සියයට අටේ උගතුන්
- චන්දන මාරසිංහ
ගෙවුණු සමයේ ගෝලීය වශයෙන් ඇති කරගත් විශිෂ්ට ජයග්‍රහණයක් වන්නේ ප්‍රාථමික අධ්‍යාපනය විශ්වීයකරණය වීම. 1950 ගණන්වල මුල්භාගය වන විට ලොව ප්‍රාථමික පාසල් සිසුන්ගෙන් 50%ක් පාසලෙන් බැහැර ව සිට ඇති අතර වර්තමානය වන විට එම සංඛ්‍යාව අඩු වී තිබෙන්නේ 11% දක්වා. යුනිසෙෆ් වාර්තා දක්වන ආකාරයට එවැනි පසුබිමක මධ්‍යම සහ අඩු ආදායම් රටවල අවුරුදු 10ක් වයසැති ළමයින්ගෙන් 70%කට පමණ සරල ලිඛිත පාඨයක් තේරුම් ගැනීමට අපහසු වී තිබීම පුදුම සහගත නැහැ.
ප්‍රාථමික අධ්‍යාපනය සැලකෙන්නේ සංවර්ධනයේ මූලික පදනමක් ලෙස. ඒ, ක්‍රියාශීලිත්වය, රැකියාව සහ යහපත් ජීවන තත්ත්වයක් අත්පත් කර ගැනීම සඳහා ළමයින් මූලික කුසලතාවක් ලබා ගන්නේ ප්‍රාථමික අධ්‍යාපනයෙන් නිසා. මේ ප්‍රතිලාභ ලැබෙන්නේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමෙන් පමණක් නොව ඔවුන්ගෙන් උපරිම හැකියා හඳුනා ගැනීමට අවස්ථාව සැලසීමෙන්. මේ කාරණයෙහි වැදගත්කම හේතුවෙන් තිරසර සංවර්ධන අරමුණුවල 4 වැන්න අධ්‍යාපනය සඳහා වෙන් කර තිබෙනවා. ඊට අදාළ ව සම්පූර්ණ කළ යුතු ව තිබෙන්නේ කරුණු 10ක්. ඒ අතර පෙර පාසල් අධ්‍යාපනය, ප්‍රාථමික අධ්‍යාපනය, අධ්‍යාපනයේ ගුණාත්මක බව සහ ගුරුවරුන්ගේ ගුණාත්මක බව ආදිය විශේෂිත වෙනවා. මේ අතරින් ප්‍රාථමික අධ්‍යාපනයට හිමි වන්නේ ප්‍රමුඛතාවක්.
ප්‍රාථමික අධ්‍යාපනයේ ප්‍රධාන අවධි 03ක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ‘සැමට අධ්‍යාපනය’ ශාඛාවේ අධ්‍යක්ෂ භද්‍රා විතානගේ සඳහන් කරනවා. එහි පළමු අවධිය වන්නේ 01 වැනි සහ 02 වැනි ශ්‍රේණි. දෙවැනි අවධියට 03 සහ 04 ශ්‍රේණි ඇතුළත්, තුන් වැනි අවධියට ඇතුළත් වන්නේ 05 වැනි ශ්‍රේණිය. 03 වැනි ශ්‍රේණිය වන විට ලබා ගත යුතු අත්‍යවශ්‍ය ඉගෙනුම් නිපුණතා පවතින අතර මෙරට ඒවා පරීක්ෂා කෙරෙන්නේ බොහෝ විට විභාග පාදක ක්‍රමයකින්. එහෙත් අධ්‍යක්ෂ භද්‍රා විතානගේ සඳහන් කරන්නේ වෙනත් රටවල ක්‍රියාකාරකම් පාදක ක්‍රම ඔස්සේ ඉගෙනුම් නිපුණතා සොයා බලන බව.
