#පරිසර

සාමය සඳහා ජලය

  • කාංචනා සිරිවර්ධන

ජලය, ජීවයේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයකි. සෑම වසරක ම මාර්තු 22 ‘ලෝක ජල දිනය’ ලෙස එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත්තේ ද ජල සම්පතෙහි ඇති වැදගත්කම හේතුවෙනි. ලෝක ජල දිනයක් පිළිබඳ සමාරම්භක අදහස් හා යෝජනා ඉදිරිපත් වී ඇත්තේ 1992දී බ්‍රසීලයේ රියෝ ද ජෙනයිරෝහි පැවැති එක්සත් ජාතීන්ගේ පරිසරය හා ප්‍රවර්ධනය පිළිබඳ අන්තර්ජාතික සම්මේලනයේදී ය. 1993 පැවැති එක්සත් ජාතීන්ගේ ඇගයීම් හා තාක්ෂණ කමිටු අනුමැතියෙන් අනතුරු ව එම වසරේ සිට සෑම වසරක ම මාර්තු 22 දින ලෝක ජල දින සැමරුම ප්‍රධාන ගෝලීය ක්‍රියාකාරකමක් ලෙස පැවත එයි.

මෙවර ලෝක ජල දිනය සැමරුවේ ‘සාමය සඳහා ජලය’ යන්න තේමා කර ගනිමිනි. ජලය ලොව මානව වර්ගයා අතර යුද්ධයටත් සාමයටත් තුඩු දුන් අවස්ථා කොතෙකුත් ඇත. එහි ප්‍රබලත්වය වටහා ගනිමින් මෙවර ලෝක ජල දිනය මෙවැනි තේමාවක් ඔස්සේ සැමරුණු අතර ඒ වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර සංවිධාන, රාජ්‍ය හා පුද්ගලික ආයතන පියවර ගෙන තිබුණි.

ජල හිඟකම මිනිසාගේ අවිධිමත් ජල කළමනාකරණය හේතුවෙන් උද්ගත වී ඇති ප්‍රබල ගැටලු‍වකි. මේ හේතුවෙන් ලෝක ප්‍රජාව දේශගුණ විපර්යාසවලට ද නිරතුරු ව මුහුණ දෙයි. පෘථිවි ගෝලයෙන් 70%ක් පමණ ජලයෙන් වැසී තිබේ. එහෙත් ගැටලු‍ව වන්නේ ඉන් මිරිදිය ජලය ලෙස ඇත්තේ 3%ක පමණ ප්‍රතිශතයක් වීම ය. ඉතිරි 97% පවතින්නේ සාගර ජලය ලෙසිනි. මේ නිසා ම දුර්ලභ සම්පතක් ලෙස හඳුනාගත හැකි පානීය ජලය පවතින්නේ 1.2%කටත් අඩු ප්‍රමාණයකි. මේ වන විට ලෝකයේ බිලියන 2.2ක පමණ ජනතාව පානීය ජල හිඟය හේතුවෙන් පීඩාවට පත් ව සිටී. ලෝක ජනතාවගෙන් බිලියන 3ක් පමණ දේශසීමාව හරහා ජලය බෙදා ගැනීමේ ගැටලු‍වලට මැදි ව සිටී.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ලෝක ජල දිනය සැමරීම සඳහා ප්‍රධාන අරමුණු දෙකක් ප්‍රකාශයට පත්කොට ඇත. ජල සම්පත් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නිර්දේශ හා නිශ්චිත ක්‍රියාකාරකම් ඉටු කිරීමත් තීරණාත්මක ජල ගැටලු‍ව පිළිබඳ ව ලෝක ජනතාවගේ අවධානය දිනා ගැනීම සහ ඊට අයත් නිශ්චිත ක්‍රියාකාරකම ඉටු කිරීමත් එම අරමුණු ය. මේ අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා ශ්‍රී ලංකාව රාජ්‍ය මැදිහත්වීම් සහිත ව විවිධ ක්‍රියාකාරකම් සිදු කරන අතර ‘දුම්බර කඳුකරය වෙනුවෙන් වන නියමු ව්‍යාපෘතිය’ ද ඉන් එකකි.

