#පොත්පත්

මාක්ස්වාදයේදාර්ශනික පදනම ඔස්සේඅනාගතයට මංපෙත්

  • තිඹිරියාගම බණ්ඩාර

“ඇරිස්ටෝටල් පැරණි භෞතිකවාදීන්ට නින්දා කළේ ස්වර්ගයට ඇට්ලස්ගේ (Atlas) සහය අවශ්‍ය බවට ඔහුගේ විශ්වාසය තහවුරු කිරීම සඳහා ය. ඇට්ලස් නමැති යෝධයා අවකාශයේ සිටගෙන, පොළොව තම උරහිසෙන් ඔසවාගෙන ස්වර්ගයට ආධාර කරන නිසා ය.‘ (A caracter in Greek mythology). අනෙක් අතට මිනිසාට ස්වර්ගය අවශ්‍ය යැයි විශ්වාස කරන අයට එපිකියුරස් දොස් පවරයි. මිනිස් මෝඩකම සහ මිථ්‍යා විශ්වාස තුළ ස්වර්ගයට අනුබල දෙන ඇට්ලස්ගේ මෝඩකම සහ මිථ්‍යා විශ්වාස තුළ ස්වර්ගයට අනුබල දෙන ඇට්ලස්ගේ මෝඩකම සහ මිථ්‍යා විශ්වාස ද ටයිටන්වරුන්ට (Titans) සමාන ය.
(කාල් මාක්ස් ආචාර්ය උපාධි නිබන්ධනය, 76 පිටුව, පරිවර්තක, චමිල් ජයනෙත්ති)

ඉහත උපුටනය ඇතුළත් කාල්මාක්ස්ගේ ආචාර්ය උපාධි නිබන්ධනය ජර්මනියේ යෝනා සරසවියට ඉදිරිපත් කර ඇත්තේ 1841දී ය. එවිට ඔහුගේ වයස අවු.23කි. දාර්ශනික මතවාද දෙකක් සංසන්දනය කරමින් නව දැනුමක් උත්පාදනය කරන මේ පර්යේෂණ කෘතිය චමිල් ජයනෙත්ති විසින් සිංහලට පරිවර්තන කිරීම විශේෂ සිදුවීමකි. ලංකාවේ වාංමාංශික පක්ෂවලට දිගු ඉතිහාසයක් ඇතත් මෙවැනි අතිශය වැදගත් වගකීමක් ඔවුන්ගෙන් ඉටු නොවීම විමතියට කරුණකි.

චමිල් ජයනෙත්ති

මාක්ස්වාදය බිහිවූයේ දාර්ශනික පදනමකිනි. මාක්ස් තම නිබන්ධනයෙහිදී ඩිමොක්‍රටිස්ගේ සහ එපිකියුරස්ගේ දාර්ශනික මතවාද සංසන්දනය කරන්නේ විඥානවාදය වෙනුවට භෞතිකවාදය ඔසවා තැබීමේ මගක් හැටියට ය.
මේ නිබන්ධනය පිළිබඳ ව කතුවරයා මෙසේ සඳහන් කරයි.

”‍මාක්ස් එක අතකින් ලෝකය විනිවිද යන පරමාත්මයෙහි ඓතිහාසිකත්වය පිළිබඳ ව හේගල්ගේ මූලධර්මයත් අනෙක් අතින් ශුන්‍යත්වයේ පරමාණුවල සංචලනය පිළිබඳ එපිකියුරස්ගේ මූලධර්මයත් සංශ්ලේෂණය කරමින්, මාක්ස් ලෝකය එහි සියලු‍ ම ව්‍යුහාත්මක මට්ටම විනිවිද යා හැකි සාකල්‍ය ඓතිහාසිකත්වය පිළිබඳ සංකල්පය නිර්මාණය කරයි. මෙම ප්‍රතිභාන කරුණ මාක්ස්ගේ සිතට කොතරම් තදින් කාවැදුණේ ද යත් ඔහු එපිකියුරස් ව උපරිම උද්‍යෝගයකින් ඇගයීමට ලක් කර තිබේ.”‍
යම් බුද්ධිමය සම්ප්‍රදානයක් විශ්ලේෂණයට ලක් කරන තැනැත්තා සතු ව තිබිය යුතු විශේෂ ගුණයක් විය යුත්තේ එම බුද්ධිමය සම්ප්‍රදානයෙහි සාරය උකහා ගැනීමේ හෙවත් සංශ්ලේෂණය කිරීමේ හැකියාවයි. විශ්ලේෂණය කළ හැකි වන්නේ සංශ්ලේෂණය කළ දෑ ය. එසේ නොවූ විට එය අර්ථශුන්‍ය ව්‍යායාමයක් බවට පත් වෙයි. එබඳු සංශ්ලේෂණ ගුණයකින් තොර, දාර්ශනික පදනම නොතකන වාමාංශිකයන් පොතේ පණ්ඩිතයන් වීම හා මාක්ස්වාදය අවභාවිතයට ගැනීම මේ අනුව වටහාගත හැකි ය.

වාම ක්‍රියාධරයකු හැටියට චමිල් ජයනෙත්ති මාක්ස්ගේ ආචාර්ය උපාධි නිබන්ධය පරිවර්තනය කරන අතරතුර තවත් සුවිශේෂ වගකීමක් ඉටු කරයි.

