හයිකු
- නුවන් කුමාර කටුගම්පල
ශ්‍රී ලංකා හයිකු සමාජය එහි සභාපති පාලිත සේනාරත්න කිවිඳුන්ගේ උපදේශකත්වයෙන් සංවිධාන කළ ශ්‍රී ලංකා හයිකු කවි මහා සම්මේලනය මෙවර පැවැත්වුණේ ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩල ශ්‍රවණාගාරයේදී. මෙහි විශේෂතම කාර්යද්වය වූයේ ශ්‍රී ලංකා හයිකු බ්ලොග් පිටුව සහ ජපන් හයිකු සම්ප්‍රදායට අයත් නවතම සිංහල කාව්‍ය ග්‍රන්ථ 08ක් එකවර ජනගත කිරීම.
හයිකු අනන්තය-පාලිත සේනාරත්න, නොවැටුණු වැහි බිඳු-උදාරා තම්බපණ්ණි දික්කුඹුර, රෑ පානේ ලියූ කවි-නලිනි ද සිල්වා, වන අරණක සඳ පහන-සමන්ති රණමුකගේ, සුසුම් හෙළන කඳු-අනුෂා ගමඇතිගේ, සිතිජය සිසාරා-සුභාෂිණී ජයතිලක, හිම මත තනි ව විලෝපත-ඉනෝකා රාජපක්ෂ, තීර්ථ යාත්‍රා-සුදර්ශනී කුරුප්පු එම ග්‍රන්ථ හා රචක රචිකාවියන්.
ජපන් ජන සංස්කෘතියේ අවියෝජනීය නියෝජනයක් හයිකු. එය ඔවුන්ගේ නිවුණු මානසිකත්වයේ සහ සැහැල්ලු ආකල්පවල පිළිබිඹුවක්. සෙන් බුදුදහම, එදිනෙදා දිවිපෙවෙත, පරිසරය, දාර්ශනික චින්තන යනාදිය මානව හැඟීම් සමග සංයමයෙන් ගළපා ගැඹුරු සත්‍ය සරල සුමට ලෙස ඉදිරිපත් කරන ආකර්ෂණීය ප්‍රබන්ධ විධියක්.
ආධ්‍යාත්මික සුවය විඳීම, ප්‍රකාශ කරනවාට වඩා වටහා ගැනීමට හෝ ගවේෂණය කිරීමට මග පෑදීම මේ කවි ප්‍රභේදයේ සුවිශේෂ ලක්ෂණයක්. වසන්ත (හරු/spring), ගිම්හාන (නත්සු/summer), වස්සාන (අකි/autumn) සහ ශීත (ෆුයු/winter) යන ඍතු හෝ සොබාදහම පිළිබඳ සඳහනක් (කිගෝ) ඇතුළත් වීම, අනිත්‍ය බව නිර්මාණාත්මක ව ඉදිරිපත් කිරීම, පෞද්ගලික හැඟීම් පොදු ආකාරයෙන් ප්‍රකාශ කිරීම, ධ්වනිතාර්ථ ගැබ් වීම, හැඟීම් මුල්කොටගෙන බුද්ධියට ගෝචරවනසුළු අදහසක් ප්‍රකාශ කිරීම, කථන ව්‍යවහාර භාෂාව ම කාව්‍යකරණයට යොදා ගැනීම, වචන ස්වල්පයකින් සහෘදයා තුළ නොමැකෙන මතකයක් විචිත්‍රණය කිරීම, අදහස් හෝ රූප දෙකකින් සමන්විත ව ඒවා එකිනෙක වෙන් කිරීමට සහ කවියේ මුඛ්‍යාර්ථය නිරූපණය කරමින් ශබ්ද රසය රඳා පවත්වා ගැනීමට කෙටි වචනයක් (කිරෙජි) යොදා ගැනීම, පද පේළි අතර හුස්මට ඉඩක් තැබීම එහි තවත් ලක්ෂණ. හයිකුවලින් ගැඹුරු අරුත් මතු වුවත් රචනයේදී යටි පෙළ, සැඟවුණු අරුත්, සමාජ පණිවිඩ, උත්ප්‍රාසය වැනි අලංකාර හිතාමතා අඩංගු නොකරන අතර ‘හයිකු මොහොත’ නම් වූ එක් ක්ෂණික සිදුවීමකින් ඇතිවන චිත්ත සංඥාවක් එලෙස ම ප්‍රකාශයට පත් කිරීම සිදු වනවා. හයිකුවල මානසික චික්ත්සක ගුණය අවබෝධකර ගැනීම ද වැදගත්.
