#විදේශ විත්ති

හසීනා යළි මහ පුටුවට

  • ඩබ්. එම්. ශාන්තප්‍රිය

බංග්ලාදේශයේ වත්මන් අග්‍රාමාත්‍ය ලෙස ෂෙයික් හසීනා නැවත වරක් පාර්ලිමේන්තු බලය තහවුරු කර ගත්තේ 2024 ජනවාරි 07 දින පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන්. ඒ අනුව ඇය 05 වැනි වතාවටත් බංගලාදේශයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වන්නේ වැඩි ම කලක් බංගලාදේශයේ එම ධුරය දැරූ පුද්ගලයා ලෙස ඉතිහාසයට එක්වෙමින්.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඇය නායකත්වය දෙන සන්ධානයට ආසන 222ක බලය හිමි වන්නේ එරට පවතින මැතිවරණ කොට්ඨාස 300න්. ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 41.8%ක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව එරට මැතිවරණ කොමිසම නිවේදන කළේ එරට ප්‍රධානතම විපක්ෂය වන කලීඩාෂියාගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශයේ ජාතිකවාදී පක්ෂය ප්‍රමුඛ සන්ධානය ඡන්දය වර්ජනය කරන තත්ත්වයක් යටතේ. එරට මැතිවරණ කොමසාරිස් සතාවන් හුසේන් මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් කිරීමට පැයකට පෙර ඡන්දය ප්‍රකාශ කිරීම 27%ක මට්ටමක පැවැතියත් අවසන් පැයේ වැඩි වශයෙන් ජනතාව ඡන්දය දීමට උනන්දු වීම හේතුවෙන් එය 40% සීමාව පසු කළ බව. අවාමි ලීගයට ඡන්දය ප්‍රකාශ නොකරන්නේ නම් එරට දුප්පත් ජනතාවට ලබාදී ඇති සුභසාධන කාඩ්පත් අහෝසි කරන බවට එරට පාලක පක්ෂය කර තිබූ තර්ජනය හමුවේ ජනතාව වැඩි වශයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා උනන්දු වූ බවයි එරට ප්‍රධාන විපක්ෂය චෝදනා කරන්නේ.

මැතිවරණය සඳහා එරට ලියාපදිංචි දේශපාලන පක්ෂ 44න් 28ක් මෙවර මැතිවරණයට තරග කළ අතර ප්‍රේක්ෂකයන් 2000ට ආසන්න සංඛ්‍යාවක් මැතිවරණ කොට්ඨාස 300 සඳහා තරග වැදී තිබුණා. එහෙත් එරට පාර්ලිමේන්තුවෙහි මුළු මන්ත්‍රී සංඛ්‍යාව 350ක් වන අතර ඉතිරි 50 තෝරා ගත්තේ කාන්තා නියෝජනය සඳහා. මෙය එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම කළ ප්‍රතිපාදනයක්. 2009 වර්ෂයේ සිට ම පාර්ලිමේන්තු බලය පවතින්නේ ෂෙයික් හසීනාගේ අවාමි ලීගය ප්‍රමුඛ සන්ධානයට.

මෙවර මැතිවරණය විරෝධතා හා ප්‍රචණ්ඩත්වය මධ්‍යයේ පැවැතියක් බව ඇතැම් මාධ්‍ය හා එරට විරුද්ධ පක්ෂ ප්‍රකාශ කළත් එරට මැතිවරණ කොමිසම ප්‍රකාශ කරන්නේ සමස්තයක් ලෙස මැතිවරණය සාමකාමී ව පැවැති බව. එහෙත් එක්සත් ජනපදය හා යුරෝපා සංගමයේ ඇතැම් රටවල් මේ මැතිවරණය නිදහස් හා සාමකාමි නොවුණු බවයි ප්‍රකාශ කර ඇත්තේ.

