මහජන නියෝජනයේ නාඹර ආගමනය
පළාත් පාලන ආයතනවල සහ පාර්ලිමේන්තුවේ තරුණ නියෝජනය වර්ධනය රටේ ජවසම්පන්න ශ්‍රම බලකායෙන් වැඩි පිරිසක් දේශපාලනයට සම්බන්ධ කර ගැනීමට පිටිවහලක්. එය රටක සංවර්ධනයටත් අදාළ කර ගත හැකි බව සමාජගත ව බොහෝ කාලයක් ගත වුවත් ඊට ස්ථාවරභාවයක් ලබා දීමට කල්පසු වුණා. යම් ක්‍රියාදාමයක් උත්තරීතර ම තැනින් ආරම්භ නොවී බිම් මට්ටමේ සිට වර්ධනය වී භාවිතයට පැමිණෙන්නේ නම් ඉන් අත්විය හැක්කේ අවබෝධාත්මක සහ ප්‍රායෝගික අත්දැකීම් සහිත ව වඩාත් තහවුරු වූ වාසි සමූහයක්. අන් ක්ෂේත්‍ර සමග සංසන්දනය කළ විට දේශපාලන විෂයයෙහි ලා මේ තත්ත්වය වඩාත් වැදගත්.
පළාත් පාලන ආයතන යනු ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහනගර සභා යන ආයතනවල එකතුවෙන් සෑදුණු පරිපාලන ව්‍යුහය වන නිසා පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණවලට ඉදිරිපත් වීමට පෙරාතුව දේශපාලන විෂයෙහි න්‍යායාත්මක සහ ප්‍රායෝගික හැදෑරීම් ද මහජනයාට අතිසමීප අත්දැකීම් ද බිම්මට්ටමේ ජනතා ආකල්ප සහ හැඟීම් ගැන දැනුම් තේරුම් ද සාධනීය මහජන පිළිගැනීමක් ද ජීවිතයේ වැඩ කළ හැකි කාලසීමාව ඉක්මවා යාමට පෙර පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කළ යුතු ආකාරය පිළිබඳ යම් ශික්ෂණයක් ද පියවරෙන් පියවර ඉදිරියට ඒමේ යහපුරුද්ද සහ ඉවසීම ද සහිත ප්‍රාදේශීය මට්ටමින් විසිරී පැතිරී සිටින හැකියා සහ දක්ෂතා පූර්ණ ස්වාධීන චින්තනයක් ඇති තරුණ තරුණියන් ක්ෂේත්රගත කර ගැනීමයි යහපත්. එවිට දේශපාලනයට ඈඳෙන්නේ පෘථුල වටිනාකමක්.
වර්ෂ 2023 නොවැම්බර් මස 10 දා සම්මත කරනු ලැබ නොවැම්බර් 17 දා කතානායකවරයා විසින් අත්සන යොදා සහතිකය සටහන් කරනු ලැබුවේ එවැනි අගයක් තිබෙන ‘2023 අංක 30 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත’. වර්තමාන පාර්ලිමේන්තුවට කොළඹ දිස්ත්‍රික්කයෙන් තේරී පත්වූ ළාබාලතම තරුණ මන්ත්‍රීවරයා වන නීතිඥ ප්‍රේම්නාත් සී. දොළවත්ත විසින් සිය පෞද්ගලික යෝජනාවක් ලෙස ඉදිරිපත් කර තිබුණු එය සහතික කෙරුණේ සිය උපන්දිනයේදී වීම සුවිශේෂත්වයක් බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ. මෙලෙස සංශෝධනය වූයේ ‘(262 වන අධිකාරය වූ) පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත’.
