#පරිසර

හුස්ම පිඹින කඳු

  • චන්දන මාරසිංහ

කඳුකර පද්ධතිවල වැදගත්කම සලකා බලමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය සෑම වසරක ම දෙසැම්බර් 11 දිනය ‘ජාත්‍යන්තර කඳුකර දිනය’ ලෙස නම් කර තිබෙනවා. 2002 වසරේ දෙසැම්බර් 20 දින ප්‍රකාශයට පත් වන එය සැමරෙන්නේ 2003 වසරේ සිට. ‘ජාත්‍යන්තර කඳුකර දිනය’ වෙනුවෙන් රජයේ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කළ එක ම රට වන්නේ ජපානය. 2016 වසරේ සිට එය ක්‍රියාත්මක වනවා. කඳුකරය සහ ඒ ආශ්‍රිත ව ජීවත් වන ජනතාව ගැන අවධානය යොමු කිරීමත් ජාත්‍යන්තර කඳුකර දිනයේ සැමරෙන මූලික කාර්යයක්.

මෙවර ‘ජාත්‍යන්තර කඳුකර දිනය’ සැමරීමට යෝජිත තේමාව වන්නේ ‘කඳුකර පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කිරීම’ (Restoring mountain ecosystems) යන්න. ඒ, කඳුකර පද්ධතියට එල්ල වී ඇති බලපෑම් අවම කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්. මේ නිසා කඳුකරය විශේෂිත පරිසර පද්ධතියක් ලෙස සලකා ක්‍රියා කිරීම වැදගත් වනවා.

සැලකිය යුතු ලෙස නිරාවරණය වී පාෂාණ ලෙස දැක්වෙන, බෑවුම් සහිත පෘථිවි පෘෂ්ඨයේ උසින් පිහිටි කොටසක් කන්දක් ලෙස හඳුන්වනවා. විකිපීඩියා දක්වන ආකාරයට එය අවට භූමියෙන් මතු වී තිබෙන්නේ අවම වශයෙන් මීටර් 300ක් ඉහළට. පෘථිවියේ භූමි ප්‍රමාණයෙන් 27%ක් කඳුවලින් ආවරණය වී තිබෙනවා. ලෝකයේ මිරිදිය ජලය සියයට 60%-80%ක් සපයන්නේ ද කඳු. ආහාරවලින් 80%ක් පමණ ශාක විශේෂ 20කින් ලැබෙන අතර බඩඉරිඟු, අර්තාපල් සහ ඇපල් ආදිය ඊට අයත්. කඳු ආශ්‍රිත ව එම ශාකවලින් 6%ක් විවිධාංගීකරණය වී තිබෙනවා.

ගණනය කර ඇති ආකාරයට ලොව කඳු 1187,049ක් පමණ ඇති අතර ඉන් බහුතරයක් වන 77,706ක් පිහිටා තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. ලොව උස ම කඳු 100ක් ආසියා කලාපයේ පිහිටා තිබෙනවා. ලෝක ජනගහනයෙන් 13%ක් පමණ ජීවත් වන්නේ කඳුකර ප්‍රදේශ ආශ්‍රිත ව වන අතර ඇල්ප්ස් කඳුවැටිය ජනාකීර්ණ කඳුකර ප්‍රදේශය ලෙස සැලකෙනවා.

ජගත් සංවිධානය පෙන්වා දෙන ආකාරයට සංවර්ධනය වෙමින් පවතින රටවල ග්‍රාමීය කඳුකර ජනතාවගෙන් මිලියන 311කට වඩා ජීවත් වන්නේ හායනයට නිරාවරණය වූ කඳුකර ප්‍රදේශවල. ඔවුන්ගෙන් මිලියන 178කට ආහාර අනාරක්ෂිත බවක් ඒ හේතුවෙන් මතු ව තිබෙනවා. දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයට අනුව ආවේණික කඳු විශේෂවලින් 84%ක් පමණ වඳවීමේ අවදානමට ලක් වී අවසන්. ප්ලාස්ටික් ද්‍රව්‍ය හේතුවෙන් ද කඳුකරයට තර්ජන මතු ව තිබෙනවා. ස්වාභාවික ලෝක උරුම (Natural world heritage) වෙබ් අඩවිය සඳහන් කරන්නේ එවරස්ට් හා කිලිමන්ජාරෝ වැනි කඳු වැටි ද අයත් කඳු 40ක් පමණ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් බව.

