ඒ සිංහබාහු, මේ සිංහබාහු හා සිංහබාහු
- තුසිත ජයසුන්දර
සිරිලක ඇරඹුම හා එහි මුල් සමය සවිස්තර ව දැක්වෙන ඉපැරණි ම ගතක් සේ පිළිගැනෙන්නේ මහාවංශයයි. අනතුරු ව දීපවංශයයි. මේවායේ එන සියලු දෑ සැබෑ ද? යන්න නම් පැනයකි. පසුකාලීන ව හා වත්මනේදී සිදු කළ තාර්කික හා විචක්ෂණශීලී ව්‍යවච්ඡේදන ඔස්සේ විද්‍යමාන වූයේ ද සනාථ වූයේ ද මහාවංශය හා දීපවංශය මත පමණක් ම පාදක වෙමින් සිරිලක ඉතිහාසය විනිවිද දැකීම සුදුසු නොවන බවයි.
මෙහිලා දත හැකි වඩාත් ම විවාදාත්මක සඳහන වනුයේ සිරිලක නිල පළමු රජ තෙමේ සේ හඳුන්වා දෙන විජයගේ පෙළපත ය. ඉන් කියැවෙන්නේ ඔහුගේ පියරජ තෙමේ සිය නැගණිය ආවාහ කර ගත්තකු ය යන්නයි. එසේ ම ඔවුන්ගේ පියා මිනිසකු නොව සිංහයකු වන බවයි.
මහාවංශයට පසු රචිත ලේඛන හා ජනප්‍රවාද මෙකරුණ නොවිමසා පිළිගන්නට සූදානම් වන සෙයක් ද පෙනේ. මෙහි සංස්කරණයක් හෝ නව පිවිසුමක් සපයා ගන්නට දැරූ නිල වෑයම් නොමැති තරම් ය. 19 වැනි සියවසේ දෙවැනි දශකයේදී පමණ කිරම ධම්මානන්ද හිමියන් විසින් රචිත ‘සියබස් මල්දම’ හා අනතුරු ව හඳුනා ගැනෙන ‘සිංහවල්ලි නාඩගම’ පවා උත්කර්ෂයට නැංවූයේ ‘මහාවංශය’හි සඳහනමයි.
සිරිලක නාට්‍ය වංශයේ අග්‍ර ඵලයක් වන මහැදුරු එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’ නාටකය 1961 වසරේදී පළමු වරට වේදිකාගත වන්නේ ද උක්ත පසුබිම පිළිබඳ කියැවීම් අවධාරණය කරමිනි. 1962 වසරේදී මුල්වරට ප්‍රකාශිත ‘සිංහබාහු’ නාටක පිටපතට ‘සිංහයා, සුප්පා දේවි හා සිංහබාහු’ මැයෙන් අගනා ප්රස්තාවනාවක් රචනා කරන සරච්චන්ද්‍රයෝ ‘මහාවංශය’, ‘සියබස් මල්දම’, ‘සිංහවල්ලි නාඩගම’ හා එහි කතු පිලිප්පු සිංඥ්ඥෝ ගැන ද සිංහබාහු පුවත පාදකකොට ගත් හා ඇසුරුකොට ගත් නාඩගම්, නූර්ති හා ගුවන්විදුලි නිර්මාණ ගැන ද විවරණ ඉදිරිපත් කරති.
සිය පියා වූ සිංහයාට දාව මව වන සුප්පා දේවි විසින් බිහිකරනු ලබන නැගණිය වන සිංහ සීවලී සරණපාවාගෙන නව නයුවකු බවට පත්වන සිංහබාහු ගැන හෝ ඔහු පුත් විජයගේ කියුම් කෙරුම් ගැන යම් නිරූපණයකට සරච්චන්ද්‍රයන් ‘සිංහබාහු’ නාටකයේදී උත්සුක වන බවක් නොපෙනේ. පුත් සිංහබාහුගේ හී සැරයෙන් පියා – සිංහයා මැරී වැටීමත් සමග නාටකය අහවර වෙයි. නැගණිය – සිංහ සීවලීට පෙම් කරන හා ඇගේ ගතේ වෙළෙන්නට අවිඥානක ව වුව පැමිණෙන සිංහබාහුවකු ගෙන හැර පෑමට සරච්චන්ද්‍රයන් පියවර නොගැනීම නිසා ඉන් උපදින අතිමහත් ව්‍යාකූලත්වය හා ව්‍යභිචාර චෝදනාව යටපත් වූ බව පෙනේ.
