#විවිධ

පුරවැසි අයිතිය

-නිරෝෂි දොඹගහගේ-

(සැප්තැම්බර් මස 28 දිනට යෙදී තිබුණු ‘තොරතුරු සඳහා විශ්ව ප්‍රවේශය පිළිබඳ ජාත්‍යන්තර දිනය’ නිමිත්තෙන්.)

ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම තොරතුරු අයිතිය වන අතර සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීමට එය අත්‍යාවශ්‍ය සාධකයක්. තොරතුරු සඳහා ප්‍රවේශවිමේ අයිතිය පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකමක් බව පිළිගන්නා ලද්දේ මෙරට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව. 2016 අංක 12 දරන තොරතුරු ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත” සම්මත වී වසර 7ක් ගෙවී ගොස් ඇති මොහොතක එය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ගොඩ නැගී කතාබහ අවධානයට ලක් විය යුත්තක්.

තොරතුරු පනත ප්‍රකාර ව තොරතුරු ලබා දීම ප්‍රගාමී සහ අනුගාමී තොරතුරු ලෙස වර්ගීකරණයකට ලක් වෙනවා. ආයතන විසින් ස්වේච්ඡාවෙන් එළිදරව් කරන තොරතුරු, ප්‍රගාමී තොරතුරු ලෙස හඳුනවන අතර අනුගාමී තොරතුරු ලෙස ගැනෙන්නේ මහජනතාවගේ ඉල්ලීමකට අනුව නිකුත් කරන තොරතුරු. පනතට අදාළ නියෝග අංක 20 යටතෙහි ප්‍රගාමි තොරතුරු අර්ථ දක්වා තිබෙනවා. ආයතනික තොරතුරු, සංවිධාන තොරතුරු, මෙහෙයුම් තොරතුරු, තීරණ හා ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු, මහජන සේවා තොරතුරු, අයවැය තොරතුරු, ප්‍රසම්පාදන තොරතුරු, සහනාධාර තොරතුරු යනාදී තවත් තොරතුරු රාශියක් ඊට අයත්. මේ තොරතුරු විද්‍යුත් හෝ තාක්ෂණික ආකෘතියකින් ජනතාව වෙත ලබාදීම සෑම පොදු අධිකාරියක ම වගකීමක්. නීතිඥ ජගත් ලියනආරච්චි පවසන්නේ ඇතැම් පොදු අධිකාරි තොරතුරු නිලධාරීන් හා නම් කළ නිලධාරියා පිළිබඳ විස්තර පවා ප්‍රසිද්ධ නොකර සිටීම හේතුවෙන් පුරවැසියාට තම තොරතුරු අයිතිය සාක්ෂාත් කර ගැනීමේදී බාධක පැන නගින බව.

2022.07.01 සිට 2022.12.31 දක්වා කාල සීමාවේ කැබිනට් අමාත්‍යාංශ 29ක හා ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ අගමැති ලේකම් කාර්යාලයේ වෙබ් අඩවි පාදක කර ගනිමින් වෙරිටේ රිසර්ච් පුද්ගලික සමාගම (Verite Research Pvt Ltd) රාජ්‍ය අධිකාරි ප්‍රගාමී තොරතුරු මාර්ගගත ව (online) හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් සමීක්ෂණයක් කර තිබෙනවා.
සමීක්ෂණ දත්ත අනුව වෙබ් අඩවි ඔස්සේ ප්‍රගාමි තොරතුරු හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් ඉහළ ම ලකුණු හිමිකර ගත් රාජ්‍ය අධිකාරි වන්නේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය (57%) හා කෘෂිකර්ම අමාත්‍යාංශය (53%). අන්තර්ගත හෙළිදරව් කිරීම එනම් මහජනයාට වඩා පහසුවෙන් තොරතුරු සඳහා ප්‍රවේශ විය හැකි හා ඒවා පහසුවෙන් බාගත කරමින් ලබාගත හැකි ආයතන අතරින් ඉදිරියෙන් සිටින්නේ කෘෂිකර්ම (57%), රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන (51%) හා පරිසර අමාත්‍යාංශය (42%).

