#සංවර්ධන

අලි යනඅලුත්මග

  • බිනූ දිලාරා ගමගේ

ගොඩබිම විශාලතම සත්ත්වයා වන, අලියාට ප්‍රමාණවත් භූමියක් හා ආහාරපාන යනාදී වශයෙන් ජීවත් වීමට අවශ්‍ය පරිසරය සකස් කෙරෙනවා යනු සෙසු සියලු‍ සතුන්ට ඊට සමගාමී ව නිරායාසයෙන් ම පහසුකම් සැපයෙනවා හා සමාන බව වනජීවී සංරක්ෂණයේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශ්වාසයයි.


මානව ඉදිකිරීම් නිසා අලියාට තම දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය භූමිය අඩු වී යාමත් තමන්ගේ එදිනෙදා චර්යාව නිදහසේ පවත්වාගෙන යාමට බාධා එල්ල වීමත් සිදු වන්නකි. මානව ක්‍රියාකාරකම්වලට ඔවුන්ට හුරු වීමට සිදුවීමත් අද වන විට අලින් මුහුණපාන තවත් අභියෝගයකි.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම් වියළි දේශගුණයට උරුමකම් කියන පොලොන්නරුව, අනුරාධපුර හා නැගෙනහිර වනජීවී කලාපවලින් වැඩි වශයෙන් වාර්තා වෙයි. 2024 මාර්තු 15 වන විට වෙඩි තැබීම් නිසා අලි 16ක්, විදුලි සැර වැදීම නිසා අලි 15ක්, හක්ක පටස් අනතුරු නිසා අලි 06ක්, දුම්රිය අනතුරු නිසා එක් අලියකු මරණයට පත් වී ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රචාරක නිලධාරිනී හෂිනි සරච්චන්ද්‍ර පවසයි. 2023 වර්ෂයේදී ස්වාභාවික ව මෙන් ම මානව ක්‍රියාකාරකම් නිසාත් සමස්තයක් වශයෙන් අලි මරණ 488ක් වාර්තා විය. ඒ අනුව අලි මිය යාම්වලින් 5%ක් සිදුවන්නේ දුම්රිය අනතුරු නිසා බව වාර්තාවලින් අනාවරණය වේ. සෙසු අනතුරු හා සසඳන විට දුම්රිය ආශ්‍රිත අලි මරණ වාර්තා වීම් සාපේක්ෂ ව අඩු වුවත් වැඩි ජීවිත හා දේපළ හානියක් සිදුවිය හැකි නිසා මෙවැනි අනතුරු වළක්වා ගැනීම වඩා වැදගත් බව ‘සුරකිමු ලංකා‘ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර ස්වාමීන් වහන්සේගේ අදහසයි. දුම්රියේ ගැටීමෙන් එකවර අලි කිහිපදෙනකු මියගිය අවස්ථා පසුගිය කාලයේ මාධ්‍ය ඔස්සේ වාර්තා වීම මෙහි බරපතලකම තවත් අවධාරණය කරවන්නකි.

මෙලෙස දිනෙන් දින වර්ධනය වන අලි-දුම්රිය අනතුරුවලට විසඳුමක් ලෙස ශ්‍රී ලංකාවේ පළමු වනජීවී උමං දුම්රිය මාර්ගය ඉදි කිරීම ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ මාර්තු මස 01 දින සිට ගල්ගමුව කාසිකොටේ, ගැටදිවුල ප්‍රදේශයේදී ආරම්භ විය. ‘සුරකිමු දුම්රිය‘ ව්‍යාපාරයේ යෝජනාවකට අනුව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මූලිකත්වයෙන් සහ වනජීවී අමාත්‍යාංශයේ අර්ධ පාර්ශ්වකත්වයෙන් මේ දුම්රිය උමං මාර්ග ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙයි.