මේ පිළිබඳ අදහස් දැක්වූ ඔහු: “මේ පනත් කෙටුම්පත 2022 ඔක්තෝබර් මස 14 දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට්පත්‍රයේ II වැනි කොටසේ පළවුණා. මන්ත්‍රීවරයකුගේ පෞද්ගලික යෝජනාවක් ලෙස අදාළ අමාත්‍යංශය විසින් ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ පනතක් ලෙස සම්මත කිරීම භාරදූර ක්‍රියාදාමයක්. ඒ සඳහා එම කෙටුම්පතේ නිරවද්යභාවයත් නීත්‍යානුකූලභාවයත් රටේ අනාගත ඉලක්ක සපුරා ගැනීමට දක්වන දායකත්වයත් දේශපාලන පක්ෂවල ප්‍රතික්ෂේප විරහිත එකඟත්වයත් තිබිය යුත්තේ 100%ක අගයේ. ඒ සියලු අභියෝග ජයගෙන පසුගිය මහාමැතිවරණයට පෙර මා ජනතාවට ලබා දුන් පොරොන්දුවක් මෙසේ ඉටු කරන්නට ලැබීම බලවත් සතුටක්.”
තමා මේ යෝජනාව ගෙන ආවේ පළාත් පාලන ඡන්දය කල් දැමීමේ ආණ්ඩුවේ උපක්‍රමයක් ලෙස බවට කරන ලද විපක්ෂයේ චෝදනාව එයින් පරාජයට පත් වූ බවත් මන්ත්‍රීවරයා පැවසුවා.
88-89 කාල වකවානුවේ තරුණ නැගිටීමත් සමග රටේ ඉතා වටිනා තරුණ ජීවිත දහස් ගණනක් නිරපරාදයේ විනාශ වුණා. ජීවිත පමණක් නොව එහිදී අහිමි වුණේ කෝටි ගණනක දේපළත්. එසේ හානිවූ ජීවිතවල සහ දේපළවල වටිනාකම මූල්‍යමය වශයෙන් තක්සේරු කළ නොහැක්කක්. ඒ පිළිබඳ සොයා බැලීමට එවක පැවැති රජය තරුණ සහන කොමිසමක් පත් කළ බව පවසන මන්ත්‍රීවරයා රටේ තරුණ තරුණියන්ට සම්මත දේශපාලනයට පිවිසීමට අවශ්‍ය මංපෙත් වැඩිපුර විවර කර දීම එහි ප්රමුඛ නිර්දේශයක් වු බව සඳහන් කළා. ඊට සුදුසු ම අවස්ථාව වන්නේ දේශපාලනයේ බිම්මට්ටමේ ආයතනික ව්‍යුහය වන පළාත් පාලන ආයතනවල දොරටු හැකිතාක් තරුණ ප්‍රජාව වෙත විවර කර දීම. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඔහු; “මුල් අවස්ථාවේ පළාත් පාලන මැතිවරණ සඳහා වන නාමයෝජනාවලින් 40%ක් තරුණ කණ්ඩායමට ලබා දීමට යෝජනා වී තිබුණා. එහෙත් පසුකාලීන ව මේ අගය 25%ක් දක්වා අඩු වුණා. මෙහි වයස් කාණ්ඩය අවුරුදු 18-35ත් අතර. ඉන්පසු එළැඹි පළමු මැතිවරණය වූ 1991 පළාත් පාලන මැතිවරණයේ සිට 2017 දක්වා පැවැති මැතිවරණවල මේ නියෝජනය ක්‍රියාත්මක වුණා. මේ නිසා පරම්පරාගත, ප්‍රභූ සහ බලයත් ධනයත් හිමි යන පාර්ශ්වවල ඊළඟ පරපුර හැරුණු කොට නිර්ප්‍රභූ, නිර්දේශපාලනික, නිර්ධන මහජනයා අතරින් කැපී පෙනුණු දක්ෂතා සහිත, අවංක සහ බුද්ධිමත් සමාන්‍ය පවුල්වල තරුණ තරුණියන් විශාල සංඛ්‍යාවක් දේශපාලනයට පිවිස ජාතික දේශපාලන වේදිකාවේ මැති ඇමති මහඇමති වැනි තනතුරු දක්වා ඉහළට ම ගමන් කළා. එහෙත් වර්ෂ 2017දී ගන්නා ලද යම් යම් දේශපාලන තීන්දු මත තරුණ නියෝජනයේ අනිවාර්ය ප්‍රතිශතය අනිවාර්ය නොවන අංගයක් බවට පත්වුණා. 