ගොඩබිම මෙන් ම සාගරයේ ද කඳු නිර්මාණය වී පවතින බව කැලණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සම්පත් අරුණශාන්ත සඳහන් කරනවා. අත්ලාන්තික් සාගරයේ පිහිටි මධ්‍ය අත්ලාන්තික් තැටිය ඊට උදාහරණයක්. ඒ පිළිබඳ පැහැදිලි කරන ඔහු; “ගොඩබිම පිහිටි ප්‍රධාන කඳුවැටි පිහිටා තිබෙන්නේ පොළොවේ භූතැටි පිහිටා ඇති කලාපවල. උදාහරණ ලෙස ඉන්දු ඕස්ටේ්‍රලියා තැටිය සහ යුරේසියානු තැටිය ආශ්‍රිත ව පිහිටා ඇති හිමාලය කන්ද මෙන් ම පැසිපික් හා උතුරු ඇමරිකානු තැටි ආශ්‍රිත ව පිහිටි රොකී කඳුවැටිය සඳහන් කරන්න පුළුවන්. එකිනෙකට මුහුණලා සිටින ආකාරයෙන් භූ තැටි ගමන් කරන විට ඇතිවන තෙරපුම හේතුවෙන් එම කලාප මැදින් ඉහළට එස වෙනවා. වසර මිලියන ගණනක සිට සිදුවන මේ ක්‍රියාවලියෙහි ප්‍රතිඵලයක් ලෙසයි කඳු නිර්මාණය වන්නේ. මේ තෙරපුම පහළට ඇති වූ විට මරියානා අගාධය වැනි ආගාධ නිර්මාණය වනවා.”

ශ්‍රී ලංකාවේ භූමිය නිර්මාණය පිළිබඳ විවිධ විද්වතුන් අදහස් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතර ප්‍රමුඛ වන්නේ එෆ්. ඩී. ඇඩම්ස්, වාඩියා, ගුණරත්නම් වැන්නන්. 1929දී වසරේදී එෆ්. ඩී. ඇඩම්ස් පෙන්වා දෙන ආකාරයට මෙරට භූමිය මුලින් ම පැවතියේ මුහුදු ජලය යට යටි නැම්මක් ලෙස. අභ්‍යන්තරයේ පිහිටි මැග්මාවල අධික පීඩනය හා උෂ්ණත්වය හේතුවෙන් මධ්‍ය කඳුකරය මුහුදෙන් උඩට එසවී තිබෙනවා. ඉන්පසුවයි අභ්‍යන්තර තැනිතලාව සහ වෙරළබඩ තැන්න ඉහළට එස වී තිබෙන්නේ. රක්වාන කඳු පන්තිය, සබරගමු කඳු පන්තිය මධ්‍යම කඳුකරයට අමතර ව පිහිටා තිබෙන කඳු පන්ති. ශේෂ කඳු ලෙස සැලකෙන්නේ සීගිරිය හා තොප්පිගල වැනි හුදකලා වූ කඳු. කාලයක සිට සිදු වූ ජීරණ ක්‍රියාවලිය හේතුවෙන් පස් ඉවත් වී මව් පාෂාණය ඉතිරි වීමෙන් මේ ශේෂ කඳු නිර්මාණය වනවා.

ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සම්පත් අරුණශාන්ත සඳහන් කරන ආකාරයට කඳුවල ස්වභාවය වෙනස් වීමට කාරණා කිහිපයක් බලපානවා. භූ තැටි චලනය වීම මත කඳු ලෙස ඉහළට එසවීමත් සාගරයේ ජල ප්‍රමාණය අඩු වැඩිවීමත් මත මුහුදු මට්ටමේ සිට සිදු කරන කඳුවල උස ගණනය කිරීම් වෙනස් වන්නට පුළුවන්. වර්ෂාව, උෂ්ණත්වය සහ තද සුළං හේතුවෙන් සිදුවන පාංශු ඛාදනය ද කඳුවල පිහිටීමේ වෙනස්වීම් ඇති කරනවා. Intergovernmental Panel on Climate Change (IPCC) පෙන්වා දෙන ආකාරයට 2100 වසර වන විට සාගර ජල මට්ටම මීටරයක් පමණ ඉහළ යාමේ ප්‍රතිඵලය වන්නේ කඳුවල උස ප්‍රමාණයට සාපේක්ෂ ව අඩුවීම. එසේ ම ග්ලැසියර් පවතින ප්‍රදේශවල අයිස් ගමන් කිරීම නිසා ඛාදනය සිදු වී උස වෙනස් වන්නට ද පුළුවන්.