පසුගිය වසර කිහිපයේ දුම්රියේ ගැටීම නිසා මිය ගිය අලි 16 දෙනාගෙන් වැඩි දෙනකුගේ මරණ වාර්තා වූ අඹන්පොල හා ගල්ගමුව දුම්රිය ස්ථාන අතර ප්‍රදේශය ගම්මුන්ට අනුව කාලයක් තිස්සේ දුම්රිය මාර්ගය හරහා අලි මාරුවන අලිමංකඩක් බව හඳුනා ගැනෙයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ මහාමාර්ග හා කර්මාන්ත අංශයේ ප්‍රධාන ඉංජිනේරු ප්‍රියන්ත දීගල පවසන පරිදි මේ වනවිට 150-200ක පමණ වන අලි ගහණයක් දකින්නට ලැබීමත් උමං මාර්ගය සකස් කිරීමට වඩාත් පහසු වන ආකාරයේ භූමියක් පැවතීම හෙවත් දුම්රිය මාර්ගයට පහළින් හස්තියකුට ගමන් කළ හැකි ආකාරයේ උසකින් පොළොව මට්ටමේ සිට දුම්රිය මාර්ගය පිහිටීමත් නිසා සෙසු පාරිසරික හා කාලීන තත්ත්ව පිළිබඳ සලකා බලමින් මේ ස්ථානයේ උමං මාර්ගයක් සකස් කිරීමට පියවර ගෙන ඇත.

මහව-ඕමන්ත දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක මේ ව්‍යාපෘතිය ගල්ගමුව හා අඹන්පොල අතර ප්‍රදේශය මූලික කරගෙන සිදු වෙයි. අඹන්පොල සහ ගල්ගමුව දුම්රිය ස්ථාන අතර කාසිකොටේ නම් තේක්ක කැලය දුම්රිය මාර්ග ප්‍රදේශයේ වැඩිපුර අලින් ගැවසීම නිසා ව්‍යාපෘතියේ අරමුණ වන්නේ දුම්රිය මාර්ගයට පහළින් ඒ හරහා අලින්ට ගමන් කළ හැකි විකල්ප උමංගත මාර්ගයක් (Underpass) නිර්මාණය කිරීමයි. ඉන්දියාවේ IRCON (Indian Railway Construction International Limited) සමාගම හා සම්බන්ධ ව ක්‍රියාත්මක කරන මේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය සැලසුම් සිදු වී අවසන් අතර ඉදිරි මාස කිහිපය අතුළත මෙහි ඉදි කිරීම් ඇරඹීමට නියමිත ය. පොසොන් පොහොය සඳහා මහව අනුරාධපුර දුම්රිය මාර්ගය විවෘත කිරීමේදී ව්‍යාපෘතියේ කාර්ය ද අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රියන්ත දීගල පවසයි.
ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග ඉදිවීමේ ඉතිහාසය බි්‍රතාන්‍ය යටත්විජිත සමය දක්වා දිව යන්නකි. සැලකිය යුතු වනාන්නතර ප්‍රදේශයක් වන සතුන්ගේ වාසස්ථාන සඳහා ආරක්ෂා වී පැවතීමත් වනාන්තර ආශ්‍රයෙන් සතුන්ට තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට ප්‍රමාණවත් ව ආහාර, ජලය පැවතීමත් වැනි කාරණා නිසා දුම්රිය මාර්ග ඉදිකිරීමෙන් අලි සංචරණයට බාධා ඇති වීම් හෝ අලි අනතුරු මුල් කාලයේදී වාර්තා වීම් සිදුවූයේ ඉතාමත් අවම මට්ටමකිනි. එහෙත් වර්තමානය වනවිට එම තත්ත්වය වෙනස් වෙමින් පැයට කිලෝමීටර 30-40ක වේගයකින් ගමන් ගත් දුම්රිය අද වනවිට පැයට කිලෝමීටර 100ක පමණ වේගයකින් එම ප්‍රදේශය ආශ්‍රිත ව ගමන් කිරීම නිසා වන අලින්ට ඉන් සිදුවිය හැකි හානිය වැඩි වී ඇති බව පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරයි.