මෙවැනි පසුබිමකයි 03 වැනි ශ්‍රේණිය වන විට ළමයින් අත්‍යාවශ්‍ය නිපුණතා අත්පත් කරගෙන ඇති දැයි සෙවීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ක්‍රියාකාරකම් පාදක අධ්‍යයනයක් ASSESSMENT IN AСHIEVEMENT LEVES OҒ ҒOUNDATIONAL SKILLS IN LITERAСY AND NUMARAСY Of GRADE 03 STUDENTS IN SRI LANKA) සිදු කෙරුණේ. එම අධය්‍යන වාර්තාව 2023 වර්ෂයේ එළිදැක්වුණා. එහිදී සොයා බැලුණේ සාක්ෂරතාවට අදාළ ව සවන්දීම, කතාකිරීම, කියවීම සහ ලිවීම පදනම් කරගත් නිපුණතා පිළිබඳ ව. ගණිතයට අදාළ ව ද නිපුණතා මට්ටම් පිළිබඳ සොයා බැලුණා. එහිදී පළාත් 09හි අධ්‍යාපන කලාප 99 නියෝජනය වන අයුරින් ගැහැනු සහ පිරිමි බව ද අවධානයට ගෙන නියැදිය තෝරා ගත් බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ‘සැමට අධ්‍යාපන‘ ශාඛාවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ එන්. එල්. ඒ. ලක්දිනි ප්‍රකාශ කරන්නේ. නාගරික, අර්ධ නාගරික හා ග්‍රාමීය ලෙස සියලු වර්ගීකරණයට අයත් පාසල්වලින් ළමයින් 9590ක් මේ අධ්‍යයනයට සහභාගි වී තිබෙනවා. ඒ, තොරතුරු ලබා ගැනීමේදී 03 වැනි ශ්‍රේණියේ ළමයින් සංඛ්‍යාව 10ට අඩු ග්‍රාමීය පාසල්වල සියලු දෙනා, 11-80ත් අතර ළමයින් සංඛ්‍යාවත් සිටින පාසල්වලින් ළමයින් 15ක්, 80ට වැඩි ළමයින් සංඛ්‍යාවක් සිටී නම් එවැනි පාසල්වලින් ළමයින් 20ක් වශයෙන්. සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරිය පෙන්වා දෙන්නේ පහසුකම් සහිත පාසල් ළමයින් යම් පුහුණුවකින් පසු ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වී ඇති බව සහ ග්‍රාමීය පාසල් සිසුන් එවැනි පුහුණුවකින් තොර ව ඊට දායක වී ඇතැයි ඉන් අනාවරණය වූ බව.
මෙවැනි සොයා බැලීමක් වැදගත් වන්නේ අධ්‍යාපනික වශයෙන් ශ්‍රී ලංකාව අත්පත් කරගෙන ඇති ස්ථානය අන්තර්ජාතික ලෙස විමර්ශනය කළ යුතු බැවින්. ඒ අනුව 03 වැනි ශ්‍රේණියේ ළමයකු අත්පත් කරගත යුතු අත්‍යවශ්‍ය ඉගෙනුම් නිපුණතා සහ අනු නිපුණතා ගැන අවධානය යොමු කළ යුතු වෙනවා. මේ නිපුණතා අතර වාක්‍ය කියවීම ප්‍රධාන වන අතර ඊට පෙර, වචනයක් කියවීමට හැකි විය යුතු වෙනවා. එසේ ම අකුරු හඳුනා ගැනීම ද අත්‍යවශ්‍ය වූවක්. මේවා අනු කුසලතා ලෙසයි සැලකෙන්නේ. අධ්‍යයනයේදී හෙළි වී තිබෙන්නේ එක් එක් හැකියා පිළිබඳ ළමයින්ගේ කුසලතා සාර්ථක මට්ටමක පැවති බව. ළමයින්ගෙන් 70%කට පමණ වාක්‍ය කියවීමට හැකි වී තිබීම ඊට එක් උදාහරණයක්.
මේ අදියර වන විට ළමයකු කුසලතා 12ක් අත්පත් කරගත යුතු වෙනවා. ඒ, ඉහළ ශ්‍රේණිවලට යොමු වීමේදී ඒවා අත්‍යවශ්‍ය සාධක වන බැවින්. භාෂාවට අදාළ කුසලතා සියල්ල සම්පූර්ණ කර තිබුණේ ළමයින්ගෙන් 5%ක පමණ පිරිසක් බවයි සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ එන්. එල්. ඒ. ලක්දිනි පෙන්වා දෙන්නේ. ගණිතයට අදාළ ව සියලු කුසලතා සම්පූර්ණ කර තිබුණේ සියයට 6%ක්. භාෂාව අංශය ගත් විට අත්‍යවශ්‍ය ඉගෙනුම් කුසලතා සියල්ල සම්පූර්ණ කර තිබෙන්නේ 12%ක් වන අතර ගණිතය අංශයේ ඉගෙනුම් කුසලතා සියල්ල සම්පූර්ණ කර තිබුණේ 14%ක්. මේ කරුණු අනුව පෙනී යන්නේ ප්‍රාථමික අධ්‍යාපනය සම්බන්ධයෙන් මෙරට පවතින තත්ත්වය එතරම් යහපත් නොවන බව.