‘කාලය, අවකාශය තුළ මාක්ස්වාදය’ එම වගකීම අනුව බිහිවූ ස්වතන්ත්‍ර කෘතියකි. කොරෝනා සමයෙහි චමිල් දාර්ශනික හැදෑරීමක් සඳහා සෑහෙන කාලයක් ගත කර ඇත. එමෙන් ම ගෝලීය මට්ටමින් මනුෂ්‍ය වර්ගයා මුහුණ දෙන අර්බුද පැතිමාන කිහිපයකින් සාකච්ඡාවට ගැනීම ඔහුගේ ස්වභාවයයි.

ඔහු මේ කෘතියෙහිදී ප්‍රාග් ඓතිහාසික චින්තනය, වහල් සමාජයේ දර්ශනවාදය, වැඩවසම් සමාජයේ දර්ශනවාදය, ධනවාදී සමාජයේ දර්ශනවාදය, ආපෝහකවාදය හා ඓතිහාසික භෞතිකවාදය, ජාත්‍යන්තර මාක්ස්වාදී ව්‍යාපාරය, මාක්ස්, එංගල්ස්ගෙන් පසු භෞතිකවාදය යනාදී මාතෘකා ඔස්සේ කාලීන වශයෙන් වැදගත් වන කරුණු රැසක් සාකච්ඡාවට ගනී.
සමාජ ප්‍රගමන මාතෘකාව යටතේ කතුවරයා ගෙන හැර දක්වන අදහසක් උපුටා දක්වමි.

“ලෝකයේ ප්‍රතිවිරෝධතා සුලබ ය. විවිධාකාර ය. දෛනික ජීවිතයෙහිදී පීඩිතයෝ අරගලයෙන් විරෝධය ප්‍රකාශ කරති. මාක්ස්වාදයේ පොදු නියමය වන්නේ අභ්‍යන්තර හා බාහිර ප්‍රතිවිරෝධතා විද්‍යාත්මක ව පැහැදිලි කරදීමයි. අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා ඕනෑ ම භෞතික සමාජ ප්‍රපංචයක වර්ධනයට තීරණාත්මක වැදගත්කමක් දරයි. මක්නිසාද යත් සමාජයක අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා වූ කලී සූරා කන්නන් හා සූරාකනු ලබන්නන් අතර ප්‍රතිවිරෝධතා ය. මේ අනුව ධනවාදයට මූලික ප්‍රතිවිරෝධය වූ කලී නිෂ්පාදනය පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීමයි. එවිට නිෂ්පාදන බලවේග හිමි නොවන නිර්ධනීහූ මූලික ප්‍රතිවිරෝධී බලවේගය වෙති. ධනවාදයේ මූලික ප්‍රතිවිරෝධතා නිර්ධනීන් හා ධනේශ්වරය අතර, මුළු මහත් පීඩිතයන් හා ඒකාධිපතියන් අතර මෙන් ම නිෂ්පාදන හා පරිභෝජනය අතර යනාදී ප්‍රතිවිරෝධතා ගොනු වෙයි. (164 පිටුව) මෙය මිනිස්වග මුහුණදෙන පොදු සත්තාවකි. එයට බටහිර, පෙරදිග භූමි සීමාවක් නොමැත.

මේ කෘතියෙහි අවසන් පරිච්ඡෙදය වන වත්මන් ගෝලීය අර්බුදය මාතෘකාව යටතේ ඔහු තියුණු නිරීක්ෂණ කිහිපයක් ඉදිරිපත් කරයි. විශේෂයෙන් ම ගෝලීය සොබා දහමේ අර්බුදය ගැන කෙරෙන විග්‍රහය කුණුබක්කියට තල්ලු‍වෙමින් සිටින ඇතැම් වමේ පාර්ශ්වවලට නොවැටහෙන්නක් ද විය හැකි ය. පන්ති සටන් පිළිබඳ ගිරවුන් මෙන් පාඩම් කරගත් වගන්නි හැර පුළුල් සමාජ දැක්මක් ඔවුන්ට නොතිබූ නිසා ම මෙරට බුද්ධිමය කාන්තාරයක් බිහි විය. වමේ ව්‍යාපාරය ජාතිවාදීන් හා විඥානවාදීන් සමග අවස්ථාවාදී සම්මුතීන් ඇති කරගැනීමෙහි එක් ප්‍රතිපලයක් වූයේ ශාස්ත්‍ර බුද්ධි පරිහානියයි.

එහෙයින් චමිල් ජයනෙත්තිගේ මේ මැදිහත්වීම යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයකු ව සිටි ඔලිවර් ගෝල්ඩ්ස්මිත් ලියූ උගුල (The Trap) කෘතිය මෙන් ම වැදගත් ය. ස්මිත් මීට දශක තුනකට පෙර ගෝලීය අර්බුද ගැන අනතුරු ඇඟවී ය. මේ නිසා චමිල් ජයනෙත්තිගේ මෙම උත්සාහයෙහි ඓතිහාසික වැදගත්කමක් පවතී. එහෙයින් මේ කෘති දෙක ම පාඨක, විචාරක සම්භාෂණයට පාත්‍ර විය යුතු ය.