කේ ලක්ෂ තුනහාමාරක අවම මුදල රජය වෙත ගෙවීමෙන් අනතුරු ව ය. ඔප්පු ලබාදීම සඳහා අවශ්‍ය මුද්දර ගාස්තු, නොතාරිස් ගාස්තු ඇතුළු අනෙකුත් වියදම් රජය දැරීමට නියමිත ය.

කොළඹ නගරයෙහි ඉදිකර ඇති මේ නාගරික මහල් නිවාස සංකීර්ණවල දැනට පදිංචි වී සිටින පිරිස 12500ක් පමණ වේ. මේ අතරින් 8500ක් පමණ නිවාසවලට මේ වසර තුළ ඔප්පු ලබාදීමට සැලසුම්කොට ඇති අතර ඉතිරි නිවාස සඳහා ඔප්පු ලබාදීම සිදු කෙරෙන්නේ 2025 වසරේදී ය.

මේ නාගරික මහල් නිවාස සංකීර්ණවල පදිංචිකරුවන්ට නිවාසවල ඔප්පු ලබාදීමෙන් අනතුරු ව එම නිවාස සංකීර්ණවල පරිපාලනය වෙනුවෙන් සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියෙන් කළමනාකරණ සංස්ථා පිහිටුවීමත් ඒවා විධිමත් ව පරිපාලනය කරගෙන යෑමේ ක්‍රමවේදයක් සකස් කිරීමත් සිදු කෙරේ. මෙහිදී විශාල නඩත්තු වෙනුවෙන් මුදල් ලබාගැනීම සඳහා නිධන් අරමුදල නමින් අරමුදලක් පිහිටුවීමටත් ඊට අමතර ව කළමනාකරණ අරමුදලක් පවත්වාගෙන යෑමටත් ඒ ඔස්සේ එම නිවාසවල පරිපාලනය පවත්වාගෙන යෑමටත් සැලසුම් කොට තිබේ. ඉදිරියේදී මේ නිවාස සංකීර්ණවල පරිපාලනය ප්‍රජාවට ම කරගෙන යෑමට ඉඩකඩ සකසා දීම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මේ වැඩසටහනේ අපේක්ෂාවයි.

සහල් සහනාධාර ලබමින්

අස්වැසුම
සමාජ ආරක්ෂණය අවශ්‍ය පුද්ගලයන්ට අනිවාර්යයෙන් සහන ලැබෙන බව සහතික කිරීම සඳහා සුභ සාධන ප්‍රතිලාභ බෙදාහැරීමේ පද්ධතිය සැලකිය යුතු ප්‍රතිසංස්කරණවලට ලක්කිරීමට රජය පියවර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රියාත්මක වන නව ඒකාබද්ධ සුභ සාධන වැඩපිළිවෙළ ‘අස්වැසුම’ නම් වේ.

ඒ අනුව දැනට ‘අස්වැසුම’ ගෙවීම් සිදු කරන ප්‍රතිලාභීන් සංඛ්‍යාව 1,894,140කි. 2024.07.01 දින සිට ‘අස්වැසුම’ ප්‍රතිලාභ ගෙවීම සිදු කරන ආකාරය අනුව සංක්‍රාන්තික සහ අවදානමට ලක්වූ කාණ්ඩය සඳහා මාසික ව රු. 5000ක්, දුප්පත් කාණ්ඩය සඳහා මාසික ව රුපියල් 8500ක්, අන්ත දිළිඳු කාණ්ඩය සඳහා මාසික ව රුපියල් 15000ක් වශයෙන් ප්‍රතිලාභ ලබාදීම සිදු කෙරේ. එහිදී පවුලේ සාමාජිකයන් ගණන 02ක් හෝ ඊට අඩුනම් අදාළ මුදලෙන් අඩක් පමණක් හිමි වේ.

ආධාර ලබන වෙනස් හැකියා සහිත තැනැත්තන් ලබන මාසික දීමනාව රුපියල් 7500ක් ද හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගී ආධාර ලබන තැනැත්තන් ලබන මාසික දීමනාව රුපියල් 7500ක් ද වැඩිහිටි ආධාර ලබන තැනැත්තන්ගේ මාසික දීමනාව රුපියල් 3000ක් වේ.

‘අස්වැසුම’ දෙවැනි අදියර සඳහා සුදුසුකම් ලබාගැනීම වෙනුවෙන් ඉදිරිපත් වී ඇත 450,924ක් වන අයදුම්පත් සංඛ්‍යාව අතරින් ද අලු‍තින් සුදුසුකම් ලබන්නන් තෝරාගැනීම මේ වන විට සිදු කෙරෙමින් පවතින අතර ඉදිරියේදී ප්‍රතිලාභී පවුල් මිලියන 2.4ක් දක්වා පුළුල් කර ‘අස්වැසුම’ ප්‍රතිලාභ ලබාදීමට අපේක්ෂා කෙරේ.

මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව, වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික සභාව, ආබාධිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලය, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව වැනි අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු රැසක මූලිකත්වයෙන් ක්‍රියාත්මක කරන ‘අස්වැසුම’ සුභ සාධන වැඩසටහන මින් පෙර ක්‍රියාත්මක වූ සුභ සාධන වැඩසටහන්වලට සාපේක්ෂ ව අක්‍රමිකතා හා දේශපාලන අතපෙවීම්වලින් බැහැර ව ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාව වේ.

සහල් බෙදාදීමේ ජාතික වැඩසටහන
දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි අඩු ආදායම්ලාභී පවුල් සඳහා අප්‍රේල් මාසය සහ මැයි මාසය සඳහා සහල් කිලෝ 10 බැගින් නොමිලයේ බෙදාදීමේ වැඩසටහනක් රජය විසින් ක්‍රියාත්මක කරන ලදි. මෙහි ප්‍රධාන ම අරමුණ අඩු ආදායම්ලාභී පවුල්වල පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමයි. මිලියන 3.4ක් මේ සහනාධාරය ලැබීම සඳහා සුදුසුකම් ලැබූ අතර මේ සඳහා රජය වෙන් කළ මුදල රුපියල් බිලියන 26.6කි.

මහ භාණ්ඩාගාරයත් සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයත් මේ සඳහා අවශ්‍ය මග පෙන්වීම ලබාදුන් අතර 2023 වසරට සාපේක්ෂ ව 2024 වසරේ වැඩි පිරිසකට ප්‍රතිලාභ ලබාදීමට රජයට හැකිවිය. මේ වැඩසටහන යටතේ බෙදාදුන් සියලු‍ ම සහල්, දේශීය සහල් නිෂ්පාදන වීමත් එහිදී අඩු ආදායම්ලාභී පවුල් වෙත සහනාධාර ලැබීමට අමතර ව දේශීය වී ගොවියාට අතදීමක් ද සෘජු ව ම දක්නට ලැබීමත් විශේෂත්වයකි. බෙදා දීම වෙනුවෙන් රජය විශාල සහල් ප්‍රමාණයක් මිල දී ගෙන තිබුණේ පොළොන්නරුව, අම්පාර, ත්‍රිකුණාමලය, හම්බන්තොට වැනි සහල් නිෂ්පාදනය වැඩි වශයෙන් සිදු කෙරෙන දිස්ත්‍රික්කවලිනි.