සුද්දාගේ ක්‍රීඩාව
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් විකාශයේ වර්තමානය ශ්‍රී ලාංකේය වුවත් ඉතිහාසයේ ශ්‍රී ලංකා ක්‍රිකට් හැටියට තිබුණේ ලංකාවේ කොළඹ ක්‍රිකට්. එයට ඉඳහිට මහනුවර, මාතර සහ ගාල්ල ආශ්රිත ප්‍රධාන පාසල්වලින් ක්‍රීඩකයන් පැමිණියා. මේ සංස්කෘතිය ඇතුළේ ක්‍රිකට්, සුද්දාගේ ක්‍රීඩාව ලෙස මෙන් ම ඉහළ පංතියේ ක්‍රීඩාවක් ලෙස ද වර්ගීකරණය කළේ නරියා මිදි තිත්තයි කී ලෙස.
ප්‍රේමසර ඈපාසිංහ, පාලිත පෙරේරා, සමන් අතාවුදහෙට්ටි, මයිකල් කරුණාතිලක වැනි බොහෝ ගුවන්විදුලි සන්නිවේදකයන් එවකට ප්‍රධාන ම විද්‍යුත් මාධ්‍ය හැටියට පැවති ගුවන්විදුලියෙන් මවා පෙන්නන ක්‍රිකට්වලට ගම ආසක්ත වුණා. එහෙත් ඒ ක්‍රීඩාව දෑසින් දැක නොවෙයි. කඩපිල් ගානේ ක්‍රිකට් වෙනුවට ක්‍රීඩාලෝලීන් අද මෙන් ම ජය පරාජය ගැන තර්ක කළේ රිකට් නම් ක්‍රීඩාවක් ගැන.
ගම බොහෝ දේ නොදැන වුවත් පත්තරවල අන්තිම පිටුවත් ගුවන්විදුලියේ උදෑසන විකාශය වූ බි්රස්ටල් ක්‍රීඩා විසිතුරු සමඟත් ක්‍රිකට් ක්‍රීඩාව ගැන විශාල දැනුමක් එකතු කරගෙන මෙන් ඔවුන් කතාබහ කරන්නට වුණා. තරග දිනවලදී ගමේ පාසලේත් ඩෙස්ක් එක යටට සාක්කුවේ දාගෙන යා හැකි රේඩියෝ රිංගන්නට වුණා. විශේෂයෙන් 1981 වසරේදී ශ්‍රී ලංකාව ටෙස්ට් තත්ත්වය ලබන විට ගමටත් එය දැනෙන්නට වුණේ හරියට නොමිලේ ආහාර සලාකයක් ලෝකය දෙන්න තීරණය කළ ගානට ක්‍රීඩාලෝලීන් සිත් සතුටෙන් පුරවා ගනිමින්. ඊට වසර තුනකට පසුව ඉන්දියාව ලෝක ශූරයන් වී ශ්‍රී ලංකාවට ආ පසුව ඔවුන්ගෙන් ශ්‍රී ලංකාව පළමු ටෙස්ට් ජය උදුරා ගනිද්දී එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන පසු දින රජයේ නිවාඩු දිනයක් බවට පත් කළේ රටේ ජනතාව ඒ තරම් ම ක්‍රිකට්ලෝලීන් වූ නිසා.
එහෙත් කුමන තත්ත්වයක වුවත් ක්‍රිකට් කොළඹ ක්‍රීඩාවක් වීම සහ දළ කාරයන්ගේ ක්‍රීඩාවක් වීම ගැන තිබුණු සමාජ මතය ගමේ හිත් පාරන්නට සහ රිදවන්නට වූයේ ඒ සඳහා අපේ එකෙක්ට නැති ඉඩ ගැන හැඟීම පැසවමින් පාරවන තුවාලයක් තත්ත්වයට පත් කර තිබුණු බැවින්. 89 සමාජ අරගලයක් නිර්මාණය වෙද්දී ද එක් සටන් පාඨයක වූයේ ‘ කොළඹට කිරි ගමට කැකිරි’ යන්න. කොළඹ පාසල් කිහිපයක අදටත් කිරි තිබුණ ද ගමේ ඇති පහසුකම්වත් නැති, කැකිරිවත් නැති කොළඹ පාසල් ගණන විශාලයි. එහෙත් ක්‍රිකට් වැනි ක්‍රීඩාවලට ඇති ගමේ ඇල්ම, රටේ නියෝජනයක් දක්වා යන්නට ගමට බැරි පැසවීම එවක සටන් පාඨවලට ඇති කළේ අමුතු ශක්තියක්. එකල විරෝධාකල්ප ගීවලදී නන්දා මාලනිය ගැයූ ගීතයක් ද පාඨක ඔබට ද මතක ඇති.
