මංගල සුදුසුකම
උගන්ඩාවේ සිංහයන්ගේ මොකක්දෝ විශේෂත්වයක් තිබෙනවා. ඈතින් පය තබමින් උදාර ගතියෙන් යුතු ව උන්ගේ වනාන්තරවල සැරිසරනවා පමණක් නොව මේ සිංහයන් ගස් නැගීමට දක්වන්නේ පුදුමාකාර හපන්කමක්. ලොව වටා අනෙකුත් කැලෑවල සිටින සිංහයන්ට වඩා උගන්ඩා සිංහයන් වෙනස් වන්නේ මේ අසමසම දක්ෂතාව නිසා.
2023 වසරේ නොවැම්බර් 30 බ්‍රහස්පතින්දා උගන්ඩාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් ඔවුන්ගේ සිංහයන්ටත් එහා ගිය දක්ෂතාවක් ලොවට ප්‍රදර්ශනය කරමින් ජාතික තේජසින් යුත් වික්‍රමයක් පෑවේ 2024 වසරේ පැවැත්වෙන ඔ20 ලෝක කුසලාන තරගාවලියේ ස්ථානයක් හිමිකර ගනිමින්.
ජනගහනයෙන් 78%ක් වයස අවුරුදු 30ට අඩු බැවින් උගන්ඩාව ලෝකයේ වැඩියෙන් ම තරුණ රට බවට පත් ව තිබෙනවා. මෙවැනි තරුණ පරපුරක් අතරත් ක්‍රිකට් ක්‍රීඩාව තවමත් නියමාකාරයෙන් ජනප්‍රිය ව නැති තත්ත්වයකදී එරට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකට පිවිසීම විස්මිත දක්ෂකමක්. පාපන්දු, සත් සාමාජික රග්බි හා නෙට්බෝල් යන ක්‍රීඩා උගන්ඩාවේ ජනප්‍රිය පරිකල්පනයේ ඉස්මතු වී තිබුණත් බ්‍රයන් මසාබාගේ කණ්ඩායම ඉතිහාසය ලියා තිබෙන්නේ ගෝලීය ප්‍රධාන ක්‍රීඩාවක ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගත් උගන්ඩාවේ පළමු ජාතික පිරිමි කණ්ඩායම බවට පත්වෙමින්.
ක්‍රිකට් ක්‍රීඩාවේ ස්ථිර කණ්ඩායම් අසා නැති දිසාවකින් ඔබ්බට එම ක්‍රීඩාව උගන්ඩාවේ වර්ධනය වෙමින් තිබෙන බව 32 හැවිරිදි දකුණතින් පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයකු වන නායක මසාබා සිතනවා. “ගෝලීය වේදිකාවක පෙනී සිටීමට ලැබීම උගන්ඩානු ක්‍රිකට් ක්ෂේත්රයට ඉතා සුවිශේෂ වූවක්. ක්‍රිකට් ක්‍රීඩා කරන රටවලට පිටින් තිබෙන ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ ව මෙය හොඳ මතක් කිරීමක්. අවස්ථාව හා වේදිකාව තිබුණොත් ක්‍රිකට් ක්‍රීඩාව ඉතා වේගයෙන් ව්‍යාප්ත විය හැකි බව මෙයින් පෙන්නුම් කරනවා” ඔහු පවසනවා.
උගන්ඩාව මීට පෙර 2004 හා 2006 වසරවල අවුරුදු 19න් පහළ ලෝක කුසලාන හා 2022 වසරේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවති තරගාවලිය වශයෙන් ජගත් ක්‍රිකට් කවුන්සලයේ (ෂක්‍ක්* ගෝලීය තරගාවලි තුනකට සහභාගි වී තිබෙනවා. “මේ වසරේ සංකේතවත් වන්නේ ජ්‍යේෂ්ඨ පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අපේ මංගල සුදුසුකමයි. මේ කුසලතාවෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාව දැන් රටේ වැඩියෙන් ජනප්‍රිය වේවි කියා අපේක්ෂා කරනවා.” එසේ ප්‍රකාශ කරන්නේ උගන්ඩා ක්‍රිකට් සංගමයේ ඩෙනිස් මීස්ලි.
