#සංවර්ධන

රේල්ලුවෙන් උතුරට

  • රංගිකා අබේසේකර

මහව සිට ඕමන්ත දක්වා උතුරු දුම්රිය මාර්ග පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන මහව සිට අනුරාධපුර දක්වා දුම්රිය මාර්ගයේ පුනරුත්ථාපන කටයුතු ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් ගල්ගමුව දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී 2024 ජනවාරි 08 දින ඇරඹිණි.

ඉංජිනේරු කාර්ය පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ උපදේශක සේවාව යටතේ ඉන්දියානු ඉර්කොන් ජාත්‍යන්තර සමාගමේ මූලිකත්වයෙන් (Ircon International Limited) සිදු වන මේ ඉදිකිරීම් කාර්යයේදී මහව සිට ඕමන්ත දක්වා කිලෝමීටර 128ක දුම්රිය මාර්ගය පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක්කිරීමට නියමිත ය. ගිවිසුම් වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 91.27ක් වන මේ ව්‍යාපෘතියේ සමස්ත ඉදිකිරීම් 2024 ජූලි මස 06 දින අවසන් කිරීමට නියමිත වුවත් අමාත්‍යවරයාගේ විශේෂ ඉල්ලීම පරිදි පොසොන් පොහොය නිමිති කරගනිමින් ජුනි මස 15 දින වැඩ අවසන් කර දුම්රිය දෙපාර්තමේන්තුව වෙත භාර දීමට ඉන්දියානු ඉර්කොන් ජාත්‍යන්තර සමාගම එකඟතාව පළ කර තිබේ.

උතුරු දුම්රිය මාර්ගය ඉදි කිරීම ආරම්භ වන්නේ 1905 වසරේදී වුවත් මෙරටට දුම්රිය සේවාව හඳුන්වා දී ඇත්තේ 1864 වසරේදී කෝපි ප්‍රවාහනය කිරීම සඳහා ය. වර්තමානයේ ශ්‍රී ලංකා දුම්රිය සේවය මගීන් ප්‍රවාහනය හා භාණ්ඩ ප්‍රවාහනය යන සේවා ද්විත්වය ම ඉටු කරයි. එයින් නඩත්තු වන සමස්ත දුම්රිය මාර්ගයේ දුර කිලෝමීටර 1561කි. දළ වශයෙන් දෛනික ව මගීන් මිලියන 3.72කට සේවය සැපයීමට ඊට හැකියාව ලැබී ඇත. එම අවශ්‍යතාව මත පදනම් වෙමින් වඩාත් කාර්යක්ෂම සේවාවක් සඳහා මෑත කාලයේ වැඩි ම ආයෝජනයක් සිදුකර තිබෙන්නේ උතුරු දුම්රිය මාර්ග ව්‍යාපෘතියටයි.

මේ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ දුම්රිය ධාවන වේගය පැයට කිලෝමීටර් සියයකින් සහ පැය පහහමාරක් වැනි කාලයකින් කොළඹ සිට යාපනය දක්වා සුව පහසු දුම්රිය සේවයක් ජනතාවට ළඟා කරවීමයි. මේ පිළිබඳ අදහස් දක්වන දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය සාමාන්‍යාධිකාරී එච්. එම්. කේ. ඩබ්ලිව් බණ්ඩාර; “මහව සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගය පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කිරීම මේ ව්‍යාපෘතියෙන් සිදුකෙරෙනවා. එය ක්‍රියාත්මක වන්නේ අදියර දෙකක් යටතේ. ඉන් පළමු ව දෙවැනි අදියර යටතේ අනුරාධපුර සිට ඕමන්ත දක්වා කිලෝමීටර 64ක මාර්ග කොටස මාස 5කින් නිම කර තිබෙනවා. එහි පළමු අදියර ලෙස මහව සිට අනුරාධපුරය දක්වා කිලෝමීටර 64ක මාර්ග කොටස මාස 6කින් ප්‍රතිසංස්කරණය කර අවසන් කිරීමට 2024 වසරේ ජනවාරි 7 දින වැඩ ආරම්භ කළා. පෙර තිබූ කිලෝග්‍රෑම් 45ක රේල්පීල්ල ඉවත්කර කිලෝග්‍රෑම් 60ක රේල්පීලි යොදා සැකසීම මෙහිදී සිදු වනවා. මීට පෙර මහව සිට ඕමන්ත කොටසේ පැයට කිලෝමීටර් 40ත් 60ත් වේගසීමා යටතේ දුම්රිය ධාවනය කළේ දුම්රිය මාර්ගය ඉතා දුර්වල වීම නිසා. මේ ප්‍රතිසංස්කරණය සමග වසර 50ක් ඉදිරියට දුම්රිය මාර්ගය කාර්යක්ෂම ව භාවිත කරන්නට අපට හැකි වේවි.” නව දුම්රිය මාර්ගය නිර්මාණය කර ඇත්තේ පැයට කිලෝමීටර 120ක වේගයකිනි.

