#සංවර්ධන

පාරේ යන අලු‍ත් ලකුණ

  • නුවන් කුමාර කටුගම්පල

දිවයින ම ආවරණය වන පරිදි පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට සැහැල්ලු‍ වාහන රියැදුරු බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන් 2024 පෙබරවාරි 05 දින පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට මහාමාර්ග, ප්‍රවාහන සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණේ බලපත්‍රය ද්විවාර්ෂික ව අලු‍ත් කිරීමේ, ආබාධ සහිතවූවන්ට විශේෂිත පදනම මත ය. ඒ සඳහා ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් 2022 නොවැම්බර් මස 14 දින අමාත්‍ය මණ්ඩලය ලබා දුන් අනුමැතියට යටත් ව වර්ෂයක කාලයක් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරිණි. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවේ නිර්දේශ අනුව එහි ප්‍රතිඵලවල සාර්ථකත්වය සලකා බලා ලබා දුන් මේ අවස්ථාව මෙරට ශ්‍රවණාබාධිත ජනතාව ලද ජයග්‍රහණයකි.

මේ සඳහා යෝජනාව ඉදිරිපත් කළේ 1980 වර්ෂයේදී ලියාපදිංචි කරන ලද සාමාජිකයන් දෙදහසකින් පමණ සමන්විත ස්වේච්ඡා සංවිධානයක් වන ශ්‍රී ලංකා බිහිරිවූවන්ගේ මධ්‍යම සම්මේලනය (Sri Lanka Central Federation of the deaf)යි. මේ පිළිබඳ පූර්ණ වගකීම පවතින්නේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා වෙත බැවින් බලපත්‍ර ලබා දීම නිර්දේශ කෙරුණේ ඔහුගේ තීරණය අනුව ය. පූර්ණ ශ්‍රවණාබාධිත තැනැත්තන් කායික වශයෙන් යෝග්‍ය නොවන අය බවට වෛද්‍ය අංශ තීරණය කර තිබියදීත් ඔවුන්ගේ මානව හිමිකම් ආරක්ෂා කර දීමට හැකිවීම බලපත්‍ර ලබා දීමෙන් අත්වූ ප්‍රතිලාභයකි. සීමාසහිත ධාවන වේග සහිත ව ආබාධ සහිත අයට ලබාදෙන (Vehicle for Disabled) ගණයට යටත් ව බලපත්‍ර ලියාපදිංචි කෙරේ.

1992 වර්ෂයේදී එවක ජනාධිපති ආර්. ප්‍රේමදාස පූර්ණ ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන් 23 දෙනකුට රියදුරු බලපත්‍ර ලබා දී ඇතත් පසුව අදාළ බලධරයන් විසින් එම ක්‍රමය නතර කරනු ලැබූ බව සම්මේලනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. එහි දැක්වෙන පරිදි බිහිරි ප්‍රජාවට වාහන පැදවීම අවශ්‍ය වීමට ප්‍රධාන හේතු තුනකි. ඔවුන්ට ඔවුන්ගේ ම වාහනයක් පැදවීමට සහ වාහනයක හිමිකම් දැරීම, ස්වයං ව ජීවනෝපායක් සපයා ගැනීම, ලෙඩදුකකදී සහ අනෙකුත් ජීවන අවශ්‍යතාවලදී තමා ම ගමනාගමන පහසුව සලසා ගැනීම ඊට අයත් ය.

මෙහි නියමු ව්‍යාපෘතිය අවසන් කර අදාළ රියදුරු බලපත්‍ර පිරිනමන ලද අතර මීළඟ පුහුණු ව්‍යාපෘතිය කුරුණෑගල දිස්ත්‍රික්කය පාදක ව ක්‍රියාත්මක කෙරෙමින් පවතී. එම දිස්ත්‍රික්කයේ බලපත්‍ර ලැබීමට සුදුසුකම් සපුරන්නන්ට ඒවා ලබා දීමෙන් අනතුරු ව සූදානම් කර ඇති කාලසටහනට අනුකූල ව පොලිස් දෙපාර්තමේන්තුවේ ද පූර්ණ සහයෝගය ඇති ව ක්‍රමික ව මේ ක්‍රියාවලිය ඉදිරියට දියත් කෙරේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (කාර්මික) ටී.එම්.එස්.කේ. තෙන්නකෝන් ප්‍රකාශ කරන පරිදි මෙහි ප්‍රතිඵල ලබන්නේ වසර 20කට අධික අතීතයක් ඇති අඛණ්ඩ ක්‍රියාවලියකිනි. ඔහු: “2002 වර්ෂයේදී ශ්‍රී ලංකා බිහිරිවූවන්ගේ මධ්‍යම සම්මේලනය විසින් කරන ලද ඉල්ලීමකට රජය දැක්වූ ඉතා අගනා ප්‍රතිචාරයක් මෙය. මෙහි ප්‍රයෝජනය ලැබෙන්නේ ශ්‍රවණාධාර උපකරණයක් යොදාගෙනවත් කන් නෑසෙන උදවියට. 2020 වර්ෂයේදී මේ වැඩසටහන කඩිනම් කිරීමේ කාර්යය ආරම්භ කිරීම සිදුවුණේ විෂය භාර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නයන් අතින්.”

