#දේශපාලන

සහනාධාර අවශ්‍යනොවනසමාජයක් අවශ්‍යයි

  • කාංචනා සිරිවර්ධන

රජයක් වශයෙන් අපට මූලික ව ම අඩු ආදායම්ලාභීන් ශක්තිමත් කළ හැක්කේ සහනාධාරවලින්. මීට දෙවසරකට පෙර මෙරට සහනාධාර ලැබිය යුත්තන් වෙනුවෙන් සමෘද්ධිය ඇතුළු සහනාධාර වැඩසටහන්වලින් රුපියල් බිලියන 65ක් ලබාදුන්නා. එහෙත් 2024දී එලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 205ක් දක්වා වර්ධනය වී තිබෙනවා.

‘සමෘද්ධි’ වැඩසටහන යටතේ එක් අයකු ලැබූ වැඩි ම ප්‍රතිලාභය වූයේ මාසික ව රුපියල් 4500ක්. එහෙත් අස්වැසුමෙන් රුපියල් 15,000ක් ලැබෙනවා. එනම් ඒ ඔස්සේ ප්‍රායෝගික ව පවුලකට ජීවත් වීම සඳහා අවශ්‍ය වන අන්දමේ ආධාර, සැලසුම් සහගත ව ලබා දෙනවා. මේ වන විට සහල් කිලෝ 10 බැගින් මාස දෙකක්, පවුල් ලක්ෂ 32කට ලබාදීමේ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මකයි. මේ වැඩසටහන් දෙක සඳහා රුපියල් බිලියන 13ක් වැය වනවා. මේ යුගයේ අඩු ආදායම්ලාභී පිරිස වෙත යොමු ව තිබෙන්නේ දැඩි අවධානයක්. එයට විශේෂ හේතුවක් තිබෙනවා. රටක ආර්ථික අර්බුදයක් ඇතිවන විට එයින් වැඩි ම තර්ජනයකට ලක්වන්නේ අඩු ආදායම්ලාභීන්. එසේ ම මධ්‍යම ආදායම්ලාභීන් අතරින් සෑහෙන පිරිසක් ද එවැනි කාල වකවානුවකදී අඩු ආදායම්ලාභීන් බවට පත්වනවා.

මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී විවිධ අභියෝගවලට මුහුණපාන්නට සිදුවීම ද සාමාන්‍ය තත්ත්වයක්. ‘අස්වැසුම’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී සැබෑවට ම ආධාර ලැබිය යුතු අය තෝරාගැනීමේදී අපට විශාල ප්‍රශ්නයකට මැදි වන්නට සිදු වුණා. සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ කර මේ වන විට වසර 30කටත් ආසන්නයි. එහෙත් එහි අවසාන අරමුණ වන, ආධාර ලබන්නා ශක්තිමත් ආර්ථිකයක් ඇති අයකු බවට පත් කිරීමේ ප්‍රතිශතය තිබෙන්නේ ඉතාම අවම මට්ටමක. එයින් අදහස් වන්නේ ව්‍යාපෘතිය අසමත් බවක් නොවෙයි. සමෘද්ධි ව්‍යාපාරයෙන් විශාල සේවයක් සිදු ව තිබෙනවා. එහෙත් එහි අවසාන ඉලක්කය ළඟා කරගැනීම සම්බන්ධයෙන් නැවතත් සිතා බලන්නට වනවා.