එහෙත් රජය ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සම්බන්ධ තොරතුරු හෙළිදරව් කිරීම ඉතාමත් අඩු මට්ටමක පවතින බැවින් ශ්‍රේණිගත කිරීමේදී මධ්‍යස්ථ මට්ටමෙහි මේ පිළිබඳ සමස්ත අගය පවතින බව සමීක්ෂණයෙන් හෙළි වූ වැදගත් කරුණක්. සමීක්ෂණයට භාජනය කළ සියලු‍ ආයතනවල ප්‍රගාමී තොරතුරු හෙළිදරව් කිරීම යටතේ රජයේ විවෘතභාවය සම්බන්ධයෙන් මේ සමීක්ෂණයේදී ලැබී ඇති අගය වන්නේ 33%ක්. 2017 වසරේදී මේ අගය පැවැතී ඇත්තේ 25%ක මට්ටමක. වසර 5කදී මේ අගයෙහි වර්ධනය ප්‍රමාණවත් ද යන්නත් විමසා බැලිය යුතු කාරණයක්.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් පියතිස්ස රණසිංහ පවසන්නේ ඇතැම් රටවල ප්‍රගාමී තොරතුරු හෙළිදරව් කිරීම ඉහළ මට්ටමක පවතින බව. දකුණු අප්‍රිකාව, ඇමරිකාව හා මෙක්සිකෝව වැනි රාජ්‍ය මීට නිදසුන්. එම රටවල ප්‍රගාමී ලෙස වැඩි තොරතුරු ප්‍රමාණයක් හෙළිදරව් කිරීම නිසා මහජනයාගෙන් තොරතුරු ඉල්ලීම් ඉදිරිපත් වීම අඩු මට්ටමක පවතින බවයි ඔහුගේ සඳහන. ප්‍රගාමී තොරතුරු හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් මෙරට රාජ්‍ය ආයතන සතු ව නිශ්චිත ක්‍රියා පටිපාටියක් නොතිබීම එම තොරතුරු හෙළිකිරීමේ ක්‍රියාවලියට බලපෑම් කර තිබෙනවා. අනුගාමී තොරතුරු ලබා දීමේදී මෙරට ආයතන 80% – 82% අතර ප්‍රතිශතයක් පෙන්නුම් කිරීමත් සුවිශේෂ කාරණයක්.
අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සමාගම්, සංස්ථා මෙන් ම ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන, ව්‍යවස්ථාපිත මණ්ඩල, යුක්තිය පසිඳලීම සඳහා වන ආයතන හා වෘත්තීය හෝ කාර්මික අධ්‍යාපනය ලබාදෙන ආයතන යනාදී තවත් ආයතන රැසක් පොදු අධිකාරි යටතට අයත්. එහෙත් මේ පොදු අධිකාරි යටතට ගැනෙන පෞද්ගලික සහ වාණිජ අංශවල ආයතන, තොරතුරු පනත ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳ නිසි අවධානය යොමුවී නොමැති බවයි හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ.

පනතෙහි 14 වගන්තිය යටතේ දක්වා ඇති කොමිෂන් සභාවේ කාර්ය සහ කර්තව්‍ය අනුව 14 (ඌ) වගන්තියෙන් දක්වා ඇත්තේ පොදු අධිකාරි සඳහා වාර්තා නිසි පරිදි පවත්වා ගැනීමේ මාර්ගෝපදේශ කොමිෂන් සභාව මගින් නිකුත් කළ යුතු බව. එහෙත් මේ මාර්ගෝපදේශ තවමත් නිකුත් කර නොමැති බවත් ඒ ඒ පොදු අධිකාරිවල ස්වභාවය වෙනස් වන බැවින් තම ආයතනයට ගැළපෙන පරිදි වාර්තා පවත්වාගෙන යාමේ ක්‍රමවේදයක් සකස් කර ගැනීමේ වගකීම අදාළ පොදු අධිකාරි වෙත පැවරීම සිදුකළ යුතු බවත් හිටපු අධ්‍යක්ෂ ජනරාල් පියතිස්ස රණසිංහ පවසනවා.