මේ කණ්ඩායම අප්‍රිකාවේ ප්‍රධාන තැනින් බැහැර වූ තැනක සිට පැවත ආවත් සෑහෙන තරමේ විශිෂ්ටතා ඇති ක්‍රීඩකයන් පිළිබඳ ව ඔවුන්ට ආඩම්බර වන්නට පුළුවන්. ෆ්රැන්කෝ එන්සුබූගා නමැති 43 හැවිරිදි ප්‍රවීණ වමත් දඟ පන්දු යවන්නා ඔහුගේ ජීවිත කාලයෙන් අවුරුදු 27ක් ම ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කැප කර තිබෙනවා. වර්තමානයේ, ඔහු ලෝකයේ හොඳම පන්දු යවන්නන් අතර සිටින්නේ විස්සයි20 ජාත්‍යන්තර තරගවල 4.78ක සිත් බඳනාසුළු අනුපාතයක් සමග. ජාත්‍යන්තර විස්සයි20 තරගවල අවම වශයෙන් ඕවර 100ක් යවා ඇති පන්දු යවන්නන් අතර හොඳම දක්ෂතාව වන්නේ ෆ්රැන්කෝගේ පන්දු යැවීම. “ලෝක කුසලාන තරගාවලියක සහභාගිත්වය ගැන ඔහුට ඇතිවන හැඟීම කුමක්දැයි කෙනකු කල්පනා කරන්න පුළුවන්” මීස්ලි පවසනවා.
වසර ගණනාවක කලකිරීම් හා ආසන්නයට ම පැමිණ සිදුවූ අහිමිවීම්වලින් පසුව මට නම් මෙය විශාල සහනයක්. අවුරුදු ගණනාවක් තිස්සේ කළ මගේ සේවය අවසානයේ මල්ඵල ගන්වා ඇති බව මේ සුදුසුකම් ලබා ගැනීමෙන් පෙනෙනවා. මෙතැන් පටන් උගන්ඩානු ක්‍රිකට් ක්‍රීඩාව දලුලා වැඩේවි කියා මම ප්‍රාර්ථනා කරනවා” යැයි ජාත්‍යන්තර ඔ20 තරග 52කට ක්‍රීඩා කර තිබෙන එන්සුබූගා සඳහන් කරනවා.
ලෝකයේ වෙනත් ඕනෑ ම දිසාවක මෙන් උගන්ඩාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භය ද 1890දී මිෂනාරිවරුන් විසින් එය හඳුන්වා දුන් 19 වැනි සියවස අගභාගය දක්වා අතීතයට දිවෙනවා. මුලින් මිෂනාරි පාසල්වලට පමණක් සීමා වූ ක්‍රිකට් ක්‍රීඩාව අලුත් උදෙf්යා්ගයක් අත්කර ගත්තේ ආසියානු කම්කරු බලකායක් උගන්ඩාවට පැමිණීමත් සමග. දේශීය කළු ජාතික ජනගහනයේ උනන්දුව ඇද ගැනීමට බොහෝ කාලයකට පෙර පාසල්වල ක්‍රිකට් ව්‍යාප්ත වීම අඛණ්ඩ ව සිදුවුණා.
වඩාත් ම ජනප්‍රිය ක්‍රීඩාව ක්‍රිකට් නොවුණත් උගන්ඩාව දේශීය සහජ කුසලතාව පෝෂණය කර තිබෙනවා. ජුමා මියාජි හා කොස්මස් කියුලා වැනි ක්‍රීඩකයන් නැමීබියාවේ පැවති ඔ20 ලෝක කුසලාන අප්‍රිකානු සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලට සහභාගි නොවුණත් ඔවුන් අප්‍රිකානු පන්දු යවන්නන් අතර සිටින වේගවත් ම ක්‍රීඩකයන් ලෙස සැලකෙනවා. උගන්ඩාවේ ක්‍රිකට් ක්ෂේත්රය ප්රමුඛ ව කේන්ද්‍රගත ව තිබෙන්නේ කම්පාලා අගනගරයේ. එම නගරය සතු ව ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණ 03ක් තිබෙන අතර කම්පාලා නගරයට පිටින් අමතර ක්‍රීඩාංගණයක් ද පිහිටුවා තිබෙනවා.