ලෝක බැංකු වාර්තාවේ සඳහන් වන්නේ දේශපාලනීකරණය වීමෙන් 20%කට වැඩි නුසුදුස්සන් සංඛ්‍යාවක් සමෘද්ධි දීමනා ලබාගන්නා බව. ඒ නිසා ම අලු‍තින් ‘අස්වැසුම’ හඳුන්වා දීමේදී සැබෑ ම සුදුස්සන් තෝරා ගන්නේ කෙසේ ද? යන කාරණය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් පැන නැගුණා. 2002 සමාජ සුභ සාධන පනතේ වගන්ති දෙකක පැහැදිලි ව සඳහන් වනවා යමකුට සහනාධාර ලබාදීමට තොරතුරු රැස් කරන පුද්ගලයාත් තොරතුරු ලබාදෙන පුද්ගලයාත් එම තොරතුරු පිළිබඳ වගකීමට බැඳී සිටින බව. එහෙත් මේ වගකීම ගැනීමට රාජ්‍ය නිලධාරීන් කැමැති නොවූ නිසා ම අපට සිදු වූයේ වෙනත් ස්වේච්ඡා කණ්ඩායම් යොදාගෙන තොරතුරු රැස්කිරීමට. මේ අලු‍ත් ක්‍රමයත් සමග ‘අස්වැසුම’ ලබාදීමට සුදුස්සන් තෝරාගැනීමේදී තවදුරටත් ප්‍රායෝගික ව උත්තර සෙවිය යුතු කාරණා රැසක් මතු වුණා. එවැනි කාරණා ක්‍රමයෙන් නිරාකරණය කරගෙනයි ඉදිරියට යන්නේ. අප මේ මුහුණ දෙන්නේ අවුරුදු 30ක් පවත්වාගෙන පැමිණි ක්‍රමයක් වෙනස් කිරීමට යන තත්ත්වයකට. ඒ අනුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ප්‍රායෝගික සංකීර්ණතාවලට පිළිතුරු සොයමින් අස්වැසුමේ ඇතැම් තැන් නිවැරදි කරමින් සිටිනවා.

සහල් බෙදාදීම සඳහා තෝරාගත් පවුල් ලක්ෂ 32න් ඉකුත් අප්‍රේල් මස අවසන් වන විට ලක්ෂ 22කට වැඩි සංඛ්‍යාවකට සහල් කිලෝ 10 බැගින් පළමු වටයේ සහල් ලබාදීම අවසන්. ස්ථාන කිහිපයක පාරිභෝජනයට නුසුදුසු සහල් ලබාදුන් බවට පැමිණිලි ඉදිරිපත් වී තිබුණත් ඒවා සැලකිය හැක්කේ ග්‍රාම සේවක වසම් 14 000ක සහල් බෙදන විට ඇතිවන ප්‍රායෝගික ගැටලු‍ වශයෙන්. රජය මෙතෙක් සද්භාවයෙන් කළ මේ කාර්යයේදී යමකු නොසැලකිල්ලෙන් ක්‍රියා කිරීම හෝ හිතාමතා වංචනික ව ක්‍රියා කිරීමක් සිදු වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් දැඩි පරික්ෂණයක් සිදු කර වැරදිකරුවන්ට දඩුවම් ලබාදීමට මෙන් ම යම් අයකුට නුසුදුසු සහල් ලැබී ඇත්තනම් වහා ම සුදුසු සහල් ලබාදීමටත් තීරණය කර තිබෙනවා.

කනගාටුවට කරුණ නම් පවුල් ලක්ෂ 22කට සහල් බෙදා දීම පසෙක තිබියදී ස්ථාන කිහිපයක ඇති වූ ගැටලු‍ සහගත තත්ත්වය පමණක් සමාජයේ කතාබහට ලක් ව තිබීම. මෙවැනි අභියෝගවලට ද මුහුණදෙමින් අප මේ ගමන යන්නේ.
සහනාධාර වැඩසටහන් ඔස්සේ රටේ ජනතාවට ලැබෙන්නේ ඉතා ම සෘජු ප්‍රතිලාභයක්. රටේ ආර්ථිකය 2022 වසරේදී 7%කට වැඩිය සෘණ ආර්ථිකයක් බවට පත් වුණා. අවසාන කාර්තුවේ පැවතියේ 12%කට වැඩි සෘණ ආර්ථිකයක්. එනම් සෑම කෙනකුගේ ම ක්‍රය ශක්තිය, පාරිභෝජනය, නිෂ්පාදනය විශාල වශයෙන් අඩු වුණා. සමස්ත සමාජයේ මේ තත්ත්වය 12%කින් අඩු වන විට අඩු ආදායම්ලාභියාගේ 50%ක් පමණ අඩු වන්නටත් පුළුවන්. රජයක් වශයෙන් අප ඔවුන් ජීවත් කරවිය යුතුයි. ‘අස්වැසුම’ වැනි වැඩසටහන් වහා වහා ක්‍රියාත්මක කළේ ඒ සඳහා.