2018 මැතිවරණයේදී තරුණ නියෝජනයේ අනිවාර්යභාවය ඉවත් කර කාන්තා නියෝජනයයි අනිවාර්ය අංගයක් බවට පත්වුණේ. ඒ නිසයි 2018 මැතිවරණය වයස්ගත මැතිවරණයක් සේ ඇතැමුන් අර්ථ දැක්වූයේ. එහි අහිතකර ප්‍රතිඵලය වුණේ එතැන් සිට ඉදිරි වසර 10-15 තුළ පාර්ලිමේන්තුව නියෝජනයට සුදුසු ප්‍රබල දේශපාලනඥයකු බිහි වීමේ ලක්ෂණ සහිත තරුණ දායකත්වය අඩු වීම. දේශපාලන වේදිකාවේ ක්‍රියාකාරී තරුණ නීතිඥයකු ලෙස මා මේ පිළිබද දැඩි සේ තර්ක කළා. එහි දිගුවක් ලෙසයි මෙරට දේශපාලනයට අහිමි වූ තරුණ කෝටාව ප්‍රතිස්ථාපනයට අවශ්‍ය මැදිහත්වීම මා සිදු කළේ.”
පළාත් පාලන ආයතනවල තරුණ නියෝජනයේ ප්රතිශතික අගය ඉහළ දැමීමෙන් පමණක් බලාපොරොත්තු වන රාජ්‍ය සංවර්ධනය, මහජන ශුභසාධනය, ආර්ථික සමෘද්ධිය, සංස්කෘතික දියුණුව යනාදී දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් රටට ලැබිය යුතු ප්රතිලාභ ලැබේදැයි යන්න තිබෙන්නේ සැකයක්. තරුණ නියෝජනය වැඩි ඇතැම් පළාත් පාලන ආයතනවලින් පසුගිය කාලවල අනෙක්වාට සාපේක්ෂ ව මහජනයාට අඩු නාස්තියකින් වැඩි සේවාවක් ඉටු වී ඇති අවස්ථා පවතිනවා. එය රටට වාසියක්. එහෙත් වඩාත් පරිණත වැඩිහිටි දේශපාලනඥයන්ගේ දැනුම සහ පළපුරුද්දෙන් මෙරට දේශපාලන ක්ෂේත්රයට ලැබිය හැකි වටිනාකම් සීමා වීමට මෙය හේතුවක් විය හැකිදැයි යමකුට ගැටලුවක් මතුවන්නටත් පුළුවන්.
ඒ පිළිබඳ මන්ත්‍රීවරයා දරන්නේ මෙවැනි මතයක්. ඔහු; “විශාල වශයෙන් ඍජු ව සමාජය සමග ගැටෙන්නට සිදුවන්නේ ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහා නගර සභාවල නියෝජිතයන්ට. දේශපාලන සහ සංවර්ධන කාර්යයන් ක්‍රියාත්මක කිරීමේදී මහජනයාගේ වැඩි ආකර්ෂණය සහිත තරුණකම සහ තරුණන්ගේ නව්‍යභාවය සහිත මැදිහත්වීම් සහ අදහස් උදහස් නිසා ඉතා ශක්තිමත් කාර්යක්ෂම සහ ඵලදායී ශ්‍රම යෙදවුමක් උදෙසා ඉඩකඩ විවර වනවා. අනෙක් කරුණ වන්නේ, තරුණ අදහස්වලට සහ ජවයට උපදේශනාත්මක මට්ටමින් සහාය වෙමින් ඔවුන්ගේ වැඩකිරීමේ හැකියාව නිවැරදි දිශානතියකට හරවමින් සක්‍රීය දේශපාලනයෙන් පරිණත උපදේශනාත්මක දේශපාලන භූමිකාවක් දක්වා වෙනස් වූ ආකල්පමය වෙනසක් වැඩිහිටි දේශපාලනඥයන් තුළ ඇති වීමට ද මෙය රුකුලක් වීම. එය කලක පටන් රටේ පවතින හිඩැසක්.” දේශපාලන අවබෝධය සහිත අනාගත පරපුරක් නිර්මාණය කිරීමේ ඉලක්කයක් පිළිබඳත් මෙහිදී සැලකිලිමත් වූ බව ඔහු ප්‍රකාශ කළා.