කාකා බිබී නටන අතර
නරුම යහළු යෙහෙළියන්…
පන්දු කෙළින අතර
ඉහළ පාසල්වල අමනයන්…
රට ගිනිගෙන ඇති වග දුටු
මගේ එක ම පුතණුවන්…
එගිනි නිවන මඟ සෙවීම
වරදක් දැයි මට කියන්….
සැබවින් ම එහි තිබුණේ ක්‍රිකට් සම්බන්ධයෙන් අධිරාජ්‍යවාදීන්ගේ ක්‍රීඩාවක් ලෙස එන දේශපාලන විරෝධය විය හැකියි. එහෙත් එය පවතින පාලන ක්‍රමයට විරුද්ධ වන්නට බලපා ඇත්තේ ඉහළ පාසල්වලට ඇති ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ අවස්ථා සඳහා ගමේ පාර වැසී තිබීම යන්න ද සාධාරණ තර්කයක්. අතැම් විට ගිනි නිවන්නට එකල ගිනි අවිය ගත් තරුණයන් සැඟ වී කරන දේශපාලන ව්‍යාපාරයෙන් පිට සවස්වරුවල ප්‍රසිද්ධියේ ජනතාව අතර ක්‍රිකට් පිති රැඟෙන සතුටෙන් ක්‍රීඩා කළ බවට ද සාක්ෂි තිබෙනවා.
කෙසේ හෝ 1996 වසරින් පසුව ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන ජයග්‍රහණය සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට්වලට අසීමිත ව මුදල් ගලා එන්නට වුණා. එම මුදල්වලට සාපේක්ෂ ව කොළඹින් ක්‍රිකට් ගමට යාමේ පාරවල් ද විවර වුණා. සිමෙන්ති තණතීරු ලෙස ගමට පැමිණි පුහුණු බිම් වෙනුවට වර්තමාන ක්‍රිකට් පරිපාලනය ක්‍රීඩා බිම් මෙන් ම පාසල් සඳහා ක්‍රීඩා උපකරණ ලබා දෙන්නට ද ක්‍රියා කරමින් සිටිනවා. විශාල ධනයක් ඒ වෙනුවෙන් ද වැය කරනවා. පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා නොකරන පාසල්වලට ද සිය හැකියාව අනුව පෙරට එන්නට මේ නිසා පාරවල් සැකසෙමින් තිබීම ඉතා වැදගත්. කොළඹ හෝ ඉතිහාසයේ ක්‍රිකට් පැවති ප්‍රධාන නගරවල හෝ පාසල් අභිභවා විශේෂයෙන් ජාතික කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ගම විසින් සම්පූර්ණයෙන් ම පාහේ ආක්‍රමණය කරනු ලැබීම ද සුවිශේෂ තත්ත්වයක්.
එවැනි වකවානුවක ලෝක කුසලාන විස්සයි20 තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලැබෙන විට ශ්‍රී ලංකාව සතු ජාතික කණ්ඩායමේ නියෝජනය, 1982 පළමු ටෙස්ට් තරගයේ නියෝජනයට වඩා කෙතරම් වෙනස් ද යන්න සිතා බැලිය යුත්තක්. මෙවර සංචිතයට නම් කර, අවසාන මොහොතේ ආබාධයක් නිසා කණ්ඩායම හැර ගිය ඒෂාන් මාලිංග පළමු පෙළ පාසල් ක්‍රිකට් ක්‍රීඩා නොකරන රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කළ ක්‍රීඩකයෙක්. ඔහුගේ හිස්තැන පුරවන්නට කණ්ඩායමට කැඳවන ලද ප්‍රමෝද් මධුශාන් ද එවැනි ම පාසලකින් ක්‍රිකට් පිටියට පැමිණියෙක්. ඔහු අකුරු කර තිබෙන්නේ හම්බන්තොට ථේරපුත්ත පාසලෙන්.
