#පොත්පත්

නමක් දන්නැති මලක්

ප්‍රංශ ලේඛක ආන්ද්‍රේ ගයිඩ් පවසන්නේ ‘එබැවින්‘ යන වදන කවියා නොදැන සිටිය යුතු වදනක් බව. එහි විසල් අරුතක් තිබෙනවා. කිසියම් අත්දැකීමක් කවියක් ලෙස ප්‍රතිනිර්මාණය කිරීමේදී එයින් බැහැර නරඹන්නකු ලෙස සිටීමෙන් සාර්ථක කවියක් නිර්මාණය කළ නොහැකිවාක් මෙන් ම එය මෙසේ වියයුතුයැයි ද කවියාට ජීවිතයට නිර්දේශ නිකුත් කරන්නට බැහැ. කවිය සාර්ථක නිර්මාණ ගමනාන්තයක් කරා නිරුපද්‍රිත ව ළඟාවන්නට නම් සිය ගමන් පැසෙහි සුරක්ෂා කරගත යුතු ආම්පන්න කිහිපයක් තිබෙනවා. ප්‍රබල කාව්‍යානුභූතිය, එය ඉල්ලා සිටින ආකෘතිය, අනුභූතියේ ප්‍රබලත්වය ශක්තිමත් කරන බස්වහර යන කාරණා එහිදී ප්‍රධාන වනවා. කවියේ ඒකමිතිය මෙන් ම කූඨප්‍රාප්තිය ද එහි රස නිෂ්පත්තිය වෙනුවෙන් ප්‍රබල ව බලපානවා. එබැවින් කවියක් වැනි සියුම් සංවේදනා ප්‍රක්ෂේපණය කරන සාහිත්‍යාංගයක් භාවපුර්ණ ව හා අර්ථපූර්ණ ව ඉදිරිපත් කිරීම පහසු නැහැ.

නවක කිවිඳියක වන නිශංකා ජයසිරිගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය ‘නමක් දන්නැති මලක්’ රසවිඳින විට දැනෙන මූලික ම කරුණ වන්නේ කවි රස අනුභූතීන් සරු පොළොවක, ඒවා සාරා පාදාගත හැකි කාව්‍ය කුසලතා පිරිපුන් කිවිඳියකගේ සම්ප්‍රාප්තික පා සලකුණු ඈ තබන්නට සූදානම් බව. මානව ජීවිතයේ අතිශය සියුම් කලාපවල සැඟ ව ඇති සංවේදනා සිය කවි ඇසට ඇය හසුකර ගන්නවා.

‘ගැහැනියක වූ කල’‍ කවිය එවැනි ප්‍රබල සංවේදනාවක් සංකේතීය ව හසුකරගත් කවියක්. ඇය මෙහිදී කාන්තාව නැත්නම් ගැහැනිය සංකේතාර්ථයෙන් සමාන කරන්නේ වැවකට.

තැනින් තැන ඉරි තැළුණ
වැව් පතුල හංගගෙන
ඔළුව උස්සන ගොයමට
කන්න දෙන එකයි යුතුකම (13 පිටුව)

මේ කවියේ අපූර්වතා ගුණය මතුවන්නේ ඒ නිසා. කුමන ප්‍රශ්න තිබුණ ද තමන්ගෙන් යැපෙන්නන් සුරක්ෂා කිරීම මේ පුරුෂාධිකාරී සමාජය ගැහැනියකට පවරා ඇති අයුරු කිවිඳියගේ නිරීක්ෂණාක්ෂියට හසුවන්නක්.

මේ කන්නේ වැස්ස ද
ඉහත්තාවේ කැළෑ කපල ද
අහන්නට කවුරුවත් නැතුවට
වැවක් වූ කල නිලට
බැබලෙන එකයි යුතුකම.

කුමනාකාරයේ මානසික ගැටලු, පීඩන හෝ කායික අපහසුතා තිබුණ ද ගැහැනිය එය ඉවසා වැදෑරිය යුතු වනවා. මෙය මොනතරම් අසාධාරණයක් ද?

සීඝ්‍රයෙන් පුළුල් වන මධ්‍යම පාන්තික සමාජ ස්ථරයෙහි හීනවල ගබ්සාවීම ඇය පවුලක කේන්ද්‍රීය චරිතය වන පියා ඇසුරෙන් පවසන ආකාරය ‘හීන’ නිර්මාණයට අනුභූතිය කරගන්නවා.

