වනස්පති

- රංගිකා අබේසේකර
රක්ෂිත වනාන්තරයක් යනු වනාන්තර ආරක්ෂා කිරීම සහ සංරක්ෂණය කිරීම සඳහා නම් කරන ලද ප්‍රදේශයක්. බොහෝ විට එය ජෛව විවිධත්වය සහ ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීම සඳහා යම් යම් ක්‍රියාකාරකම් සීමා කෙරෙන ආරක්ෂිත ප්‍රදේශයක්. මෙරට කාලගුණික, දේශගුණික තත්ත්ව සහ ස්වාභාවික ආපදා වැළැක්වීම සඳහා හඳුනාගත් ප්‍රදේශ වන මේවා සංවේදී කලාප ලෙස සැලකෙනවා.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය කෙරෙන රජයේ වනාන්තර ‘රක්ෂිත වනාන්තර’ ලෙස ප්‍රකාශයට පත් කර ඒවා තිරසර කළමනාකරණයට ලක් කර අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීමේ ‘වනස්පති‘ ජාතික වැඩසටහන නොබෝදා (ජූලි 15) ඇරඹුණේ ගම්පහ බජ්ජන්ගොඩ රක්ෂිත වනාන්තර එළිමහන් රංග පීඨයේදී. මේ කාර්යයේදී රක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කළේ මෙරට වනාන්තර 16ක්. මොණරාගල දිස්ත්‍රික්කයේ වනාන්තර 10ක්, අම්පාර දිස්ත්‍රික්කයේ වනාන්තර 04ක් සහ මහනුවර දිස්ත්‍රික්කයේ වනාන්තර 02ක් වශයෙන් වූ මේ රක්ෂිත 16 අතරින් සැලකිය යුතු සංඛ්‍යාවක් වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර වන අතර සවානා වනාන්තර, තෙත් සදාහරිත වනාන්තර සහ කඩොලාන වනාන්තරයක් ද ඊට අයත්.
‘වනස්පති’ ජාතික වැඩසටහනට සමගාමී ව 2025 වසරේ ජගත් කඩොලාන සුරැකීමේ දිනය නිමිත්තෙන් මෙරට කඩොලාන වනාන්තර 08ක් ද රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කෙරුණා. ඒ, පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් හලාවත අඩවි වන කාර්යාලයට අයත් මාදම්පෙ පනිරෙන්ඩාව මරම්බැට්ටිය මූකලාන, මාදම්පෙ පනිරෙන්ඩාව වවුල්කැලේ, හලාවත මැරවල C, මැරවල B, මැරවල A, හලාවත කාකකපල්ලිය මැරවල, ආරච්චිකට්ටුව කුසල සහ ආරච්චිකට්ටුව කරුකපනේ B යන කඩොලාන වනාන්තර.
පරිසර අමාත්‍යාංශ ලේකම් කේ. ආර් උඩුවාවල සඳහන් කරන්නේ වනාන්තර රක්ෂිත බවට පත් කර ආරක්ෂා කර ගැනීම ‘වනස්පති‘ ජාතික වැඩසටහනේ මූලික අරමුණ වන බව. ජාතික මෙන් ම ජාත්‍යන්තර වශයෙන් මෙය ඉතා වැදගත්. දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේදී කථිකාවට ලක්වන ප්‍රධාන මාතෘකා 16න් ‘වන සංරක්ෂණය’ ප්‍රමුඛ වූවක්. ශ්‍රී ලංකාවේ වන ගහනය 2030 වසර වන විට 29% සිට 32%ක් දක්වා වර්ධනය කර ගැනීමටනම් වනාන්තර ආරක්ෂා කරගැනීමේ ක්‍රමවේදයක් සැකසිය යුතු බව ලේකම්වරයා අවධාරණය කරනවා.
ශ්‍රී ලංකාවේ ‘වන ක්ෂේත්‍ර’ ප්‍රතිපත්තියේ ප්‍රධාන ක්ෂේත්‍ර 3ක් තිබෙනවා. වනාන්තර තිරසර ලෙස කළමනාකරණය එක් ක්ෂේත්‍රයක්. එම ප්‍රතිපත්තිය යටතේ වනාන්තර වර්ගීකරණය කරනවා. රක්ෂිත වනාන්තර, සංරක්ෂිත වනාන්තර, ගම්බද වනාන්තර, වෙනත් වනාන්තර සහ රජයේ කැළෑ ලෙසයි ඒවා නම් කෙරෙන්නේ. මෙරට රක්ෂිත හා සංරක්ෂිත ලෙස වනාන්තර 910ක් ප්‍රකාශයට පත් කර තිබීම විශේෂත්වයක්. ඒවායෙහි භූමි ප්‍රමාණය හෙක්ටයාර් ලක්‍ෂ 13ක් පමණ වනවා. 2030 වසර වන විට 32%ක් දක්වා වනාන්තර වර්ධනය කරමින් යන ඉලක්කයේ තව තවත් වනාන්තර සංරක්ෂණය කළ යුතු බවයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන සංරක්ෂක ජනරාල් එස්. සී පාලමකුඹුර සඳහන් කරන්නේ.