ප්‍රියන්ත දීගල පෙන්වා දෙන පරිදි ලෝකයේ අලි-දුම්රිය අනතුරු වැළැක්වීම සඳහා විවිධ උපක්‍රම අනුගමනය කෙරෙයි. ඇතැම් රටවල් දුම්රිය මාර්ග හරහා අලි ගමන් ගන්නා ස්ථානවල හෙවත් අලිමංකඩ ආශ්‍රිත ව GPS tracking විවිධ Digital Senses භාවිත කර දුම්රිය මාර්ග ආසන්නයට අලි පැමිණෙන විට ඒවා කල්තියා හඳුනා ගැනීමත් විදුලි වැට ඇඳීම්, පොළොව මට්ටමින් වඩා ඉහළින් දුම්රිය මාර්ගය සකස් කිරීම් වැනි ක්‍රියාමාර්ගත් අනුගමනය කරයි. ඒ ඒ රටවලට ආවේණික හණ වගාව, දෙහි වගාව, මී මැසි වගාව ආදියෙන් අලි දුම්රිය මාර්ගවලට පැමිණීම් මඟ හැරවීම් වැනි විවිධ සාම්ප්‍රදායික ක්‍රම අත්හදා බැලීමත් සිදුවෙයි. හෂිනි සරච්චන්ද්‍රට අනුව මුල්කාලීන ව මෙරට දුම්රිය ගමනාගමනය නිසා අලින්ට සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා අලි අනතුරු වැඩි වශයෙන් සිදුවන හතරැස් කොටුව, හබරණ, කන්තලේ වැනි ප්‍රදේශවල දුම්රිය ගමනාගමනයේදී දුම්රිය මාර්ගයට අලි පැමිණෙන විට ඒ පිළිබඳ කල්තියා හඳුනා ගැනීමට හැකි වන පරිදි දුම්රිය පාලන මැදිරියේ වනජීවී නියාමකවරයකු නියුක්ත කිරීමත් සිදු ව ඇත. වර්තමානයේ ඒ වෙනුවට ඩිජිටල් සංවේදක යෙදවුම් (Digital Senses) යෙදවීම පිළිබඳ අත්හදා බැලීම් සිදුවෙමින් පැවතියත් ඒ සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවෙයි. එබැවින් ඒ වෙනුවට වඩා අඩු පිරිවැයකින් හා වන සතුන්ට ඒ ඔස්සේ සිදුවිය හැකි අවම හානිය පිළිබඳ සලකා බලමින් ගන්නා ලද පියවරක් වශයෙන් විකල්ප උමං මාර්ග සකස් කිරීම පෙන්වා දිය හැකි ය. වන සතුන්ට මේ උමං මාර්ගය හරහා ගමන් කිරීමට හුරු කරවීම සඳහාත් ඉද‍ිරියේදී වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එහිදී හස්තීන්ගේ චර්යා ස්වභාවය හඳුනා ගනිමින් නව ඉදිකිරීමට දක්වන අනුවර්තනය පිළිබඳ අධ්‍යයනය කර ස්වාභාවික ස්ථානයක් ලෙසින් අදාළ ඉදි කිරීම සතුන්ට දැනෙන්ට සැලැස්වීම එහි අරමුණයි. එ‍් සඳහා ඉදි කිරීමේ කොන්ක්‍රීට් ආවරණය කොළ අතු, මඩ හෝ වෙනත් ස්වාභාවික ද්‍රව්‍ය ආලේපනයකින් වසා දැමීම, ඉදි කිරීම ආසන්නයේ ගස් වැවීම වැනි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට නියමිත බව ප්‍රියන්ත දීගල පෙන්වා දෙයි.

දුම්රිය උමං මාර්ග ව්‍යාපෘතිය සිදුවන්නේ වන සංරක්ෂිත කලාපයක් වන ගල්ගමුව ප්‍රදේශයේදී බැවින් එවැනි ප්‍රදේශවල සිදුවන ඉදිකිරීම් සඳහා පාරිසරික තත්ත්වයන්ට හා වනජීවීන්ට හානියක් නොවන පරිදි සිදු කිරීම සම්බන්ධයෙන් නිසි උපදේශනයත් අවශ්‍ය තොරතුරු සැපයීම සිදු කිරීමත් වනජීවී දෙපාර්තමේන්තුවෙන් සිදු වේ. ඉදිරියේදී ඉදි වීමට නියමිත දුම්රිය මාර්ග සඳහා ද දුම්රිය හරහා මාරු විය හැකි මෙවැනි විකල්ප උමං මාර්ග යොදා ගැනීමට අපේක්ෂා කෙරෙන අතර මේ වනවිට සිදුවන්නේ ඉදිකර තිබෙන දුම්රිය මාර්ගයක පිළිසකර කිරීම් හා සමගාමී ව මේ නියමු ව්‍යාපෘතිය සිදු කිරීම බව ඉංජිනේරු ප්‍රියන්ත දීගල සඳහන් කරන කාරණයකි. ඉදිරියට ක්‍රියාත්මක කෙරෙන මහව-ගල්ඔය-ත්‍රිකුණාමල දුම්රිය මාර්ගයේ ඉදි කිරීම් සැලසුම් සඳහා ද මෙවැනි විකල්ප උමං මාර්ග අලිමංකඩ ආශ්‍රිත ව නිර්මාණය කරන්නට අපේක්ෂා කිරීම සැබවින් ම කාලෝචිත ක්‍රියාවකි.

අලි යනඅලුත්මග

හෙට දවස