බංග්ලාදේශයේ ස්ථාපිත වත්මන් පාර්ලිමේන්තු ක්‍රමය 1991දී ඇරඹෙන්නේ එරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන බංග්ලාදේශයේ අවාමී ලීගය හා බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය ප්‍රමුඛ බහුතර දේශපාලන පක්ෂවල ඉල්ලීම මත හා ප්‍රබල උද්ඝෝෂණ හමුවේ. මිලිටරි පාලනයක් ගෙන ගිය ලුතිනන් ජෙනරාල් එච්. එම්. එල්ෂාඩ් 1990දී ඉල්ලා අස්වීමෙන් පසු භාරකාර රජය යටතේ වත්මන් පාර්ලිමේන්තු ක්‍රමය ඇරඹුණා.

1971 ඔක්තෝබර් මාසයේ පාකිස්තානයෙන් වෙන් කර ස්වාධීන රටක් ලෙස බංග්ලාදේශය පිහිටුවීමෙන් පසු පැවැත්වූ 12 වැනි පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රධාන විපක්ෂ බලවේග වර්ජනය කරන්නේ භාරකාර රාජ්‍යයක් යටතේ මැතිවරණය පවත්වන ලෙස කළ ඉල්ලීම අගමැති ෂෙයික් හසීනා ප්‍රමුඛ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් හමුවේ. එහෙත් මෙයට පෙර සිව් වතාවක් භාරකාර රජයක් යටතේ බංගලාදේශයේ පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා තිබෙනවා.

බොරු චෝදනා මත විපක්ෂ දේශපාලන නායකයන් අත්අඩංගුවට ගැනීම, මාධ්‍ය මර්දනය මෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ ආණ්ඩුව විවේචනය කරන දේශපාලන ක්‍රියාකාරිකයන්, ලේඛකයන්, විද්වතුන්, යෞවන කණ්ඩායම්වලට එල්ල කරන පීඩනය, පක්ෂ විපක්ෂ ක්‍රියාකාරිකයන්ට එල්ල වන පොලිස් ප්‍රචණ්ඩත්වය යන ප්‍රධාන චෝදනා විරුද්ධ පාක්ෂිකයන් විසින් ෂෙයික් හසීනා පාලනයට එල්ල කරනු ලබනවා. ඇයගේ පාලන කාලයේ බලහත්කාර අතුරුදහන්විම්, නීතිවිරෝධී ඝාතන සිදු වූ බවට හියුමන් රයිට් වොච් සංවිධානයේ විවේචනයට ලක් වී තිබෙන අතර 2014 සිට එරට මාධ්‍ය නිදහස සිමා කර ඇති බවයි දේශ සීමාරහිත වාර්තාකරුවන්ගේ සංවිධානය පවසන්නේ.

භාරකාර රජයක් යටතේ මැතිවරණ පවත්වන ලෙස එරට ප්‍රධාන විපක්ෂ බලවේග හඬ නැගුවේ මේ තත්ත්වය යටතේ. බංග්ලාදේශයේ ජාතිකවාදී පක්ෂයේ නායිකාව මෙන් ම විපක්ෂ සන්ධානයේ ද නායිකාව වන කලිඩාසියා තවමත් දුෂණ චෝදනා මත සිරගත ව සිටිනවා. උද්ධමනය, දූෂණය රැකියා නැතිවීම, කම්කරු අයිතිවාසිකම්, භාෂණයේ නිදහස, ආරක්ෂාවීම හා ප්‍රචණ්ඩත්වයෙන් ගැළවීම එරට බහුතර තරුණ ප්‍රජාවගේ විරෝධයට හේතු වූ ප්‍රධාන කාරණා.