2025 වසරේ ජූනි 05 ජගත් පරිසර දිනය සැමරීම නිමිති කරගෙන වනාන්තර 5ක් රක්ෂිත ලෙස ගැසට් කර ප්‍රකාශයට පත්කර ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළට මුලපිරුවා. එහි දිගුවක් ලෙස ‘වනස්පති’ වැඩසටහන ආරම්භ කරන බවත් වාර්ෂික සැලැස්මකට වඩා මෙය දිගුකාලීන සැලැස්මක් බවත් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සඳහන් කරනවා.
රක්ෂිත ලෙස වනාන්තර නම් කිරීමේදී සාමාන්‍ය ජනතාවගේ ඉඩම් හෝ කර්මාන්ත සඳහා වෙන් කර ඇති ඉඩම් අත්කර ගැනීමට හෝ විශේෂයෙන් ජෛව විවිධත්වය විනාශ කරමින් කර්මාන්ත සංවර්ධනයට රජයේ කිසිසේත් ම මැදිහත්වීමක් මෙහිදී සිදු වන්නේ නැහැ. වනාන්තරවල භූමිය සහ මායිම් සම්බන්ධයෙන් අදහස් දක්වන වන සංරක්ෂක ජනරාල් එස්.සී පාලමකුඹුර; “දීර්ඝකාලීන ව ජනතාව විසින් අනවසරයෙන් විවිධ වගා සිදු කරනු ලැබූ ඉඩම්වලින් විශාල ප්‍රමාණයක් 2023 වසරේ සිට දෙපාර්තමේන්තුවේ පාලනයට ගෙන, විශාල භූමියක වන වගා සිදු කර තිබෙනවා. ඒ, නඩත්තු කිරීම් ද සමග. වනාන්තර ලෙස කළමනාකරණය කිරීමට නොහැකි භූමි හඳුනාගෙන ඒ භූමි කොටස් ඉඩම් කොමසාරිස් වෙත නිදහස් කිරීමටත් පියවර ගන්නවා. මේ ක්‍රියාවලිය ඔස්සේ නැවත නැවත කැළෑ එළි කිරීම් සිදු නොවනු ඇති”.
ශ්‍රී ලංකාව ජෛව විවිධත්ව ඝනත්වයෙන් ඉහළින් ම සිටින රටක්. මෙරට සත්ත්ව සහ ශාක විවිධත්වය 4000කට වඩා ඉහළ අගයක් ගන්නවා. වනාන්තර විනාශ වීම යනු ජෛව විවිධත්වය විනාශ වීමක්. 2012 වසරේ The Tropical rainforest වාර්තාවට අනුව ශ්‍රී ලංකාවට හෙක්ටයාර 14,428ක වන වැස්මක් අහිමි වී තිබෙනවා. එය 2011 වසරේ හෙක්ටයාර 3,760ක් වූ වන විනාශයට සාපේක්ෂ ව විශාල වර්ධනයක්. 1942 වසරට පෙර හග්ගල, යාල සහ රිටිගල යනුවෙන් ලංකාවේ දැඩි ස්වාභාවික රක්ෂිත 3ක් නම් කර තිබෙනවා. ඊට පසු මෙරට දැඩි ස්වාභාවික රක්ෂිත නම් කර නැහැ. එහෙත් ජල පෝෂක ඉහළ කඳු මුදුන් දැඩි ස්වාභාවික රක්ෂිත කිරීමේ අවශ්‍යතාව පෙරට වඩා වර්තමානයේ මතු ව තිබෙනවා.

පරිසරය ආර්ථිකය සමඟ බද්ධ වූවක්. ලෝකය කතා කරමින් සිටින්නේ හරිත ආර්ථිකයක් පිළිබඳ (Green Economic) ව. හරිත ආර්ථිකයක ප්‍රධානතම ලක්ෂණය වන්නේ කාබන් තිර කර තිබෙනවාද? ජෛව විවිධත්වය සහිත රක්ෂිත කොපමණ සංඛ්‍යාවක් ස්ථාපිත කර තිබෙනවාද? යන්න. ඒ පිළිබඳ අප අවධානය යොමු කළ යුතු වනවා.
