#ක්‍රීඩා

ක්‍රීඩා සාහිත්‍යය දියුණු නොවී ක්‍රීඩාව දියුණු කරන්න බැහැ

  • සුමිත් මායාදුන්නේ

හතළිස් වසරකට වැඩි කාලයක් ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැළෙන ප්‍රවීන මාධ්‍යවේදියකු වන සරත් ජයසිංහ විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ ලේඛකයෙකි. ඔහු වර්තමානයේ කැපී පෙනුණේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ පොතපත නිර්මාණයට ය. ඔහු විසින් රචිත ක්‍රීඩා කෘති 14න් 12ක් ම ක්‍රිකට් පිළිබඳවයි. ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය, ශ්‍රී ලංකාවේ එක් දින ක්‍රිකට් පුරාණය, ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසය, ශ්‍රී ලංකා පිලේ දස්කම්, ක්‍රිකට් අයි.කිව් මැන බලන්න ආදී කෘති ඔහු රචනා කළේ ය. මේ, ඔහුගේ නවතම කෘතිය වන ‘සුපිරි ක්‍රීඩකයන්ගේ සුපිරි ඉනිම්’ පිළිබඳ හා ක්‍රීඩා සාහිත්‍යය පිළිබඳ ඔහු සමග කරන ලද සාකච්ඡාවකි.

ප්‍රශ්නය: ඔබ වැඩිපුර ම රචනා කර ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ කෘති. මෑතක රචනා කළ ‘සුපිරි ක්‍රීඩකයන්ගේ සුපිරි ඉනිම්’ විශාල වෙහෙසක් දරා රචනා කරන ලද්දක් බව පෙනෙනවා. ක්‍රිකට් ක්ෂේත්‍රයට ඔබේ ඉලක්කය යොමු කර ඇත්තේ ඇයි?

පිළිතුර: වර්තමානයේ ක්‍රීඩාලෝලීන් විශාල පිරිසක් වැළඳගෙන තිබෙන්නේ ක්‍රිකට්. මෙරට ක්‍රිකට් ඉතිහාසය හා එහි සුවිශේෂ අවස්ථා පිළිබඳ ක්‍රීඩාලෝලීන් කියවීමට හා තොරතුරු එක් රැස් කිරීමට වැඩි කැමැත්තක් දක්වනවා. මේ ඉතිහාසය ග්‍රන්ථාරූඪ කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව මා කල්පනා කළා. එක් දින මෙන් ම ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය, ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසය, විස්සයි20 ඉතිහාසය ආදී වශයෙන් ක්‍රිකට් ක්ෂේත්‍රයේ අතීතය මා ලියා අවසන්. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට දායක වූ හිටපු අමාත්‍ය ගාමිණි දිසානායක මහතාගේ අනුස්මරණ උපහාර ග්‍රන්ථය ලෙස ‘ශ්‍රි ලංකා එක්දින පුරාණය’ පිටු 1640කින් යුත් ක්‍රිකට් පිළිබඳ විශාල ම ග්‍රන්ථය වශයෙන් 2021 වසරේදී නිකුත් කළා.

ක්‍රිකට් ක්‍රීඩාව රටේ මෙතරම් ජනප්‍රිය වුණේ එකල ගුවන්විදුලි ක්‍රිකට් විචාරය නිසයි. ප්‍රේමසර ඈපාසිංහ, පාලිත පෙරේරා වැනි දක්ෂ ක්‍රිකට් විචාරක නිවේදකයන් මේ කර්තව්‍යය ඉහළින් ම ඉටු කළා. ඔවුන්ගේ විස්තර විචාරය ශ්‍රාවකයන්ගේ මනසේ ක්‍රිකට් තරගය චිත්‍රණය කිරීමට සමත් වුණා. ඊට පසු දින පුවත්පත්වල ක්‍රීඩා පිටුවෙන් ඡායාරූප සහිත ව විස්තර පාඨකයන් කියෙව්වා. රූපවාහිනිය පැමිණීමත් සමග සජීවී ව ක්‍රිකට් තරග නැරඹීමට ප්‍රේක්ෂකයන් යොමු වුණත් මෙහි ඉතිහාසය, වර්තමානය, ක්‍රීඩකයන්ගේ දස්කම් විස්කම් ග්‍රන්ථාරූඪ කිරීමෙන් සංරක්ෂිත ව කාලයක් පවතිනවා. දැනුම සහ තොරතුරු එක් රැස්වීමක් කෘතියකින් සිදු වනවා. මෙය සාහිත්‍යක් ගොඩනැගීමක්.

