හෙට දවස
- රංගිකා අබේසේකර
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා පාතාලය මර්දනය කරමින් මහජනතාවට අපරාධ පිළිබඳ බියෙන් හා සැකයකින් තොර ව නිදහස් ව හා සාමකාමී ව ජීවත් විය හැකි සමාජයක් නිර්මාණය කිරීම සඳහා ආරම්භ කළ මෙහෙයුම ‘යුක්තිය’ මෙහෙයුමයි. එහි තවත් එක් අංගයක් ලෙස පොලිස්පතිගේ අංක 2766/2024 චක්‍රලේඛය අනුව මත්ද්‍රව්‍ය හේතුවෙන් පාසල් මට්ටමින් උද්ගත ව ඇති ගැටලු සහ ව්‍යසන නිවාරණය හා පාලනය කිරීමේ උපායමාර්ගික ක්‍රමවේදයක් වශයෙන් ‘හෙට දවස‘ සංකල්පය ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාත්මක කරයි.
දීපව්‍යාප්ත ව පොලිස් කොට්ඨාස 45ක් කේන්ද්‍ර කරගනිමින් මෙය ක්‍රියාත්මක වේ. පොලිස් මූලස්ථානවලට වාර්තා වූ තොරතුරු අනුව පාසැල් ආශ්රිත ව මත්ද්‍රව්‍ය ව්‍යාප්තියක් සිදු ව ඇති බවට හඳුනාගැනීම මත මෙරට 10,155ක් වන පාසල් අතරින් (පෞද්ගලික හා පිරිවෙන් පාසල් හැර) පාසල් 5202ක ‘පවුර’ සංසද පිහිටුවා ඇත. ඉදිරියේදී සියලු ම පාසල් ආවරණය කිරීම මේ සංකල්පයේ ප්‍රධාන අභිප්රායක් වේ.
‘පවුර’ සංසද පිහිටුවීමට අරමුණු සම්බන්ධයෙන් අදහස් දක්වන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ප්‍රජා පොලිස් සංචාරක සහ ආයෝජන නීතිඥ අසංග කරවිට; “පසුගිය කාලයේ පාසල් ආශ්රිත ව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ආරක්ෂක නොවන මත්ද්‍රව්‍ය වර්ග (බාබුල්, තූල්, මදනමෝදක, හාන්ස් දුම්කුඩු, අයිස්) හා මත්ද්‍රව්‍ය මිශ්‍ර කරන ලද ටොෆි, චොක්ලට්, ලොලිපොප් ආදිය පාසල් දරුවන් ඉලක්ක කරමින් විවිධ ක්‍රමවේද ඔස්සේ බෙදාහරිනු දක්නට ලැබුණා. ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමිනුයි මේ සංසද ඔස්සේ මත්ද්‍රව්‍යයෙන් තොර අනාගත පරපුරක් ඇති කිරීමේ අරමුණින් මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශය මේ වැඩසටහන සම්බන්ධයෙන් සියලු ම පාසල් දැනුවත් කර තිබෙනවා. මේ වන විට ස්ථාපිත කර ඇති සමස්ත සංසද සංඛ්‍යාව 5202ක්. ඒ, බස්නාහිර පළාතේ සංසද 679ක්, මධ්‍යම පළාතේ සංසද 904ක්, සබරගමු පළාතේ සංසද 487ක්, ඌව පළාතේ 515ක්, දකුණු පළාතේ 624ක්, නැගෙනහිර පළාතේ සංසද 454ක්, උතුරු පළාතේ 445ක්, උතුරු මැද පළාතේ 409ක්, වයඹ පළාතේ සංසද 685ක් වශයෙන්.” ‘පවුර’ සංසදයේ සංයුතිය නිර්මාණයේදී සභාපති, උප සභාපති, ලේකම්, උපලේකම්, කැඳවුම්කරු ලෙස ප්‍රධාන තනතුරු 5ක් ස්ථාපිත කර තිබේ. එයට අමතර ව සාමාජිකයන් 13කි. මේ සංසදයේ මූලික වගකීම ඇත්තේ සභාපතිවරයාට ය.