මෙරට තොරතුරු පනත ක්‍රියාත්මක කිරීමේදී නිරීක්ෂණය වන ප්‍රායෝගික ගැටලු‍ සඳහා හේතු කිහිපයක් බලපාන බවයි නීතිඥ ජගත් ලියනආරච්චි පෙන්වා දෙන්නේ. රාජ්‍ය නිලධාරීන්ගේ ආකල්ප පිළිබඳ ගැටලු‍ එනම් නිලධාරීන් තොරතුරු ලබා දීමේ සංස්කෘතියට තවමත් හොඳින් අවතීර්ණ වී නොතිබීම එක් හේතුවක්. තොරතුරු නිලධාරීන්ට පනතේ ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් මනා අවබෝධයක් නොමැති බව ඇතැම් තැන්වලදී පැහැදිලි වනවා. විශේෂයෙන් තොරතුරු ලබා දීමේදී අනුගමනය කළ යුතු කාල රාමුව සම්බන්ධයෙන් යොමු කෙරෙන අවධානය ප්‍රමාණවත් නොවන බවයි ඇතැම් සිද්ධීවලින් හෙළිදරව් වන්නේ. තොරතුරු අයිතිය සම්බන්ධයෙන් පුරවැසියන් සතු අඩු අවබෝධය හේතුවෙන් ද මේ පනත හරියාකාර ව භාවිත කිරීමේදී ගැටලු‍ පැන නැගී තිබෙනවා. තොරතුරක් යනු කුමක්ද යන්න පිළිබඳ බොහෝ අයට පැහැදිලි අවබෝධයක් නොමැති බව නිරික්ෂණය වන්නක්. නව තාක්ෂණය භාවිතයේදී රාජ්‍ය ආයතන දක්වන පසුබෑම තවත් හේතුවක්. පනත ක්‍රියාත්මක කිරීමට අදාළ මෙවැනි ප්‍රවණතා නිර්මාණය වී ඇත්තේ පනතෙහි ප්‍රතිපාදනවල අඩුලු‍හුඬුකමක් නිසා නොව ප්‍රායෝගික භාවිතයේදී පැන නැගී ඇති ගැටලු‍ නිසා බවයි නීතිඥ ජගත් ලියනආරච්චිගේ මතය.

වර්තමානයේ ගාස්තුව ඉහළ ගොස් ඇති හෙයින් පනතට අදාළ නියෝග ප්‍රකාර ව ඡායා පිටපත් සහ මුද්‍රිත පිටපත් ලෙස තොරතුරු ලබා දීමේදී පිළිවෙළින් A4 කඩදාසියක තනි පැත්තක් සඳහා අය කෙරෙන රුපියල් 2ක සහ රුපියල් 4ක මුදල ප්‍රමාණවත් නොවීම ද ප්‍රායෝගික ගැටලුවක්.

තොරතුරු පනත ක්‍රියාත්මක කිරීමට සම්බන්ධයෙන් වන සාධනීය හා නිර්මාණශීලි ක්‍රමෝපාය ද ඇතැම් ආයතන ආශ්‍රිත ව හඳුනාගත හැකි බවයි නීතිඥ ජගත් ලියනආරච්චි පවසන්නේ. ජනතාවට තොරතුරු ලබාදීමේ ක්‍රියාවලිය සම්බන්ධීකරණය කිරීමට තොරතුරු අයිතිවාසිකම් ඒකක පිහිටුවීම, තොරතුරු නිලධාරීන්ට සහාය පිණිස විෂය නිලධාරීන් පත් කිරීම යනාදිය එම ක්‍රමෝපාය සඳහා නිදසුන්.