අදහස් දක්වන එස්. සී පාලමකුඹුර; “වනස්පති’ වැඩසටහන යටතේ වනාන්තර 16 ම ප්‍රකාශයට පත් කෙරෙන්නේ රක්ෂිත වනාන්තර ලෙස. නෛතිකමය වශයෙන් රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරු ව මහජනතාවට සැලසෙන ප්‍රතිලාභ මෙන් ම වනාන්තර ආරක්ෂා කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණු 2ක්. මේ වනාන්තරවල ජෛව විවිධත්වය, ඒවාට ම අනන්‍ය වූ ජාන සම්පත් තිබෙන අතර ම දුර්ලභ වඳවී යන ශාක මෙන් ම සත්ත්වයන් වාසය කරනවා. ඊට අමතර ව පස සහ ජලය සුරක්ෂිත කිරීම අත්‍යවශ්‍ය කාරණාවක්. මහජනතාවට මෙයින් ප්‍රතිලාභ ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබඳ කළමනාකරණ සැලසුම් සකස් කරනවා.”
එහිදී නිර්මාණය වන්නේ වනාන්තරවලට ඇතුළු වීම වැනි ජනතාවට ප්‍රතිලාභ හිමිවන අවස්ථා සඳහා නිත්‍යානුකූල පසුබිමක්. කළමනාකරණ සැලසුම්වල අඩංගු වන පරිදි ගාස්තු ගෙවීමකින් ජනතාවට ප්‍රතිලාභ ලබා ගැනීමට අවකාශ තිබෙනවා. ඒ, විශේෂයෙන් වනාන්තරවලට ඇතුළු වීම, දර ලබා ගැනීම, වාණිජ ද්‍රව්‍ය ලබා ගැනීම වැනි කාරණාවලදී ග්‍රාමීය ප්‍රජාවත් සමග ගිවිසුම්ගතවීමෙන්. වනාන්තර ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් නීතිමය බැඳීමක් රජයට තිබෙනවා. අනෙක් පසින් ප්‍රජාවට වරප්‍රසාද භුක්ති විඳීමට හැකියාව තිබෙනවා. මේ වනාන්තර 16 ගැසට් කිරීමෙන් පසුව වනාන්තරවල මායිම් සම්බන්ධ ගැටලු විසඳීමට බලාපොරොත්තු වන බවයි එස්. සී පාලමකුඹුර සඳහන් කරන්නේ.
පරිසරවේදීන්ට සහ විද්‍යාඥයන්ට අනුව ශාක සහ සත්ත්ව කොට්ඨාසවලින් සිදුකෙරෙන කාර්ය නිසි ලෙස තව ම හඳුනාගෙන නැහැ. මේ පිළිබඳ පර්යේෂණ සිදු කළ යුතු වනවා. සංරක්ෂණ ක්‍රියාවලියේදී සතුන්ගේ ඇති වැදගත්කම සහ ජානවල ඇති වැදගත්කම නිශ්චිත ලෙස නිර්ණය කර නැහැ. එලෙස නිර්ණය කරමින් පරිසරය සංරක්ෂණය කරමින් එය සංචාරක කර්මාන්තය සඳහා යොදා ගනිමින් ආර්ථිකය ගොඩනැගීමට අවශ්‍යයි. සංවර්ධනයේදී පාරිසරික ගැටලු හඳුනාගෙන පරිසර මිතුරු සංවර්ධනයක් කරා යාම වඩා වැදගත්. ‘වනස්පති’ ජාතික වැඩසටහන යටතේ වන මේ නව ක්‍රියාදාමය ආර්ථිකයට මෙන් ම පාරිසරික ගැටලුවලට ද විසඳුමක් වනු ඇති.
මෑත කාලයේ සිදුවන වන විනාශයෙන් පාරිසරික සමතුලිතතාව බිඳ වැටීම නිසා මෙරට ජනතාව ප්‍රශ්න ගණනාවකට මුහුණදෙමින් සිටිනවා. විශේෂයෙන් අලි මිනිස් ගැටුම්, වන සතුන් අස්වනුවලට හානි සිදු කිරීම සහ නායයෑම්, ගංවතුර ඇතුළු ස්වාභාවික විපත් ඒ අතරට අයත්. වනාන්තර රක්ෂිත කර ගැනීමේ වැඩපිළිවෙළ යටතේ ඒ ගැටලුවලට ද විසඳුම් ලැබෙනු ඇති. ගෝලීය උණුසුම (Global Warming) ඉහළ යමින් තිබෙනවා. මේ තත්ත්වය පාලනය කිරීමටත් වනාන්තර රක්ෂිත කිරීමේ වැඩපිළිවෙළ උපකාරී වනු ඇති.
(රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක් ඇසුරින්)