මේ බලපත්‍ර අයදුම්කරුවන් සාමාන්‍ය රියදුරු බලපත්‍ර අයදුම්කරුවන්ගෙන් සපුරා වෙනස් ය. එවැනි පසුබිමක ඔවුන් පුහුණු කිරීම සහ නියාමනය කිරීමත් ආරක්ෂාව සහතික කිරීමත් පහසු කාර්යයක් නොවේ. මේ පිළිබඳ අදහස් දක්වන සහකාර කොමසාරිස්වරයා: “අයදුම්කරුවන්ට ලබා දුන් න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුවේදී රියදුරු වෘත්තියට සහ වාහන පාවිච්චියට අදාළ තාක්ෂණික යෙදුම් අලු‍තින් ඔවුන්ගේ සංකේතමය භාෂාවට පරිවර්තනය කර ඊට අවශ්‍ය පුහුණුව ලබා දෙන්නටත් අප ක්‍රියා කළා. ඇතැමුන්ට ලේඛන හැකියාව නැති නිසා ඇගයීම් පරීක්ෂණ ලිඛිත සහ වාචික යන ක්‍රම දෙකෙන් ම පැවැත්වීමට සිදු වුණා. පුහුණුව සහ පරීක්ෂණ සැසි ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ වේරහැර පුහුණු පාසල යොදාගෙනයි සිදු කළේ. රක්ෂණ ආයතනත් ආරක්ෂක අංශත් සම්බන්ධීකරණය කිරීම, විශේෂ ලාංඡනය සහිත ස්ටීකරය නිර්මාණය කර මුද්‍රණය කිරීම සහ වැඩපිළිවෙළ සමාජගත වූ පසු ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ බලත්‍රලාභීන් මෙන් ම සමාජය ද දැනුවත් කළා. ඒ සඳහා සියලු පාර්ශ්වවල නොමඳ සහයෝගය හිමි වුණා.’

පුහුණුවෙන් පසු පැවැත්වූ පරීක්ෂණ විභාගයෙන් සමත් වීම ඔවුන්ට ද අනිවාර්ය ය. විභාගය සමත් වීමෙන් පසු නැවත ප්‍රායෝගික පුහුණුවීම් සිදුකර පුහුණුවන රක්ෂණ සහතිකයක් (Lerner Insurance Permit) ලබා ගත යුතු ය. L පුවරුවක් සහිත තෙමසක පමණ කාලයක් මහමග රිය ධාවනය පුහුණු වන ඔවුන්ට ප්‍රායෝගික පරීක්ෂාවෙන් (Trial) පසුව සුදුසුකම් සලකා බලා බලපත්‍ර ලබා දෙයි.