‘සුපිරි ක්‍රීඩකයන්ගේ සුපිරි ඉනිම්’ කෘතිය ලිවීමට මුලින් ම සිතුවිල්ල පහළ වුණේ 2019 වසරේදී. ‘ශ්‍රී ලංකාවේ එක් දින ක්‍රිකට් පුරාණය’ රචනා කරන අතරතුර අපේ ක්‍රීඩකයන්ගේ සැමරුම් වාර්තා විශාල සංඛ්‍යාවක් හමු වුණා. මා කල්පනා කළා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මොනතරම් ප්‍රතාපවත් චරිත හමුවනවා ද? කියලා. ඕස්ටේ්‍රලියාවේ සර් ඩොනල්ඩ් බැඩ්මන්ගේ විස්තර සොයා යන විට මට තේරුණා මොනතරම් තොරතුරු අපේ ක්‍රීඩාලෝලින්ට ලබා දෙන්නට පුළුවන් ද කියලා. ඒ අනුවයි මේ කෘතිය නිර්මාණය වුණේ. මෙහි ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන් 28 දෙනකු පිළිබඳ රචනා කළා. ඊට ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය, මාවන් අතපත්තු, කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන, චමින්ද වාස්, මුත්තයියා මුරලිදරම්, සිදත් වෙත්තමුණි, අරවින්ද ද සිල්වා යන ක්‍රිකට් ක්‍රීඩකයන් 8 දෙනකුගේ දස්කම් එක්කොට තිබෙනවා. ඔවුන්ගේ විශිෂ්ටතම ඉනිම අධ්‍යයනය කර විශ්ලේෂණය කර තිබෙනවා.

ප්‍රශ්නය: වර්තමාන ලේඛකයන් ක්‍රීඩා පොතපත ලීවීමට මැලිකමක් දක්වන බවත් පෙනෙනවා. ඔබේ මතය කුමක්ද?

පිළිතුර: ලේඛකයන්ට ප්‍රකාශකයන්ගේ අතදීම ප්‍රමාණවත් නැහැ. ක්‍රීඩා පිළිබඳ පොතක් ලිව්වොත් එය පළ කිරීමට ඔවුන් එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. රාජ්‍ය මට්ටමින් හෝ අතහිතදීමක්, අගැයීමක් නැහැ. ලේඛකයන් ක්‍රීඩා පොතපත ලියන්නට උනන්දුවක් නැහැ. වර්තමානයේ තාක්ෂණය ඉහළින් ම පවතිනවා. ක්‍රීඩා සම්බන්ධ ව මාතෘකා ඕනෑතරම් තිබෙනවා. මගේ කෘතිය ඊට නිදසුන්. චරිත පිළිබඳ වෙන වෙන ම පොත් ලියන්නට පුළුවන්. ඒවා සාහිත්‍යයට එකතු කරගන්නට පුළුවන්. වැටී වැටී නැගිටපු ක්‍රීඩකයන් පිළිබඳ කියවන නවක ක්‍රීඩකයකුට තමන්ට ඉදිරියට යාමට අවශ්‍ය ධෛර්යය, ශක්තිය එයින් ලැබෙනවා. අපේ ප්‍රථම ටෙස්ට් ශතකලාභියා සිදත් වෙත්තමුණි. ඔහු විශාල කැපකීරීමක් කළා. අනෙක් ක්‍රීඩකයනුත් දුෂ්කර ගමනක් පැමිණීමෙන් පසුවයි ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමානයට පත් වුණේ. එය මේ පොතෙන් මා මතු කර තිබෙනවා. මෙය කියවන අධුනික ක්‍රීඩකයකුට මමත් අසවල් ක්‍රීඩකයා වාගේ බැට් කරනවා. පන්දු යවනවා, කඩුලු රකිනවා කියන හැගීමක්, උනන්දුවක්, අධිෂ්ඨානයක් ඇතිකර ගන්න පුළුවන්. අපේ ක්‍රීඩකයන් 08 දෙනාගේ හොඳම ඉනිම කුමක්ද යන්න තේරුවේ මම නොවෙයි. ඔවුන්මයි.