2023 වසරේදී ‘අස්වැසුම’ ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුවෙන් ආධාර ලැබුණත් 2024 වසරේදී ආධාර ලැබුණේ නැහැ. එහෙත් කෙසේ හෝ අප එම ව්‍යාපෘතිය පවත්වාගෙන යා යුතුයි. මේ සහනාධාර ව්‍යාපෘති පවත්වාගෙන යන්නේ බොහෝ බාධක, අභියෝග මැද බව පැහැදිලියි. විශේෂයෙන් රටේ පවතින ආර්ථිකයත් සමග මේ වැඩසටහන්වලට මුදල් වෙන්කිරීම ම එක්තරා අභියෝගයක්. ලැබෙන ආදායම්, වියදම් කිරීම සම්බන්ධයෙන් පෙරට වඩා හොඳ අනුපිළිවෙළක් සහ මූල්‍ය කළමනාකරණයක් අපට තිබෙනවා. එහිදී අඩු ආදායම්ලාභී ජනතාවට මූලික ව ජීවත් වීමේ අයිතිය ලබාදීමට මුදල් වෙන් කිරීම අප සලකන්නේ ප්‍රමුඛ කාර්යයක් ලෙස. ඒ ආකාරයෙන් රටට ලැබෙන මුදල් ප්‍රවාහ වියදම් කිරීමේදී ප්‍රමුඛතාව දිය යුතු පිළිවෙළ අප හොඳින් හඳුනාගෙන සිටින නිසා අර්බුදයක් ඇති නොවන අයුරින් ක්‍රියා කරන්නට පුළුවන්.

මේ ව්‍යාපෘති සැලසුම් කර තිබෙන්නේ ඉදිරි වසර 3කට. වසරින් වසර මේවා සම්බන්ධයෙන් සමාලෝචනයක් ද සිදු කෙරෙනවා. එම සමාලෝචනයේදී සලකා බැලෙන්නේ මේ වැඩසටහන් කොතෙක්දුරට පවත්වාගෙන යා යුතු ද යන්න. මීට සමගාමී ව අප බලාපොරොත්තු වන්නේ සමෘද්ධි ව්‍යාපාරය ඔස්සේ ජීවනෝපාය සංවර්ධනය ද ඇති කිරීමට. සහනාධාර ලබාදීමෙන් පමණක් සෑහීමකට පත් වන්නට බැහැ. සමෘද්ධි ව්‍යාපාරය විශාල සමාජ සම්බන්ධතාවක් සහිත දැවැන්ත ව්‍යාපාරයක්. විශාල අත්දැකීම් සම්භාරයක් ඇති නිලධාරින් ඊට අනුයුක්ත ව සිටිනවා. අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය සම්බන්ධයෙන් ද එම ව්‍යාපෘතියට පැවරී තිබෙන්නේ කරහැරිය නොහැකි වගකීමක්. ඒ අනුව එක් අංශයකින් සහනාධාර ලබාදෙමින් ජනතාව ජීවත් කරවන අතර තවත් අංශයකින් සහනාධාරලාභීන් යම්කිසි සාධාරණ කාලයකදී ඔවුන් විසින් ම යම්කිසි සැලකිය යුතු අදායමක් උපයාගත හැකි පිරිසක් බවට පත්කිරීමට අවශ්‍ය මග පෙන්වීම, පහසුකම්, තාක්ෂණය, ආධාර, අවශ්‍ය වෙළඳපොළ සොයා දීම සමෘද්ධිය නම් ඒ දැවැන්ත ව්‍යාපෘතිය ඔස්සේ ක්‍රියාත්මක කිරීමයි රජයේ සැලසුම. එනම් ක්‍රමානුකූල ව මෙවැනි සහනාධාර අවශ්‍ය නොවන සමාජයක් නිර්මාණය කරගැනීම රජයේ ඉලක්කයයි. එය දිනකින්, මාසයකින් හෝ අවුරුද්දකින් කළ හැකි දෙයක් නොවෙයි. එහෙත් අප මේ ගමන යන්නේ එවැනි පැහැදිලි ඉලක්කයක් සමග.