මහව සිට අනුරාධපුරය දක්වා දුම්රිය මාර්ගයේ යාන්ත්‍රික සංඥා පද්ධතිය, වර්ණ සංඥා පද්ධතියක් බවට පත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත. එහිදී වැඩි දුම්රිය සංඛ්‍යාවක් ධාවනයට එක් කිරීමට, දුම්රිය හුවමාරුවීම් ඉතා කාර්යක්ෂම කිරීමට, පරිගණක සංඥා ආරක්ෂක පද්ධතියක් සඳහා යොමු වීමට අපේක්ෂා කරන බවත් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කරයි.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ විශාල පිරිවැයක් දරමින් සිදුකරන මේ ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් අනතුරු ව භාණ්ඩ සහ මගී ප්‍රවාහනයටත් සංචාරක ව්‍යාපාරයටත් උචිත ආකාරයෙන් මිල ප්‍රතිපත්තියක් යටතේ ගාස්තු ක්‍රමයක් ඇති කිරීම රජයේ අරමුණකි. එය සාර්ථක කර ගැනීම සඳහා යාපනය වෙළෙඳ සංගමය සමග එකගතාවෙන් කොළඹ හා යාපනය අතර භාණ්ඩ ප්‍රවාහන සේවා ආරම්භ කිරීම, තිරිඟු‍පිටි ප්‍රවාහනය, සංචාරක ව්‍යාපාරයට පහසුකම් සැපයීම වැනි ක්‍රියාවලියකින් විදේශ විනිමය ඉපැයීමට නව මාර්ග වෙත යොමු වීමෙන් පවතින ආර්ථික අර්බුදයට නිර්මාණශීලි විසඳුමක් ලබා දීමට අවකාශය හිමිවනු ඇති බව එච්. එම්. කේ. ඩබ්ලිව් බණ්ඩාර ප්‍රකාශ කළේ ය.

ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු සතියකට දින 2ක් යාපනය හා කොළඹ අතර භාණ්ඩ ප්‍රවාහනය සඳහා විශේෂ දුම්රියක් යෙදවීමටත් නව ආකාරයේ සංචාරක දුම්රිය සේවා කිහිපයක් ආරම්භ කිරීමටත් ආරක්ෂිත වැට නොමැති, සංඥා පුවරු පමණක් සවිකර ඇති හරස් මාර්ග සඳහා වඩාත් ආරක්ෂිත වැටි ලබාදීමේ වැඩපිළිවෙළක් ද ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, අනතුරු වැළැක්වීමේ ජාතික අධිකාරිය, රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාව ඒකාබද්ධ ව ක්‍රියාත්මක කිරීමට නියමිත ය. උතුරු දුම්රිය මාර්ග පුනරුත්ථාපන ව්‍යාපෘතිය සැලසුම් කිරීමේදී එහි පදිංචි ජනතාව ඉවත් කිරීමේ කාර්යය සහ ඉතා කෙටි කාලයකින් දුම්රිය මාර්ගය වසා දමා වැඩ ආරම්භ කිරීමට සිදුවීම ව්‍යාපෘතියට එල්ල වූ අභියෝගයකි.

උතුරු දුම්රිය මාර්ග පුනරුත්ථාපන ව්‍යාපෘතිය හා අනෙකුත් ව්‍යාපෘති සඳහා ලබාගත් ණය සම්බන්ධයෙන් සහ ඒවා පියවීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ගනු ලබන පියවර පිළිබඳ ව පැහැදිලි කරන දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා; “ඉන්දීය ණය යෝජනා ක්‍රමයෙන් ලබාගත් ණය පියවීමට වාණිජ සංවර්ධන සැලැස්මක් සකස් කළා. 2023 වසරේ ආදායම බිලියන 14.4ක්. ඊට සාපේක්ෂ ව 2024 වසරේ බිලියන 6කින් ආදායම් ඉහළ නැංවීමයි අපේක්ෂාව. වියදම් උපරිමයෙන් අඩුකිරීමටත් ලබාගන්නා ආදායම මනා කළමනාකාරිත්වයකින් හැසිරවීමටත් දෙපාර්තමේන්තුව උත්සාහ දරනවා. ඒ අනුව 2023 වසරේ බිලියන 39ක් වූ වියදම 2024 වසරේ බිලියන 36ක් දක්වා අඩු කිරීමයි සැලැස්ම. මේ සඳහා උපරිමයෙන් වාණිජ සංවර්ධන ව්‍යාපෘති ගෙන ඒමට අපේක්ෂා කරනවා.”