ව්‍යභිචාරය යනු මෙදවස නව මිනිස් සබඳතා විසින් බැහැර කරනු ලබන්නකි. එහි සදාචාරමය නොඑකඟතාවක් ද සෞඛ්‍යමය නොඑකඟතාවක් ද තිබේ. එසේ වුව ද සැඟවුණු මිනිස් සබඳතාවක් සේ ව්‍යභිචාරය වත්මන් ලොව විෂයෙහි නොපවතින බවක් එක හෙළා ම පැවසිය නොහැකි ය.
සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’ නාටකය දශක සයක් ද ඉක්මවා සිරිලක ජනගත ව ඇත්තේ සිංහබාහු පුවත අනෙකකුගේ නමින් එලෙසින් ම හෝ අන් අයුරකින් වේදිකාවේ නිරූපණයට ප්‍රමාණවත් ඉඩක් ලබා නොදෙමිනි. මෙහෙයින් ම සිරිලක කලාවේ ප්‍රමුඛතම ‘සිංහබාහු’ නාටකය සේ සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’ තවත් කලක් යන තුරු වේදිකාගත වනු ඇත. පේරාදෙණි සරසවි පසුබිමත් උසස් විභාග ආදිය සඳහා නිර්දේශ කෙරෙන්නක් වීමත් මෙයට ප්රබලාකාරයෙන් තුඩුදෙනු ඇත. සරච්චන්ද්‍රයන්ගේ අභාවයෙන් අනතරු ව ගෙවී යන මෙසමයේදී ද ‘සිංහබාහු’ නොයෙක් වේදිකාවල රඟ දැක්වෙන වග නොරහසකි.
සිනමාකරුවකු, සිනමා රූපණවේදියකු හා වේදිකා නාට්‍යකරුවකු වූ පතිරාජ එල්. එස්. දයානන්දයන් 1980 වසරේදී ‘සිංහබාහු’ මැයෙන් සිනමාපටයක් එළි දක්වන්නේ වත්මන් යුගය මත රැfඳමිනි. ඉපැරණි ‘සිංහබාහු’ පුවතට නව අරුතක් ගෙන ඒම ඔහුගේ අභිලාෂය වූයේ ද යන්න නම් සැක සහිත ය. මෙහි ද සිංහයා, සුප්පා දේවි, සිංහබාහු හා සිංහ සීවලී දත හැකි වේ. සරච්චන්ද්‍රයන් සේ ම පතිරාජ එල් එස්. දයානන්දයන් ද සිංහබාහු-සිංහ සීවලී ව්‍යභිචාරය විනිවිද දැකීමේ පුළුල් මෙහෙයුමකට අවතීර්ණ නොවූ සැටියකි.
මං පහරන්නකු සහචරයන්ගේ උපකාරයෙන් ධනහිමි පවුලක යුවතියක පැහැරගෙන ගොස් මහවනයේ රඳවා තබන්නේ සිය බිරිය බවට නම්කොට ය. ඉපැරණි පුවතේ අනුව ම මෙහිදී ද ඔවුන්ගේ යොවුන් දරු දෙදෙනා මහා වනයෙන් නික්මී ජන ඇසුරට පැමිණෙති.
මෙසමයේ ප්‍රකට සිනමාකරු සෝමරත්න දිසානායක ‘සිංහබාහු’ මැයෙන් ගෙන එන්නේ උක්ත නිර්මාණ ද්විත්වයට ම වඩා වෙනස් වූ එසේ ම සමානතා ද සහිත සිනමාපටයකි. සුලබ හා දුලබ ප්රචාරක යාන්ත්‍රණ ද හේතුවෙන් මේ ‘සිංහබාහු’ වෙත ලැබෙන වෙළෙඳ වටිනාකම සැලකිය යුතු තරම් බැව් පෙනී යයි. සිරිලක සිනමාපට සඳහා සෑහීමකට පත්විය නොහැකි රසික ප්‍රතිචාර ලැබෙන පසුබිමක ‘සිංහබාහු’ ලබන මේ ප්‍රතිචාර කැපී පෙනේ. විමසිය යුත්තේ මේවා සාධනීය ප්‍රතිචාර ම වන්නේ ද යන්නයි.
සරච්චන්ද්‍රයන් හා දයානන්දයන් මෙන් නොව සෝමරත්න දිසානායකයන් ‘සිංහබාහු’ පුවතේ ව්‍යභිචාර නිරූපණය පළමු වටයේදී ම හසුකර ගන්නේ විවෘත අවකාශයක ය. ඔහු මෙකරුණ උද්ධරණයට කිසිදු පැකිළීමක් නොදැක්වීම සිනමාපටයේ ආකර්ෂණීය බව ඔප් නැංවීමට හේතුවක් වී තිබේ. ප්රචාරක යාන්ත්‍රණ වෙතින් පවා අවධාරණය කෙරෙන්නේ මෙකරුණ ය. ගැහැනු පිරිමි කායික සබඳතා දෙස තුලනාත්මක ව හා පුළුල් ව බලන්නට ඒ හැටි සූදානමක් නැති සිරිලක වැසියන්ට ‘සිංහබාහු’ මෙකරුණ අරභයා දක්වන සඳහන එක එල්ලේ ම බලපාන බව පැහැදිලි ය.
