#විදේශ විත්ති

හදිසි මැතිවරණ දේශපාලන සූදුවක් ද?

  • නිහාල් පීරිස්

ලෝක දේශපාලන ක්‍ෂේත්‍රයේ දැඩි අවධානයක් දිනා ගත් මැතිවරණ දෙකක් නොබෝදා යුරෝපා රටවල් දෙකක පැවැත්විණි. ඒ, එක්සත් රාජධානියේ මැතිවරණය සහ ප්‍රංශයේ මැතිවරණයයි. ජූලි 4 දින එක්සත් රාජධානියේ මැතිවරණය පැවැති අතර ප්‍රංශ මැතිවරණය පැවැත්වුණේ ජුනි 30 සහ ජුලි 7 යන දිනවල ය. ප්‍රංශ මැතිවරණය වට දෙකකින් සමන්විත වූවකි.

මේ මැතිවරණ ජාත්‍යන්තර දේශපාලන ක්‍ෂේත්‍රයේ එවැනි අවධානයක් යොමු වන්නට එක් හේතුවක් වූයේ බොහෝ දෙනා විමතියට පත් කරමින් හදිසියේ කැඳවන ලද මැතිවරණ දෙකක් වීමයි. ඒවා මැතිවරණ පැවැත්වීමට නියමිත ව තිබූ කාලයට කලින් කැඳවන ලද මැතිවරණ විය. එක්සත් රාජධානියේ මැතිවරණය පැවැත්වීමට නියමිත ව තිබුණේ 2024 වසර අවසන් භාගයේයි. ප්‍රංශයේ මැතිවරණය පැවැත්වීමට 2027 වසර දක්වා කාලය තිබිණි. එහෙත් එක්සත් රාජධානියේ හිටපු අගමැති රිෂි සුනක් ද ප්‍රංශයේ ජනාධිපති එමානුවෙල් මැක්රොන් ද එම රටවල මැතිවරණ කලින් පැවැත්වීමට තීරණය කළහ. ඔවුන් මෙවැනි තීරණ ගත්තේ ඒ වනවිට බලයේ සිටි ඔවුන්ගේ පක්‍ෂවලට විරුද්ධ පක්‍ෂවලින් දැඩි අභියෝග එල්ල වෙමින් තිබූ පසුබිමක ය. මැතිවරණ පැවැත්වීමට ප්‍රමාද වුවහොත් දැඩි පරාජයකට මුහුණදෙන්නට සිදුවනු ඇතැයි මේ දෙදෙනා ම කල්පනා කළ බවක් පෙනිණි. ඒ නිසා ඔවුන් යම් දේශපාලන සූදුවක නිරත වූවා යැයි ද පැවසිය හැකි ය. මේ මැතිවරණවලදී එම රටවල විශාල බල පෙරළියක් සිදුවිය හැකි ය යන විශ්වාසයක් බොහෝදෙනාට තිබිණි. මැතිවරණ ගැන දැඩි අවධානයක් යොමු වීමට එය ද හේතුවක් විය.

එක්සත් රාජධානියේ 2010 වසරේ සිට වසර 14ක කාලයක් බලය හෙබවූයේ කන්සර්වේටිව් පක්‍ෂයයි. එම පක්‍ෂය සැලකෙන්නේ මධ්‍ය-දක්‍ෂිණාංශික පක්‍ෂයක් හැටියට ය. එහෙත් පසුගිය කාලයේ එම පක්‍ෂය ජනතාව අතර ජනප්‍රියත්වයෙන් පිරිහෙන්නට පටන්ගෙන තිබිණි. එයට ප්‍රධාන වශයෙන් ම බලපා තිබුණේ ආර්ථික වශයෙන් ජනතාව විඳිමින් සිටි පීඩනයයි. ජීවන වියදම ඉහළ යමින් තිබීම ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල බලපෑමක් එල්ල කර තිබිණි.