ශ්‍රී ලංකාව වර්ෂාපතනය අතින් පොහොසත් ය. විවිධ දේශගුණික කලාපවලින් පරිපූර්ණ ය. එසේ වුවත් ගෝලීය උණුසුම හමුවේ සෙසු රටවල් මෙන් ම ශ්‍රී ලංකාව ද ක්‍රම ක්‍රමයෙන් ජලය පිළිබඳ ගැටලු‍වලට මුහුණදෙමින් සිටින බවක් පැහැදිලි ව පෙනෙන්නට තිබේ. විශේෂයෙන් පානීය ජල ප්‍රශ්නය දිවයිනේ විවිධ පළාත්වල පවතින උග්‍ර ගැටලු‍වකි. විද්‍යාඥයන් පුරෝකථනය කර ඇත්තේ ඉදිරියේදී මේ ගැටලු‍ තවදුරටත් උග්‍ර අතට හැරෙන බව ය. මිනිසාගේ එදිනෙදා ජන ජීවිතය, කෘෂිකර්මාන්තය, කර්මාන්ත, සනීපාරක්ෂාව, සෞඛ්‍ය, විනෝදාස්වාදය පමණක් නොව ජෛව විවිධත්වයේ පැවැත්ම හා සංරක්ෂණය වැනි විෂය රැසක් මත ජල සම්පත දැඩි ව බලපෑම් එල්ල කරයි. එබැවින් ජල සම්පත සම්බන්ධයෙන් පැනනගින ගැටලු‍ ජීවය කෙරෙහි සෘජු ව බලපාන බව නොරහසකි.

මෙවැනි පසුබිමක ජෛව විවිධත්වය, භූමි දර්ශන ආදියෙන් ඉතා පොහොසත් වනවා සේ ම ජල පෝෂක ලෙස ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන දුම්බර කඳු පංතියෙහි වටිනාකම වඩාත් ඉස්මතු ව පෙනේ. මහවැලි ව්‍යාපාරයට අයත් ජලාශවල ජල ප්‍රමාණයෙන් 30%ක් සෘජු ව ම ජනනය වන්නේ දුම්බර කඳුකර කලාපය ආශ්‍රිත ව ය.

දුම්බර කඳුකරයේ ජල පෝෂක කෙරෙහි අවදානම් සහිත ගංගා ද්‍රෝනිවල පදිංචි ගොවියන් සහ කෘෂිකාර්මික වගාකරුවන් වෙත ප්‍රතිලාභ ප්‍රදානය කිරීමෙන් දේශගුණ විපර්යාස අවම කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් ක්‍රියාත්මක කිරීමට වාරිමාර්ග අමාත්‍යාංශය සූදානම් ව සිටි. මේ පිළිබඳ අදහස් දක්වන වාරිමාර්ග අමාත්‍යාංශයේ දුම්බර හරිත සවිබල ගැන්වීම් ව්‍යාපෘතියේ ව්‍යාපෘති උපදේශක සමන්ත ගුණසේකර; “මේ ව්‍යාපෘතිය සඳහා ප්‍රතිපාදන ලබා දෙන්නේ ‘හරිත දේශගුණික අරමුදල’. ‘කෘෂි වන විද්‍යා පිළිබඳ පර්යේෂණ සඳහා ජාත්‍යන්තර මධ්‍යස්ථානය’ සහ ‘ලෝක සංරක්ෂණ සංගමය’ යන ආයතන මේ ව්‍යාපෘතියේ පාර්ශ්වකරුවන්. මේ ඔස්සේ දුම්බර කඳුවැටියෙහි ඉහළ ජල පෝෂක ප්‍රදේශ මෙන් ම පහළ නිම්නවල පදිංචි මිලියන 1.34ක පමණ ජනතාව, ජලපෝෂක සුරක්ෂිත කිරීම වෙනුවෙන් සහභාගි කරවා ගැනීමටත් එහි ප්‍රතිලාභ ජනතාවට ලැබීමට සැලැස්වීමටත් සැලසුම් කර තිබෙනවා.”