පිරිමි සහ කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම් සහ වයස් කාණ්ඩ ක්‍රිකට් කණ්ඩායම් ගත්ත ද යාපනය දක්වා ම රට ම නියෝජනය වන තත්ත්වයක් දකින්නට පුළුවන්. ඉහළ පාසල්වල තිබුණු සමාජ සංයුතිය වෙනස්. ඉංග්‍රිසි භාෂාවෙන් කතා කරන, වෙනස් ම සමාජ පංතියකට සම්බන්ධ පිරිසක් ලෙස ලෝකයට ක්‍රිකට් ක්‍රීඩා කරන පංතිය දැනුණේ ඒ නිසා. අතීතයේ ද ඒ ආකාරයට දක්ෂයන්ට ඉහළ පාසල්වල දොරටු විවර වුවත් අද තරම් නැහැ. අද රාජකීය කණ්ඩායමෙන් ජාතික කණ්ඩායමට එන ක්‍රීඩකයන් ද කතා කරන්නේ සිංහල බසින්. ඒ, ඉංග්‍රිසි සමාජයට ඇති අනන්‍යතාව සහ ආර්ථිකය ද පෙර මෙන් එම පවුල්වලට බද්ධ වී නැති නිසා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතා සම්බන්ධයෙන් ගත් විට වර්තමානයේ එය අඛණ්ඩ ව නඩත්තු කර ගැනීමේ බරපතළ ගැටලුකින් පසුවනවා. කුමන ජයග්‍රහණය ලැබුව ද එය ස්ථාවර ව පවත්වාගෙන යා හැකි ද? යන්න පිළිබඳ නිරන්තර සැකයක් ඇති වන්නේ එබැවින්. ඊට හේතු ලෙස හැමෝට ම අදහස් ප්‍රකාශ කරන්නට ඉතිහාසයේ තිබුණු කඩ මණ්ඩිය වෙනුවට ලෝකය සමඟ ම කතා කරන්නට සැකසුණු සමාජ මාධ්‍ය අවකාශයේ ප්‍රේක්ෂකයන් තමන්ට දැනෙන දේ කතා කරමින් සිටිනවා. ක්‍රීඩාව විෂයක් හැටියට හඳුනා ගන්නා මාධ්‍යකරුවන් හෝ ක්‍රීඩාවට සම්බන්ධ නොවන පිරිස් හෝ තමන්ට ක්‍රීඩාව දැනෙන හැටියට සහ විශේෂයෙන් පරාජය දරා ගැනීමට නොහැකි මානසික මට්ටමෙන් අදහස් වපුරනවා. කවුරුන් හෝ සමාජ මාධ්‍ය ජාලයට ආර්ථික වශයෙන් ලාභයක් ඇතුව ලියන දේ පරාජයට හේතුව සේ හැදෑරීමකින් තොර ව බෙදා හැරීමත් දක්නට පුළුවන්.
ක්‍රීඩකයන් නොව රටේ බොහෝ දෙනා ගමට ක්‍රිකට් පැමිණීම ගැන සිහින දුටුවා. තමන් නොව තමන්ගේ පැත්තේ එකෙකු කණ්ඩායමේ ඉන්නවා දැක සතුටු වෙන්නට සිහින දුටුවා. එය දැන් බොහෝදුරට ඉටු වී තිබෙනවා. එසේ ම ඉටුවෙමින් ද තිබෙනවා. එහෙත් පරණ ක්‍රිකට් සංස්කෘතියේ තිබුණු උද්යෝගය, හඹා යාම සහ සටන්කාමීත්වය කෘත්‍රිම වී තිබෙනවා. එවැනි හැඟීමකින් කණ්ඩායමක් විදිහට බැඳුණු බව පෙනෙන්නේ අඩුවෙන්. ක්‍රිකට්මය නොවුණු ඒ තත්ත්වය නැවත ඇති කර ගැනීමට මේ ක්‍රීඩකයන් නැවත දුප්පත් කළ යුතු නැහැ. එහෙත් ඔවුන්ට ඔවුන් ව පෙනෙන සේ මනසට කතා කරන උපදේශනයක් අවශ්‍ය වී තිබෙනවා. එය සමාජ, දේශපාලනික සහ පුද්ගලයෙකුට මානව ආදරය සහ ගෞරවය සහිත ව ජීවත්වීමේ වටිනාකම කියා දෙන්නක් විය යුතුයි.
අප හුස්ම වැටෙන්න අවශ්‍ය තැනින් හුස්ම ගන්නට පටන් ගෙන නැහැ. පළමු දේ ආකල්පමය වශයෙන් ක්‍රීඩකයා සිටින ආස්ථානය සහ සැබෑ ක්‍රීඩාවට, ජයග්‍රහණයට ඇති දුර මීටර් 100ක වේගයෙන් පසු කළ යා නොහැකි බව පහදා දී ඊට මැරතන්මය වෙහෙසක් විඳීමට ක්‍රීඩක මනස වෙනස් කිරිම. එම වෙහෙස ඇතුළේ හමු වන කඳු දුර්ග දරාගන්නට සහ සාර්ථක ව පසු කර යන්නට මනස හුරු වූ පසු නුහුරු ඉලක්ක ගැන වෙහෙසීමට වඩා ජීවිතයේ සෑම දෙයක් ම ලැබෙන ක්‍රිකට්වලට සාධාරණය ඉටු කරන්නට ඔවුන්ගේ මනස සකස් වනු ඇති.