1947 ඉන්දියාවෙන් කොටසක් පාකිස්තානය ලෙස බෙදී යන අතර වර්තමානයේ බංග්ලාදේශය නමින් හඳුන්වන කොටස නැගෙනහිර බෙංගාලය ලෙස හැඳින්වූවත් එය පාකිස්තානයට අයිති ප්‍රදේශයක්. 1955 සිට නැගෙනහිර පාකිස්තානය ලෙස බෙංගාලය හැඳින් වූ අතර බටහිර පාකිස්තානයෙන් වෙන් වී ස්වාධීන රටක් බවට පත්වීමට එය විශාල අරගලයක් දියත් කළා. එහි ප්‍රතිඵලයක් ලෙස 1971 ඔක්තෝබර් මාසයේදී බංග්ලාදේශය ලෙස ස්වාධීන රටක් ලෙස ස්ථාපිත වුණා. එසේ ස්ථාපිත වුණත් එරට දශක එකාමාරකට ආසන්න කාලයක් පැවතුණේ හමුදා පාලනයක්.

බංග්ලාදේශය ස්වාධීන රටක් බවට පත්වීමට ගෙන ගිය අරගලයේ නියමුවා ලෙස ෂෙයික් මුජිබර් රහමාන් ඉතිහාසගත ව තිබෙනවා. ඔහු බංග්ලාදේශයේ නිර්මාතෘවරයා මෙන් ම ප්‍රථම ජනාධිපතිවරයා ලෙස ද ක්‍රියා කළ අතර රහමාන් 1975දී ඝාතනය වන තෙක් එරට ජනාධිපති හා අගමැති ධුර හෙබවූවා. ඔහු ආරම්භ කළ අවාමි ලීගය පක්ෂයේ වත්මන් නායකත්වය උසුළන්නේ ඔහුගේ දියණිය වන අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා.

වර්ග කිලෝමීටර් 148,460ක් විශාල බංග්ලාදේශයේ වත්මන් ජනගහනය මිලියන 170කට ආසන්න වනවා. ප්‍රජාතාන්ත්‍රික අනාගාමික ඒකීය ජනරජයක් වන එරට ආගමික පක්ෂ තහනම්. ස්වාභාවික විපත්, දුගී බව, දේශපාලන ගැටුම් හා හමුදා කුමන්ත්‍රණ බංග්ලාදේශය පිහිටුවීමත් සමග එරට දක්නට ලැබුණු සුලබ දර්ශන.

ලෝකයේ විශාලතම සරණාගත කදවුරක් වන කොන්ස් බාසාර්හි උයියා බංග්ලාදේශයේ පිහිටුවා ඇති අතර ප්‍රධානතම සරණාගත සත්කාරක රටක් බවට එරට පත් ව තිබෙනවා. මියන්මාරයේ ආගමික හිංසනය නිසා එයින් පලා යන රෝහින්ග්‍යා සරණාගතයන් වැඩි වශයෙන් මෙහි රඳවා තිබෙනවා. ඔවුන්ට රැකවරණය සැපයීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරියට පවතින්නේ විශාල ප්‍රසාදයක්.

බංග්ලාදේශය පසුවන්නේ ලෝකයේ ආර්ථික අතර 36 වැනි ස්ථානයේ. එරට ප්‍රධාන විපක්ෂය ඡන්දය වර්ජනය කළ හැකි තත්ත්වය හමුවේ ඇයගේ පාලනයට වැඩි සුජාතභාවයක් ලබාගැනීම අසීරු කාර්යයක්. 2009 හා 2018 පැවැති මැතිවරණවලදී විශාල වශයෙන් ඡන්ද දූෂණ හා බලහත්කාරකම් සිදු වූ බවට ලෝකයෙන් සහ එරට ප්‍රධාන විපක්ෂයෙන් එල්ල වන චෝදනා ඇගේ පාලනය ඉදිරියට ගෙනයාමට අභියෝගයක්.

විශේෂයෙන් වත්මන් ලෝක සන්දර්භයෙහි සංවර්ධනය වෙමින් පවතින රටවලට ආධාර කිරීමේදී ලෝක මූල්‍ය ආයතන මෙන් ම සංවර්ධිත රාජ්‍ය ද අදාළ රටේ මානව අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍රවාදී පදනම යන කාරණා කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන නිසා ඉදිරියේදී හසීනා පාලනයට ඇති කරනු ඇත්තේ බලවත් පිඩනයක්.