අනෙකුත් ක්ෂේත්‍ර හා සමගාමී ව දේශපාලන ක්ෂේත්රයේ ද තරුණ නියෝජනයේ පුළුල් වර්ධනයක් නොමැති ව රටක් ලෙස ලෝකය සමග ඉදිරියට යා නොහැකි අතර දේශපාලනයේ යාවත්කාලීන ස්ථාවර පැවැත්ම තහවුරු වන්නේත් නැහැ. සමාජ ආර්ථික සංස්කෘතික දැනුමැති ශාරීරික සහ මානසික ශක්තියෙන් හෙබි නව ආකල්ප සහිත නිරෝගී ජවසම්පන්න සාමාන්‍ය තරුණ තරුණියන් පිරිසක් අනාගතයේ මෙරට දේශපාලනය වටා එක් රොක් වීමටයි මෙයින් අවස්ථාව උදාවන්නේ.
ව්‍යවස්ථාදායකය විසින් රටේ නීති කෘත්‍යයක් බවට පත් කරනු ලැබ ඇති මේ පනතට අනුව මීළඟ පළාත් පාලන මැතිවරණයේදී ඒ ඒ පක්ෂ විසින් ඉදිරිපත් කරනු ලබන නාමයෝජනා පත්‍ර 25% තරුණ නියෝජනය සම්පූර්ණ නොවී ඇත්නම් අසාදුගත ව ප්‍රතික්ෂේප වන්නට පුළුවන්. ඒ අනුව සිදුවිය හැක්කේ, දැනට ක්‍රියාත්මක වන ආකාරයට පක්ෂ විසින් සිය නාමයෝජනා පත්රවලට හුදෙක් ජනප්‍රියත්වය, බලය, ධනය, දේශපාලන කුලවත්භාවය, වංශය වැනි සාධක මත ඇතුළත් කරනු ලබන නම් සංඛ්‍යාව සීමාවකට යටත් කිරීමට සිදු වීම. එය පක්ෂයක් ලෙස සෑම පක්ෂයකට ම පාඩුවක් සේ යමකුට මතුපිටින් පෙනී ගියත් රටක් සමාජයක් ලෙස වඩාත් සාධනීය ඵලප්රයෝජන සහිත කාරණයක් බවත් දොළවත්ත මන්ත්‍රීවරයා අවධාරණය කළා.
මේ පනතට ඉහළ වටිනාකමක් ලැබෙන්නේ සම්මත වීමෙන් ම නොව, පක්ෂයට සහ තමාට සීමා වන හුදු දේශපාලකයන් පිරිසක් නොවන, රටට සහ මහජනයාට ආදරය කිරීම පිණිස නාභිගත වන නාඹර තරුණ විශිෂ්ට දේශපාපාලනඥයන් :ඡදකසඑසජස්බි* සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් :ෘසචකදප්එි* පිරිසක් දේශපාලන ධූරාවලියේ ස්ථානගත වුවහොත් පමණක් නිසා තෝරා බේරා ගැනීම මහජනයාට භාර කාර්යයයක්.
නුවන් කුමාර කටුගම්පල