හයිකු කවියට තිබෙන්නේ ඊට ම සුවිශේෂ අච්චුවක් නොහොත් අකෘතියක් (Structure, Pattern). පළමු පදයට ජපන් භාෂාවෙන් ‘ඔන්’ නම් වන ශබ්ද එනම් අක්ෂර එසේත් නැත්නම් මාත්‍රා (Syllables, Sounds) 5ක්, මැද පදයට 7ක්, අවසන් පදයට 5ක් වශයෙන් ශබ්ද 17ක පිඬුවක් එය. සියලු ම නීති රීති සහ ලක්ෂණ අකුරට ම ආරක්ෂා වන පබැඳුම් ස්ථාාවර ක්‍රමය (තෙයිකෙයි) ලෙසත් එසේ නොවන යම් යම් වෙනස්කම් සහිත ව රචනා කරන හයිකු නිදහස් ක්‍රමය (ජියුරිත්සු) ලෙසත් හඳුන්වනවා.
සාමාන්‍ය ජපන් කවියක් ‘රෙංගා’ හෝ ‘රෙංකු’ නමින් හැඳින්වෙන අතර ඕනෑ ම කවි පන්තියක පළමු කවිය හැඳින්වුණේ ‘හොක්කු’ නමින්. එහි අදහස ‘පළමු කවිය’ යන්න. අතීත ජපන් කවියන් කවි පන්තියක පළමු කවිය තනි කාව්‍යයක් ලෙස භාවිතයට ගැනීම දැරූ උත්සාහය නිසා ‘හොක්කු’ යන්නෙන් බිඳී විත් ‘හයිකු’ යනුවෙන් සම්මත වුණැයි පැවසෙනවා. හයිකු බිහි කිරීමේ පුරෝගාමියා ලෙස සැලකෙන්නේ ”මත්සුවෝ බෂෝ’. ඒ, 1670දී පමණ. ඔහු පිළිගැනෙන්නේ හයිකු කවියේ පියා මෙන් ම ලොව විශිෂ්ඨතම හයිකු කවියා ද ලෙස. අරික්කිඳ මොරිතකී, බූසන්, ඊසා, ටකාහාමා කියෝෂි වැනි කවියන් ද ප්‍රකට පැරණි හයිකු කවියන්.
ජපානයේ පහළ වුවත් හයිකු කාව්‍ය අද වන විට ලෝක ප්‍රචලිත සාහිත්‍ය ශානරයක්. ඇමරිකාව, බි්‍රතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, රුසියාව, රුමේනියාව යනාදී රටවල ද සුප්‍රකට හයිකු නිර්මාණ සංවිධාන පිහිටුවාගෙන තිබෙනවා.
චිත්‍රපට සංස්කරණ ශිල්පයේ මූලාරම්භකයා ලෙස සැලකෙන රුසියානු ජාතික සර්ජි අයිසන්ස්ටයින් විසින් මුලින් ම Battleship Potemkin චිත්‍රපටයේදී ඔඩිස්සා පඩිපෙළේ දර්ශනය සඳහා රූප ඡේදනය කිරීමෙන් ‘මොන්ටාජ් සංස්කරණ රීතිය’ (Montage Film Editing Method) හඳුන්වා දීමේදී පාදක කර ගෙන තිබෙන්නේ බෂෝගේ හයිකු කවියක ආභාෂය වන අතර හයිකු කාව්‍යය පිළිබඳ ලෝකයේ ඇස් ඇරෙන්නට පටන් ගත්තේ ඒ සමග බවයි මෙහිදී මුලසුනේ කතාව සිදු කරමින් පූජ්‍ය ඇතිපොල මංගල හිමියන් වදාළේ
ග්‍රාහක ප්‍රතිචාර උපරිම මට්ටමින් පැවතීම සහ අන්‍යයන් කෙරෙහි දක්වන ගරුත්වයට මුල් තැනක් දීම හයිකුව අන්තර්ජාතික වැළදගැනීමක් සහිත වීමට ප්‍රමුඛ හේතු බව පවසන්නේ ප්‍රවීන කිවිවර ගීත රචක සහ ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරී සුනිල් සරත් පෙරේරා.