අදහස් දක්වන නීතිඥ ජගත් ලියනආරච්චි: “තොරතුරු දැනගැනීමේ අයිතිය පුරවැසියන් සතු අයිතිවාසිකමක් වුවත් ශ්‍රී ලංකාවේ එය ක්‍රියාත්මක වන්නේ වැඩි වශයෙන් පෞද්ගලික අවශ්‍යතා ඉටු කර ගැනීම වෙනුවෙන්. තොරතුරු දැනගැනීමේ අයිතිය මහජන සුභසිද්ධිය වෙනුවෙන් භාවිත කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳ ජනතාව උනන්දු වීම ඉතා වැදගත්. දූෂණ හා වංචා අවම කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම වැනි කාරණා කෙරෙහි තොරතුරු අයිතිය භාවිත කළ හැකි නමුත් එවැනි මට්ටමක වන ප්‍රායෝගික භාවිත පවතින්නේ ඉතා අඩු මට්ටමක. ඇතැම් මාධ්‍යවේදීන්, පුද්ගලයන් මෙන් ම සංවිධාන එවැනි මැදිහත්වීම් සිදු කළත් ප්‍රවණතාවක් ලෙස මේ තත්ත්වය තවමත් හඳුනා ගන්නට බැහැ. නිදසුනක් ලෙස ඕනෑ ම තනතුරක බඳවා ගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණවල ලකුණු කෙරෙහි ජනතාවට ඇති උනන්දුව රටේ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ තොරතුරු දැනගැනීම කෙරෙහි දක්නට නොලැබීම කනගාටුදායක කාරණයක්.” මේ අනුව පෙනී යන්නේ තොරතුරු අයිතිය පිළිබඳ පුරවැසියන් මෙන් ම රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ අවශ්‍යතාව දැඩි ව පවතින බව.

Government e-Learning Platform (www.gelp.gov.lk) වෙබ් අඩවියෙහි තොරතුරු අයිතිවාසිකම සම්බන්ධයෙන් නොමිලේ පවත්වන පාඨමාලාව නොමිලේ හැදෑරිය හැකිවීම විශේෂත්වයක්. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ www.rti.gov.lk වෙබ් අඩවිය ඔස්සේ තොරතුරු අයිතිය පිළිබඳ මාර්ගෝපදේශ ලබා ගත හැකි අතර තොරතුරු අයිතිවාසිකම් ඒකකය හඳුන්වා දී ඇති 0112 515 700 උපකාරක දුරකතන අංකය ඇමතීමෙන් තොරතුරු නිලධාරීන්ට මෙන් ම පුරවැසියන්ට තොරතුරු ලබා ගන්නට පුළුවන්.

විවිධ ක්ෂේත්‍රවල විශේෂඥයන්ට පැන නගින ගැටලු විසඳා ගැනීමට තොරතුරු අයිතිය උපකරණයක් (Tool) ලෙස භාවිත කළ හැක්කේ කෙසේද යන්න සම්බන්ධයෙන් වන දැනුවත්භාවය මෙහිදී ඉතා වැදගත්. නීතිඥ ජගත් ලියනආරච්චි; “මානව හිමිකම් ආරක්ෂා කිරීමට, ගවේෂණාත්මක මාධ්‍යකරණයට, දූෂණ මර්දනයට, වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමට, අධ්‍යාපනයට මෙන් ම විවිධ පර්යේෂණ කාර්ය සඳහා තොරතුරු අයිතිය භාවිත කරන්නට පුළුවන්. නිදසුනක් ලෙස මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරිකයකුට මේ පිළිබඳ පවතින දැනුම තම කාර්ය සාර්ථක කර ගැනීමට උපයෝගි කර ගන්නට පුළුවන්. මේ නිසා තොරතුරු අයිතිය පිළිබඳ ප්‍රවීණයන් සහ විෂය ප්‍රවීණයන් එක් ව ක්‍රියා කිරීම සාර්ථකත්වයට හේතුවක්.”

තොරතුරු පනත සම්මත කර ගෙවුණු වසර කිහිපය කෙරෙහි අවධානය යොමු කිරීමේදී පෙනී යන වැදගත් කරුණක් වන්නේ මෙරට පුරවැසියන්ගේ තොරතුරු අයිතිය සුසාධනය කිරීමෙහිලා ගත යුතු බොහෝ ක්‍රියාමාර්ග අප ඉදිරියෙහි ඇති බව. එම වගකීම එක් පාර්ශ්වයකට පමණක් පවරමින් නිහඬවීමේ හැකියාවක් නැහැ. වසර ගණනාවක අත්දැකීම් ඔස්සේ හඳුනාගෙන ඇති ගැටලු‍ නිරාකරණය කර ගැනීම සඳහා සියලු‍ පාර්ශ්ව එක් ව ක්‍රමෝපාය ක්‍රියාවට නැංවීම මෙහිදී ඉතා වැදගත්.