නැමීබියාවේ වින්ඩ්හෝක් අගනුවර වොන්ඩරස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති විස්සයි20 ලෝක කුසලාන අප්‍රිකානු කලාපයෙන් සුදුසුකම් ලබා ගැනීමේ තරගවලට ක්‍රීඩා කළ උගන්ඩා කණ්ඩායමෙන් දිස්වුණේ විවිධාකාර මිශ්‍රණයක්. විශේෂයෙන් වමතින් පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක 29 හැවිරිදි අල්පෙෂ් රම්ජානි, වමතින් පිත්ත හසුරුවන හා වේග පන්දු යවන 32 හැවිරිදි ඩිනෙෂ් නක්රානි හා දකුණත් පිතිකරු 35 හැවිරිදි රොනක් පටෙල් ඉන්දීය සම්භවයක් තිබෙන ක්‍රීඩකයන් වන අතර දකුණත් පිතිකරුවකු හා වේග පන්දු යවන්නකු වන 25 හැවිරිදි රිසාට් අලි ෂා සහ දකුණතින් වේග පන්දු යවන 33 හැවිරිදි බිලාල් හසන් පාකිස්තානයෙන් පැවත එන්නන්.
කණ්ඩායමට අමතර ශක්තියක් ගෙන එන්නේ 34 හැවිරිදි දක්ෂ දකුණත් පිතිකරුවකු වන 34 හැවිරිදි රොජ මුකාසා. හිටපු නායකයකු වන ඔහු ශ්‍රී ලංකාවේ පැවති 2006 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයෙක්. කණ්ඩායමෙන් වැඩි දෙනෙක් උගන්ඩාවේ උද්යෝගිමත් ක්‍රිකට් සංස්කෘතියට දායක වන දේශීය ක්‍රීඩකයන්. එකිනෙකට වෙනස් ජනවර්ගවලින් යුත් ගෝත්‍ර 52ක් උගන්ඩාවේ සිටිනවා.
‘වින්ඩ්හෝක්‘හිදී උගන්ඩාව විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබූ අප්‍රිකාවේ දෙවැනි කණ්ඩායම බවට පත්වුණා. ඒ, සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සත්කාරක රට වූ නැමීබියාවට පසුව. ඔවුන්ගේ අමතක නොවන මොහොත පැමිණියේ ජගත් ක්‍රිකට් කවුන්සලයේ පූර්ණ සාමාජිකයකු මෙන් ම ලෝක කුසලාන තරගාවලි කිහිපයකට ම සහභාගි වී මනා පළපුරුද්දක් තිබෙන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටක් වන සිම්බාබ්වේ පරාජය කළ අවස්ථාවේ. එම තරගය කඩුලු 5කින් ජයග්‍රහණය කිරීමට උගන්ඩාව සමත් වුණා. උගන්ඩාවේ තවත් ප්‍රධාන ජයග්‍රහණයක් වූයේ ඔවුන්ගේ සාම්ප්‍රදායික නැගෙනහිර අප්‍රිකානු ප්‍රතිවාදීන් වන කෙන්යාව පරාජය කිරීම. උගන්ඩාවේ අනෙක් ජයග්‍රහණ වාර්තා වුණේ ටැන්සානියාව හා නයිජීරියාවට එරෙහි ව. ඔවුන් මේ තරගාවලියේදී නැමීබියාවට පමණක් පරාජය වුණා.
සුදුසුකම් ලබා ගැනීම ස්ථිර වූයේ ඔවුන් කඩුලු 9කින් රුවන්ඩාව පහසුවෙන් පැරදවීමෙන්. ඒ සමග ම උගන්ඩාව ලබන ජූනි මාසයේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හා ඇමරිකාවේ පැවැත්වෙන ඔ20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන කණ්ඩායම් 20න් අන්තිම කණ්ඩායම බවට පත්වුණේ වඩාත් යහපත් හෙට දවසකට බලාපොරොත්තු ඇති කර ගනිමින්.
වර්නන් ගුණසේකර