රජයේ සේවාවන් බිඳ වැටීම ද එරට වැසියන්ට මහත් අපහසුතා ඇති කර තිබූ බව සඳහන් විය. සෞඛ්‍ය සේවය වැනි ක්‍ෂේත්‍රවල මේ තත්ත්වය වඩාත් දරුණු ලෙස දැකගන්නට ලැබිණි. මේ අතර කන්සර්වේටිව් පක්‍ෂයේ ඇති ව තිබූ පිල් බෙදීම් ද එහි ඇතමුන්ට එරෙහි ව එල්ල වූ විවිධ චෝදනා ද එම පක්‍ෂයේ ජනප්‍රියත්වය බිඳ දමන්නට බල පෑ හේතු අතර විය. මේ චෝදනා අතර ලිංගික චෝදනා ද තිබිණි.

මෙවැනි තත්ත්වයක ඒ වනවිට එරට ප්‍රධාන විරුද්ධ පක්‍ෂය වූ කම්කරු පක්‍ෂය ජනතාවගේ ආකර්ෂණය දිනා ගනිමින් සිටියේ ය. වාමාංශික නැඹුරුවක් සහිත කම්කරු පක්‍ෂයේ නායකත්වය දැරුවේ ශ්‍රීමත් කෙයර් ස්ටාමර් ය. ඔහු නයිට් නාමයකින් ද පිදුම් ලබා සිටි කෙනෙකි. ස්ටාමර්ට නයිට් නාමයක් ලැබී තිබුණේ නීති ක්‍ෂේත්‍රයේ ඔහු ඉටු කළ සේවය වෙනුවෙනි.

කව්රුත් අපේක්‍ෂා කළ ලෙස ම කම්කරු පක්‍ෂය මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කර ගත්තේ ය. එරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මණ්ඩල දෙකකි. ඒ සාමි මන්ත්‍රී මණ්ඩලය (්‍House of Lords) සහ මහජන මන්ත්‍රී මණ්ඩලය (්‍House of Commons) යනුවෙනි. මහා මැතිවරණ පැවැත්වෙන්නේ මහජන මන්ත්‍රී මණ්ඩලය සඳහා නියෝජිතයන් පත් කර ගැනීමටයි. එහි ආසන 650න් ආසන 411ක් ම දිනා ගන්නට කම්කරු පක්‍ෂයට හැකි විය. කන්සර්වේටිව් පක්‍ෂය දිනාගත්තේ ආසන 121ක් පමණි. 2019 වසරේ පැවැති මැතිවරණයේදී කන්සර්වේටිව් පක්‍ෂය ආසන 365ක් දිනාගෙන සිටියේ ය. කම්කරු පක්‍ෂයට එවර හිමි ව තිබූ ආසන ගණන 202කි.

මැතිවරණයේ ප්‍රතිඵල අනුව කම්කරු පක්‍ෂය පාර්ලිමේන්තුවේ මහජන මන්ත්‍රී මණ්ඩලයේ බහුතර ආසන ගණනක් දිනා සිටි නිසා ඔවුන්ට පහසුවෙන් ම ආණ්ඩුවක් පිහිටුවීමට හැකි වූ අතර 62 හැවිරිදි කෙයර් ස්ටාමර් නව අගමැතිවරයා ලෙස පත් විය.

ජනාධිපති එමානුවෙල් මැක්රෝන් හදිසියේ මැතිවරණයක් කැඳවූයේ එරට අන්ත දක්‍ෂිණාංශික පක්‍ෂයක් ලෙස සැලකුණු National Rally නැමැති පක්‍ෂයේ ජනප්‍රියත්වය ඉහළ යමින් ඇති බවක් පෙනෙන්නට වූ බැවිනි. එම පක්‍ෂය බොහෝදෙනා සැලකුවේ ජාතිවාදී පක්‍ෂයක් ලෙසිනි. සංක්‍රමණිකයන්ට විරුද්ධ, මුස්ලිම් විරෝධී පක්‍ෂයක් ලෙස එය ප්‍රසිද්ධියක් දිනා සිටියේ ය. ප්‍රංශය යනු ඉතා ලිබරල් සංස්කෘතියක් තිබූ රටක් බව රහසක් නොවේ. ඒ වනවිට ආණ්ඩු බලය දැරූ මැක්රෝන්ගේ Renaissance පක්‍ෂය ද එවැනි ප්‍රතිපත්ති මත පිහිටා ක්‍රියා කළ පක්‍ෂයක් විය. National Rally පක්‍ෂයේ ජනප්‍රියත්වය ඉහළ යමින් පැවැති තත්ත්වයක හදිසි මැතිවරණයක් පැවැත්වීමට මැක්රොන් තීරණය කළේ තවත් බලා සිටියහොත් එම පක්‍ෂයෙන් එල්ල වන තර්ජනය වඩාත් දැඩි විය හැකි යයි කල්පනා කළ නිසා බව පෙනිණි.