මේ වැඩපිළිවෙළට අනුව පාසල් ආශ්රිත ව මත්ද්‍රව්‍ය විකුණන ස්ථාන හඳුනා ගැනීම කළ යුතුයි. එය සිදු කරනුයේ සංසද හෙවත් කමිටු ඔස්සේ ය. සංසදයකට යම් ස්ථානයක මත්ද්‍රව්‍යක් හෝ මත්ද්‍රව්‍ය යැයි සැක සහිත දෙයක් විකුණයි නම් හෝ විකුණන බවට තොරතුරක් ලදහොත් එම ප්‍රදේශයේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති විසින් පොලිස් ස්ථානාධිපති දැනුවත් කිරීමෙන් අනතුරු ව වැටලීම් කරයි. පාසල් ආශ්රිත ස්ථීර හෝ තාවකාලික හෝ වෙළෙඳ ස්ථානවලින්, බාහිර පුද්ගලයන්ගෙන් දරුවන් වෙත මත්ද්‍රව්‍ය ලැබීමට අවකාශ ඇත. එහි නීතිමය පසුබිම සම්බන්ධයෙන් සංසද සාමාජිකයන් දැනුවත් කිරීමට අපේක්ෂිත ය. එහි පළමු බලගැන්වීම 2024 අප්‍රේල් 25 දින කොළඹ ආනන්ද විද්‍යාලයේදී ආරම්භ කළ අතර අනෙත් පළාත් සඳහා ද මෙවැනි බලගැන්වීමේ වැඩසටහන් කිරීමට අපේක්ෂිත ය.
වඩා වැදගත් වන්නේ මත්ද්‍රව්‍යවලට දරුවකු යොමුවීම වැළැක්වීම ය. එහිදී දෙමාපියන් නිරතුරු ව දරුවන්ගේ චර්යා කෙරෙහි පූර්ණ අවධානය යොමු කිරීම වැදගත් වේ. දරුවන් තනිවන අවස්ථාවලදී එහි ප්‍රයෝජන ලබා ගන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ය. ඔවුන් ඒ සඳහා දරුවන් යොමු කර ගන්නේ මත්ද්‍රව්‍යවල ඇති අවශ්‍යතාව පැහැදිලි කර දෙමින් නිසා දරුවන් ද ඒ සඳහා පහසුවෙන් යොමු වේ.
මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ අපහසුතා පවතින බවත් ඇතැම් දෙමාපියන් මේ සම්බන්ධයෙන් දැනුවත් නොමැති බවත් එහෙත් එම පාසල්වල විශාල දෙමාපිය පිරිසක් මේ වැඩසටහනට සිය කැමැත්තෙන් සහයෝගය ලබා දෙන බවත් නීතිඥ අසංග කරවිට පවසයි. අදහස් දක්වන ඔහු; “දැනට නිවැරදි ගණනය කිරීමක් කර නොතිබුණත් මේ වැඩසටහනේ සාර්ථකභාවය 60%කට වඩා වැඩි වනු ඇති බවයි මගේ අදහස. මේ සඳහා අපට මූල්‍යමය වැයවීමක් නැහැ. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ දැනුම, බුද්ධිය, අත්දැකීම්, පළපුරුද්ද සහ නීතිපති, රජයේ රස පරීක්ෂකගේ සහයෝගය යන සියල්ලන්ගේ ම ශ්‍රම දායකත්වය පමණයි මේ සඳහා වැය වන්නේ. මත්ද්‍රව්‍ය කෙරෙහි පාසල් දරුවන් යොමු වීම වැළැක්වීමටත් ඒවාට යොමු වී සිටින දරුවන් සමාජයේ අපහාසයට ලක් නොවන අන්දමින් නිවසේදී ම පුනරුත්ථාපනයට ලක්කිරීමට ක්‍රමවේදයක් සකස් කිරීමටත් නියමිතයි“
මේ වැඩසටහන සඳහා 5 ශ්‍රේණිය දක්වා ඇති ප්‍රාථමික පාසල් අදාළ නොවේ. ඉදිරියේදී ඒවා ද සම්බන්ධ කර ගනිමින් ජාත්‍යන්තර පාසල්, විශ්වවිද්‍යාල හා පාසල් නොවන උපකාරක පන්ති සඳහාත් වෙනස් ක්‍රමවේදයකට මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අරමුණු කර ඇත. සංසද අතර සන්නිවේදනය කිරීමට වට්ස්ඇප් සමූහ ක්‍රියාත්මක වේ. සෑම මාසයක් අවසානයේ ම මාසික වාර්තාවක් පොලිස් මූලස්ථානයට යොමු කිරීම අනිවාර්ය වන අතර ඒ ආශ්රයෙන් පාසල් ආශ්රිත ව කර ඇති වැටලීම් සංඛ්‍යාව, ලැබී ඇති තොරතුරු, එම තොරතුරු පදනම් කරගනිමින් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද යනාදී කාරණා රැසක් ‘පවුර’ සංසදවල ක්‍රියාත්මක වේ. එහිදී විශේෂයෙන් ඒ ඒ ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිට පූර්ණ වගකීම් පවරා තිබේ.