කඩලා පිටිපස්සෙ ම බිත්තිය
ගහමු කුස්සිය තට්ටු දෙකකට
පරණ හුඩ් එක කඩලා ඔතනම
ගැහුවමයි හැඩ වැරෙන්ඩා එක (පිටුව 14)

මෑත කාලයේ මධ්‍යම පන්තිය විශාල වශයෙන් පුළුල් වන ආකාරය දක්නට පුළුවන්. නව ආර්ථික පෙළගැසීම් හා බරතැබීම් මෙයට විශාල වශයෙන් හේතු වී තිබෙනවා. න්‍යෂ්ටික පවුල සෑම විට ම උත්සාහ කරන්නේ සේකර පවසන ආකාරයට ”‍වික්ටර් බතක් වතක් ගෙයක් දොරක් රස්සාවක් ලද පමණින් ”‍ වශයෙන්. මෙයට අලු‍තින් එකතුවිය යුතු අංග කිහිපයක් ද තිබෙනවා. වාහනයක්, ඇපල් ෆෝනයක්, දරුවන්ට උසස් පාසලක් වැනි දේ ඒ අතර විශේෂ වනවා. පුළුල් වන නව මධ්‍යම පාන්තිකයාගේ හීනවල ස්වරූපය ඒ ආකාරයි. එබඳු හීන දකින බොහෝ මධ්‍යම පාන්තිකයන්ට ඒවා යථාර්ථයක් බවට පත්කර ගැනීමට තම කෙටි ජීවිත කාලයේ ඉඩක් ලැබෙන්නේ නැහැ.

මේ නව මධ්‍යම පන්තියේ හීන නාය යන හැටි නිශංකා හෘදයසංවේදී ආකාරයෙන් කියන්නේ මේ ආකාරයෙන්.

ඒත් හිත අත නෑර කිසිවිට
තාත්තා ඔය හීන දුටුවෙ ය
ආණ්ඩුවෙ රෝහලේ රළු ඇඳ
පවා ඒ බව දැනන් හිටියෙ ය
අපි නොදත් තව බොහෝ හීන ද
මිට මොළොවගෙන හිටිය අත් දෙක
ලිහිල් වී බිම වැටී තිබුණා
රෝද පුටුවෙන් බිමට හවසක

මධ්‍යම පාන්තික පියාගේ මිය යාම කාව්‍යාත්මක ව්‍යංගයකින් ඇය පවසන ආකාරය ඇගේ කවීත්වය ගැන ඉඟි සපයන අපූරු අවස්ථාවක්.

නිශංකාගේ කවියෙහි කූඨප්‍රාප්තිය පිළිබඳ ඇය වඩාත් සැලකිල්ල දැක්විය යුතු ව තිබෙන බව කෘතිය පරිශීලනය කරන විට දැනෙනවා. මන්ද කූඨප්‍රාප්තියයි කවියේ ප්‍රබලත්වය මතුකරන නිලය වන්නේ. එය රසිකයාගේ මනස සමග ගනුදෙනු කරනවා. රසිකයා උස්සා පොළොවේ ගසන තැන එතැන. රසිකයාට අංකුශයෙන් ඇණ ඇත්ත ජීවිතය මෙහෙමයි, බලාපල්ලා පවසන්නේ එතැනින්. එහෙත් ඇතැම් තැනක ඇගෙන් එය ගිළිහී යනු පෙනෙනවා. ඒ නිසා ඒ ගැන ඇය තවත් සැලකිලිමත් විය යුතු වනවා.

නිශංකාගේ බස නැවුම්. සංකේත, උපමා රූපක නැවුම්. මේ නැවුම් බව නිසා ම ඇගේ කවිය කෘත්‍රිමභාවයෙන් මිදී ස්වාභාවිකත්වයට වඩාත් ළඟා වනවා. ‘ප්‍රේමය’ වැනි සුලබ අනුභූතියක් රැගෙන නිර්මාණ කරන විට ඇගේ මේ බුහුටි භාවිතාව කැපී පෙනෙනවා. ‘හුරු පුරුදු බංකුව’ නිර්මාණයේදී ප්‍රේමයේ විරහව පවසන්නට ඇය සංකේතයක් ලෙස භාවිත කරන්නේ උයනක පෙම්වතුන් ගැවසෙන බංකුවක්.

අපේ හසරැළි හොඳින් හඳුනන
උයන් තෙර හුරු පුරුදු බංකුව
තිබුණ තැන බැලු‍වා ම නිකමට
නෙත ගැටුණි, මට මගේ සිහිනම
එතැන තවමත් දිර දිරා යන (පිටුව 15)

කවියට අවශ්‍ය වන්නේ මේ නිමාව. මෙතැනදී ඇගේ බස ඇතුළේ ඇය ව්‍යංගයෙන් අපට පවසන විසල් කතන්දරයක් තිබෙනවා. එය අපේ ජීවිත අත්දැකිම් සමග පුරුද්දා ගත්විට අප ව බදුන් කරන්නේ තිගැස්මකට.
ප්‍රේමයේ වියොව ගැන ලියැවුණ අපූරු කෙටි කවක් මේ කෘතියේ තවත් තැනක මුණ ගැසෙනවා.