Presence, IRIS, Haiku Zoo Journal, Windfall, HIA, SHAMROCK, Wales Haiku, Autumn Moon, Enchanted Garden, Daily Haiku, Connecticut, Tri Rijeke, Failed Haiku ඇතුළු ජාත්‍යන්තර හයිකු ජර්නල සහ සඟරාත් Asahi Haikuist Network Japan, Australian Haiku Society, New Zealand Poetry Society, Haiku Publications, Haiku International Association, Haiku Society of America, Connecticut Poetry Society ඇතුළු අන්තර්ජාතික හයිකු සංවිධානත් අතර ශ්‍රී ලංකා හයිකු සමාජය ද දෙමළ සහ ඉංග්‍රීසි භාෂා පරිවර්තන සහිත ව හයිකු කාව්‍ය ග්‍රන්ථ ප්‍රකාශනය කරමින් වැඩමුළු පාඨමාලා යනාදීය පවත්වමින් මෙරට සිංහල-දෙමළ පාඨක සහෘදයාට ඒවා රසවිඳින්නට සැලැස්වීම පැසසිය යුතු කාර්යයක්. මෙවැනි අන්තර්ජාතික ප්‍රකාශනවල සිය නිර්මාණ පළ කළ සහ එම සංවිධානවලට සම්බන්ධ ව ක්‍රියා කරන ලේඛක ලේඛිකාවන් ද එහි සාමාජිකත්වය දරනවා. ජාත්‍යන්තර හයිකු පදනමේ නාමලේඛනයේ (International Haiku Registry) ද ඔවුන් සිටින්නේ ලේඛනගත ව.
ශ්‍රී ලංකා හයිකු සංගමය 2017 වසරේදී බිහිවූවක්. ථෙරවාදී බුදුදහම පවතින ශ්‍රී ලංකාවේ හයිකු කවිය ප්‍රචලිත වීමට සංගමයේ දායකත්වය ප්‍රබල පිටිවහලක් බවයි මෙවර සංවත්සර උත්සවයේදී ප්‍රකාශ වුණේ. සම්මේලනයට සහභාගි වෙමින් අදහස් දැක්වූ එහි සභාපති කිවිවර පාලිත සේනාරත්න අවධාරණය කළේ ඔවුන් විසින් සිදුකරන හයිකු කවියේ රස සොයාගෙන යාම කේවල ගමනක් මිස ශ්‍රී ලංකාවේ ඒ පිළිබඳ විධිමත් ශාස්ත්‍රීය හැදෑරීමක් තවමත් සිදු නොවන බව.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද පැවසුවේ සිය විශ්වවිද්‍යාලයේ ජපන් භාෂාව ඉගැන්වීමෙන් නොසෑහී ජපන් සංස්කෘතියේ හරවත් සංකල්ප සිසුන්ට හඳුන්වා දීමට දැරූ උත්සාහයේදී හයිකු සමාජය සමග සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණු බව. ඔහු; “සීගිරි කුරුටු ගීයේ පටන් හයිකු සම්ප්‍රදායට නෑකම් කියන කෙටි කාව්‍ය ප්‍රභේද ශ්‍රී ලංකාවේ භාවිත වී තිබෙන්නේ විශිෂ්ට ලෙස. සරසවි කුරුටු ගීයත් ඊට ම ඥාතිත්වයක් දක්වන්න නව හඳුනා ගැනීමක්. ඩිජිටල්කරණය වූ ලෝකයේ මෙවැනි කලා ශානර ව්‍යාප්ත වීමට තිබෙන්නේ පුළුල් අවකාශයක්. එහෙත් ඒවායේ හිමිකාරිත්වයේත් ගුණාත්මකභාවයේත් ආකෘතිකමය සහ සංස්කෘතිකමය ලක්ෂණවලත් ආරක්ෂාව පිළිබඳ ප්‍රතිපත්තිමය ගැටලු මතුවීමට ඉඩ තිබෙන්නේ ඒවා පාලනය කළ නොහැකි මාධ්‍ය නිසා. ජපන් හයිකු කවිය සහ දේශීය කාව්‍ය විධික්‍රම සංසන්දනය කරමින් පර්යේෂණාත්මක අධ්‍යයනයක නියැළීමට වැඩපිළිවෙළක් සම්පාදනය කළ යුතු වනවා.”
පූජ්‍ය ඇතිපොල මංගල හිමියන්ගේ විග්‍රහය වන්නේ බුදුදහමේ ඉගැන්වෙන පරිදි පවතින මොහොතේ ජීවත් වෙමින් තමා අවට සචේතනික සහ අචේතනික වස්තු සමග මනෝමය ගනුදෙනුවක් සිදු කරමින් හයිකු කවියක් නිර්මාණය වන බව. උන්වහන්සේ; “ඉතා සියුම් ව තමා අවට සිදු වන වෙනස්වීම් ග්‍රහණය කර ගනිමින් යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත ව හයිකු ලිවීම භාවනාවකට සමානයි. වර්තමාන පාඨකයන් මෙන් ම නිර්මාණකරුවන් ද විශ්ව සාහිත්‍ය පරිශීලනයෙන් ඈත් වීම නිසා මේවා වටහා ගැනීම අසීරුයි. එය කනගාටුවට කරුණක්.”