2006 අංක 27 දරන දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතේ පැහැදිලි ව සඳහන් කරන පරිදි වයස අවුරුදු 21ට අඩු පුද්ගලයකුට දුම්කොළ ආශ්රිත දේ විකිණීමට, විකිණීම සඳහා ඉදිරිපත්වීමට හා ප්‍රවර්ධනය කිරීම තහනම් කර ඇත. එම නීතිමය තත්ත්වයට යටත් ව පාසල් ආශ්රිත මේ ක්‍රියාවලියේදී එවැනි පුද්ගලයන් හසුවුවහොත් ඔවුන්ට විරුද්ධ ව නීතිය ක්‍රියාත්මක කිරීමට නෛතික ප්‍රතිපාදන ශ්‍රී ලංකා පොලිසිය සතු වේ.
‘පවුර’ වැඩසටහන සඳහා සහයෝගය ලබා දෙන්නේ ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලයට අනුයුක්ත ව සේවය කරන මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන නිලධාරියා ය. සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ම පුහුණු නිලධාරියකු සිටීම මේ කර්තව්‍යයේදී වැදගත් වේ. සෘජු ව ම ඔහු හෝ ඇය ‘පවුර’ සංසද වෙත සහයෝගය ලබා දෙයි. ආයතනයේ කාර්යභාරය හා පවුර වැඩසටහනට ආයතනයක් ලෙස ලබාදෙන සහයෝගය පිළිබඳ ව අදහස් දක්වන ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලයේ සභාපති ශක්‍ය නානායක්කාර; “ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය මත්ද්‍රව්‍ය නිවාරණය, ප්‍රතිකාරය හා මත්ද්‍රව්‍ය සැකසීම වැළැක්වීම යන කාර්යවල නිරත වනවා. ඒ යටතේ ග්‍රාමීය මට්ටමින්, ජාතික මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක කරමින් මත්ද්‍රව්‍ය කෙරෙහි ඇති ආකර්ෂණය අඩු කිරීමටත් ඒ පිළිබඳ ඇති ධනාත්මක ආකල්පය පාසල් ශිෂ්‍යයන් ඇතුළු සමස්ත ප්‍රජාවෙන් ම බැහැර කිරීමටත් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. පාසල් පද්ධතියට ප්‍රබල බලපෑමක් කර ඇත්තේ දුම් නොනගින දුම්කොළ භාවිතයයි. මෙරට දුම් නොනගින දුම්කොළ භාවිත කරන්නන්ගේ ගණන ලක්ෂ 13ක්. මේ යටතට බුලත් විට සමග ආහාරයට ගන්නා දුම්කොළත් අයත්. පාසල් මට්ටමින්, ළමා සමාජ මට්ටමින් මත්ද්‍රව්‍යවල ඇති ශාරීරික හා සාමාජීය හානිය දරුවන්ට පෙන්වාදීම වැදගත්. මේ වසරේ ගත වූ මාස හතරේ මත්ද්‍රව්‍ය සම්බන්ධ ළමා අත්අඩංගුවට ගැනීම් සංඛ්‍යාව 15ක්. හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමක් ද ඊට අයත්. අනෙක් ඒවා ගංජා මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම්. අප නිරන්තරයෙන් මේ වැඩසටහන සඳහා ශ්‍රී ලංකා පොලිසියට සහයෝගය ලබාදෙනවා. විශේෂයෙන් කොළඹ විශ්වවිද්‍යාලය, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා ජාතික තරුණ සේවා සභාවේ තරුණ තරුණියන් පුහුණු කර පාසල් වෙත ගොස් පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් ද අප ක්‍රියාත්මක කරනවා.”
මත්ද්‍රව්‍යයෙන් තොර සමාජයක අවශ්‍යතාව හොඳින් ම දැනී ඇති යුගයක අනාගත පරපුර වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය ‘පවුර’ ඔස්සේ ගන්නා මේ ප්රයත්නය සඳහා සෑම පුරවැසියකු ම සහයෝගය ලබාදීම කළ යුත්තකි.