රතු රිබන් ගැවසුණ
රථයක් වේගයෙන් ඉගිලෙයි
දිරාගිය කොළයක් දෙකක්
ඒ පසුපසින් දුවන්නට ගොස්
හති වැටෙයි
නතර වෙයි. (පිටුව 41)

‘‍වළල්ල’, (පිටුව 54) වැනි නිර්මාණයකදී පවා ඇය සහෝදර ප්‍රේමයේ ඇති සියුම් බව ස්පර්ශ කරන ආකාරය අපූරුයි. සංකේතාර්ථයෙන් වීදුරු වළල්ලක් ඒ සඳහා භාවිත කරන ආකාරය මනරම්.

සමාජයේ ආන්තික පුරවැසියන් ගැන මහා සමාජය නොතකන වටපිටාවක නිශංකා බොහෝ දෙනකුට මගහැරුණ කණ්ඩායමක් ගැන සිය අවධානය යොමු කරන්නේ මෙලෙසින්. ‘හොඳ වතුර’ නිර්මාණයේදී ඈ සිය කාව්‍යමය වදන් තෙළිතුඩට හසුකර ගන්නේ ළිං ඉසින කම්කරුවන්ගේ ජීවිතය.

ළිං පතුලෙ ඉඳ උඩ බලන විට
අහස සඳ සේ පෙනේ ඈතට
පොළොව ඇත්තේ අහස් උසකය
ලෝකයෙන් අපි බොහෝ පාත ය (පිටුව 19)

ඇය වචනයෙන් අඳින සිතුවම අපූරුයි. ලිඳක් ඇතුළට බැස ඉහළ බැලු‍විට පේන දර්ශනය ළිං ඉසින්නාගේ ජීවිත ස්වරූපය සමග බද්ධ කරන ආකාරය කාවf්‍යා්පක්‍රමයක්. ඇය ‘ලෝකයෙන් අපි බොහෝ පාත ය’ කියා පවසන සැණින් ඔවුන් පොදු සමාජයෙන් කෙතරම් ආන්තීකරණයට ලක්වී ඇත්දැයි අපට වටහා ගන්නට පුළුවන්. ඇය නිර්මාණය අවසන් කරන්නේ අපූරු දේශපාලනික දැක්මකින්.

ඉහපු ළිඳකට උනන උල්පත
මම හෙලන දාඩිය ය කඳුල ය
සහතික ය ඒ වතුර හොඳ බව
ගඳක් සුවඳක් ඉතිරි වී නැත
පොදු මහා සමාජය තුළ ඒ දහදිය කඳුළට නිසි වටිනාකමක් ලැබේ ද?

මේ ආකාරයෙන් ම ඇය සමාජයේ ආන්තිකකරණයට ලක් ව දුක්විඳින පුරවැසි කණ්ඩායම් ගණනාවක් සිය කවි අනුභූතීන් ලෙස භාවිත කරනවා. ‘රත් ඇඟිලි’‍ නිර්මාණය වතුකරයේ තේ දලු නෙළන කාන්තාවන් දෙස බැලූ දයාර්ද්‍ර බැල්මක්.

තේ පඳුරු අතර හිඳ
ලේ උරාබොන කූඩැල්ලන්ට වැඩියෙන්
දලු‍ කඩන ගෑනු කෙට්ටු
ඇයි දැයි කාට හරි හිතුණ ද? (පිටුව 48)

මේ කවිය ”‍උඩරට කඳුකර සිරියා පරදන රූබර මුහුණ ඔබේ”‍ වැනි ගීතයකින් මවන අතිශයෝක්තිමය ෆැන්ටසිය මොන බොරුවක් ද? කියා අපට පවසනවා.

නිශංකා ජයසිරිගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහයෙන් ඇය පෙන්වන සුවිශේෂ ලක්ෂණය වන්නේ සමාජගත කාරණා හඹායන්නට ඇය දක්වන ලැදියාව. එය සාර්ථක කවියකු අත්පත්කරගත යුතු ගුණයක්. එසේ නොවන විට එවැනි කවි කිවිඳියන්ට දීර්ඝ ගමනක් උරුම වන්නේ නැහැ. පළමු වටයෙන් ම අහසින් බැසගිය එවැන්නන් ශ්‍රී ලාංකික සාහිත්‍ය ක්ෂේත්‍රයේ බහුල වනවා. එම නිසා තව තවත් කවිය පිළිබඳ සොයා බැලීමෙන් හා කවියට අවශ්‍ය නව අනුපාන අවබෝධ කර ගැනීමෙන් නිශංකාට බොහෝ දුරක් යන්නට පුළුවන්.

  • කපිල එම්. ගමගේ