ජාත්‍යන්තර හයිකු කාව්‍ය නිර්මාණ තරගවලින් ජයග්‍රහණය කළ සිංහල ලේඛක ලේඛිකාවන් ද ශ්‍රී ලංකා හයිකු සමාජයේ සාමාජිකත්වය දරනවා. අදහස් දක්වන විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රාධිකා ද සිල්වා: “හයිකු කවියේ අනන්‍ය ලක්ෂණය වන්නේ නිශ්චිත විනිශ්චයක් (Judgement) හෝ මතයක් (Opinion) හෝ තේමාවක් හෝ මාතෘකාවක් (Plot, Theme, Topic) හෝ ඉදිරිපත් නොකිරීම. අනෙකුත් රටවල කවියන්ට නිශ්චිත හයිකු ආකෘතිය භාවිත කිරීම අපහසු බව පෙනී යනවා. විශේෂයෙන් ම ශබ්ද සහ පේළි සංඛ්‍යාවේ නිවැරදි ව ම රැඳී සිටීම දක්නට ලැබෙන්නේ කලාතුරකින්. විවිධ භාෂාවල හැඩය ඊට බලපානවා. ශ්‍රී ලංකාව වැනි ඍතු භේදයක් නැති රටවල පරිසර වර්ණනා වෙනස් වන අතර අනෙකුත් හයිකු ලක්ෂණ හැකිතාක් ආරක්ෂා කරනවා. ‘හයිකු අධ්‍යයන කව’ ලෝකයේ බිහිවීමත් ධනාත්මක ප්‍රවණතාවක්. මාර්ගගත ක්‍රමවේදය යටතේ ජාත්‍යන්තර මට්ටමින් හයිකු අධ්‍යයන පාඨමාලා පවා පැවැත්වෙනවා. එයින් සංඛ්‍යාත්මක ව වර්ධනය වී තිබෙන්නේ හයිකු හදාරන රසවතුන්.”
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ මළගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරුදු දා කෘති පරිශීලනයෙන් ලද ආශ්වාදය ජපානය ගැන සොයන්නට තමා පෙළඹවූ බව ප්‍රවීණ කිවිවර සුනිල් සරත් පෙරේරා පැවසුවා. ඔහු: අද ලංකාවේ හයිකු කවි කියා ලේබල් අලවනවා කෙටි කවියට. ඒ නිසා මෙරට හයිකු සමාජය බිහි වීමත් ඔවුන් විසින් ගැඹුරින් සහ පුළුල් ව හයිකු කවිය හැදෑරීමත් ඒ සම්බන්ධ සැබෑ තතු සමාජගත කිරීමත් නිසා හයිකු කවියේ අනන්‍යතාව ආරක්ෂා කරගෙන නව නිර්මාණ කරන්නට අවස්ථාව උදා වී තිබෙනවා. අර්ථාන්විතභාවය සහ අර්ථ සංකෝචනය යන කාව්‍ය ලක්ෂණ හයිකු කවියේ අන්‍යතාව සහ විශිෂ්ටත්වය පිබිඹු කරන කැටපත්. ඒ සඳහා භාෂාත්මක ප්‍රයෝග යොදාගෙන ඇති ආකාරය හැදෑරීම ගීත රචනයට පිටිවහලක්.” සම්ප්‍රදායෙන් නව්‍යත්වය වෙත ගිය ජපානයේ තාක්ෂණය සංවර්ධනයට යොදවන මුදලට සමාන මුදලක් භාෂාව හා සාහිත්‍ය සංවර්ධනයට ද යෙදවීම එරට කාව්‍ය ක්ෂේත්‍රයේ දියුණුවට මග පාදා තිබෙන බවත් පවසන ඔහු තාක්ෂණයට අවශ්‍ය ආකාරයට භාෂාව හැඩගස්වන්නට ක්‍රියා නොකිරීමත් භාෂාවට අවශ්‍ය විදියට තාක්ෂණය හැඩගස්වන්නට ක්‍රියා කිරීමත් රටක දියුණුවට ඉවහල් වන බව අවධාරණය කරන්නේ ජපානය ආදර්ශයට ගෙන.
පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රවීණ කිවියර සුමින්ද කිත්සිරි ගුණරත්න ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාවේ හයිකු කවිය සම්බන්ධයෙන් පුළුල් සංකථනයක් ඇති වී තිබුණත් හයිකු ආකෘතිය සහ අන්තර්ගතය ඊට අනන්‍ය රටේ සංස්කෘතියෙන් උලුප්පාගෙන වෙනත් රටක සංස්කෘතියක පැළ කරන්නට නොහැකි බව. ඔහු: ජපන් හයිකු කවියේ ක්ෂණ දර්ශනය ප්‍රබල සම්ප්‍රදායක් නියෝජනය කරනවා. එය සෙන් බුදු දහමේ ගැඹුරු ලෝක දෘෂ්ඨිය සමග ම ගමන් කරන්නක් බැවින් ශ්‍රී ලංකාවේ ථෙරවාදී සංකල්පය සමග ඇත්තේ දුරස් බවක්. දෙරටේ සමාජීය, ආර්ථික සහ දේශපාලනික තත්ත්ව පවා එකිනෙකට ගැළපෙන්නේ නැහැ. එක් රටක භූමියේ ජනනය වන ජන සංස්කෘතික විඥානයේ නිමැවුමක් තවත් රටක පැළ කළ හැකි නම් අපේ පැල් කවිය, ගොයම් කවිය, ශාන්තිකර්ම ගායනා වැනි ජන කාව්‍ය සාහිත්‍ය කලා ප්‍රභේද එම රටවලත් පැළ කළ හැකි විය යුතුයි. එබඳු හේතු නිසා සිංහලෙන් හයිකු ලිවීමට උත්සාහ කිරීම අනුකාරකවාදී ප්‍රයත්නයක්.” ඒ නිසා ශ්‍රී ලංකාවේ ලියැවෙන සීගිරි ගීයට නෑකම් කියන හුරුබුහුටි කෙටි කාව්‍ය ක්‍රමය ‘සංකිත කවි’ යනුවෙන් තමා නාමකරණය කළ බවත් ඔහු පවසනවා.
අතීතයේ මහගම සේකර, සිරි ගුණසිංහ වැනි ප්‍රවීණයන් මේ ආකෘතියට සමාන ආකෘතිවලින් පබැඳූ නිදහස් කෙටි කවි වඩාත් පාඨක ආකර්ෂණය දිනා ගත්තා. අපරැක්කේ සිරි සුධම්ම හිමි, මහාචාර්ය ආරිය රාජකරුණා, ජයන්ත විමලසේන, ආරියවංශ රණවීර, නන්දන වීරසිංහ වැනි කවියන් ද මෙරට හයිකු සහ කෙටි කවිය උදෙසා දැක්වූ දායකත්වය ප්‍රබලයි. වර්තමානයේ මාලන් බණ්ඩාර, කල්පනා ඇම්බ්‍රෝස්, මංජුල වෙඩිවර්ධන, ලක්ශාන්ත අතුකෝරල, ලහිරු කරුණානායක, සරත්චන්ද්‍ර වල්පොල, ටිම්රාන් කීර්ති ඇතුළු කවියන් රැසක් මේ ශානරයේ සාර්ථක අත්හදාබැලීම් සිදු කර තිබෙනවා. ඒ ඒ කවියන් හයිකු ලෙස නොහැඳින්වූවත් කෙටි කවි (Short Poems), සාර සංක්ෂිප්ත කවි, සංකිත කවි, පොඩි කවි, කුඩා කවි, කොට කවි, සැකෙවි කවි, ක්ෂුද්‍ර කවි, සැකිලි කවි, මුක්තක කවි යනාදී විවිධ නම්වලින් හයිකුවට සමාන ලක්ෂණ සහිත තම ප්‍රබන්ධ නම් කර තිබෙනවා. ශ්‍රී ලංකා හයිකු සමාජයේ කවි කිවිඳියන් අලුතින් නිකුත් කළ කාව්‍ය කෘති 08 මෙන් ම 2022 වසරේ නිකුත් කළ කවි පොත් 04 ඍජු ව ම ‘හයිකු කාව්‍ය සංග්‍රහය’ ලෙස නම් කර තිබීමත් සුවිශේෂත්වයක්.
මෙයින් පෙනී යන්නේ හයිකු කාව්‍ය පිළිබඳ පුළුල් පර්යේෂණාත්මක, ගවේශනාත්මක සහ ප්‍රවර්ධනාත්මක හැදෑරීමකට කාලය එළඹී ඇති බව.