ආසියාවේ දේශගුණික තත්ත්වය තීරණය වීමට ප්‍රධාන ලෙස ම හේතු වන්නේ හිමාලය කඳු වැටිය. සූර්ය කිරණ හේතුවෙන් ගොඩබිම් කලාපය වේගයෙන් රත් වන අතර සාගර කලාපය රත් වන්නේ ඊට වඩා වැඩි කාලයකදී. සිසිල් වීමේදී ද ගොඩබිම කඩිනමින් සිසිල් වන අතර සාගර කලාපයට ඊට වඩා වැඩි කාලයක් ගත වනවා සිසිල් වීමට. මේ ක්‍රියාවලිය හේතුවෙන් සාගර කලාපයේ සිට ගමන් කරන සුළං හිමාලය කන්දේ වැදීම හේතුවෙන් දකුණු ආසියාවේ දේශගුණය තීරණය වන බවයි ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සම්පත් අරුණශාන්ත පවසන්නේ. ශ්‍රී ලංකාවේ නිරිතදිග හා ඊසානදිග මෝසම තීරණය වන්නේ මධ්‍යම කඳුකරය හේතුවෙන්. ඒ මත යල සහ මහ කන්න දෙක තීරණය වීම, වාරි ජල පද්ධතිය තීරණය වීම සිදු වන නිසා කඳුකරය යනු භූගෝලීය වශයෙන් මානව පැවැත්මට ඍජු ව බලපාන සාධකයක්. ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කළ යුතු බව කථිකාචාර්යවරයා අවධාරණය කරනවා. නායයාම් හේතුවෙන් කඳුවල ස්වභාවය වෙනස් වන අතර ම අනතුරු පවා සිදු වනවා. ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය එයට හොඳම නිදසුනක්. අංශක 45ට වඩා බැවුම් කෝණයක් පවතී නම් පදිංචියට සුදුසු නැහැ. ඒවා රක්ෂිත ලෙස පැවතිය යුතු වනවා. මාතලේ හා රත්නපුර ප්‍රදේශවල වගා කර තිබුණු ෆයිනස් ශාක කපා ඉවත් කිරීමේ ප්‍රතිඵලය වී ඇත්තේ නායයාමේ අවදානම වැඩිවීම. එවිට ගලායන රොන්මඩ ගංගාවල තැන්පත් වීමෙන් ගංවතුර තර්ජන ඇති වීමේ අවදානමක් තිබෙනවා. මේ නිසා මානව ක්‍රියාකාරකම්වලින් ස්වාභාවික ව පිහිටි කඳුකර පද්ධතිය වෙනස් කිරීම නොව කළ යුත්තේ එය එලෙසින් පවත්වා ගැනීම.

ජාත්‍යන්තර කඳුකර සැමරීමට පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව අංශය සෑම වසරක ම විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. හායනයට ලක් ව ඇති භූමිය යළි සකස් කිරීම මෙවර තේමාවෙන් අවධානයට ලක් කර ඇති නිසා ඒ සඳහා තෝරාගෙන තිබෙන්නේ අනුරාධපුර ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මානෑව කන්ද. අක්කර 100කින් පමණ සමන්විත වන මෙය පුරාවිද්‍යා රක්ෂිතයක්. අනුරාධපුර හා පොළොන්නරු යුගවලට අයත් පුරාවස්තු මෙහි පවතිනවා. මේ නිසා එම කන්ද ආශ්‍රිත ප්‍රදේශය මූලික ව සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ලෙස එම දිනය සමරන බවයි පරිසර අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

කඳුකර කලාප ප්‍රතිස්ථාපනය සඳහා ජාත්‍යන්තර මට්ටමින් ද වැඩසටහන් ක්‍රියාත්මක වනවා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඒ සඳහා පස් අවුරුදු සැලැස්මක් ප්‍රකාශයට පත් කර තිබෙන අතර එය ක්‍රියාත්මක වන්නේ 2023 වසරේ සිට 2027 වසර දක්වා. හරිත ආර්ථිකයක් ඇති කරමින් කඳුකර රටවල් අතර සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමත් එහි අරමුණක්. කඳුකරය අසාමාන්‍ය ශාක සහ සතුන්ගේ නිවහනක් වන බවයි ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය පෙන්වා දෙන්නේ.
මේ නිසා කඳුකරය ලෙස සැලකෙන්නේ අධිසංවේදී විය යුතු කලාපයක්. ජන ජීවිතය සාර්ථක ව පවත්වා ගැනීමට එය සෘජු මෙන් ම වක්‍ර ව බලපාන නිසා කඳුකර ආශ්‍රිත ප්‍රදේශ ආරක්ෂා කර ගැනීම මානව අයිතියක්. යුතුකමක්. වගකීමක්.