සිනමාකරුවා මෙතැනදී පවසන්නේ සිංහබාහු යනු සුප්පා දේවියගේ දරුවකු නොවන බවයි. ඒ සිංහයාගේ අන් බිරියකගේ කුසින් වැදූ දරුවකු ය යන්න ය. සිංහ සීවලී යනු සුප්පා දේවිය යාබද රටක රජකු වෙතින් ලද දියණියයි. මේ අනුව සිංහබාහු හා සිංහ සීවලී එකිනෙකාට පෙම් කිරීම, කායික පහස ලැබීම හා සරණ බන්ධනයට ඇතුළත් වීම සිරිලකවාසීන්ගේ සදාචාරාත්මක දැක්මට බාධකයක් නොවේ.
තමන් එක ම මව්පිය යුවළකගේ දරුවන් නොවන වග සිංහබාහු හා සිංහ සීවලී නිසැක ලෙස ම දන්නා වගක් පැවසීමට සිනමාකරු උනන්දුවක් නොදක්වයි. ඔහු දිගු රූප පෙළකින් පවසන්නේ සිංහබාහු හා සිංහ සීවලී මහවනයේ අතරමංව එක් රැයක් යම් අඳුරු තැනක ගත කළ බවයි. එහිදී ඔවුන.තර සපුරා ම කායික සබඳතාවක් සිදුවූ බවක් නොපෙනේ. නොසිදුවූ බවට ද සාක්ෂි නොමැත. මෙය ඇසූ සුප්පා දේවි කලබල වන්නේ මන්දැයි යන්න ද රසිකයා දවන ගැටලුවකි.
පරම්පරා ගණනාවක්, වසර දහස් ගණනක් තිස්සේ ඇසූ පුවතක් මෙසේ අන් අයුරකින් සනිටුහන් කිරීම අභියෝගයක් බව දත යුතු ය. අතීත පුවත් නව හා වෙනත් දැක්මකින් විමසූ අවස්ථාහිදී දක්නට ලැබෙන කතිකා මේ මොහොතේ නොපැවතී ම පසුපස ඇත්තේ ම ව්‍යභිචාරය පසෙකලා සිරිලක නිල ඇරඹුම පිරිසිදු කරලීමට සිනමාකරු ක්‍රියා කළ බව අගයන අරමුණු ය.
සරච්චන්ද්‍රයෝ වේදිකාව මත මහා වනයක් ප්‍රතිනිර්මාණය කරති. පාත්‍ර වර්ගයා ද සරසන්නේ ඊට ම උචිත පරිද්දෙනි. සෝමරත්න දිසානායකයන් ද ඊට නොදෙවැනි ය. ‘සිංහබාහු’ පුවතට අදාළ සැබෑ සමයේ අංගෝපාංග සොයා නොයන හෙතෙම විචිත්‍ර රූපාවලියකින් රසිකයා සන්තර්පණය කරන්නේ කාව්‍යමය ලකුණු සහිත බස් වහරක් ද උපයෝගීකොට ගනිමිනි. මෙය ද සිනමාපටය ජනගත වීමට තුඩු දෙන වග පෙනේ. මෙහිලා සටහන් කෙරෙන රාගී වදන් හා උච්චාරණ විලාස වෙසෙසින් ම යොවුන් රසික පාර්ශ්ව ආලෝලනයට සමත් ය.
සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’ හා සෝමරත්න දිසානායකයන්ගේ ’සිංහබාහු’ අතර ඇත්තේ මාධ්‍යයීය වෙනසක් ම නොවේ. දැක්ම විෂයෙහි ද වෙනසක් ඇත. ඒ, මාධ්‍යයීය ප්රබලතා හා අනන්‍යතා හඳුනා ගනිමින් සිදු කළ නිර්මාණාත්මක එළැඹුම ද නිසාවෙනි. ජන දිවිය වෙත කළ හා කරන බලපෑමේ ස්වභාවය ද නිසා ය. සිනමාපටයේ බලපෑම පිළිබඳ පුරෝකථනයක් කිරීමේ නොහැකියාවක් නොපවතින හෙයින් මේ නිර්වචනය නිරවද්‍ය වීමට ඇති හැකියාව සුළුපටු නැත.