මැතිවරණයේ පළමු වටය ජුනි 30 දින ද දෙවැනි වටය ජූලි 07 දින ද පවත්වනු ලැබිණි. අපේක්‍ෂා කළ ලෙස ම පළමු වටයෙන් ජය ගත්තේ National Rally පක්‍ෂයයි. එම පක්‍ෂය ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 33.2ක ප්‍රතිශතයක් දිනා ගත්තේ ය. ජනාධිපති මැක්රෝන්ගේ පක්‍ෂය අයත් වූ Ensemble නැමැති සන්ධානයට දෙවැනි ස්ථානයටවත් පැමිණෙන්නට නොහැකි විය. සියයට 21.28ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගත් එම සන්ධානයට අත්වූයේ තුන්වැනි ස්ථානයයි. දෙවැනි තැනට පත් වූයේ වාමාංශික නැඹුරුවක් ගත් භැඅ New Popular Front නැමැති සන්ධානයයි. එයට සියයට 28.14ක ඡන්ද ප්‍රතිශතයක් හිමි විය.

ජූලි 7 දින පැවැති දෙවැනි වටයෙන් ජය ගන්නට National Rally පක්‍ෂයට හැකි වූයේ නැත. දෙවැනි වටයේ ඡන්ද විමසීම් පැවැත්වෙන්නේ පළමු වටයේදී කිසිදු අපේක්‍ෂකයකුට සියයට 50කට වඩා ඡන්ද ලබා ගැනීමට නොහැකි වූ ආසනවල ය. එම ආසනවල වැඩි ම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් අපේක්‍ෂකයන් දෙදෙනා සහ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 12.5කට වඩා ලබාගෙන ඇති අපේක්‍ෂකයන් පමණක් දෙවැනි වටයට ඉදිරිපත් වීමට සුදුසුකම් ලබයි. මෙහිදී National Rally පක්‍ෂය බලයට ඒම වැළැක්වීම සඳහා සෙසු පක්‍ෂ විවිධ උපාය අනුගමනය කළේ ය. එම පක්‍ෂ අතර ඡන්ද බෙදී යාම වළැක්වීම සඳහා අනුගමනය කළ උපාය ඊට නිදසුනකි. මෙවැනි තත්ත්වයක National Rally පක්‍ෂයට දෙවැනි වටයේදී හිමි වූයේ තුන්වැනි ස්ථානයයි. පළමු තැනට පැමිණියේ New Popular Front සන්ධානයයි. මැක්රෝන්ගේ පක්‍ෂය අයත් ෑබිැපඉකැ සන්ධානය දෙවැනි තැනට පත් විය.

මේ කිසිදු පාර්ශ්වයකට තනි ව ම ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාවක් ලැබී නැත. තනි ව ආණ්ඩුවක් පිහිටුවීමට නම් පක්‍ෂයක් හෝ සන්ධානයක් හෝ පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන ජාතික සභාවේ ආසන 577න් 289කට වඩා දිනාගත යුතු ය. එහෙත් වැඩි ම ආසන ගණනක් දිනාගත් New Popular Front සන්ධානයට පවා හිමි ව ඇත්තේ ආසන 180ක් පමණි. මෙවැනි පසුබිමක කවුරුන් ආණ්ඩුවක් පිහිටුවනු ඇත් ද යන්න පිළිබඳ ලිපිය ලියන අවස්ථාව වනවිටත් පැවතියේ අවිනිශ්චිත බවකි.