පූර්ණ ශ්‍රව්‍යාබාධිත පුද්ගලයකු රියදුරු බලපත්‍රක් ලබා ගැනීම සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා කිහිපයකි. සම්මේලනයේ සාමාජිකත්වය ලබා ගත් පසු නිකුත් කරන හැඳුනුම්පත ලබා තිබීම අනිවාර්ය වේ. ඊට හේතුව වන්නේ අදාළ භාෂාව භාවිත කිරීමේ වගකීම්සහගත පුහුණුව ලබා ඇත්තේ එහි සාමාජිකයන් පමණක් වන නිසා සහ වාහනයක් පදවනවානම් එම භාෂාව පාවිච්චි කිරීමට දැන සිටීම අනිවාර්ය වන නිසා ය. ඔවුන්ට වීඩියෝ රූපරාමු ප්‍රදර්ශනය කළ හැකි භාෂා පරිවර්තකයකුගේ දුරකතන අංක සහිත සුහුරු දුරකතනයක් තිබිය යුතු ය. ඒ, යම් හදිසි අවස්ථාවකදී අදාළ බාහිර පාර්ශ්වවලට රියදුරු සමග ඍජුවත් ක්ෂණිකවත් අවශ්‍ය පියවර ගැනීමට භාෂා පරිවර්තක සමග සාකච්ඡා කර බලපත්‍රලාභියාගේ අදහස් සන්නිවේදනය කර ගැනීමට පහසු විය යුතු නිසා ය. අයදුම්කරුට අදාළ සංකේත භාෂාව හොඳින් භාවිත කළ හැකි බවට බිහිරිවූවන්ගේ පාසලින් ලබා ගත් ප්‍රවීණතා සහතිකයක් තිබිය යුතු ය. හදිසි අවස්ථාවකදී දැනුම් දිය හැකි වන පරිදි භාරකරුවකුගේ දුරකතන අංකයක්, ලිපිනයක් සහ හැඳුනුම්පත් අංකයක් තිබිය යුතු ය. බලපත්‍රලාභියා පදවන වාහනය තමන්ගේ නමින් ම ලියාපදිංචි කර තිබිය යුතු අතර එහි ඉදිරිපස, පිටුපස සහ දෙපසත් යතුරුපැදියක් පදවන්නේ නම් එහි පැතිවලට අමතර ව පදවන්නාගේ ආරක්ෂිත හිස් වැස්ම (Helmet) පිටුපස සහ කබායේ (Jacket) ඉදිරි සහ පසු දෙපස ද විශේෂිත ලාංඡනය සහිත ස්ටිකර් අලවා තිබිය යුතු ය. ලියාපදිංචි සහතිකයේ පැදවිය යුතු උපරිම වේගය සඳහන් විය යුතු වීමත් එම වාහනයේ කුලී පදනම මත භාණ්ඩ සහ මගීන් ප්‍රවාහනය නොකළ යුතු වීමත් පදවන වාහනය මෝටර් කාර්, ට්‍රයිසිකල් සහ සැහැල්ලු‍ යතුරුපැදි යන වර්ගීකරණවලින් එකක් පමණක් විය යුතු වීමත් අනෙකුත් අවශ්‍යතා වේ.

ඇතැම් විදෙස් රටවල මේ ක්‍රියාවලිය මීට වඩා ලිහිල් ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක වන අතර ඇතැම් රටවල මෙවැනි ආබාධ සහිත ජනයාට රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සිදු නොවේ. එහෙත් ලෝක බිහිරි සම්මේලනය (WFD) නිකුත් කර ඇති 2009 ප්‍රකාශනයට අනුව බිහිරි පුද්ගලයන්ට වාහන පැදවීමට බලපත්‍ර ලබාදෙන රටවල ඔවුන්ගේ බිහිරි බව නිසා ම විශේෂයෙන් අනතුරු සිදුවීමක් වාර්තා නොවන නිසා අවදානම පිළිබඳ ගැටලුවක් මතු නොවන බව සඳහන් වේ. ඔවුන් එහිදී අවධාරණය කරන්නේ ශ්‍රව්‍යාබාධිත අයගේ වාහන පැදවීමේ අයිතිවාසිකම තහවුරු කළ යුතු බවත් නිදහසේ සැරිසැරීමට සහ අත්‍යාවශ්‍ය සේවා සඳහා ළඟා වීමට ඔවුන්ට ඇති නිදහස සීමා නොකළ යුතු බවත් ය.

මෙය විශේෂ අවස්ථාවක් බැවින් ආරක්ෂක අංශ සාමාන්‍ය රියදුරන් සහ පදිකයන් මෙන් ම සියලු ම මහජනයා ශ්‍රවණාබාධිත රියදුරු බලපත්ලාභීන් පදවන වාහනවල සහ ඔවුන්ගේ ඇඳුම් පැලඳුම්වල ප්‍රදර්ශනය කර ඇති සුවිශේෂ ලාංඡනය හඳුනාගෙන මහමගදී ඔවුන්ට සහයෝගය ලබා දීමත් මාර්ගගත වාහනවල රියදුරන්ගේ අනාරක්ෂිත ධාවනය පිටු දැකීමට අවශ්‍ය පියවර ගැනීමත් වගකිව යුතු අංශ පැහැර නොහැරිය යුතු වගකීම්සහගත යුතුකමකි.