ව්‍යාපෘතියෙහි සැලසුම් කර ඇති කාර්ය අතරට කඳුකරයේ ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීම සඳහා ඇළදොළ ගංගා දෙපස ඉවුරු මෙන් ම මග දෙපස ජල මාර්ගවල ඉවුරු සුරක්ෂිත කිරීම, ගම්වල ඇති කුඩා වැව් සහ පොකුණු ආශ්‍රිත වාරිමාර්ග පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීම, ස්වාභාවික වනාන්තරයේ ආකෘතිය මුල් අයුරින් ප්‍රතිස්ථාපනය කිරීම, කුඩා පරිමාණ නිෂ්පාදනවල තිරසර පැවැත්ම තහවුරු කිරීම, කෘෂිකාර්මික වගා තිරසර ආකාරයෙන් පවත්වා ගැනීම, ග්‍රාමිය නිෂ්පාදන සඳහා නිසි වෙළෙඳපොළ දාමයක් තිරසර ව පවත්වා ගැනීම, භූමි පරිහරණ සැලසුම් ගංගා මට්ටමෙන් සමායෝජනය, දේශගුණ විපර්යාසවලට අනුගත වීම හා වෙළෙඳපොළ තොරතුරු වැනි විෂයන් සඳහා තොරතුරු ජාලයක් නිර්මාණය කිරීම අයත් ය. රාජ්‍ය නිලධාරින් සහ ගොවියන් මෙන් ම මහජනතාව ද දැනුවත් කිරීම හා අධ්‍යාපනය ලබාදීමත් සුවිශේෂ කාර්යයකි.

වාරිමාර්ග අමාත්‍යාංශයේ දුම්බර හරිත සවිබල ගැන්වීම් ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ අතිරේක ලේකම් (ඉඩම් හා නීති) චන්දිකා ඇතුගල සඳහන් කරන්නේ ජලය සහ ජල කර්මාන්ත ආශ්‍රිත ව ආර්ථික සහ සංස්කෘතික පෙළ ගැස්සවීම් බහුල රටක් වන ශ්‍රී ලංකාව නූතන දේශගුණ විපර්යාස හමුවේ මුහුණ පා සිටින ස්වාභාවික තර්ජන අතර ජල හිමිකම් විෂමතාව, පානීය ජල ඌනතාව, භූගත ජල හිඟකම, ජල පෝෂක ප්‍රදේශ හායනය හා ජල දූෂණය ප්‍රමුඛ වන බවයි. මේ නිසා ශ්‍රී ලංකාව හමුවේ පවතින්නේ නිසි අවධානය යොමු කිරීම සහ නිසි ක්‍රියාමාර්ග ගැනීමෙන් මෙවැනි තර්ජනවලට සාර්ථක ව මුහුණ දීමට අවශ්‍ය කාලීන විසඳුම් ලබාගැනීමේ ප්‍රබල අභියෝගයයි.

වසර 6ක් තිස්සේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරෙන මේ ව්‍යාපෘතියේ අවසාන ඉලක්කය වන්නේ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමෙන් දුම්බර කඳු පංතියේ ඇති ජල පෝෂක සංරක්ෂණ කටයුතු ශක්තිමත් කිරීමත් එමගින් ගෝලීය උණුසුම අවම කිරීම කෙරෙහි බලපෑම් ඇති කිරීමත් ය. එබැවින් මෙවැනි ව්‍යෘපාතියක් වෙනුවෙන් උපරිම සහයෝගය ලබාදීම ජාතික වගකීමකි.