අදහස් දක්වන අධ්‍යක්ෂ භද්‍රා විතානගේ; “නැගෙනහිර ආසියාව ඇතුළු බොහෝ රටවල ප්‍රාථමික අධ්‍යාපනය සඳහා විශේෂ ස්ථානයක් ලබා දී තිබෙන්නේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙමින්. එහෙත් ශ්‍රී ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනය සම්බන්ධයෙන් තත්ත්වය සතුටුදායක නැහැ. එය තවත් පැහැදිලි වන්නේ ශිෂ්‍යත්ව විභාග කඩයිම දෙස බලන විට. කටපාඩම් කළ පිරිසක් ඉදිරියට රැගෙන යාම වෙනුවෙන් මෙරට අධ්‍යාපන ක්‍රමය සකස් වී තිබෙනවා. එහි ප්‍රායෝගිකත්වයට හෝ නිර්මාණශීලිත්වයට හෝ අවස්ථාවක් නැහැ. ගණිත හැකියාව අතින් ගැහැනු ළමයින්ට වඩා ඉදිරියෙන් පිරිමි ළමයින් සිටින අතර සාක්ෂරතාව ගත් විට ගැහැනු ළමයින් පිරිමි ළමයින්ට වඩා ඉදිරියෙන් සිටිනවා. එහෙත් මෙරට අධ්‍යාපන ක්‍රමය අනුව ඉහළ පංතිවලට පැමිණීමට නම් කටපාඩම් කිරීමේ හැකියාවක් තිබිය යුතු වෙනවා. මේ නිසයි ක්‍රියාකාරකම්වලට වඩාත් නැඹුරුව දක්වන පිරිමි ළමයින් විශාල පිරිසකගේ අධ්‍යාපනය අතරමග නතර වන්නේ. ගැහැනු ළමයින් වැඩි වශයෙන් සිටින බැවින් ඉහළ පන්තිවල මෙන් ම විශ්වවිද්‍යාලවල පවා ස්ත්‍රී පුරුෂ ලෙස විශාල පරතරයක් පවතිනවා. පළමු ශ්‍රේණියට ඇතුළත් වන ශිෂ්‍ය සංඛ්‍යාව 315,000ක් පමණ වුවත් ඉන් 8%ක පමණ පිරිසක් පමණයි විශ්වවිද්‍යාල අධ්‍යාපනයට පිවිසෙන්නේ. මේ නිසා ලිඛිත විභාග ක්‍රමයට ඇතුළත් ශිෂ්‍යත්ව විභාගය වෙනස් වීම කාලීන අවශ්‍යතාවක්.”
මින් පෙනී යන්නේ මෙරට අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතු අංශ ගණනාවක් පවතින බව. බොහෝ රටවලට සාපේක්ෂ ව අප සිටින්නේ පසුපසින්. අවස්ථා ගණනාවකදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අදහස් පළ වුවත් ඒවා ක්‍රියාත්මක වීමේ ප්‍රමාදයක් පවතිනවා. දේශපාලන නියොජිතයන් මෙන් ම අදාළ බලධාරීන් විවිධ අවස්ථාවල මාධ්‍ය ඔස්සේ පවා විවිධ වැඩසටහන් ඔස්සේ මේ පිළිබඳ අදහස් පළ කළත් සැබෑ යථාර්ථය පවතින්නේ හාත්පසින් ම වෙනස් ආකාරයකට. පින්ලන්තය, ජපානය වැනි රටවල ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා වැදගත්. ඒ, අවම වශයෙන් එම මට්ටමට ළඟා වීමට හෝ උත්සාහ දැරීමෙන්. එසේ නොවුණහොත් ඉලක්ක ජය ගැනීම පහසු නැහැ. විශේෂයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ද මූලික කර ගත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රායෝගික ලෙස ක්‍රියාවට නැංවිය යුතු බවයි කරන ලද ඉගෙනුම් නිපුණතා පාදක අධ්‍යයනය අපට යළි යළිත් සිහිපත් කර දෙන්නේ.