මේ ව්‍යාපෘතියට අමතර ව ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ම ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කරයි. එම ව්‍යාපෘති අතර පයාගල දකුණ දුම්රිය මාර්ගයක් ඉදි කිරීම සඳහා ඩොලර් මිලියන 39ක්, මහව කුරුණෑගල හා පොල්ගහවෙල කුරුණෑගල අතර ද්විත්ව මාර්ග ඇති කිරීම සඳහා ඩොලර් මිලියන 50ක් යෙදවීමට අපේක්ෂා කරන අතර ත්‍රිකුණාමලය මාර්ගය නැවත පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කිරීමටත් අවධානය යොමු කර තිබේ.

වැඩි ම ජන ඝනත්වයක් සහිත රටවල් අතර ශ්‍රී ලංකාව ඇත්තේ 38 වැනි ස්ථානයේ ය. ජන ඝනත්වය වැඩිවත් ම සාර්ථක ම ප්‍රවාහන ක්‍රමය වන්නේ පොදු ප්‍රවාහනයයි. මෙරට ජනඝනත්වයට සාපේක්ෂ ව අවම වශයෙන් 50%ක් පොදු ප්‍රවාහනය භාවිත කළ යුතු වේ. එහෙත් මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන කළමනාකරණ හා කාර්ය උපාය ඉංජිනේරු අධ්‍යයන අංශයේ සම්මානිත මහාචාර්ය අමල් එස්. කුමාරගේ පවසන්නේ 1980 ගණන්වල පොදු ප්‍රවාහන භාවිතය 80%ක් වුවත් වර්තමානයේ එය 40%ක් බවට පත් ව ඇති බව ය. පෞද්ගලික වාහන භාවිතයත් සමග බොහෝ දෙනා එය පෞද්ගලික සංවර්ධනයේ සලකුණක් ලෙස දුටුවත් එය ප්‍රවාහන ප්‍රතිපත්තිය විකෘති කිරීමක් මිස මෙරට තවමත් තිරසර ප්‍රවාහන විසඳුම් දක්නට නොමැති බව ඔහු පවසයි.

මේ නිසා විශේෂයෙන් තිරසර ප්‍රවාහන ප්‍රතිපත්තියක් ඇති කිරීම වැදගත් වේ. එහිදී පොදු ප්‍රවාහන මාධ්‍යයක් ලෙස දුම්රිය සේවය දියුණු කිරීම සහ නවීකරණය අතිශයින් ඵලදායී වේ. මහාචාර්ය අමල් එස්. කුමාරගේ පවසන ආකාරයට එම කාර්යයේදී පැරණි ව්‍යාපෘති ක්‍රියාවලියෙන් ඉවත් වීම කාලීන අවශ්‍යතාවකි. ඉන්දියාවේ වැඩි ප්‍රතිලාභ සහිත ව්‍යාපෘති සැලසුම් ක්‍රියාත්මක කරන්නේ විද්‍යාත්මක, ආර්ථික ක්‍රමවේද අනුගමනය කරමිනි. මහාචාර්යවරයා පවසන්නේ ව්‍යාපෘති වියදම් ගණනය කළත් ව්‍යාපෘතියේ කාලය, ව්‍යාපෘති ප්‍රමුඛතාව සහ ඒවාහි ගුණාත්මකභාවය පිළිබඳ ප්‍රායෝගික ව නොසිතීම කෙරෙහි ශ්‍රී ලංකාව වැඩි අවධානය යොමු කළ යුතු බව ය. එවිට පොදු ප්‍රවාහන සේවය නගා සිටුවීමට ගන්නා මෙවැනි ක්‍රියාමාර්ග තිරසර ප්‍රවාහන ප්‍රතිපත්තියක් ඇති කිරීමට දායක වනු ඇත.