අපේ ලේඛකයන් මීට වඩා කැපවීමක්, ගවේෂණයක්, තොරතුරු රැස් කිරීමක් කරමින් දැනුම එකතු කර ගන්න අවශ්‍යයි. එසේ නොමැති ව පොතක් රචනා කරන්නට බැහැ. වර්තමාන ක්‍රීඩා සාහිත්‍යය වල්බිහිවුණු පුරන් කෙතක් හා සමානයි. ක්‍රීඩා සාහිත්‍යය පවතින්නේ නිද්‍රාශීලි මට්ටමක.

ප්‍රශ්නය: මේ තත්ත්වයෙන් මීදීමට ඔබ කරන යෝජනා මොනවාද?

පිළිතුර: මෙතෙක් කිසිම ආණ්ඩුවක් ක්‍රීඩා සාහිත්‍යයක් නගා සිටුවීමට අත්වැලක් සපයා නැහැ. රාජ්‍ය අනුග්‍රහය ලබා දිය යුතුයි. සාහිත්‍ය උත්සවයේදී ක්‍රීඩා සාහිත්‍යය වෙනුවෙන් සම්මානයක් තබා සඳහනක්වත් නැහැ. විද්‍යා සාහිත්‍යයේත් තත්ත්වය මෙයයි. නිර්මාණය වී තිබෙන්නේ ක්‍රීඩා ලේඛකයන් පමණක් නොව සමස්ත ලේඛකයන් ම අධෛර්යයට පත්වන පරිසරයක්. පොතේ මිලෙන් 40%-45%ක් පොත් සාප්පුවට දෙන විට ලේඛකයාට දෙන්නේ 10%ක් වැනි සොච්චම් මුදලක්. කොහොමද ලේඛකයෙක් ගොඩ එන්නේ ? පොතක් නොවෙයි පොත් 50ක් ලිව්වත් ලේඛකයා එක ම තැන සිටින්නේ ඒ නිසයි. මේ අසරණකමින් ගොඩගැනීමට රාජ්‍ය අනුග්‍රහය ලැබීම අවශ්‍ය වන්නේ මේ නිසයි. ක්‍රීඩා සාහිත්‍යයක පිබීදීමක් නැති විට ක්‍රීඩා ක්ෂේත්‍රය දියුණු වන්නේ නැහැ.

ප්‍රශ්නය: විදේශ ක්‍රීඩා සාහිත්‍යය ව්‍යාප්ත වී තිබෙන ආකාරය පැහැදිලි කළොත්?

පිළිතුර: ඉන්දියාව, ජර්මනිය, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ටේ්‍රලියාව, නවසීලන්තය, නෙදර්ලන්තය වැනි රටවල ක්‍රීඩා සාහිත්‍යයේ පිබිදීම ඉතා ඉහළයි. සෑම වසරක ම ක්‍රිකට් පමණක් නොවෙයි විවිධ ක්‍රීඩා ක්ෂේත්‍ර පිළිබඳ කෘති බිහි වනවා. ඒ රටවල එවැනි ලේඛකයන්ට රාජ්‍ය මට්ටමින් අනුග්‍රහය ලබා දෙනවා මෙන් ම එම පොත්පත් ජාත්‍යන්තර පොත් වෙළෙඳපොළට පැමිණෙනවා. ක්‍රීඩකයන් පිළිබඳ ජාත්‍යන්තර අවධානය පවා යොමු වනවා.

‘සුපිරි ක්‍රීඩකයන්ගේ සුපිරි ඉනිම්’ පොත ඉංග්‍රීසියට පරිවර්තනය කර ජාත්‍යන්තර පොත් වෙළෙඳපොළට යැවීම ඉදිරියේදී සිදු වේවි. ඒ ඔස්සේ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රිඩකයන් 8 දෙනා ලෝකයේ ම සංරක්ෂණය වීම කොතරම් වැදගත් ද? ක්‍රීඩා සාහිත්‍යක අවශ්‍යතාව මෙයින් මනාව තහවුරු වනවා.

ක්‍රීඩාව ගැන පමණක් ම නොවෙයි ක්‍රීඩකයන්ගේ චරිත කතා, ඔවුන්ගේ ජයග්‍රහාහී ගමන සහ කරන ලද කැපවීම්, මතක සටහන්, අත්දැකීම් ආදී වශයෙන් ක්‍රීඩකයන් හා බැදුණු අපූරු සාහිත්‍යයක් ලෝකයේ නිර්මාණය වී තිබෙනවා. මෙය ජනතාව අතරට ගෙනයාමයි වැදගත්.